පමා වී පිපුණු මල් 33

0
8600

” ඔයාට පරක්කුද? ගෙදර යන්න ඕනද?” කියා අරුණලීට යවන්නට කෙටි පණිවිඩය ටයිප් කර මොහොතක් ඒ දෙසම බලා උන්නේ එය යවනවාද නැද්ද කියන කුතුහලය සමගිනි. මේ ප්‍රශ්නය අරුණලීගෙන් ඇසිය යුතුම වුවත් එය ඇය ලඟට ගොස් අසන්නට නොහැක්කේ ඇය හිඳින්නේ මිතුරන් අතර නිසාවෙනි. 

ඔන්න ඔහේ ඕන දෙයක් වෙද්දෙන් කියා කිමල් ඒ කෙටි පණිවිඩය යවා දැමුවේය. අනතුරුව ඈතක හිඳ අරුණලී ගේ මුහුණෙන් යම් හැඟීමක් කියවා ගත හැකිවේදැයි බලා උන්නේය. 

අරුණලී මුලින්ම තිගැස්සුණාය. ඒ මේ කෙටි පණිවිඩය මෙනුකගෙන් යැයි සිතාය. ඒ බලාපොරොත්තු නොවූ කෙටි පණිවිඩයකි. එයද මේ මොහොතේ බලාපොරොත්තු නොවූ අයෙකුගෙනි. 

“නෑ පරක්කුවක් නෑ”

ඒ කෙටි පණිවිඩය තමා වෙත එවන්නට ටයිප් කරන අතරවාරයේ අරුණලීගේ මුහුණ මත ඇඳී තිබුණේ සුන්දර සිනහවකි. ඈත හිඳ වුව කිමල් එය දුටුවේය. ඒ වනාහී පෙම්වතාගෙන් මුල්ම කෙටි පණිවිඩය ලද මොහොතක තරුණියකගේ දෙතොල මත ඇඳෙන්නට භැකි අන්දමේ සිනාවක් වියහැකිද කියා කිමල් සිතුවේය.

“එහෙනං අපි ටිකක් කට්ටිය යනකම් ඉඳල යමුද? කමක් නැද්ද? නැත්තං සමහර අය වරදක් හිතාවි කියල බයයි මට”

“ඒකට කමක් නෑ, යද්දි කියන්න. ඕන නම් මම මගට ඇවිත් නගින්නම්, නැත්තම් මට පික් මී එකක් දාගෙනත් යන්න පුලුවන්”

“නෑ නෑ එහෙම ඕන නෑ මම එක්කගෙන යන්නම්, මම කියන්නම් එන්න ඕන වෙලාව”  ඒ කෙටි පණිව්ඩ මාලාව එතනින් නැවතුනද අරුණලීගේත් කිමල්ගේත් දෙතොල මත ඇඳුණු සිනාවන් බොහෝ වෙලා යනතුරු රැඳී තිබුණහ.

රාත්‍රියේ බොහෝ වෙලා යනතුරු එකිනෙකා අතර වූ සිනා කතාවන් අවසන් වෙද්දී අරුණලී උන්නේ ඇත්තටම සතුටකිනි. විනෝදකාමී කතා ද, සිනාවන්ද හිත අලුත් කරන්නට හේතුවක් වී තිබුණි.අනෙක් අතට කිමල් උන්නේද සතුටකිනි. තමාගේ හිතේ පවතින හැඟීම මෙයාකාරයැයි කියන්න තවමත් වෙලාව නොවුණද මෙසේ හෝ අරුණලීට ලංවෙන්න ලැබීම වාසනාවක් ලෙස කිමල් සිතුවේය.

ආදරය කොහොමත් වටිනාකමෙන් වැඩිවෙන්නේ මෙවන් අසීරුතා මැද්දේ ලබාගන්නට උත්සහ කරද්දී බව සිතමින් කිමල් තමන් විසින්ම සිත සනහගන්නට උත්සහ කරමින් උන්නේය.

කේශිනීව ශැනන් සමග ටුක් එකකට නග්ගවා කිමල් අරුණලීව සහ භාශිතව තම වාහනයට නග්ගවා ගත්තේය. භාශිතව බස්සවන්න තියෙන්නෙ බොහෝ.ලඟකින් නිසා සිතට දුකක් නැත. ගමනේ ඉතිරි කාලය පුරාවටම හිඳින්නේ අරුණලී සහ තමා පමණකි. අනෙක් අතට කිසිවෙකු මේ ගැන සැකකරන්නට මග බලමින් උන්නා නම් භාශිත මෙහි ඒම නිසා ඒ සැකයද නැතිවීමට හේතු කාරණා යෙදේ.

“අද කාලෙකට පස්සෙ නේද කට්ටියටම සෙට් වෙන්න ලැබුනෙ?”

වාහනා තුල පැවති නිහඬතාවය නැති කරන්න මෙන් කතාව ආරම්භ කලේ කිමල්මය. ඒ භාශිත තමා අරුණලී ව ඇරලවන්නට යාම වරදවා වටහාගන්නට යම් ඉඩක් තිබේ නම් ඒ ඉඩ නැති කරවනු පිණිසය.

“ඔව් පහුගිය ටිකේම අපි සෑහෙන ප්‍රොජෙක්ට්ස් එක්ක හිරවෙලානෙ හිටියෙ. අනික වීරෙත් අබ්‍රෝඩ් නෙ හිටියෙ”

“කාලෙකට පස්සෙ උනත් කට්ටිය හිටියනෙ”

“අප්පා අපෙ කට්ටිය නෑවිත් ඉඳීවිද බොන්න දෙනව කිව්වොත්? අනික කොහොමත් ෆ්‍රයිඩේ නයිට් එකක් හන්ද කොච්චර බීල ගියත් අවුලකුත් නෑනෙ”

භාශිතත් කිමල් වීරවර්ධනත් එවන් කතා බහක ගිලී ඉද්දී අරුණලී පිටුපස අසුනේ වාඩිව් වී කාරයේ වීදුරුවෙන් තරු පිරුණු අහසද පසුවන නිවාස සහ ගොඩනැගිලි ගස් කොලං අන්ධකාරයේ පසුවන අයුරු බලා උන්නාය. මෙයට පෙර මෙම වාහනයේම දිනක් ගෙදරට ගොස් තිබුනද එදා තමා උන්නේ හරි සිහියකින් නොවේ. ඒ කලබලය නිසාවෙන්ම තමාට මේ කාරය ඇතුලේ හමන ගාඩිනියා මල් සුවඳ හඳුනගන්න අපහසු වී තිබෙන බව අරුණලී සිතුවේ ඒ සුවඳ නැහැ පුඩු පුරා උරා ගනිමිනි. ඒ සුවඳ රාත්‍රියට උරුම සුවඳක් බඳු ය. සිත පතුලක ඇති හැඟුම් උඩට ගෙන එන්නට හේතුවන සුවඳක් බඳු ය. එහෙත් ඒ කුමනාකාරයේ සුවඳක්ද කියා සිතා ගන්නට හැකියාවක් නැත.

කිමල් වීරවර්ධන උන්නේ හැකිතාක් වේගයෙන් රිය පදවමිනි. රාත්‍රියේ පාරවල් වල වූ නිහඬතාවය සහ පාලුව එයට රුකුල් දුන්නකි. එයට හේතු වූ සැබෑ කාරණා ඉතින් කුමක්දැයි ආයෙ අමුතුවෙන් කිව යුතු නොවේ. භාශිතව හැකිතාක් ඉක්මනින් ඔහුගේ නවාතැනින් ඇරලවා අරුණලීව ඉදිරිපස අසුනට ගන්නට කිමල් මග බලා උන්නේය. 

“එහෙනං මචං අපි ගියා, කේශීනීට මැසේජ් එකක් දාලා බලපං ඒකි ගෙදර ගියාද කියල. රිප්ලයි කරන්න නම් සිහියක් තියෙන එකක් නෑ. කෝකටත් ශැනාට කෝල් එකක් දීලා බලන්නකො”

“හරි වීරෙ, අරුණලී ගිහිල්ල මැසේජ් එකක් දාන්න එහෙනං”

“හරී බුදු සරණයි”

භාශිතව නිවස අසලින් බැස්සවූ විගසම කිමල් අරුණලීට ඉදිරි අසුනට එන්න යැයි කීවේ නැත. එකක් භාශිත දකිවී සහ වරදවා වටහා ගනීවි යැයි කියා සිතාය. අනෙක ඉදිරියට එන්න යැයි කියා අසන්න හිතට ධෛර්‍ය වර්ධනය කරගන්න බැරුවය.

භාශිතගේ නිවසෙ සිටමීටර් කිහිපයක් ඉදිරියට ආ කිමල් රිය නැවැත්වුයේය. අරුණලී වටපිට බැලුවේ එයට හේතුව කුමක් විය හැකිද කියා සිතමිනි. ඒ කුතුහලය ඇගේ දෑසින් මිදී කිමල්වෙත එද්දී මෙතෙක් වේලා අහන්නට බයෙන් උන් පැනය අහන්න කිමල් සිතුවේය.

සුක්කානම මත දෑත තබාගෙන මද සිනාවකින් දොතොල් සරසාගෙන හිස මදක් හරවා බැලූ කිමල් “මං නිකන් ඩ්‍රයිවර් වගේ, ළමය ඉස්සරහට එනවද?” කියා ඇසුවේය.

එයට අකමැත්තක් නැති නමුත් අරුණලීට මද අපහසුතාවයක් දැනුනා නොවේ.. එහෙත් හීන් සීරුවේ පිටුපස අසුනේ දොර හැරගෙන අරුණලී ඉදිරිපස අසුනට විත් සීරුවෙන් හිඳගත්තාය. මෙතෙක් වේලා පසුපස අසුනේ හිඳ විඳිමින් ආ ගාඩිනියා සුවඳ මෙතනට වඩා තදින් දැනෙන බව හිතද්දි දෙතොල් විහිදා පෑ සිනහව එලෙසින්ම රඳවගෙන කිමල් නැවතවතාවක් රිය පණ ගැන්වුවේය.

“ඔයා අවුල් නෑ නේද මම ඉස්සරහ සීට් එකට එන්න කිව්ව එකගැන?”

කිමල් ඇසුවේ කුඩා හෝ සැකයක් තිබේනම් එයද දුරු කරගන්නා අදහසිනි. 

“නෑ” අරුණලී පිලිතුරු දෙන්නේ සිනාවකින් මුහුණ සරසාගෙනය. ඒ සිනහව සියලු සැකසංකා දුරුකරගන්නට ප්‍රමාණවත් ය. 

“කම්මැලි වගේනම් සින්දුවක් දාගන්න, මගෙ ෆෝන් එක කනෙක්ට් කරල තියෙන්නෙ කාර් එකට, ඒකෙන් දාගන්න”

“මෙහෙම හොඳයි, කමක් නෑ”

“ඔයා ඇත්තටම අවුල් නෑ නේද මම තාත්තට කියල අද ඔයාට ෆිල්ම් එක බලන්න නවතින්න වුණ එකට?

මම ඇත්තටම කවදාවත් එහෙම කරල නෑ. ඒත් මට හිතුන ඔයා කැමැත්තෙන් ඉන්න එකේ ඔයාට අද නතරවෙන්න බැරි වුණා නම් ඒක අපරාදෙ කියල

තාත්තට ඔයාව අද එවන්න කියල මම කිව්වෙත් හේතුවක් ඇතුව. ඔයා ඔෆිස් එකෙන් ගෙදරටයි  ගෙදරින් ඔෆිස් එකටයි යනව විතරනෙ. ජීවිතේ බෝරින් කියල ඔයාටත් හිතෙනව ඇති කියල මට හිතුන. ඇත්තටම ඒකමයි මම තාත්තට කිව්වෙ මම ෆුල් රෙස්පොන්සිබිලිටි එක ගන්නම් ඔයාට එන්න දෙන්න කියල”

කිමල් එක දිගට කියාගෙන යද්දී අරුණලී කලේ අසා සිටීමම පමණි. කිමල් කියූ පරිද්දෙන්ම තමා ගෙවන්නේ ඉතාම කම්මැලි කාලයක් නොවේද? කොටින්ම තමා සිනාසෙන්නේ හෝ කාර්‍යාල වෙලාවේදී පමණක් නොවේද?

කිමල් තමාව එතරම් හොඳින් තේරුම් අරගෙන තිබෙන්නේ කෙසේද? කොටින්ම මෙනුකවත් තමාව එසේ තේරුම් ගෙන තිබුණේ නෑ නේද?

“තැන්ක්‍යු ඇත්තටම තාත්තාට කතා කරාට. මම සෑහෙන එන්ජෝයි කරා”

“නංගි ගෙදර ඉන්න නිසා කතා කරන්න කෙනෙක් ඉන්න එක හොඳයි නේද? එයා ඔයා වගේ නෙවෙයිනෙ චැටර් බොක්ස් එකක් නේ”

“ඔව්, එයා ඉන්න නිසා පාලුවක් නම් නෑ. ඒ උනාට ඉතින් එයා රෑ වෙනකම් පාඩම් කරන නිසා කම්මැලි”

“ඔයා ටීවී සීරිස් එහෙම බලන්නෙ නැද්ද?”

“ඉස්සර බැලුවදැන් නෑ”

“ඇයි ඒ?”

“ඉස්සර මං යූස් කරේ මෙනුකගෙ නෙට්ෆ්ලික්ස් අකවුන්ට් එක. වෙඩින් එකේ කේස් එකෙන් පස්සෙ මම ඒ අකවුන්ට් එකෙන් ලොග් උනා. මම සල්ලි දීල ගන්න හිතුවෙ නෑ එකක්. ඉතින් දැන් ඉස්සර තරම් සීරිස්, ෆිල්ම්ස් බැලෙන්නෙ නෑ”

කොපමණ ලං වුනත් මෙනුක වනාහී අරුණලී ගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම මකා දමන්නට නොහැකි කලු පැල්ලමක් බඳු මතකයක් බව කිමල් තේරුම් ගත්තේ ඒ මොහොතේය. මොන කතාව ආරම්භ කරද මොන ප්‍රශ්නයක් ඇසුවද නතරවෙන්නේ එකම තැනකින් ය. ඒද වේදනාකාරී මතකයකිනි.

ඒ වේදනාකාරී මතකයන් ජීවිතයෙන් සහමුලින්ම ඉවත් කර දමන්නට අපහසු බව කිමල් දනී. එහෙත් ඒ වේදනාකාරී මතකයන් සමග වඩා සුන්දර අලුත් මතකයන් සමග ජීවිතය අලුත් කර ගැනීම ඇත්තටම කරන්නට හැකිද?

තමා මේ දුවයන්නේ මිරිඟුවක් පසුපසද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here