අකලංක ඉතා සංයමයෙන් චරිත්ගේ සැලසුම් වලින් තමා සොයා ගත් කොටස් එකින් එක ශයිනි ඉදිරියේ පැහැදිලි කලේය. චරිත් ශයිනිට පවසා තිබූ කතාව නොදැන උන් නිසාම ඔහු පැවසූයේ ඔහු සොයාගත් කාරණාම පමණකි.
පෙර සිටි පරිසර නිළධාරියා චරිත් ගේ ඉතා සමීප මිතුරියකගේ පෙම්වතා වගද, ඔවුන් දෙදෙනා එක්ව මෙය මෙතරම් සූක්ෂ්මව සැලසුම් කරන්නට ඇත්තේ ඒ හැඳුනුම්කම නිසා වගද ඔහු පැහැදිලි කලේය.
ශයිනිගේ උවන මත වූ වියළුණු කඳුළු පැල්ලම් යලි යළි අලුත් විය. ඇයට දැනෙන්නේ තමා ගැන දරා ගත නොහැකි ආත්ම ලැජ්ජාවකි. ඕ කිසිත් සඳහන් නොකර මැසෙන්ජර් තිරයේ ඔහුගේ පණිවිඩය පමණක්ම පිරෙන්නට හැරියාය.
ශයිනි ට නිහඬව සිටින්නට ඉඩ හැර, අකලංක පැහැදිය හැකි සීමාවේ සියල්ල පැහැදිලි කලේය. දැන් කොහොමටත් ඇය ඇස් වසා ගෙන උන් පට ලෙහා දමා ගෙන ඇති නිසා මේ සියල්ල දැනගෙන සිටීමේ ගැටලුවක් නැත.
ශයිනි ජංගම දුරකතනය දිගේ එහෙ මෙහෙ දිව්වා පමණි. අමයුරු ගේ පැහැදිලි කිරීම් තවම අවසානයක් නැත.
“ජීවිතේ මේ විදියේ කඩා වැටීම්, බිඳීම් එනවා. ඔයා අනිවාර්යයෙන් මේ කාල පරාසේදී ඕනි තරම් මුහුණ දීලා ඇති. ඉතින් වැඩියෙන් වැදගත් වෙන්නේ පාඩමක් ඉගෙන ගන්න එක…..
ෆ්‍රී වෙලාවක සර්ච් කරලා බලන්න, මීයා කියලා ටෙලියක් යනවා… ඒකේ ඉන්නවා මනියා කියලා කොල්ලෙක්.. ඌ කියනවා නියමම කතාවක්…
ප්‍රශ්න තිබුණාට කමක් නෑ.. හැබැයි උත්තර හොයාගන්න හදීසි වෙන්න එපා… ජීවිතේ කුණාටු කාලවල් තියෙනවා නෙහ්.. ඒ වෙලාවට නැව මුහුදට දාන්න හදිසි වෙන්න නරකයි… පැත්කකට කරලා ඇන්කර් එක දාලා තියාගන්න ඕනි …”
අකලංක මුහුණු පොත් පෝස්ටුවක්ද අමුණා යැව්වේය. ශයිනි එය කිහිපවතාවක්ම කියෙව්වාය.
“දැන් ඔයා අමාරුම හරිය පහු කරගෙන තියෙන්නේ.. අමාරුම කතාව තමයි විශ්වාසය කඩ වෙන එක … ඒත් ඔයා ඒක දරාගත්තා … ඒක නිවැරදි කරගන්න එක පැත්තකට තියලා, මෙවෙලේ තියෙන ලොකුම ප්‍රශ්නය විසඳගන්න එකට ප්‍රයෝරිටි දුන්නා.. ඒක සෑහෙන්නම වැදගත් … චරිත් ට ඔහොම ඉන්න දෙන්න…. මෙවෙලේ එයා නැති වෙන එකත් ඔයාට පාඩුවක් වෙන්න පුලුවන් …”
“
“කවුද ඔයා ? ඇයි ඔහොම …”
අකලංක හිස ඔසවා බලද්දිම ශයිනි උන් කාමරයේ දොර විවෘත විය. බැල්කනිය තිබුනේ අඳුරේ වුවද ඇය බැල්කනියට පිවිසෙන සේයාරුව ඉතා පැහැදිලි විය. අකලංක උන් ඉරියව්වේම උන්නේය.
” මොකක්ද ඔයාගේ අරමුණ …?”
යළි ඇසිණි. අකලංක පණිවිඩය දැක්කේ ඇස් කොනින් ය. ශයිනි වෙත ඇලවුණ නෙත් සම්පූර්ණයෙන්ම ගලවා ගන්නට නොහැක.
ඇය වෙත යන්නට ඇතිනම් ලෙස හැඟීම අකලංක ගේ සිතෙහි ඉතා තදින් පිළිසිඳ ගත්තේය. ඇය ට වැටෙන්නට සවිමත් උරහිසක් වී පසෙකින් සිටින්නට තමාට හැකි විය යුතු නොවේදැයි ඔහු සිතුවේය.
අකලංක මෙලෙසින් සැකසෙන්නේ වසර ගණනකට පසුවය. සරසවි කාලයෙන් පසු මියැදෙන්නට හැර අතැර තිබූ හැඟීම් පණ ගහන්නේ හැල්මේය. වසර පහකට හයකට පමන පසුවය.
ක්ශේත්‍රයට පිවිසුනාට පසු තිබුණු දයාබර වුණු, එහෙත් ලයාදරව නොනැවතුණු සම්බන්ධතා සියල්ල මැකෙමින් ශයිනි මතු වී ඇත. ඇය ගේ අරුමයක් අකලංක ට සිතා ගන්නට නොහැක.
“ඇයි මෙහෙම කියන්නේ ඔයා ?”
ශයිනි යලි විමසනවිට පවා අකලංක උන්නේ ඇගේ සේයාවේ අතරමං වීගෙනය. තමන් ගැහැණියකට මෙතරම් බැඳෙමින් සිටින වග ඔහුට විශ්වාස කරන්නට අවැසි විය. වසර තිස් හයකට පසු ජීවිතය තුල යම් විපර්යාසයක් සිදුවෙමින් පවතින වග විශ්වාස කරන්නට අවැසි විය.
අකලංක මින් පෙර දිනෙක සහාය අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා ගත් ශයිනිගේ ජංගම දුරකතන අංකය තිරය මතට ගත්තේය. සිතා බලන්නට හෝ නොනැවතී වහාම ඇමතුම ට සම්බන්ධ වූයේය.
ඔහු සියල්ලම සිදු කලේ ශයිනි දෙස බලාගෙනමය. ඇමතුම සම්බන්ධ වෙමින් තිබියදී පවා ඇයගෙන් වෙනසක් වූයේ නැත. ඇය ටෲ කෝලර් හා සම්බන්ධ වී සිටින්නේ නම් අනිවාර්යයෙන් ඇමතුම තමාගෙන් බව පෙනෙනු ඇත. ශයිනි හිස ඔසවා තමා සිටින දෙස බලනු අකලංක දුටිවේය. එහෙත්, ඇයටතමා නොපෙනෙනවා ඇතැයි ඔහු සහතික කර සිතා උන්නේය.
ඇමතුම අකලංකගේ බව පෙනෙද්දී ශයිනි ව්හා බැලුවේ ඔහු සිටින්නට නියමිත කාමරය දෙසට. විදුලි පහන් එළි දැල්වේ. දැන් රාත්‍රී දහයද පසුවී ඇත. මෙවන් වේලාවක ඔහු අමතන්නේ කුමක් හෝ වැදගත් දෙයකට විය හැකිය. ශයිනි ඇමතුම පිළිගත්තාය.
“හෙලෝ… මිස්ටර් අකලංක …”
අකලංකගේ හද ගැස්ම පැවති තාලයෙන් වෙනස් විය. මේ ජංගම දුරකතනයෙන් ඇගේ හඬ අසනවාමය. සුවැතිය. බැඳෙන්නේය.
එහෙත් එක්වරම නැඟුණු ගිණි පුපුරක් අකලංක ගේ ගත පුරා පැතිරී ගියේ ය.මේ ගැහැණිය අමයුරු දිසානායක නම් තැනැත්තෙකුට අයිතිය. තමා කෙලෙසක ඇය තුළට පිවිසෙන්නද ?
“හෙලෝ…?”
“අහ්.. මිස් ශයිනි.. ඩිස්ටර්බ් ද දන්නේ නෑ..?”
“ඩිස්ටර්බ් නම් තමා.. මොකද මේ මහ රෑ…”
අකලංක ට විමසන්නට කිසිත් සිහි වූයේ නැත. එහෙත් නිරපරාදේ ඇමතුමක් ගත් ලෙසින් ඇමතුම විසන්ධි කර දමන්නටද නොහැක.
“හ් හා…හා…”
අකලංක අතිශය ව්‍යාජ සිනහවක් මවාගත්තේය. ශයිනිටද සිනහවක් නැඟුණි.
අකලංක ඒ අතරේම ඇමතුම විසන්ධි කර ජංගම දුරකතනය ද එරෝප්ලේන් සැකැස්මට දැම්මේය. ශයිනි යළි ඇමතුමක් ගන්නට උත්සාහ කරනවා සහ යළි කාමරය තුළට යනවා අකලංක දුටුවේය. විනාඩි කිහිපයක් ගෙවුණි. නාද වූයේ කාමරයේ ස්ථාවර දුරකතනය ය.
අකලංක කාමරය තුළට ඇවිද ගියේ තමාටම සිනාසෙමිනි.
“නාපංකෝ ඉතින් දැන්..”
ඔහු ඇමතුමට පිළිතුරු දුන්නේය.
“මිස්ටර් අකලංක , ලයින් එක කට් උනා..”
ඇය අතිශය ආචාරශීලී ය.
” මගේ ෆෝන් එක ඕෆ් උනා.. “
“ඉට්ස් ඕකේ.. මිස්ටර් අකලංක කතා කලේ ?”
අකලංක ට තවමත් විමසන්නට යමක් සිහිවන්නේ නැත. ඔහු කතාවක් ගෙතුවේය. මිතුරන් පිරිසක ඊළඟ සති අන්තය සඳහා හෝටලය වෙන් කර දෙන්නට තමා පොරොන්දු වූ වගත්, හදිසියේම හෝටලය වසා දැමීම ඔවුන්ට පැවසූ පසු, ඔවුන් යළි විවෘත කරන දිනයක් විමසූ වගත්, ඒ පිළිබඳව දැනගන්නට ඇමතුමක් ගත් වගත් කීවේය.
ශයිනිට ද එහි වෙනසක් දැනුණේ නැත. ඕ වර්තමානයේ තත්වය පවසා, සති දෙකක් හෝ තුනක් උපරිමයෙන් වසා තැබීම වන වග පැවසුයේය. නුදුරින් ඇති ඇයට රෙකමදාරු කල හැකි හෝටල් කිහිපයක පිළිබඳව අකලංක ට ඔත්තුවක් ද දුන්නේය. අකලංක ඇමතුම විසන්ධි කලේ ඇය ගැන පැහැදීමෙනි
“හ්හ්.. මැදෑ…”
අකලංක නැවතුනාට, අමයුරු ට තවම නවතින්නට නොහැක. අවැසි වූයේ ඇගේ හ්ඬ අසන්නටය. ඈ හඬමින්දැයි දැනගන්නටය. එහෙත් ඇය සුවෙන් වග හඬෙන් දැනේ. ඇතැම්විට මවාගත් හඬකින් දෙඬුවාද විය හැකිය. කෙසේ වුවද ඇය සිටින්නීය.
අකලංක අමයුරු නමින් වන මැසෙන්ජරය විවෘත කලේය. එක දිගටම ඇත්තේ ඇගේ විමසුම් ය.
“මං කවුද කියලා වැදගත් වෙන්නේ කොහොමද ?”
අකලංක පසුව විමසුවේය. ශයිනිට එයට දෙන්නට පිළිතුරු තිබුණේ නැත. එය පැහැදිලි කරන්නට තරම් හැකියාවක් තවම නැති වග ශයිනි සිතුවාය.
එසේ නැතිවාටත් වඩා, අමයුරු දිසානායක නම් උවනක් නොමැති නන්නාඳුනන්නා සමඟ මේ හැඟීම් විසඳාගන්නට තමාට හැකිවේදැයි ඕ සිතුවාය. බැඳීම් හටගන්නට ආරම්භ වන මොහොතේ පටන්ම කිසිවක් සරළ නොවන වග ශයිනි සිතුවාය. දන්නා මතක කාලයේ පටන්ම ඉතා කුඩා සමීප කවයක් පවත්වාගෙන ගියේ එබැවිනි.
එවිට පැහැදිලි කිරීම්, නවතාවයන් අල්ප නිසාය. අනෙක් මුණ ගැහෙන සියළු අයවලුන් සමඟ සම්බන්ධතා අදාල කාරියට පමණය. ඉන් එහා හිතවත්කම් වෙනුවෙන් ඉඩ දුන්නේ නැත.
ජීවිතය ගොඩ නැඟුනේම එහෙමය. එහෙත්, අවසන පැමිණි කෙනා මොහුය. එන්නේ මෙලෙසය. පහසුවක් නම් නැත. අත් හැර ගන්නටද නොහැකි ලෙසින් ඔහු පිවිසෙන්නේය.
ශයිනි අමයුරු ගේ රුව මවාගන්න ට උත්සාහ කලාය.
මැජික්මය ඇස් දෙකක්, ඇස් අග්ගිස්සේ වැටුණු රැලි තුනක් , ඉතා ඝණ ඇහි බැම යුග්මයක් ශයිනිගේ පපු මැද්දෑවේ ඇලවී තිබූ තැනින් ඉලිප්පුණේය. ශයිනි වහා ඉරියව්ව වෙනස් කලේය.
අකලංක .. ඔහු එලෙස එබෙන්නේ කිනම් කාරණාවක් නිසාද ? ඔහු ගේ සැබෑ ස්වරූපය දැන දැනම තමා ඔහු අභියස දී තිගැසීම ගැන ශයිනි ඒ මොහිතේ තමාට දොස් පවරා ගත්තාය. බන්ධනා…, ඇය සහ ඔහු කදිමට කැපෙන යුවලකි. නොරිදෙනවායැයි කියන්නට නොහැක. අකලංක නිසා ගැස්සුණු සිත තවම සන්සුන් වී නැති වග ඇය වටහා ගත්තාය.
| අපේක්ෂා ගුණරත්න |