අංගාර – 77

0
1116

සස්මිතගේ සිතෙහි මෙන්ම ගතෙහි වූ දිරියද සිඳී ගොස් ඇති බව චරකට පෙනුනේය. එසැනින් චායාගේ රුව සිහිපත්ව ආවේය. ඇයද සිටින්නේ විඩාබරව , මානසිකව ඇද වැටී බවට සැක නැත. එහෙත් මෙය කෙලෙසින් විසඳාගන්නදැයි නොවැටහේ. 

:සස්මිත හිඳ උන් අසුනට යාබද මේසය මත ඇති විවෘත කර දමා පමණක් තිබූ ආහාර පැකට්ටුව දෙසද චරක බැලුවේය. සස්මිතගේ දෑත් නිදහස්ව තිබුණි. දෙපා පුටුවට සහ මේසයට තබා බැඳ දමා තිබුණි. සැබැවින්ම යදම් දමා තිබුණි. 

” එළියෙන් ඉඳපං..”

තමා පසුපස උන් සගයන් දෙදෙනාට පැවසූ චරක, අසුනක් ඇදගෙන සස්මිත ඉදිරියේ හිඳ ගත්තේය. එතෙක් වේලා දෑස් වසාගෙන උන් සස්මිත දෑස් විවර කර හිස මදක් ඔසවා චරක දෙස බැලුවේය. සස්මිතට තවත් ගැටෙන්නට අවැසි නොවන බව දැනෙයි. පරාජය පිළිගෙන පලා යෑම කල නොහැකි බවද දැනෙයි.

 එලෙසින්ම, ඔහු හා සටන් කර චායා දිනා ගැනීමෙන් පසුව, ඇයගේ ජීවිතය අඳුරකට ඇද වැටෙන බවද පෙනෙයි. සියල්ල ඒ ඒ පරිද්දෙන් පැහැදිලි වූවද, තමාට කල යුත්තේ කුමක්දැයි වටහා ගන්නට නොහැකි වීමේ අසරණකම දැඩිව සස්මිතට දැනෙයි. 

” කාපං ..”

චරක මේසය මත තැබූ ආහාර පාර්සලය දෙස බලමින් කීවේ සස්මිතට හිසින්ද සන් කරමිනි. එහෙත් සස්මිත ඒ බව වගකට නොගත්තා සේ උන්නේය. 

“උඹ නොකා නොබී මැරෙන්නද හදන්නේ?..”

” කොහොමත් වෙන්නේ මැරෙන එක නම් , ඒක වෙන විදිය අදාල නෑනේ ?.. නේ ?..”

වෙනදා තිබූ හඬ උරුව සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් ඇති බව දැනෙද්දී සස්මිතට වඩා චරක දෙදරා ගියේය. එහෙත් ඔහු ඒ වගක් අඟවන්නේ නැතිවම උන්නේය

” උඹ පලිගන්න හදන්නේ මගෙන්ද ?..”

” මගේ මරණෙන් , මං කොහොමද සර් , සර්ගෙන් පලිගන්නේ ?..”

” එහෙනම් කාපං … “

” චායාට කෝල් එකක් අරන් දෙන්න සර් … අඩුම තරමේ, මං වෙන ගෑණියෙක් කසාද බැන්දා කියලාවත් කියලා, මං .. මං වෙනුවෙන් බලන් ඉන්නෙක මං ඉවර කරන්නම් සර් .. මෙලහකට ඒකිගේ පපුව පැලිලා ඇති සර් …”

” කාපං … කාලා ඉවර වුනාම කෝල් එකක් අරන් දෙන්නම් ..”

සස්මිත එය විශ්වාස නැතිවාක් මෙන් බලා උන්නේය. ඉනික්බිති අසුනෙන් මේසය දෙසට හැරුනේය. එක් අතකින් ආහාර පැකට්ටුව අල්ලගෙන ඉතා වේගයෙන් බත් පිඬෙන් පිඬ ගිල දැම්මේය. පලමු, දෙවන, තෙවන බත් පිඬෙන් පසු සස්මිත පපුව අනෙක් අතින් අල්ලාගෙන මදක් හුස්ම පහසු කරගන්නට උත්සාහ කලේය.

” හෙමින් කාපං බං ..”

අනෙක් බත් පිඬට පසු සස්මිත එතැන වූ වතුර බෝතලය දෙස බැලුවේය. චරක එය විවෘත කර තැබුවේය. සස්මිත තවත් බත් පිඬකට පසු වතුර බෝතලයම හිස් කලේය. බත් පැකැට්ටුව ඔතා තිබූ කොලයෙන්ම අත පිසදා ගත්තේය.

” ඇති සර් .. කෝල් එකක් අරන් දෙන්නකො..”

” කෝල් එකක් අරන් දෙන්නම් .. මට ඇත්තම කතාව කියපං ..”

” අනේ සර් ..ඉස්සෙල්ලා මට චායාව අහන්නවත් දෙන්න සර් … “

චරක හිස සලා චායාට ඇමතුමක් ගෙන එය හඬ නැගෙන සේ ඇමතුම සැකසුවේය. 

” අයියේ . අනේ අයියේ .. සස්මිත ඉන්නවාද ?…”

” කාලා  ටිකක් නිදාගන්නවා..”

” අනේ සස්මිතට කතා කරන්න දෙන්න අයියේ … එයා .. එයා … අනේ ..පවු අයියේ …”

” හිතුවක්කාර නොවී කාලා  ටිකක් නිදාගන්නවා…”

” හා .. සස්මිතව එක්කගෙන එනවාද ?.. අඩුම එයාව බලන්න දෙනවද ?..”

” හා ..”

චරක ඇමතුම විසන්ධි කලේය. සස්මිතගේ මුහුණෙහි වූ විඩාව, බලාපොරොත්තු විරහිත බව, වේදනාව, අඳුර සියල්ල තිබූ තැනක් සොයා ගන්නට හෝ නොහැකි ලෙසින් ක්ෂයව ගොස් තිබුණේය. ඔහු බලා උන්නේ සැනසීමෙන් සිනාසෙමිනි.

” මෙහෙම කරමු සර් … සර් .. සර් කියන්න මට යන්න දුන්නා කියලා.. මං කතා කරලා කියන්නම් සර්.. මට ..මට … චායා එක්ක නෙවෙයි ජීවත් වෙන්න ඕනි කියලා..”

” කරන්නේ මොකක්ද කියලා තීරණය කරන්නේ මම … උඹ ඉස්සෙල්ලම මට උත්තර දීලා හිටහං ..”

” කියන්නම් සර් … ඕනි දෙයක් කියන්නම් .. අහන්න සර් ..”

” උඹ කැම්පස් එකේ චායාගේ බැච් එකේ ?..”

” ඔව් සර් ..”

” උඹ චායා එක්ක අෆෙයාර් එකක් තිබුණා..”

” ඔ ..ඔව් සර් ..”

” සෙකන්ඩ් ඉයර් එකේදි උඹ එකපාරටම අතුරුදන් වුනා..”

“ඔව් සර් ..”

” ඩ්‍රග් ඩීලින් ?..”?

” ඔව් සර් ..”

” උඹ චායාට පහුගිය දවසක ඒ ගැන කියලා තිබ්බේ වෙන කතාවක් ?..”

” ඔව් සර් ..”

” හේතුව ?..”

” මං ඩ්‍රග් ඩීල් කරා කියලා දැනගන්න පලවෙනි මොහොතේම එයාව මට නැති වෙන බව දන්න නිසා සර් …. මිනීමරුවෙක් වීම චායා ඇක්සෙප්ට් කරනවා කියලා මට විශ්වාස විදියේ කතාවක් තමයි මම එයාට කිව්වේ සර් … ඒත් මට ඩ්‍රග් ඩීලර් කෙනෙක් වෙන්න හේතු වුන කාරණේට එයා කවදාවත්ම මට සමාව දෙන්නේ නෑ කියලා මම දන්න නිසා සර් .. මට ..මට චායා එක්ක  සැනසීමෙන් ජීවත් වෙන්න ලෝබ හිතුණ නිසා සර් ..”

‘” ඇයි උඹ එහෙම අවධානමක් අරගෙන ඩීල් කරේ?..”

” සල්ලි ඕනිවට සර් .. චායා මාව බලාගත්තේ දරුවෙක් බලන්න වගේ සර් .. ඒත් මට චායාට චොක්ලට් එකක් අරන් දෙන්නත් සල්ලි බැලන්ස් කරගන්නෙක අමාරු වුනා සර්.. හැමදේටම, හැමතැනටම වියදම් කලේ චායා .. බැච් එකේ උන් ඒකට අපි දෙන්නටම නොසෑහෙන්න කතා කිව්වා.. ගෙදරිනුත් මගෙන් සල්ලි බලාපොරොත්තු උනා… මගේ අවුල දැනගෙන උන්න අපේ බැච් එකේ එකෙක්මයි මාව මේ වැඩේට ඈඳගත්තේ..”

” උඹ කීයකටද ඇතුලට ගියේ ?..”

” විස්සකට සර් ..”

”  දොලහෙන් එලියට ආවා?..”

” ඔව් සර් .. රිහැලිබිලිටේශන් වල මගේ ප්‍රොග්‍රෙස් එක සීයට සීයයි.. ඩීල් කරාට මම එක දශමයක් යූස් කරලා නැහැ සර් … පුලුවන් හොඳින් හිටියා.. ඇපීල් කරා…”

” විජේසිරි ?..”

සස්මිත යම් වෙහෙසකට පත් වූ ලෙසින් ගැඹුරු හුස්මක් හෙලුවේය. යලි හිස පිටුපසට ගෙන සන්සුන් වන්නට උත්සාහ කරන බව පෙන්වූයේය. චරක ඔහුට ඉඩ දී බලා උන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here