අකල් වැහි -38

“රට හදන එකත් ඔයාලම බාර ගන්න සිතිජ.ඔයාලා ලංකාවේ ඉන්න අමන පාලකයන්ට රට හදන්න බැහැ එයාලා රට විනාශ කරනවා කියලා ඔයාලා රටේ මිනිස්සුන්ට කියලා දුන්නා.ඒ විතරක් මදි.ඔයාලාට පුලුවන් ආපහු රට හදන්න.අමාරු කාලයක් පහු කරලා හරි ආයෙම හිනා වෙන්න මිනිස්සු කැමතියි සිතිජ.ඒකට එයාලට උදව් කරන්න.”

රට ගොඩ නැඟෙමින් තිබෙන වග සිතිජ විශ්වාස කළේ ය.

සුරපුරයක් ඉදි වන්නට තවත් කාලයක් ගත වූවත් ජීවත් විය හැකි පරිසරයක් ගොඩ නැගිය යුතු බව ඔහු ද විශ්වාස කළේ ය.ඒ වෙනුවෙන් පියවර තැබිය යුතු වේ.ඔහුට ද ඒ ගැන අදහසක් විණ.

එහෙත් අසන්නට වෙනත් කාරණාවක් වේ.ඒ හිරුදිගේ අනාගතය ගැන ය.ඇගේ අනාගතයට ද රටට අයිති වූ අවාසනාවන්ත ඉරණම අයිති විය යුතු නැතැයි සිතිජට කල්පනා කළේ ය.

“ඔයා ආපහු එනවද? චේතනගෙන් ඩිවෝස් වෙන්න?”

චේතන සමඟ සියළුම බැඳීම් අත් හැර දැමිය යුතු වග හිරුදි ද තීරණය කර තිබුණා ය.නමුත් මේ මොහොතේ චේතන දකින්නටවත් ඇගේ මනාපයක් නොවේ.ඇයට උවමනා අක්කා අසලට වී නිස්කලංක ජීවිතයක් ගෙවන්නට ය.

“චේතනගෙන් ඩිවෝස් වෙන්න ඕන.ඒත් මට දැන්මම එයාව දකින්න හිතක් නෑ සිතිජ.චේතන කියන්නේ නිසල්ගේ මිනීමරුවා කියලා හරියටම තහවුරු වුණොත් මට එයාව දකින්න කොහොමටත් හිත හදා ගන්න අමාරු වෙනවා.මට පුතාව ලොකු කරගෙන මෙහෙට

වෙලා පාඩුවේ ජීවත් වෙන්න තියනවානම් ඇති.”

ඇය එසේ කියා සුසුමක් හෙළුවා ය.ඇය අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබේ.එය කියන්නට තරම් සිතිජ හොඳ මිතුරෙකු බව හිරුදි සිතන්නට වූවා ය.

“අනික ඒ ඩිවෝස් එක ගන්න ඕන මං ආයේ මැරි කරනවනම්නෙ.

මට එහෙම අදහසක් නෑ.අනිත් ගෑනු ළමයි ඉගෙන ගන්න,ආදරේ කරන වයසෙදිම මං මැරි කරා.මගේ කේන්දරේ ගැන පිස්සු අම්මන්ඩි කෙනෙක් කියපු බොරුවක් අහගෙන මගේ අම්මලා මාව රටේ ඉන්න නරකම මනුස්සයෙක්ට දෙන්න තරම් නපුරු වුණා.ධනයයි බලයයි ළඟ මිනිස්සු අන්ධ වෙනවා සිතිජ.මගේ අම්මලටත් වුණේ ඒක.එයාලා අන්ධ වුණා.මගේ කසාදෙන් බලය හොයා ගන්න එයාලට ආස හිතුණා.ඒකෙන් වුණේ අහිංසක නිසල්ට ජීවිතෙන් වන්දි ගෙවන්න වුණු එක.එක අතකට එයා නිදහස්.එයා දැන් මේ ලෝකේ නෑනෙ.මං එහෙම නෙවේ.එයාගේ මරණේ,මගේ ජීවිතේට සිද්ධ වුණු දේවල්, ඒ හැම එකක්ම මං විඳෝනවා.මට ඒ විඳවීම එක්ක ජීවිත කාලෙම ගෙවන්න වෙයි.”

මැරි මැරී ඉපදීම කියන්නේ මෙයට විය යුතු වග හිරුදි සිතන්නී ය.දැඩිව රිදුම් දෙන තුවාලයක් වූ ඇගේ මනසට ප්‍රතිකාර ගන්නට සමාධි ඇයව මානසික වෛද්‍යවරයෙක් වෙතට ගෙන ගියා ය.නමුත් ඒ රිදුම් සුව වන්නේ ඉතා සෙමින් වග හිරුදි අදහන්නී ය.

“මගෙ ජීවිතේ විනාශ කරලා දැම්මේ මගෙම අම්මා කියන හැඟීම හිතේ තියනකම් මම හිත ලෙඩ වුණු මනුස්සයෙක් සිතිජ.ඔයාලාව ගෝල්ෆේස් එකේදි මුණ ගැහුණේ නැත්නම්,මම මටම දඬුවම් කරගන්න එක නතර නොවෙන්න තිබුණ.මම මගේ ගැලවීම හොයා ගන්න සටන් කරන්නෝනෙ කියලා මට හිතුණේ ඔයාලව මුණ ගැහුණම.ඒ අතින් මං ඔයාලට ණයයි.”

දැඩි කම්පනයකින් කියවාගෙන යන හිරුදිගේ හිත සැනසෙන්නට කියන්නට දෙයක් ඇතිදැයි සිතිජ සිතුවේ ය.ඔහුට කියන්නට දෙයක් තිබේ.නමුත් ඒ කතාව කියන්නට නුවුමනා වග ඔහුට සිතුණේ හිරුදිගේ ඊළඟ වචන අසා සිටියදී ය.

“මං ආයේ කාටවත් ආදරේ කරන්න කසාද බඳින්න බලාපොරොත්තුවක් නෑ සිතිජ.ඒත් මට ඔයාට කියන්න දෙයක් තියනව.”

හිරුදි එසේ කියා මඳක් නැවතුණා ය.මේ වචන කිහිපයට පිට වන්නට ඉඩ තැබීම ප්‍රශ්නයක් නිර්මාණය කරන්නක්දැයි ඇය දන්නේ නැත.නමුත් ඇයට ඒ කතාව නොකියා හිඳින්නට නොහැකි ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles