සුරතලාගේ අවසන් නත්තල.

ජීවිතය කෙසේ ගෙවමින් පැවතියත් අපේ පවුලේ අපූරු නත්තල් සම්ප්‍රදායක් තිබිණ.ඒ අපේ නිවසේ සුරතල් සුනඛයා වූ “පෙපර්” හට නත්තල් තෑග්ගක් ලබා දීම ය.අපේ සුරතල් පෙපර් ඒ ත්‍යාගය අප ඉදිරියේම විවෘත කරන්නේ ඉතා කැමැත්තෙනි.අප සාමාන්‍යයෙන් ඇයට ලබා දෙන්නේ කඩා බිඳ දැමිය නොහැකි ත්‍යාගයන් ය.ඒවා ආහාරයට ගන්නට බැරි වීම,සපන්නට අසීරු වීම ගැන අපේ පෙපර් ට පැමිණිලි ද නොතිබිණ.

පෙපර් ත්‍යාග පාර්සලය විවර කරන්නේ ද සුන්දර ආකාරයට ය.ඇගේ ඉදිරි ගාත් වලින් ත්‍යාගය අල්ලාගෙන දත් වලින් තෑගි ඔතන කඩදාසිය අඟලක් නෑර ඉරා දමන්නට පෙපර් කටයුතු කළා ය.ඇය කිසිම දවසක ත්‍යාගය සපා කෑවේ ද නැත.අප ඉදිරිපිට වැතිරී මේ කටයුත්ත කරන්නට පෙපර් මනාප ය.

නත්තලට අපේ ගෙදරට එන නෑදෑ හිතමිතුරෝ මේ කටයුත්ත දකින්නට ප්‍රිය කළහ.බල්ලෙකුට මෙතරම් සියුම් කටයුතු කළ හැකි බව සමහරෙකුට විශ්වාසයට ගන්නටත් නොහැකි තරම් ය.විදේශගතව උගනමින් හිඳිනා මටත් මගේ සහෝදරියන් දෙදෙනාටත් පෙපර්ගේ ඈත් වීම වඩා දැනෙන්නටත් මේ සිදුවීම ප්‍රමාණවත් ය.

අපි අවුරුද්දකින් නිවසට පැමිණ සිටිමු. මා අයර්ලන්තයේ සිට ද කසී ඇරිසෝනා සිට ද කාරා උසස් විද්‍යාලයේ සිට ද නිවසට පැමිණ තිබිණ.අම්මා ප්‍රීති ඝෝෂා නගමින් නත්තල් කෑම සැකසුවා ය.අපේ නත්තල පරිපූර්ණ එකක් විය යුතු ය.

නමුත් සෑම දෙයක්ම යහපත් නොවී ය.අපේ ආදර පෙපර් සිටියේ අසනීපයෙනි.දැන් ඇය දාහතර හැවිරිදි ය.නමුත් ඉතා බුද්ධිමත් සුනඛ කෙල්ලකි.ඇය සෑම විටම ජීවත් වූයේ ජීවිතය ගැන අපට ද උද්‍යෝගයක් ඇති කරමිනි.නමුත් දැන් ඇය තරමක් බිහිරි අතර ඇවිදීමට ද අපහසුතා පෙන්වී ය.
අමාරු කාලයක් එළඹීමට ආසන්න බව අපි හොඳින් දැන සිටියෙමු.

මේ පෙපර්ගේ අවසන් නත්තල විය හැකි බැවින් ඇයට එය හොඳින් සමරන්නට දෙන්නට අපට උවමනා විය.නත්තල් සන්ධ්‍යාවේ අපි තෑගි විවෘත කරන්නට සූදානම් වූයෙමු.පෙපර්ට ඇගේ තෑග්ග ලබා දුන් නමුත් ඇය වෙනදා මෙන් කඩදාසි ඉරීමට හපනියක නොවූවා ය.පෙපර් වෙනත් කාමරයක සැඟවෙන්නට ගිය අතර පොළොව මත වූ යමක පැටලී ඇද වැටුණා ය.

අපට දැනුණේ තදබල වේදනාවකි.අපේ පෙපර් ට ඇගේ අවසන් නත්තල සැමරීමට නොහැකි ද?

පෙපර් අප අසලටම වී සිටියා ය.අප කමින් බොමින් ක්‍රීඩා කරමින් සිටිය ද හදවත් බරව තිබිණ.එදින සවස මගේ සොයුරිය කසී හැම දෙනාටම සිතෙමින් තිබූ දෙයක් පැවසී ය.

“මං කැමතියි පෙපර්ට අපි ඔක්කොම එකතු වෙලා මේ අවුරුද්දේ තෑග්ග ඕපන් කරන්න උදව් කරනවනම්..”

තේ කෝප්ප බිමින් තබා සියල්ලන්ම කසීට ඇහුම්කන් දුන්නා ය.

“එයාට තාම පුලුවනුත් ඇති…”කාරා පැවසී ය.

“ඒත් ළමයිනේ,තෑගි මොකුත් ඉතුරු නෑ..” අම්මා අපට සිහි කළා ය

කාරා මුළුතැන්ගෙයට දිව ගොස් සත්ව බිස්කට් පෙට්ටි හතරක් ද තෑගි ඔතන කඩදාසි ද ටේප් රෝලක් ද කතුරක් ද ගෙන ආවා ය.එක පෙට්ටියක් එතූ ඇය “දැන් පෙපර්ට තෑග්ගක් තියනවා” යැයි පැවසුවේ සතුටිනි.අම්මා ද කසී ද මම ද ඇයට එක් වී තෑගි එතුවෙමු.

දැන් අපේ සුරතල් පෙපර් වෙනුවෙන් නත්තල් තෑගි හතරක් තිබේ!

ඇවිදින විට භාණ්ඩ වල හැපී වැටෙන තරම් වයස්ගත අපේ පෙපර්ට ඇවිදින්නට පහසු වන ලෙස බිම අස් කළ අපි ඇය කැඳවීමු.පෙපර්,කාමරයට හිස ඔබා බැලුවා ය.ඇගේ දෑස් දීප්තිමත් වූ අතර කන් කුතුහලයෙන් එසවී තිබිණ.ඇය තෑගි අතර ඇවිද්දා ය.අපව ඉව කරමින් සිප ගත්තා ය.කිසිම නත්තලකට අපේ පෙපර්ට මෙතරම් තෑගි ලැබී නොතිබිණ.තෑග්ගක් තෝරා ගත් අපේ පෙපර් තරුණ සුනඛ ධේනුවක කාලයේ තිබූ ජවයෙන්ම එය විවෘත කළා ය.පෙර පරිදිම ඇය තෑගි ඔතන කඩදාසි ඉරා දමද්දී අපි සතුටෙන් ඉපිල ගියෙමු.

“තව එකක් කඩලා බලන්නද?”

වැනි බැල්මකින් ඇය අප දෙස බැලුවේ එක විස්කෝතු පෙට්ටියක් සම්පූර්ණයෙන් විවෘත කළ පසු ය.

“කමෝන් පෙපර්! ඔක්කොම කඩලා බලන්න..” අම්මා පැවසුවා ය.

පෙපර් සියලුම තෑගි විවෘත කළා ය.ඇය ප්‍රීතියෙන් වල්ගය වනමින් පවුලක එකමුතුව අපට සිහිපත් කරමින් සිටියා ය.අප ඒ නත්තලේ ප්‍රේමයෙන් එකට බැඳුණු පවුලක්ව ජීවත් වන බව අපේ හදවත් වලට දැනෙමින් තිබිණ.

නව වසර උදා වූයේ පශූ වෛද්‍යවරයෙක් ඇමතීමට කාලය උදා කරමිනි.අප හඬමින් සිටි අතර පෙපර් අපෙන් සාමකාමීව සමු ගත්තා ය.ඇය අපේ පවුලේ සැමරුමකි.අපේ පෙපර් ඇගේ තෙත නාසය,කාරුණික ඇස් දෙක සහ ප්‍රීතියෙන් වනන වල්ගය සහිතව අපේ පවුලට බොහෝ ආදරයක් සහ සිනාවක් ලබා දුන්නා ය.

මට මගේ ජීවිතය තුළ ලැබූ හෝ ලබා දුන් සියළු නත්තල් තෑගි ගැන දැන් මතකයක නැත.නමුත් පෙපර්ගේ අවසන් නත්තල් තෑග්ග මට අමතකව නොයයි.අප ලබා දෙන ත්‍යාගයක මිලාධික බවෙන් ප්‍රයෝජනයක් නොවේ.නමුත් එය වඩාත් හෘදයාංගම විය යුතු ය.පෙපර් අපට ඉගැන්වූ අවසන් පාඩම එය බව මම විශ්වාස කරමි.පවුලකට එකට බැඳී හිඳිමින් අනෙකාව මොනතරම් ප්‍රීතිමවත්ව තැබිය හැකිදැයි යන පාඩම ඇය අපට ඉගැන්වූවා ය.

ඇතැම්විට තවමත් ඇය ස්වර්ගයට වී අපේ නත්තල් ගස යට ඇති ත්‍යාග ගැන ආදරබර දෑසකින් වල්ගය නොනවත්වා වනමින් බලා සිටින බව විශ්වාස කිරීම මට සහනයකි.

Reader ‘s Digest සඟරාවට Zach Hively රචනා කළ සත්‍ය සිදුවීමක අනුවාදනයකි.

More Stories

Don't Miss


Latest Articles