අකල් වැහි – අවසාන කොටස

“නිසල්ගෙන් පස්සේ මං කාටහරි ආදරේ කරානම් ඒ ඔයාට සිතිජ.ඔයා මට ආදරේ කරාද නැද්ද කියලා මං කවදාවත්ම ඔයාගෙන් අහන්නේ නෑ.ඒත් මං ඔයාට ආදරේ කළා.මං ඒක අතීත කාලයෙන් කියන්න කැමති නෑ.මං මේ මොහොතේ වුණත් ඔයාට ආදරේ කරනවා.”

සිතිජ ඒ වචන අසා සසැලිණ.යුවතියක ප්‍රේමය ප්‍රකාශ කරද්දී එය අමුත්තක් හෝ විකාරයක් ලෙස දකින තරමට ඔහුගේ හදවත පටු නොවේ.නමුත් ජීවිතයේ අප්‍රමාණ වේදනා අතරම මේ යුවතිය තමන්ට ආදරය කළ ඇති බව සිතීම ම ඔහුව පීඩනයටත් කම්පාවටත් පත් කළේ ය.

“මං අම්මා කෙනෙක් කියලා දැන ගත්තට පස්සේ හිත හදාගෙන අක්කා ගාවට එන්න හේතු වෙන්න ඇත්තෙත් ඒ ආදරේ සිතිජ.ලංකාවේ හිටියනම් මට ඔයාට ඒ ආදරේ ගැන කියන්න හිතෙයි කියලා මට බය හිතෙන්න ඇති.”

හිරුදි එසේ කියද්දී හදවත කැබලි දහසකට කැඩී යන තරමේ වේදනාවක් සිතිජට දැනෙන්නට විය.ඇය එබඳු තීරණයක් ගන්නට හේතුව කුමක්දැයි ඉන්පසු ඔහු සිතන්නට වූයේ ය.

“හිරූ,ඔයා හිතපු විදිය වැරදි.ඔයා අම්ම කෙනෙක් වීම හරි කසාද බැඳලා ඉඳීම හරි ඔයාට ආදරේ කරන්න මට කිසිම බාධාවක් නෙවෙයි.ඇත්තටම ඔයා කියන්නෙත් මගේ හිත හොල්ලපු කෙනෙක්.”

හිරුදි ඒ අසා මන්දස්මිතයක් හෙළුවා ය.ඒ මඳහස සැනසිලිදායක එකකි.ඔහු වැන්නෙකුගේ ආදරයට ලක් වීමට ලැබීම ම ප්‍රමාණවත් වග ඇය සිතුවා ය.

“ඒ ආදරේ බාර නොගෙන මං දුවගෙන ආවේ චේතන ගැන දන්න නිසා සිතිජ.හැම කලබලයක්ම මැද්දේ අපි ආදරේ කරන්නත් පටන් ගත්තානම් ඒක චේතනට දරා ගන්න බැරි වෙනවා.දේශපාලනේ කියන්නේ කාලගුණේ වගේ දේකට.අපි කුණාටු පහවෙලා යනවා කියලා හිතුවට ආයේ ආයේ මහ කුණාටු ඇති වෙන්න පුලුවන්.චේතනල වගේ මිනිස්සුන්ගෙ බලේ එහෙම ලේසියෙන් ඉවර වෙන්නෙ නෑ.මිනීමැරුම් කීපයක් වෙනුවෙන් දඬුවම් නියම වෙලා හිටියට ආයෙ අවුරුදු කීපෙකින් ඔය මනුස්සයා එළියට එන්න බැරිකමක් නෑ.ලංකාවේ දේශපාලනේ එහෙම එකක් සිතිජ.”

චේතන සහ සිතිජ දේශපාලනය අතින් පිළිමලුන් වීම හිරුදිට ගැටළුවක් නොවේ.චේතනලාගේ දුර්දාන්ත පාලනයට එරෙහිව සිතිජලාගේ පිරිසිදු සහ ප්‍රබල මත ඉස්මතු විය යුතු වේ.එහෙත් චේතන සහ සිතිජ පෞද්ගලික ජීවිත තුළ පිළිමලුන් විය යුතු නොවේ.එය සිතිජගේ ජීවිතයට තර්ජනයක් විය හැකි වග ඇය තරයේම විශ්වාස කළා ය.

“නිසල්ගේ මතක මට ආදරේ තියන ලස්සන හැමදාම මතක් කරනවා සිතිජ.මගේ පුතාව හදාගෙන සැනසිල්ලේ ජීවත් වෙන එක තමයි දැන් මගේ හීනෙ.මම ඔයාට මගේ හැඟීම් ගැන කිව්වෙ ඒක ඔයාට කියන්න ඕන කියල හිතුණු නිසා.ඔයා ඒ වගේ කතාවක් අහන්න වටින ලස්සන මනුස්සයෙක් නිසා.ඒත් ආදරේ කියන්නෙ අයිති කර ගැනීම නෙවෙයි සිතිජ.ඔයා යන ගමන දිහා බලාගෙන ඒ ගමනට උදව් කරන්න මම ආසයි.හැබැයි ඔයාගේ වම් පැත්තෙ ඉන්න ඕන කෙනා මම නෙවෙයි.”

ඒ ඇය වූවානම් මොනතරම් අපූරුදැයි ඔහු සිතී ය නමුත් ඇය දිගින් දිගටම කතා කරමින් හුන්නා ය.

“මගෙ පුතාගෙ තාත්තට රාජ යෝගයක් තියනව කියන කතාව බොරුවක් වුණත් පළ වුණු අනාවැකියක්.මගෙ කේන්දරෙත් එක එක කතා තියනවා.ඔයා දක්ෂකමින් යන පාරක ඉස්සරහට යන්න පුලුවන් වුණේ ඒ අනාවැකිවල හයියෙන් කියලා ඔයා අහ ගන්නවට මම ආසත් නෑ.”

හිරුදි එසේ කියා මොහොතක් නිහඬව හුන්නා ය.ඒ අවසරයෙන් සිතිජ කතා කරන්නට පටන් ගත්තේ ය.

“මට කියන්න,මේකද අපේ කතාව ලියවෙන්න ඕන විදිය.ඔයා පුංචි වයසට ගොඩක් දුක් වින්ද කෙල්ලක්.ඔයාගේ ජීවිතේ සතුටින් තියන එක ඇයි මට බාර කරන්න බැරි?”

හිරුදිට මේ විශාල හදවතක් ඇති තරුණයා ගැන කිව නොහැකි තරමේ සෙනෙහසක් දැනිණ.ඔහු සදාකල් ම ආදරය කරන්නට වටිනා මිනිසෙකි.දුරට වී විඳ ගත හැකි අපූරු ආත්මයකි.

“ඔයා මට විතරක් අයිති වෙන්න ඕන මනුස්සයෙක් නෙවෙයි සිතිජ.ඔයා රටට අයිති වෙන්න ඕන මනුස්සයෙක්.ඔයා පහුගිය කාලේ රටේ මිනිස්සු වෙනුවෙන් මොනතරම් දේවල් කරාද? ඔයාගේ උගත්කමයි රට ගැන තියන කැක්කුමයි රටේ මිනිස්සුන්ට හොඳම දේ කරන්න පාවිච්චි කරන්න.ඔයාට ඒක පුලුවන්.අපේ රටේ මිනිස්සු සැප විඳින්න අයිතියක් නැති මිනිස්සු වෙලා සිතිජ.පෝලිම් වල මොනතරම් දුක් විඳිනවද?ලෙඩකට දුකකට හරියට බෙහෙතක්වත් තියනවද? ඔයාගේ ආදරේ ඒ මිනිස්සුන්ට දෙන්න.ඒ මිනිස්සු සතුටින් තියන්න ඔයාට කරන්න පුලුවන් හැමදේම කරන්න.”

විප්ලවවාදියා හිස් අහස සමඟ හිනැහිණ.ඇයට ඕනෑ ඔහු අයත් කරගන්නට නොවේ.ඔහුව රටට දෙන්නට ය.තමන්ට මේ රටේ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් කළ හැකි ඕනෑ තරම් දේ ඇති බව ඔහුට කල්පනා වන්නට විය.

“අපේ ජීවිත චිත්‍රපටියක හරි නවකතාවක හරි චරිත නෙවේ සිතිජ.අපි ඇත්ත මිනිස්සු.මේක චිත්‍රපටියක් වුණානම් මම ඔයාව හොයාගෙන ඇවිල්ලා ඔයාව බදාගන්න තැනකින් කතාව ඉවර කරන්න තිබුණා.ඒත් මේ කතාවට එහෙම අවසානයක් දෙන්න ඕන නෑ.”

ඇය කියන්නේ ජීවිතය ගැන බොහෝ ඇසූ පිරූ අත්දැකීම් ඇති පරිද්දෙනි.ඇතැම්විට මේ කතාවේ අවසානය නොව ආරම්භය විය හැකි වග සිතිජ ද සිතී ය.

“එහෙම අවසන් වෙන්නෙ නැත්නම් කොහෙන්හරි පටන් ගන්න තැනක් තියෙයි හිරූ.මං ඔයාට හැමදාම කිව්වෙ.සටනක් නැතුව දිනුමක් නෑ.අපි අපි එක්කම සටන් කරන්න ඕන.”

හිරුදි සැනසිල්ලේ හිනැහුණා ය.ඔහු සටන් කරන්නට සූදානම් ය. ඒ රට වෙනුවෙනි.ඒ රටට තවමත් අයත් හන්දා ඇයට සැනසෙන්නට ඒ ප්‍රමාණවත් ය.

“ඔයාගේ මුල්ම අරමුණට යන්න සිතිජ.මහන්සි හිතුණම හැරිල බලන්න.මම ඉන්නවා ඔයාට හයියක් වෙන්න.”

තවමත් ඇය වම්පස රැඳෙන්නට අකමැති ය.එහෙත් එවැනි දවසක් එන්නට ඉඩ ඇති වග සිතිජට සිතෙන්නට විය.

“මං  උපරිමේ කරන්නම් හිරූ.සමහරවෙලාවට මං දිනුවම ඇත්තටම දුවගෙන ඇවිල්ලා මාව බදාගන්න ඔයාටම හිතෙයි.බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ.ඒ බලාපොරොත්තුව මම හිතේ තියා ගන්නම්.”

ඇගේ කිංකිණි සිනාව මුහුදු තරණය කර විත් සවනේ හැපෙන හඬ ඔහු අසා සිටියේ ය.කවුළුවෙන් එපිට වැස්සකි.එනිසාම හිරු පෙනෙන්නට නොවේ.මේ වැහි කාලය නොවේ.අකල් වැහි පහව ගොස් දීප්තිමවත්ව හිරු නැඟ එන දවසක් උදා විය හැකි වග සිතිජ සිතී ය.

සමාප්තයි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles