එයා මැරිල හුඟක් කල් 26

දරාගන්න බැරි වේදනාවල් වලින් පස්සේ හුඟක් වෙලාවට ඉතුරු වෙන්නේ ශරීරය පණ තිබුනට හිත ඇතුලෙන් මැරුණ මිනිස්සු.

ඕශො එහෙම කියලා තියෙනවා මට මතක් උනා. ආරි අක්කා ත් එහෙම වෙන්න ඇති කියලා මට හිතුනා.

ඒ අර්ධනාරියට ආදරය  මොකක්ද කියන එකවත් තේරෙනවද දන්නෙ නෑ…
ශරීරය පණ තිබුනට ඇතුලෙන් මැරුණ මිනිස්සු…
ශරීරය පණ තිබුනට ඇතුලෙන් මැරුණ මිනිස්සු….
ශරීරය පණ තිබුනට ඇතුලෙන් මැරුණ මිනිස්සු…

“ඩොක්ටර් … බර කල්පනාවක වගේ….”

එහෙම කියපු ප්‍රහාණ්  උනූ උනු එලවලු රොටියක් මටත් දුන්නා .

“ම්ම්ම්.. මේ ප්‍රශ්නය මාර ප්‍රශ්නයක් කොල්ලෝ.. ඊට පස්සේ අපි මොකක්ද කරන්න ඕනේ කියන එක මට හිතාගන්න බෑ..පොලිසිය හමුදාව උසාවි ඔක්කොම අයිති පාලක පැලැන්තියට…
එහෙම මනුස්සයෙක් වැරද්දක් කලහම අල්ලලා දීලා දඬුවම් දෙන්න පුළුවන් ප්‍රමාණය හරි අඩුයි..ප්‍රායෝගිකව බැලුවහම අපි මේ හොයාගෙන තියෙන දේවල් ඔප්පු කරන්නත් බැරි දේවල්.”

“මචං අසේල …
මට උඹලට කියන්න පොඩි කතාවක් තියෙනවා..”

තලම්මැහැර එහෙම කියන ගමං දුං දාන කිරිතේ ජෝගුවයි කෝප්ප හතරයි තිබිච්ච ට්‍රේ එක මේසෙ උඩින් තිබ්බා. ඒ මොකක්ද කියලා කවුරුවත් අහන්නේ නැතුව
තලංම්මැහැර කියන්න යන කතාව දිහා අපි හැමෝම බොහොම උවමනාවෙන් බලාගෙන හිටියා.

“මේක බොහොම රහසිගත කතාවක්.මේක අපි හතරදෙනා විතරයි දන්නේ.මේ පාර පාර්ලිමේන්තු ඉලෙක්ශන් එකට මටත් ඉදිරිපත් වෙන්න කියලා ආරාධනාවක් ඇවිල්ලා තියෙනවා.
හැබැයි ඒ ඕගොල්ලෝ හිතන විදිහට රත්නා ලෝකගේ පක්ෂයෙන් නෙමෙයි.
ජයබණ්ඩාරලාගේ පක්ෂයෙන්..මේක තාම රත්නාලෝක දන්නේ නෑ..මේ සිද්ධි දැනගත්තට පස්සේ මට මේ
රත්නා ලෝක කාරයාව එපා වෙලාම ගියා.මෙච්චර කාලයක් මම හිතාගෙන හිටියේ සාමාන්‍යයෙන් ඔය වගේ පැලැන්තියේ මිනිස්සු අපිට වඩා යම් දෙයක් ජීවිතය භුක්ති විදින්න ආසාවෙන් ඉන්න කොටසක් හැටියටයි.ඒත් මේ සිද්ධි දැනගත්තට පස්සේ මට හිතෙනවා මෙතන ඉන්නේ මිනිහෙක් නෙමෙයි කියලා..
මේ පාර චන්දෙදිත් මොනවා හරි මගඩියක් කරලා රත්නා ලෝක හදන්නේ එයාගේ පක්ෂය දිනවගන්න තමයි.මම
රත්නාලෝක ළඟ වැඩ කළාට මට දැන් මිනිහව පෙන්නන්න බැරි තත්වෙකට තමයි ඇවිල්ලා තියෙන්නෙ.චන්දෙට තියෙන්නේ තව බොහොම පොඩි කාලයයි..මෙච්චර දවසක් නම් මගේ හිතේ කිසිම කැමැත්තක් තිබුණේ නෑ චන්දෙට ඉදිරිපත් වෙන්න.හැබැයි දැන් මේ අප්‍රසන්න සිද්ධි ඔක්කොම දැක්කට පස්සේ මට හිතුනා මම චන්දෙට ඉදිරිපත් වෙනවා කියලා.ජය බණ්ඩාර මට පොරොන්දු වුණා එයාලගේ පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලලා ඒගොල්ලෝ ජයග්‍රහණය කළොත් මට හොඳ ඇමති ධූරයක් දෙනවා කියලා..ඒ හින්දා මට වැඩේ පාඩු වෙන්නෙත් නෑ..”

“අම්මටසිරි ඩොක්ටර් …ඉතින් සුභ පැතුම්…අපි ඕන සපෝට් එකක් දෙනවා ඩොක්ටර් වගේ හොඳ මනුස්සයෙක් පාර්ලිමේන්තු යනවනම්..”

එහෙම කියපු රාජරත්නම් හිනා වුණා.

“ඇත්තටම අපි මැරෙන්න කලින් පිනක් කරගන්න ඕනේ කියලා මට හිතුණා.මෙච්චර කාලයක් අපි නොදැන හරි කරල තියෙන්නෙ අසාධාරණයක් කරන මනුස්සයෙකුට උදව් කරන එක.ඒ වගේ මනුස්සයෙක්ට තියෙන බලය නැති කරල හරි මනුස්සයෙකුට බලය අරන් දෙන එක අපේ වගකීම කියලා මට හිතුනා.අපිත් යන තැනකට වැඩක් කරගන්න ඕනේ නේද..”

තලම්මැහැර එහෙම කියනකොට මට හරි පුදුම හිතුනා.

යහපත් මිනිස්සු දෙව්ලොව යන්න වෙහෙසෙන්නේ නෑ..ඔවුන් උත්සාහ කරන්නේ දෙව්ලොව මෙලොව තනන්නයි…

ඕශෝ…

මගේ හිත භාගයක් අරගෙන හිටපු අමුතු දාර්ශනිකයා එහෙම කියලා තියෙනවා නේද කියලා මට අකුණක් වගේ මතක් වුණා.
තලම්මැහැර ත් දේශපාලනයේ ගොදුරක් වෙලා කියලා මට හිතුනා.මෙච්චර කාලයක් මනුස්ස වේශයෙන් හිටපු තලංමැහැරත් ඇමතිකමක් හම්බවෙනවා කියපු ගමන් අමුතුම විදිහේ කෙනෙක් වෙලා කියලා මට එක නිමේෂයකට හිතුනා.

“ඔයාලගේ වැඩෙත් කෙරෙන මගේ වැඩෙත් කෙරෙන පොඩි ප්ලෑන් එකක් තියෙනවා. මොකද කියන්නේ ක්‍රියාත්මක වුණොත් හරියට හරි ..දෙගොල්ලොම ගොඩ..”

තලම්මැහැර  එහෙම කියද්දි ඇස් දිලිසුනා..

“මොකක්ද ඩොක්ටර් ඒ….”

රාජරත්නම් ඇහුවෙ හැබෑම උනන්දුවෙන් පුටුවත් ඉස්සරහට ගන්න ගමං..

“ඒක කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියන්න නම් මම දන්නෙ නෑ.හැබැයි දැන් මට හිතෙන විදියට අපිට ඉතුරු වෙලා තියෙන්නේ කරන්න එච්චරයි.
මේකෙ කොටස් දෙකක් තියෙනවා.
පළවෙනි එක තමයි අනිද්දා ආපහු සැරයක් රත්නාලෝක  මැදවච්චිය පැත්තට යමු කියලා මට කතා කළා. ඒ කියන්නේ බොහෝ දුරට අර වැඩේට තමයි.ඒ යනවයි කියපු හෝටලය මම බොහොම හොදින් දන්න කියන තැනක්.මට මෙහෙම වැඩක් ඕනේ නම් කරන්න පුළුවන්.ඒ කාමරය ඇතුලේ විශේෂිත වෙච්ච අල්මාරියක් වගේ දෙයක් මට තියන්න පුළුවන්.අපි ඇතුලට එන්න කලින් රාජරත්නම්ටයි අසේලටයි පුළුවන් මේ අල්මාරිය ඇතුළෙ හැංගිලා ඉන්න.මම ඔයාලා දෙන්නට එහෙම ඉන්න කියලා කිව්වේ බැරිවෙලාවත් පොඩි හරි හෙළවීමක් අල්මාරිය ඇතුලෙන් ඇහුනොත් වැඩේ කම්මුතුයි.
මම විශ්වාස කරනවා රාජරත්නම් ටයි අසේලටයි තමන්ගේ වෘත්තීය නිපුණතාවය හින්දා අප්‍රමාණ ඉවසීමක් ඇඟ ඇතුලේ ඇති කියලා.මේක නිකං හරියට අර ට්‍රෝජන් අස්සයගෙ සිද්ධිය වගේ වැඩක්..ඔයාලට පුළුවන් හැංගිලා ඉඳලා ඇතුලෙ මොකද වෙන්නේ කියන එක හරියටම වීඩියෝ කරගන්න.අපිට වීඩියෝ ප්ලේයර් එකක් වුණත් විතරක් මේකෙ අටවල තියන්න පුළුවන්.හැබැයි වීඩියෝ ප්ලේයර් එකෙන් වීඩියෝ වෙන්නේ එක දිශාවක් විතරයි.අපි දන්නේ නෑ රත්නාලෝක ඕක ඇතුළෙ මොනවා කරනවද කියලා.ඔයාල දෙන්නා ඕක ඇතුළෙ හිටියොත් ඇස් වලින් දකින්නත් පුළුවන්…හරියට සාක්ෂි ප්‍රබල විදිහට වීඩියෝ කරගන්නත් පුළුවන්…”

“හරි ..එතකොට දෙවෙනි එක මොකක්ද..”

මම ඇහුවේ ඉවසගන්න බැරි කුතුහලයෙන් ..

“දෙවෙනි එක තමයි එදාට රත්නාලෝක ජනාධිපති මන්දිරයේ නෑනේ.රත්නා ලෝකගේ කාමරය ඇතුලට යන්න පුළුවන් ආරක්ෂිත කොම්පියුටර් සිස්ටම් එකක් තියෙනවා.එකේ පාර්ස්වර්ඩ් එක  දන්නේ රත්නාලෝක විතරයි.මට ඕන්නං එදාට ප්‍රහාන්ව පිරිසිදු කරන්නෙක් හැටියට
රත්නාලෝකගේ කාමරේ ගාවටම අරින්න පුළුවන්.එතන තියෙන ප්‍රධාන කොම්පියුටරයෙන් පාස් වර්ඩ් එක ගැහුවම නිකම්ම දොර ඇරෙනවා. රත්නාලෝකගේ  ඇඟිලි සලකුණට ඇරෙන ලොක් එකක් තමයි ඉස්සෙල්ලා තිබුණේ. හැබැයි මිනිහා ටික කාලයකට කලින් ඒක වෙනස් කලා.ඇයි කියන්න නම් දන්නේ නෑ..ඔය කාමරේ ඇතුලෙ තියෙන්නේ
රත්නාලෝකගෙන් නිදාගන්න ඇඳයි… එයාගේ රහස් කබඩ් එකයි විතරයි. ඒ කබඩ් එක ඇතුලේ මට හිතෙනවා මොකක් හරි ලොකු රහස් ලියවිල්ලක් ඇති කියලා. ප්‍රහන්ට පුළුවන් නම් ඒ කබඩ් එක ඇරලා ලියකියවිලි ටික බලන්න…

මං හිතන්නේ ලොකු විස්තරයක් අපිට හොයාගන්න පුළුවන් වෙයි..ප්‍රහාන් කොහොමත් කොම්පියුටර් දක්ෂයා හින්දා මේක බැරි වෙන එකක් නෑ..”

“මේ ප්ලෑන් දෙකම ලාමක වැඩියි කියලා හිතෙන්නේ මට විතරයිද..”

මං ඇහුවේ ඇත්තටම කලකිරීමෙන්..

“නෑ අසේල.. කලබල වෙන්න එපා.ප්ලෑන් එක ලාමක වෙන්නේ ඔයාලගේ සපෝට් එකට කිසිම කෙනෙක් නැත්තං විතරයි.ඔයාලගේ සපෝටර් හැටියට මම ඔයාලට උපරිමයක් කරනවා.ප්ලෑන් එක පොඩි වෙන්න පොඩි වෙන්න තමයි අපිට දිනන්න පහසු වෙන්නේ..මහා ලොකු ප්ලෑන් ක්‍රියාත්මක කරවන්න ගියොත් අපි අහුවෙන ප්‍රතිශතය වැඩියි..මොකද රත්නා ලෝකලගේ රහසුත් එක්ක ඒගොල්ලෝ එයාලගේ ආරක්ෂාව වෙනුවෙන් මහා පරිමාණ වැඩපිළිවෙළවල් තමයි දියත් කරගෙන ඉන්නේ. මේ වගේ බොහොම සුළුවෙන් කෙනෙක් කරයි කියලා එයාලා හිතන්නේ නෑ..අන්න ඒ වීක් පොයින්ට් එක තමයි අපි ප්‍රයෝජනයට ගන්න ඕන..”

තලම්මැහැර මේ කියපු දේවල් අකුරක් නෑර රාජරත්නම් ඔලුවට ගත්තු බවනං මට තේරුනා.

“හැබැයි තව එකක්..මේක මොනම විදිහකින්වත් අහුවෙන්න බෑ.අහු උනත් මාව අල්ලන්නත් බෑ..මම ඔයාලට පාර පෙන්නන එක තමයි කරන්නේ.ඒ දේවල් හරියට ක්‍රියාත්මක කරවල වැඩේ කරගන්න එක ඔයාලගේ වැඩක්..මේ වැඩේ හරියට කරගන්න පුළුවන් උනොත් අපිට සාක්ෂි සහිතව රත්නාලෝකට දඬුවම් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි එතනින් පටන් ගන්න දේශපාලන බල පෙරළියෙන් ජය බණ්ඩාරලාගේ පක්ෂයට ලොකු සහයෝගයකුත් ලැබෙනවා.

ඒක මගේ පැත්තෙන් මට වාසියක්.ඉතින් මම විශේෂයෙන්ම මේකට මෙච්චර උදව් කරන්නේ ඒකයි.ඔයාල කැමතියි නම් හෙට උදේම මම ප්‍රහාන් ව ජනාධිපති මන්දිරයට එක්කගෙන යන්නම්. කොහොමත් රත්නාලෝකට ප්‍රහාණ් ව මීට් වෙන්නේ නෑ.. මොකද මේ ටිකේම ලොක්කා වරාය පුළුල් කරන වැඩේට එහාට මෙහාට දුවන ගමන් ඉන්නේ..අර කුරුඳුවත්තේ තියෙන ජේ කේ බිල්ඩින් එකේ කොටස් තුනක්ම මිනිහා වරාය අධිකාරියට කුලියට ගත්තනෙ.වැඩකට ඇතුවට නෙමෙයි… ජේ කේ බිල්ඩින් එකේ අයිතිකාරයා ලොක්කගේ ගජයාලුවා…ඌට  උදව්වක් හැටියට කියලා තමයි building එකේ තට්ටු තුනක්ම වරාය අධිකාරිය නමින් කුලියට ගත්තේ.. මං හිතන්නේ මේ ටිකේ ඒකෙ මොනාහරි වැඩ වගේකට තමයි බිසී වෙලා ඉන්නේ…” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here