මතක දිගහැරුම 25 – අප්සාරි සිංහබාහු තිලකරත්න

විසි පස්වන දිගහැරුම ,

තාත්තාට කෙරුණු වෛද්‍ය පරීක්ෂණවල වාර්තා වලට අනුව ඔහුගේ මහ බඩවැලේ පිළිකාවක් ඇති බවත් එය දැන් දරුණු තත්ත්වයක පවතින බවත් වෛද්‍යවරයා විසින් අම්මාට පවසා ඇත.ඒ වගේම එම කාරණාව තාත්තාට නොපවසා සිටින ලෙසත් ඔහු තවදුරටත් පවසා තිබුනි. අනපේක්ෂිතව ලැබුණු පුවතින් කම්පනයට පත් වූ අම්මා වෛද්‍යවරයාට පවසා ඇත්තේ මේ දිනවල මා ලංකාවේ නොසිටින නිසා ,මා නැවත පැමිණි පසු මා සමග කතා කර ඉදිරි වැඩකටයුතු පිළිබඳව තීරණය කරන බවයි. ප්‍රතිකාර ඉක්මනින් ආරම්භ කළ යුතු යැයි ද වෛද්‍යවරයා ඒ මොහොතේ අම්මට පවසා ඇත .

කිසිම දේකට බියක් නොදැක්වූ මගේ තාත්තා ලෙඩ රෝග වලට ඉතා බිය පුද්ගලයෙකි. සියලු දේට නොබියව මුහුණදුන් මගේ තාත්තාගේ එක් අත්දැකීමක් මගේ මතකයේ ඇත.

තාත්තා සේවය කල ව්‍යාපාර ජාලයට අනුයුක්තව සිනමා ශාලාවට යාබදව රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබුනි. ඔවුන් විසින් එම උකස් මධ්‍යස්ථානයද මගේ තාත්තාට භාරදී තිබූ අතර මිනිසුන් රන් භාණ්ඩ උකස් කරන ආකාරය, ඒවා සින්න වන ආකාරය සහ ඔවුන්ගේ අසරණ භාවය පිළිබඳව ඇතැම් විට තාත්තා අප සමඟ කතා කලේය. දිනපතා එයින් ලැබෙන ආදායම සේප්පුවකට දමන තාත්තා නිවසට එන්නෙ උකස් මධ්‍යස්ථානයද වසා දැමීමෙන් අනතුරුවය. එම ප්‍රදේශයෙහි පාතාල නායකයෙකුගේ ගෝලයෙක් වරක් රන් මාලයක් උකස් තැබීමේ මුවාවෙන් පැමිණ තිබුණි. අදාල පාතාල නායකයාද සිනමා ශාලාවට පැමිණ ඇතැම් දිනවල චිත්‍රපටද නරඹන නිසා ඔහු තාත්තා සමග හිතවත් වී සිට ඇත. නඩු විසි ගණනාවකට වැරදිකරු වී සිටි එම පාතාල නායකයා ඒ වන විට සිට ඇත්තේ ඇප මත ය.

කෙසේ හෝ දිනක් රාත්‍රියෙහි තාත්තා මුදල් ගණන් කරමින් සිටින විට එක් අයෙක් පැමිණ තාත්තගේ පපුවට පිස්තෝලය තබා ඇත. වටපිට බැලූ තාත්තාට දැක ගත හැකි වී තිබෙන්නේ පිස්තෝල සහිත තවත් කිහිප දෙනෙකු ඒ අවට සිටින ආකාරයයි. තාත්තගේ පපුවට පිස්තෝලෙ තැබූ පුද්ගලයා , තාත්තාට කිසිම කරදරයක් නොකරන බවත් ,එදින සම්පූර්ණ ආදායම සහ සියලුම රන්භාණ්ඩ තමන් අතට ලබා දෙන බවත් පවසා ඇත. ඉන්පසුව තාත්තා ඔවුන් ඉල්ලූ සියලු දේ ඔවුන්ට ලබා දී ඇත .චිත්‍රපට නැරඹීමට පැමිණි අදාල පාතාල නායකයාගේ ගෝලයන් සහ පෙරදින භාණ්ඩ උකස් කරන මුවාවෙන් පැමිණි පුද්ගලයා උකස් මධ්‍යස්ථානයේ පිහිටීම සහ දොරටුව පිළිබදවත් එයට ඇතුල් විය හැකි ආකාරය පිළිබදවත් , තාත්තා උකස් මධ්‍යස්ථානය විවෘත කරන සහ වසන වේලාවන් පිලිබඳවත් ඔත්තු බලා ඇත. එය එකළ , එම ප්‍රදේශයේ සිදුවූ විශාල ම මංකොල්ලය විය. ගමේ සියලු දෙනාම පාහේ තාත්තාට ඉතාම ගරු කරන බැවින් පාතාල නායකයා සහ ඔහුගේ ගෝලයන් අතින්ද තාත්තාට කිසිදු කරදරයක් වී නොතිබුණි . අදාල රන් භාණ්ඩ සහ මුදල් මංකොල්ලයෙන් පසුව ඔවුන් පිටවනවිට තාත්තාට පවසා ඇත්තේ ඔවුන් පිටත් වී මද වේලාවකට පසුව පොලිසියට ඇමතුම ලබා දෙන ලෙසයි.එදින රාත්‍රියේම සොරාගත් භාණ්ඩ වලින් අඩක් සමග අදාල පුද්ගලයන් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ප්‍රධාන සාක්ෂිකරුවකු ලෙස උසාවියට ඉදිරිපත් වූ තාත්තාට ඔවුන් විසින් මරණ තර්ජන එල්ල කර තිබුණු නිසා, පසුව තාත්තගේ ආරක්ෂාව වෙනුවෙන් පුද්ගලයන්ද යොදවා තිබුණි. ඒ වගේම ඔවුන් විසින් වරින් වර මරණ තර්ජන කර තාත්තාට පණිවිඩ එවා තිබුණ නිසා අප බොහෝ බියෙන් සිටි නමුත් තාත්තා ඒවාට කිසි විටෙකත් බිය වුණේ නැත. ඒ ලෙසින් කිසිම දෙයකට බිය නොවූ තාත්තා බිය වූයේ ලෙඩ රෝග වලට පමණක්ම බව මා කිව යුතුමය.

ඉතා ලස්සනට හැඳ පැළඳ රැකියාවට යන ,ආගමානුකූලව ජීවත් වූ මගේ තාත්තා ඉතා සංවේදී පුද්ගලයෙක් විය. ඔහුට ඇති අසනීපය පිළිබඳව ඔහුට නොකියන්නට අප තීරණය කරන්නට හේතු වූ පළවෙනිම කාරණාව ද එය විය. තමන්ට සිදුවී ඇති දෙය නොදත් තාත්තා වෛද්‍යවරයා නියම කළ බෙහෙත් ලබා ගත්තේය .එමඟින් ඔහුට තිබූ අපහසුතා තරමක් පහව ගිය අතර ඔහු පුරුදු පරිදි රැකියාවට ද ගොස් ඇත.

වෛද්‍යවරයා හමුවීමට ගොස් පැමිණි පසු දිනක අම්මා විසින් තාත්තගේ කේන්දරය පරික්ෂා කරවා ගැනීමටද ගොස් තිබුනි . කේන්දරය පරීක්ෂා කළ අය , තාත්තගේ උදරය ආශ්‍රිතව පිළිකාවක් ඇති බවත් තාත්තගේ ආයුෂ එතෙකින් අවසන් බවත් පවසා ඇත .මගේ අම්මා එයින් තවත් කලබලයට පත්වී ඇති අතර මා නිවසේ නොමැති දිනවල සිදු වූ සියල්ල අම්මා එසේ මට විස්තර කළ පසුව මා දැඩි ලෙස කම්පනයට පත් වුණෙමි. නමුත් මා එකවරම, තාත්තාට කිසිදු කරදරයක් වීමට මා ඉඩ නොතබන බවත් මා ඔහුව කෙසේ හෝ සනීප කරගන්නා බවත් පැවසුවෙමි .ඇත්ත වශයෙන්ම එම වදන් පෙළ නිරායාසයෙන්ම මා මුවින් පිට වූ අතර මගේ දෑස් කඳුළින් තෙත් වී තිබුණත් අම්මා සහ නංගී ඉදිරියේ මා හැඬුවේ නැත . නාන කාමරයට ගිය මා බොහෝ සේ හඬා වැටුණු අතර මා මනසින් කඩා වැටී ඇති බව කිසිම විටෙකත් අම්මාටත් නංගිටත් හැඟවූයේ නැත .

තාත්තාට ඇති අසනීපය පිළිබඳව කිසිදු අයුරකින් ඔහුට නොපවසන ලෙස ලෙස මා අම්මාවත් නංගිවත් පොරොන්දු කරවා ගත්තෙමි.හදිසියේ හෝ මේ බව දැනගතහොත් දැඩිලෙස මානසිකව පීඩාවට පත්වන බව මා දන්නා නිසා අපගේ රියදුරු මහතා වූ ” කුලරත්න අංකල් ” හටද, තාත්තාට කිසිවක් නොපවසන ලෙස මා කීවෙමි. ඉන්පසුව තාත්තා එදින රැකියාවට ගොස් සිටි නිසා මා ඉක්මනින් ලෑස්ති වී ඔහු බැලීමට යාම සඳහා සූදානම් වූයෙමි

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles