පලායාම.

සෙව්වන්දි ආපහු සැරයක් මුළුතැන්ගෙයට ගියේ වළං ඇරලා බලන්න.කහ බතක්,අල කිරට,පරිප්පු,කජු මාළුවක් උයලා පොඩ්ඩෝ ආස විදියට මාළු බැදලා තියන හින්දා කුස්සියම පුදුමාකාර සුවඳක්.කට්ලට් එකකුත් බඳින්න සෙව්වන්දිට හිතක් පහළ වුණා.ෆෝන් එක රින්ග් වෙනකන්ම කට්ලට් මිශ්‍රණය සකසපු සෙව්වන්දි ලිපේ ගින්දර දිහා බලාගෙන දුරකථනයට පිළිතුරු දුන්නා.

“මොකද කරන්නේ මැණික?”

චාමරගේ කටහඬ ඇවිල්ලා වදින්නේ කන්වල නෙවෙයි.හදවත පතුලේ.සෙව්වන්දි හුස්මක් පහළට දාලා උයන බව කිව්වේ හීන් හඬකින්

“අද ඉව්වද? රොහාන් එක්ක අල්ලපු රණ්ඩුවේ හැටියට ඔයාට තිබ්බේ කඩෙන් මොනවහරි ගේන්න කියන්න..”

පහුගිය මාස හතරපහ තිස්සෙම චාමරගේ තිර රචනා රඟ දක්වපු බව ඇත්ත.ඒත් අන්තිම විනාඩි කිහිපය එහෙම කරන්න සෙව්වන්දිට හිතක් නෑ.සෙව්වන්දි මොකුත් නොකියා ලිපේ ගින්දර අඩු කළා.

“කමක් නෑ..උයන්න.ඔය රොහානුයි උගෙ ළමයිනුයි ඔයාගෙ කෑම කන අන්තිම දවස අදනෙ.”

ගෑස් ලිපේ ගින්දර නිල් පාටටවත් කහ පාටටවත් නෙවෙයි.රතු පාටට ඇහේ හැපෙනවා සෙව්වන්දිට දැනෙනවා.ඒත් අනිත් අයට වගේ ගෑස් පුපුරයි කියලා බයක් හිතුණේ නෑ.හිත පුපුරන්න ළඟ බව විතරක් හිතුණා.

“බබාලා ආයේ බලන්න බෑ? චාමර ඔයා මට එහෙම දෙයක් කිව්වේ නෑනෙ?”

හැමදෙයක්ම කතා කරලා ඉවර බව හිතාගෙන හිටියත් වැදගත්ම කාරණා සාකච්ඡා වෙලා නෑ කියලා සෙව්වන්දිට හිතුණේ හදිසියේ.චාමර මොකුත් නොකියා තත්පර ගාණක් හිටියා.ඒ කාලයත් සෙව්වන්දිට කල්පයක් වගේ.

“ඔයා හිතනවද හෙට උදේ ඔයා මාත් එක්ක ආවට පස්සෙ රොහාන් කාරයා ආයේ ඔයාට බබාලා බලන්න දෙයි කියලා..”

ලොකූට දහයයි.තව අවුරුද්දකින් විතර කෙල්ල දැනමුතු වෙයි කියලා අම්මා නම් නිතරම කියනවා.සුදු දූට අටයි.පොඩි පුතාට තුනයි.මේ හුරතල් මුහුණු තුන ආයේ කවදාවත්ම දකින්න නොලැබෙන බව එච්චර ලේසියෙන් චාමර කියන්නේ කොහොමද?

“ඩිවෝස් නඩුවෙන් පස්සෙ මං බබාලා ඉල්ලනවා..”

තාම දික්කසාදයකට අඩියක්වත් නොතියා සෙව්වන්දි එහෙම කියන්න පටන් ගත්තා.කොහොමටත් හැමදෙයක්ම ලියපු ලියුමක් සෙව්වන්දි ගාව තියෙනවා.හෙට ඒක අතට ගත්තට පස්සේ ද්වේෂ සහගත ලෙස හැර යාම,අනියම් සම්බන්ධ වගේ කීයක් කාරණාවලට රොහාන්ට නඩු දාන්න පුලුවන්ද?

“ඒ ළමයි තුන්දෙනාම මං බාර ගත්තම මං ළමයි හදන් නැද්ද?

චාමරගේ හඬ වෙනදා තරම් ආදරණීය නැහැ.ඔයා මගේ හැමදෙයක්ම බව කීවට චාමර ආදරේ කරන්නේ සෙව්වන්දිට විතරයි කියන හැඟීම සෙව්වන්දිගේ හිත රිදවන්න පටන් ගත්තා.චාමර ෆෝන් එක තියලත් ඉවරයි.

හැමදෙයක්ම සිද්ධ වෙන්න පටන් අරන් මොනතරම් කෙටි කාලයක් ද කියලා සෙව්වන්දි ආයේ ආයේ හිතන්න ගත්තා.රොහාන්ගේ කිසිම වරදක් නැතුව තමන් චාමරට බැඳෙන්න පටන් ගත්තේ ඇයි?රොහාන් බේබද්දෙක් නම්, අම්මලා අක්කලා කියන කියන තාලෙට සෙව්වන්දිගේ වැරදි හෙව්වානම්, රුපියල් අතට දෙන්න කලිනුත් ලක්ෂෙක ආඩපාලි කිව්වානම්,ළමයි හදලා ගේ අස්සට වෙලා නාකි වෙන්න කිව්වානම්, ඔෆිස් එකේ වෙන ආදරවන්තියක් හොයා ගත්තානම් සෙව්වන්දිටත් හේතු තියනවා.

ඒත් එහෙම මොකුත් නෑ!

ඒත් රොහාන්ට දෙන්න කිසිම ආදරයක් නැති බවත් රොහාන් දැන් අවුරුදු හතලිහට ළං වෙමින් ඉන්න වයසක මනුස්සයෙක් බවත් සෙව්වන්දිට හිතෙන්න ගත්තේ ලොකූගේ ඉස්කෝලේ වැඩවලට ප්‍රින්ට් අවුට් ගන්නම හන්දියේ කමියුනිකේෂන් එකට ගියාට පස්සේ.චාමර හරි දඟකාරයි.තිස්සෙම හිනා වෙනවා.කාටහරි විහිලු කරනවා.ඇවිදිනකොට පළාතම සුවඳයි.වචනයක් දෙකක් කතා කරද්දී චාමර තමන්ට වඩා අවුරුදු දහයක් විතර ළාබාල බව සෙව්වන්දි අමතක කරලා ඉවරයි.

“ආදරෙයි”

චාමර එහෙම කියනකොට තමන්ට ආදරයක් අත්‍යවශ්‍යම වෙලා තිබුණු බව සෙව්වන්දිට හිතෙන්න ගත්තේ බොහොම තදට.රොහාන් කරපු ආදරයක් නෑ.ඇල්මැරුණු පවුල් ජීවිතයක් අරන් ගියා විතරයි.දැන් සෙව්වන්දි ඉන්නේ ඒ තීරණයේ තදින් එල්බගෙන.

“මාත් එක්ක යං..”

ආදරය කියන්නේ අන්ධවීමට කියලා සෙව්වන්දිට තේරුණේ චාමරගේ ඒ යෝජනාව නිසා.දෙපාරක් තියා එකපාරක්වත් නොහිතා සෙව්වන්දි ඒ යෝජනාව ස්ථිර කරා.චාමර කියනවානම් මේ හැමදෙයක්ම දාලා යන්න සෙව්වන්දි ලෑස්ති.නමුත්, දරුවන් අත් හැරීම හිතන තරමට ලේසි නැහැ කියලා සෙව්වන්දිට ආයේ ආයේ හිතෙන්නේ ආයේ කවදාවත් දරුවන්ව බලන්න වෙන්නේ නැති බව චාමර කියද්දී.

“අන්තිමට උයපු දේ රහට ඉව්ව එක හොඳයි.”

අම්මා කෙනෙකුට දරුවන්ට එහෙම අන්තිම භෝජන සංග්‍රහයක් හදන්න පහසු නෑ.මෙතනින් එහාට දරුවෝ අම්මා කියන්නේ කාටද?

“චාමර,මං ඩිවෝස් නඩුවක් දාන්නං.ඊයෙත් මං මහ ලොකු රණ්ඩුවක් ඇද ගත්තේ මං චූටිව හෝදන්නේ නැතුව ෆෝන් එක ඔබනවා කියලා රොහාන් පොඩ්ඩක් කෑගැහුවටනෙ.ඇත්තටම ඉතින් රණ්ඩු කරන්න තරම් වරදක් එයාගේ නෑ.වෙන් වෙන්න තරම් වරදකුත් එයාගේ නෑ.ඒ වුණාට මං ඔයාට ආදරේ බව කියලා මං වැදගත් විදියට අයින් වෙන්නම්..”

සෙව්වන්දි ආයේ දඩිබිඩියේ චාමර ඇමතුවේ ඒක කියන්න.

“දුවලා දෙන්නෙක් ඉන්න අම්මෙක් මම.මං දික්කසාද වෙලා ආයේ කසාද බඳින එක එයාලගෙ අනාගතේට බලපාන්නේ නෑ.දැන් ලෝකේ මිනිස්සු හිතන හැටි දියුණුයි.ඒ වුණාට මං හිටිහැටියේ ඔයා එක්ක යන එක එයාලට මානසිකවත් බලපායි.මම රොහාන්ගෙන් කැමැත්තෙන් වෙන් වුණාට එයාලට අම්මවත් තාත්තවත් නැති වෙන්න බෑනෙ..”

ඒත් චාමර ඒ කිසිදෙයක් පිළිගත්තේ නෑ.ඒ වෙනුවට ඇහුවේ බොහොම අමුතු කතාවක්

“මං රෙහාන් වගේ සල්ලි නැති මිනිහෙක් හින්දද ඔහොම කියන්නේ? මං සල්ලි අරන් එන්නං?”

චාමර ඇමතුම විසන්ධි කරලත් ඉවරයි. නිස්කලංක ජීවිතයකට කුණාටුවක් අරන් ආවේ තමන්ම බව හිතමින් සෙව්වන්දි එහෙමෙහෙ ඇවිදින්න පටන් ගත්තා.ඇත්තටම මේ දුවන්න හදන ගමන මොකක්ද? ඇයි එහෙම යන්නේ? තමන් චාමරට ආදරේ බව කියනකොට රොහාන් මොනවගේ ප්‍රතිචාරයක් දෙයිද?

ඒ හැම සිතුවිල්ලම බිඳුණේ රොහාන්ගේ මෝටර් රථය මිදුලේ නතර වෙනකොට.රොහාන් පුරුදු හිනාවෙන්ම ගෙට ඇවිත් සෙව්වන්දි ළඟ නැවතුණා.

“පොඩ්ඩක් පරක්කු වුණා සෙව්..හන්දියෙ කලබලයක්..”

සෙව්වන්දි රොහාන් දිහා බැලුවේ විමසිල්ලෙන්.වටපිටාවේ වෙන හැමදෙයක්ම සෙව්වන්දිට තත්පරෙන් තත්පරේ කියන චාමරට අනතුරක් කලබලයක් මග හැරීම අමුතු දෙයක්.තරහ වෙන්න ඇති.

“අර ගාමිණීලගෙ කමියුනිකේෂන් එකෙ වැඩට ආපු සුදු කෙට්ටු කොල්ලා.මිනිහා සල්ලි වගයක් හොරකන් කරලා.ගාමිණි ගහන්නත් ගිහින්.ෆුඩ් කෝනර් එකේ කොල්ලො ටික යන්තම් බේරගෙන.පොලිසි ගියා වෙන්න ඇති.එතන පාරත් හරස් කරගෙන වලිය..”

රොහාන් තව මොනමොනවද කිව්වත් සෙව්වන්දි හිටියේ එකතැන ගල් වෙලා.ජීවත් වීම මේ තරම් සුළු කරලා හිතෙන තරුණයෙක්ගේ අත් උඩින් තමන්ගේ ජීවිතේ තියන්න හදපු එක මොනතරම් වරදක් ද?

“රොහාන්..”

නාගෙන ආපු රොහාන් සෙව්වන්දි දිහා බැලුවේ පුදුමයකින්

“මට මේ දවස්වල තරහ යනව වැඩී.ඊයේ ඔයාටත් රණ්ඩු කරා.අද සුදූටත් කෑගැහුවා.හෙට නිවාඩුවක් දාලා මාත් එක්ක ඩොක්ට මෙත්මිණිව මුණ ගැහෙමුද?”

රොහාන් හිනාවකින් සෙව්වන්දි දිහා බැලුවා.අම්මා අද රහම රහට උයලා කියලා පණිවිඩය අරන් ආපු පුංචිත්තො ටික තාත්තාගේ ඇඟ උඩට පනින හැටි සෙව්වන්දි බලාගෙන තමන් එක්කම තරහින්.

හෙට ඩොක්ට මෙත්මිණිට හැම මෝඩකමක්ම කියන්න ඕන!

More Stories

Don't Miss


Latest Articles