කාවින්දි ට විසුලව මුණ ගැහුණේ යෝජනාවකින්. එකම ගමේ පේන මානේ ගෙවල් දෙකක හිටපු දෙන්නා පාරේ තොටේදි මුණ ගැහිලා හිනා වෙලා යනවා මිසක් ප්‍රේමයක් ගැන වගක් තිබුණේ නෑ. ඒත් අම්මලා එකතු වෙලා දෙන්නට දෙන්නා යෝජනා කරාම ප්‍රේමයක් ඇති වෙන එකේ නැවතීමක් තිබුනෙත් නෑ.
විසුල වෘත්තීය ගොවි මහතෙක්. කන්නේකට කුඹුරු අක්කර පහක් විතර අස්වැද්දූවා. කුඹුරේම උඩ කෑල්ලක එළවලු වර්ග දෙක තුනක් මාරුවෙන් මාරුවට වගා කලා. ඉරිඟු අක්කර දෙක තුනක් වගා කරා. කුරුඳු පැල සීයක විතර වගාවක් නඩත්තු කලා. කෙසෙල් කෑල්ලක් තිබුණා. සරුසාර ගෙවත්තකුත් නඩත්තු කලා. විසුලගේ මේ ගොවිකම් වලට මහ හයියක් අරගෙන තමයි, කාවින්දි විසුලගේ ජීවිතේට ආවේ. ගොවිතැන් ගැන වැඩි අවබෝධයක් තිබුණේ නැති වුනත්, විසුලගේ පස්සෙන් වැටිලා කාවින්දිත් විසුල එක්ක හරි හරියට වැඩ කලා.
“කෙල්ලගේ සීදේවි කම…”
විසුලගේ අම්මලා කාවින්දි ව දැක්කේ එහෙමයි. කොහොමටත් සරළ ජීවිතේකට ආස කරපු කාවින්දි ට විසුල එක්ක ලැබුණ ජීවිතේ නිසා සැනසීම මහ ලොකුවට ලැබුණා.
ඒත් ඒ සැනසීම ට කණකොකා හඬන පලවෙනි සිදුවීම උදාවුණේ කොරෝනා වසංගතය එක්ක. වසංගත කාලේ වැවේ මාලු අල්ලන්න ගිහින් කාවින්දි ගේ තාත්තා ඔරුව පෙරලිලා මැරුණා. ඉන් මාස දෙකක් යන්න කලින් ඒ සාංකාවෙන්ම අසනීප වෙලා, අම්මත් කාවින්දි ව දාලා ගියා. පටාචාරාවක් වගේ අසරණ හැඟීමක සේයා කාවින්දි ට දැනුනත්, විසුලයි විසුලගේ ගෙදර අයයි මහා පවුරක් වගේ කාවින්දි ළඟින් හිටියා
“මට ආයෙම ජීවත් වෙන්න හිත හදාගන්න බැරි වේවි…”
“කල් අරගන්න කාවින්දි … ජීවිතේ කියන්නෙ මේකක තමා… අපිට සිද්ද වෙනවා මේ හැමදේම දරාගන්න…”
“මට තනියි…”
“අපි ඔයාට ඉන්නවා…”
එහෙම කියලා මාසයක් යන්න කලින් කාවින්දි ගැබ් ගත්තා. ආයෙම ජීවිත වලට අලුත් පාට වැටුණා. ලැබෙන්න ඉන්නේ නිවුන් දරුවෝ කියලා දැනගත්තාම ඒ පාට දේදුණු ගානට දැනුණා. විසුල තව වෙහෙසිලා වැඩ කලා. විසුලගේ අම්මලා කාවින්දිව තව ආදරෙන් බලා ගත්තා.
පුංචි පැටවු දෙන්නා ගෙදරට ගෙනාවේ වෙසක් දාක. මුලු ගෙදරම පුදුමාකාර එළියකින් පිරිලා තිබුණා. කිරි සුවඳ එක්ක දවස් එක දෙක ගෙවිලා ගියා.
ඔය අතරේ කාලයක් තිස්සේ තිබුණ කොන්දේ කැක්කුමක් නිසා කාවින්දි ට තනියෙන් වැඩක් කරගන්න පවා බැරි තත්වයක් ආවා. මුලදී ඒ තරමටම ගනන් නොගත්තත්, පස්සේ විසුල කාවින්දි ව ටව්මේ දොස්තර මහත්තයා ට පෙන්නුවා. එතනදී වේදනා නාශක එක්ක ඖෂධ නියම වුනත් සතියක් යනකොටත් ඒ වේදනාව වැඩි වුනා මිසක්, අඩු වුනේ නැහැ.
ඊට පස්සේ විසුල කාවින්දි ව කොළඹ ගෙවන රෝහලකට එක්කරගෙන ගියා .පරීක්ෂණ කිහිපයක් එක දිගට ඉවර වුණා. ජීවිතේ දෙවැනි බෝම්බේ පිපිරුවේ එදා.
“මෙයාට කැන්සර් එකක්…”
තිබුණ ඉඩ කඩම් පවා විකුණලා විසුල කාවින්දි වෙනුවෙන් වියදම් කරා.සැත්කම් කිහිපයක් කරා. කාවින්දි සම්පූර්ණයෙන්ම සුව වෙන බලාපොරොත්තු පණ ගැහුවා. මළ කඳක් වගේ වෙලා උන්න කාවින්දි ට දරුවෝ ගැන වත් සිහියක් තිබුණේ නැහැ. විසුල ගේ අම්මලා තමා ඒ හැමදේම බැලුවේ පවා.
“මාව අතාරින්න දෙයියනේ …”
දවසට දෙතුන් වතාව කාවින්දි එහෙම කිව්වා.
“අල්ලගත්තේ මෙහෙම වෙලාවල් වලදි අතාරින්න නෙවෙයි …”
විසුල මන්තරේ වගෙ ජප කරා. අන්තිමේදී කාවින්දි සුව වෙලා ගෙදර ආවා. ආයෙම සැනසීම හොයන්න ගත්තා.
ඊට පස්සේ විසුල ආයෙම ජීවිතේ ඉස්සරහට යන සැලසුම් වෙනුවෙන් වැඩ කරන්න ගත්තා. ආයෙ ආයෙම වගා කරා. වෙහෙසුණා. විසුලගේ බයික් එකේ පිටිඅස්සේ වෙලා විසුල පස්සෙන් ම ඉන්න හෙවනැල්ල වුන කාවින්දි ගේ රූපේ ඒ විදියෙන්ම පෙනුනා.
“ඒ මල්ලී ඒ නංගීට හරි ආදරෙයි ….ජෝඩුවක් නම් එහෙමයි ඉන්න ඕනි… තිබුන සබ්බ සකලමනාවම විකුණලා හරි කෙල්ලව ගොඩ දැම්මා..”
“එක් නොවෙන්නම්… දැන් ඉතින් ඔය ආයේම විරියෙන් වැඩ කරන්නේ…. “
“දරු පැටවි දෙන්නගේ වාසනාව …”
මිනිස්සු එහෙම කතා වුණා.
“ජීවිත වලට සදා නොවෙනස් බැඳිම් එන එක කොච්චරක් සුවපහසු හැඟීමක්ද කල්පනා කරන ගමන්, කාවින්දි විසුලගෙ උරහිසේ හාන්සි වුනා.
| අපේක්ෂා ගුණරත්න |