අකල් වැහි -36

සමහර මුණ ගැසීම් අහම්බයන් ය.නමුත් ඒ සෑම හමුවීමකටම හේතුවක් ඇති බව සිතිජ තරයේ ම විශ්වාස කළේ ය.ඔහුගේ ජීවිතය තුළ හමු වූ සියල්ලන්ට ම එසේ ඔහු හමු වන්නට හේතුවක් තිබිණ.ගාලු මුවදොර පිටිය ජන සන්නිපාතයෙන් ඇලලී ගිය සැඳෑ වරුවල එහි රැඳුණු රූමත් යුවතිය ඈ විවාහක බවත් අම්මා කෙනෙකු වන්නට යන බවත් තමන්ට හෙළි නොකළා නම් තමන් ඇයට ආදරයෙන් බැඳෙන්නට ඉඩ තිබූ වග සිතිජ දනියි.ඇය එපමණකට ආකර්ෂණයක් ඇති යුවතියකි.එහෙත් ඈ ඒ ගමන පැමිණ ඇත්තේ අරමුණක් වෙනුවෙනි.සාධාරණයක් බලාපොරොත්තුවෙනි.

“ෆිල්ම් එකක් වගේ කතාවක්.”

හිරුදි කවුරුන්දැයි සිතිජ පවසද්දී කසුන් පැවසුවේ පුදුමයෙනි.ඒ ආකර්ෂණීය යුවතිය සිතිජ ගැන බලාපොරොත්තු සහගතව පසුවෙතැයි ඔහු අනේක වාරයක් සිතා තිබිණ.නමුත් ඇයට මෙවැනි ඥාති සබඳතා ඇතැයි ඔහු සිහිනයකින්වත් සිතා නොතිබිණ.

“හිරූ නිසල්ට තිබ්බ ආදරේ මහ පුදුම එකක්.චේතනලගෙ සල්ලියි බලෙයි එක්ක ජීවත් වෙන්න හිත හදාගෙන නිසල්ව අමතක කරන්න තිබ්බනෙ.ඒත් එයා එහෙම කරේ නෑ.”

සිතිජ පැවසුවේ හැඟීම්බරව ය.චේතනට නැඟී ඇති චෝදනා බලවත් ය.දැන් ගොඩ නැඟෙමින් පවතින රට එවැනි චෝදනාවලින් පහසුවෙන් ගැලවී යා හැකි රටක් නොවේ.

“නිසල්ගෙ මරණෙ ගැන සෝෂල් මීඩියා වල කතා වෙනකොට සමහරු තාමත් හිරූට බනිනවා.හිරූ ලංකාවේ නැති නිසා ඒ මිනිස්සු කියන්නේ හිරූ කොහේහරි රටක ආරක්ෂිතව හැංගිල ඉන්නව කියල.තියන අප්පිරියාවට චේතනව අත් ඇරලා දැම්මා කියලා මිනිස්සු විශ්වාස කරන්නේ නෑ.”

ඒ රටේ පැවති ක්‍රමය ය.ධනයෙන් බලයෙන් ආඩ්‍ය වන පවුලකට නෑකම් කියන කිසිවෙකුටත් ඒ පවුල අතැර දමන්නට ඕනෑ වූයේ නැත.එනිසා මිනිසුන් එසේ සිතීමේ වරදක් නොවේ.එහෙත් හිරුදි ඉන් වෙනස් වූවා ය.ඇය චේතන හා විවාහ වන්නට තිබුණේ වෙනස් හේතුවකි.

.කේන්දරයක් නිසා ජීවිතයටත් වඩා ආදරය කළ ප්‍රේමවන්තයා මරා දැමෙන හැටි බලාගෙන හිටිය භාග්‍යා මම.එතැනින් පස්සේ ජීවත් වෙන්නේ මොකටද හිතුණු නිසා චේතනත් එක්ක ජීවත් වෙන්න හිත හදා ගත්තු භාග්‍යා මම.චේතනලාගේ නාස්තිකාර වැඩ හැමදෙයක්ම දිහා බලාගෙන මළ මිනියක් වගේ ඔහේ ජීවත් වුණු භාග්‍යා මම”

ඇය ඒ ලියා තිබුණේ හෘද අභ්‍යන්තරයෙන් නැඟ ආ වේදනාව බව සිතිජ සිතුවේ ශෝකයෙනි.ඇය ඒ වේදනාව දෙවසරක තරම් කාලයක් උහුලා සිටියා ය.තවමත් ඇය නීත්‍යානුකූලව චේතනගේ බිරිඳ ය.

“හිරුදිට තියෙන්නේ ලංකාවට එන්න.ඇවිල්ලා ඔය නඩු අස්සේ චේතනට ඩිවෝස් නඩුවකුත් දාන්න.”

කසුන් එසේ කියා මිතුරා සමීපයෙන් හිඳ ගත්තේ තවත් කතාවක් කියන්නට සිතමිනි.

“ඇත්තටම මේක ෆිල්ම් එකක් වගේ බං.ඒත් ෆිල්ම් එකක් වුණානම් මේකෙ අන්තිම සීන් එක වෙන හැටි කියන්න ඕනත් නැහැ නේද?”

මලයාලම් සිනමා දර්ශනයක් කසුන්ගේ සිතේ ඇඳී මැකී ගියේ ය.හිරුදි ද එක් අතකට සිනමා චරිතයක් බඳු ය.ඇය තරුණ නායකයෙකුට එරෙහි වන්නට ජනතාව අතරින් මතු වූ තරුණ නායකයෙකු තෝරා ගත්තා ය.මේ චිත්‍රපටියක් වූවානම් මේ කතාව අවසන් විය යුත්තේ හිරුදි සිතිජට ආදරය කිරීමෙන් බව කසුන් සිතී ය.

” ඇත්තටම හිරූ උඹට ආදරෙයි කියලා මට හිතෙනවා සිතිජ.”

කසුන් ඒ වචන නැවතත් පුනුරුච්ඡාරණය කළේ ය.ඔහුට එය සිතෙන්නේ කීවැනි වතාවටදැයි සිතමින් සිතිජ හිනැහුණේ ය.

“මේ ඇත්ත ජීවිතේ බං.උඹ කියනවා වගේ චිත්‍රපටියක් නෙවෙයි.ඒ නිසා සිතිජ මම ඔයාට ආදරෙයි කියාගෙන ඇවිල්ලා හිරූ මාව බදා ගන්නේ නෑ.”

සිතිජගේ කටහඬ නිස්කලංක ය.හිරූ නම් සුන්දර කෙල්ල තමන්ගේ සිත සෙලවූ තැන් අනන්ත වග ඔහු දනියි.නමුත් ඇය සැබෑවටම ප්‍රේමයෙන් පිරී ගිය කෙල්ලකි.එනිසාම ඇය ඒ ප්‍රේමයට සාධාරණයක් ඉෂ්ට කරන්නට කටයුතු කළා ය.

“මේ කතාව ඉවර වෙන්න ඕන අපි දෙන්නට දෙන්නා ආදරේ කරගෙන නෙවෙයි බං.සාධාරණයක් ඉෂ්ට වෙලා.”

සිතිජ එසේ කියමින් දුරකථනය අතට ගත්තේ ය.ඇයට ඇමතුමක් දිය යුතු වේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles