උදව්ව

“පුතේ, අර හතරවෙනි පටුමගේ ඉන්න ගුණවතී ආන්ටිව ඔයාට මාතකයි නේද?”

අම්මා කෝල් එකක් දුන්නේ කේතකී වැඩ ඇරී ගෙදර යන්නට බස් එකක් එනකම් ඉන්න අතරවාරයේය. කේතකී කොලඹ ඉඳන් රස්සාවට ගියේ බඳින්න ඉන්න මෙවන් ගේ නෑ කෙනෙකුගේ ගෙදර ඉඳල. මෙවන් කේතකී දෙන්න හම්බුනෙත් කැම්පස් එකේදි. කේතකීලගෙ ගෙවල් දුර හන්දයි, ලැබෙන පුංචි පඩියෙන් බෝඩිම් වලට සල්ලි ගෙවල එලියෙන් කද්දි ඔක්කොම වියදම් වෙන හන්ද මෙවන්ගෙ කසාද බැන්දෙ නැති නැන්ද කෙනෙක්ගෙ ගෙදර කේතකීට නතර වෙන්න පුලුවන් උනා. සල්ලියක් නොගත්තට, “අනේ දූ මගෙත් තනිය මැකෙන්න ඔයා ඉන්න එක ශෝක්” කියල ඒ මනුස්සය කියාපු හන්දයි ඕන කරන හාල් පොල් ටික ගෙනැල්ල දාන්න, උදේ නැගිටල උයන්න හෙම කේතකිත් සම්මාදම් වුණා.

“ඔව්, තිලිණි අක්කලගෙ අම්මනෙ”

“අන්න හාරි, ඔයා කොළඹ ඉන්නව අහල මගෙන් උදව්වක් ඉල්ලනව ලමයො කරන්නද නොකරන්නද කියල කියන්න තේරෙන්නෙ නෑ මට”

“ඇයි මොකද්ද කියන්නෙ?”

“ඒ තිළිණිට මොකද්ද ට්‍රේනින් එකකට මාසයක් විතර ඉන්න වෙනවලු කොළඹ. ඉතින් බෝඩිමක් එහෙම මාසෙකට විතරක් දෙන්නෙ නෑනෙ කියල එයා නවතින්න තැනක් හොයනවලු. නෑයන්ගෙ ගෙවල්වල එහෙම ඉන්න බෑ කියනවලු කරදරයි අරකයි මේකයි කියල.

ඔයා ඉන්නෙ මෙවන්ගෙ නෑ කෙනෙක්ගෙ ගෙදරක කියල කොහොමහරි දැනගෙන. මගෙන් කතා කරල ඇහුව ඒ මාසෙ විතරක් ඔයා එක්ක ඉන්න හදල දෙන්න බැරිද කියල?”

අම්මා එහෙම අහද්දී ඒක කරන්න බැරි දෙයක් විත්තියත්, තමන් ඉන්නෙත් තවම නෑයො නොවිච්ච නෑයො වෙන්න ඉන්න කෙනෙක්ගෙ ගෙදරනෙ කියල කිව්වට මොකෝ කේතකී නිකමට වගේ මෙවන්ගෙ නැන්දට ඔය විත්තිය කිව්වා.

මෙහෙ නතර වෙන්න පුලුවන්ද කියල අහන්නෙ නැතුව “බෝඩිමක් හොයාගන්න ඇහැක් වෙයිද නැන්දේ?” කියල ඇහුවම අනේ ඒ මනුස්සය තමන්ගෙ තියෙන හිත හොඳකමට “ අනේ මාසයයිනෙ පුතේ. මෙහෙ මේ නිකන් වහල දාල තියෙන කාමර තියෙන එකේ ඇවිත් ඉන්න කියන්න” කියල කිව්ව.

ඒ විදියට තමයි තිළිණි එයාගෙ අම්මා එක්කාම දවසක් බඩු මලු හෙම අරගෙන එහෙ ආවෙ.

ආදරෙන් පිලිඅරගෙන, ගෙට ගත්තට මොකෝ පස්සෙන්ද තමා කේතකීට තරු පෙනුනෙ.

“මට උදේට ගෙනියන්න කෑම එකක් බෙදාගන්නවා” කියල කිසි ගාණක් නැතුව කිව්ව තිළිණි බොහොම අපුරුවට උදේ හත විතර වෙනකම් නිදියන් ඉඳලා උදේ පාන්දර කේතකී නැන්ද එක්කල ඒ දෙන්න වෙනුවෙන් උයා ගත්ත බත් ටික බෙදාගෙන ගියා.

කියන්න ඕන මොනවද කරන්න ඕන මොනවද කියල හිතාගන්න බැරි එකටත් වඩා කේතකීට තිබ්බෙ නැන්දට මූණ දෙන්න වෙච්ච ලැජ්ජාව.

හැමදාම උදේට නෝන මහත්තය වගේ කෑම එක බෙදාගෙන අරං ගියාට මොකෝ නිකමට උදේ නැගිටල තේ එකක්වත් හදාගත්තෙ තිළිණි නෙවෙයි.

“අනේ නැන්දෙ මේක හරියන්නෙ නෑ, මම කියනව වෙන තැනක් හොයාගන්න කියල” කේතකි මෙවන්ගෙ නැන්දට කිව්වෙ ඒ මනුස්සය අම්මා වගෙ හන්ද. අනික්කෙක මොන දේ උනත් තමන් තාම මෙවන්ව බැඳලත් නෑ. එහෙම එකේ මෙහෙමවත් ඒ මනුස්සය කරනව මදෑ කියන හැඟීම කේතකීගෙ හිතේ හරියට තිබ්බා.

“අනේ දූ මාසයයිනෙ අපිට ඉවසන්න තියෙන්නෙ, අපි ඔන්න ඔහේ ඔය මාසෙ උයල දාමු” කියල ඒ මනුස්සය හිනාවෙලා භාරගත්තට මේ මිනිස්සු තමන් ගැනයි, තමන්ගෙ මිනිස්සු ගැනයි මොනව හිතනව ඇද්ද කියන සැකේ කේතකීගෙ හිතෙත් නොතිබුනා නෙවෙයි.

“මට උදේට බත් හදද්දි කොල මැල්ලුම් දාන්න එපා”

“රෑ නැගිටල වැඩ කරන නිසා රෑට තේ හදල ෆ්ලාස්ක් එකකට දාලා දෙන්න”

“වොශින් මැශින් එකට එයාගෙ රෙදිත් හෝදන්න දාන්න” වගේ එක එක විදියෙ අණකිරීම් දාහක් විතර මේ මනුස්සය කිසි ගාණක් නැතුව කියද්දි කේතකී ඔක්කොම ඉවසන් උන්නෙ මෙවන්ගෙ නැන්දා “ඕවට මුකුත් කියන්න එපා පුතේ. අන්තිමේ දන්නවනෙ ගමේ ගිහින් මගෙ පුතාට බනීවි තැන් තැන්වල. තව දවස් කීයද අපි ඉවසන් ඉමු. මොකෝ හැමදාම මෙහෙ නතරවෙනවය” කියල කිව්ව නිසා.

“නැන්දනම් නැන්දෙ බුදු වෙන්න පෙරුම් පුරනවද කොහෙද” කියල කේතකී කිව්වෙත් ඒ මනුස්සයගෙ ඉවසීම ගැන පුදුම වෙච්ච හන්දා.

නිවාඩු දවස්වල මෙවන් ආවම රසට කෑම හදන එක, හැන්දෑවෙ ගෙදර ඉඳන්ම නෙට්ෆ්ලික්ස් බල්ලන ගමන් හැලප, කට්ලට් ඒව මේව හදන ඒවටත් තිළිණි එහෙන් මෙහෙන් සම්මාදම් වුණා.

කොහොමහරි මාසෙ ඉවරවෙලා තිලිණිල ගෙදර ගියා. මුකුත් කතාවක් නැතුව කේතකීයි නැන්දයි හොඳ හිතින් සමු දුන්න. කරන්න පුලුවන් උපරිම කල හන්ද ඇත්තටම හිතේ සන්තෝසයක් තිබ්බා. ඒ එක්කම මිනිස්සුන්ගෙ අවස්තාවදීකම ගැනත් කේතකී තිළිණිව මුල්කරගෙන හිතුවා.

ඔහොම සතියකට විතර පස්සෙ තමා අම්මා ආයෙ කෝල් කරේ.

“බලන්න ළමයො අර මිනිස්සු නම් මහ පුදුම ජරා අය”

අම්මා කතා කරල එහෙම කියද්දි මුලින් කේතකීට හිතාගන්න බැරිඋනා වෙලා තියෙන්නෙ මොකද්ද කියල.

“ඇයි අම්මෙ?”

“අර ගුණවතීයි තිළිණියි පුදුම කතා ළමයො ගම පුරා කියල තියෙන්නෙ. මම කතාකරල හොඳටම බැන්න”

“ඇයි? අපි සැලකුවෙ නෑ කිව්වද?”

“එහෙම කිව්වනම් තව හොඳයි. තව මාසයක් විතර කොළඹ නතරවෙලා ඉන්න තියෙද්දිත් එයා ආවෙ ඔයා නටන නාඩගම් බලාගෙන ඉන්න බැරුවලු. ඔයා නැන්ද නැතිවෙලාවට පවා මෙවන්ව ගෙට ගෙන්න ගන්නවලු. පුදුම කැත කතා කියල තිබුණෙ”

අම්මා ඔහොම කියද්දි ඇස් වලට කඳුලු ආව කේතකී වෙච්ච හැමදේම ගිහින් කියල ඇඬුවෙ මෙවන්ගෙ නැන්ද ලඟ.

“බලන්නෙ නැන්දෙ අපි කොච්චර හොඳට සැලකුවද? මිනිස්සුන්ට මෙහෙම දේවල් කරන්න පුලුවන්ද? කියල කේතකී දුක්වෙද්දි නැන්දා නම් තමන්ගෙ ඉවසීමෙන්ම කිව්වෙ මෙන්න මෙහෙම.

“අපිට මිනිස්සුන්ව හදන්න බෑනෙ පුතේ. ජීවත්වෙද්දි අපිට රෝස මල් වගේම කිඩාරම් මල් පිපෙන තැන්වලත් ඉන්න වෙනවා.

අපි දැනගන්න ඕන රෝස මල මොකද්ද කිඩාරම් මල මොකද්ද කියල. එතකොට තමයි කිඩාරම් මලක් ළඟ ජීවත් වුනත් අපිට ගද නොගහන්න ජීවත්වෙන්න පුලුවන්”

More Stories

Don't Miss


Latest Articles