මහේලගේ කතාව නවතන්නට සිදු වුණේ නැන්දා කෑම කන්නට සූදානම් වන්නයැයි යෝජනා කල නිසාය. එහෙත් ආහාර ගන්නවාට වඩා දැඩි අවශ්‍යතාවක් එවෙලෙහි තිබුණි.
මට එතරම් ප්‍රේම කලානම්, මා වෙනුවෙන් එතරම් වෙහෙසුනා නම්, අසරණව උන් මොහොතක මා තනි කර දමා, මට කිසිම සම්බන්ධතාවයක් ගොඩ නඟා ගන්නට හෝ ඉඩක් නොදී වහන් වූයේ ඇයිදැයි විමසීම අසාධාරණ නැතිවග ඔබද පිළිගන්නවා නොවේද ?
මා ද්‍රෝහි විය. එහෙත් එය සැබෑ ද්‍රෝහි වීමක් නිවන වග ඔබ දැන් දන්නේය. මහේල අරන්දර එය නොදන්නා බව සැබෑය. නමුත්, ඔහු නොදන්නා සත්‍ය තුළ මා ඔහුට ද්‍රෝහි වූ පෙම්වතිය ක නොවේය. එසේනම් වසර හයක් තිස්සේ , ජීවිතය මට තිත්තව යන්නට හැර ඔහු මා අතැර විදෙස් රටකට වී කුමක් කලේද ?
මම මහේලට නැඟිටින්නට ඉඩ නොදුන්නෙමි. මහේල තරවටු බැල්මකින් මා දෙස බැලුවේය
” බේබද්දියෙක් වගේ බීලා බීලා මෙතන .. දැන් හිස් බඩ ඇත්තේ … එන්න .. කාලා ඉමු …”
” බඩගිනි නෑ….”
“අසේකා මේ … මෙන්න මෙහෙ එන්න …”
කා බී අවසන් වූවාට පසු ඒ කතාව යළි ඇරඹුනේ නැත. මහේල තාත්තා සහ නැන්දාට සමුදී මා වාහනයට නංවා ගත්තේය. නැන්දා මා සිප ගත්තේ වෙනදාට වඩා තදින් සහ අත් නොහරින මොකක්දෝ හැඟීමක් සමඟ බව දැනුණි. මහේල තාත්තා වැලඳගන්නට තත්පර කිහිපයක් වැය කලේය. තාත්තා මා උන් පස දොර විවෘත කර මගේ නළල ඉඹ, හිස පිරිමැද්දේය
ඇයි කියන්නට වැටහෙන්නේ නැත. මට ඒවා හරි බරට දැනුණි.
මහේල මෝටර් රිය ධාවනය කරන්නට පෙර මට අසුන් පටි පැළඳවූයේය. කිසිවෙකුට ඇමතුමක් ගෙන යමක් සිදු කරන්නට අවසර ලබාදුන්නේය. ඒ අතර තුර වරක් දෙවරක් මා දෙසද බැලුවේය. එහෙත් කිසිවක් පැවසූයේ නැත.
” හිතුවක්කාරකම නම් තියෙනවා ආයේ මදි නොකියන්න …”
අරන්දර එලෙස කීවේ මට නොවන ගානටය. මම පිළිතුරු දෙන්නට ඉස්සර නොවූයෙමි.
” නිලන්ත සර්ලා මොනවා හිතුවද දන් නෑ.. මම කල්පට ලන්ච් යන්න කිව්වේ …”
මට එයට දෙන්නට පිළිතුරක් වූයේ නැත. මම මහේල දෙස බලද්දී ම ඔහු මට විරිත්තුවේය. දැන් හැසිරෙන්නේ ඉස් ඉස්සෙල්ලාම මුණ ගැහුණු ප්‍රේමවන්තයන් දෙදෙනෙකු ලෙසය.
” ඇත්තටම ඇයි අසේකා කඩාගෙන බිඳගෙන ආවේ එහෙම ?”
මහේල කිසිවක් නොදන්නා, නොවැටහෙනා සේ විමසන්නේය. ඔහුට අවැසි වන්නේ කුමක්දැයි මට වැටහෙන්නේ නැත.
” ඔයා බැඳලා ද ?”
” මොකක් ද?”
“අර ආව එක්කෙනා ඔයාව බැඳලාද ?”
මම යළි විමසුවෙමි. එය එසේ විය නොහැකියැයිද සිත නොකීවා නොවේ. එහෙත් මම සන්සුන් නැත.
” යසයි ගෑණු ළමයා… මං ඔයාට පැහැදිලිව කියලා තියෙනවා මගේ ජීවිතේ ගෙවුණ අවුරුදු හයේ තිබුණ දේවල් ගැන .. ඒ දේවල් වර්තමානේදි මුණ ගැහෙන්න පුළුවන් බවත් මම කිව්වා .. නේ ? … එහෙම වෙලත් කඩාගෙන බිඳගෙන ආව එක යුතුද අසේකා ? “
” එහෙම බඳාගෙන නටන්න තරම් මොකක් ද ?…”
මම පහල ස්වරයකට වැටී ඇසුවෙමි. ගෙවුණ වසර හය පුරාම මම හැඬූ දවස් අනන්ත අප්‍රමාණය. එහෙත්, මම ඒ දුර්වලකම එලිපිට නොපෙන්වූයෙමි. මෙවර ඒ පාලනය මගෙන් ගිලිහී ගියේය.
කෙතරම් හයිය ගැහැණියක වුවද වැටී හඬන්නට පිරිමි පපුවක උණුසුම ප්‍රාර්ථනා කරනවායැයි මට ඔබට කියන්නට සිතේ.
විදෙස් රටක ඇති සංස්කෘතික ගැන මහේල කීවේ මා ඒ ගැන යන්තම් එහෙන් මෙහෙන් දන්නා බව අමතක කර මෙනි. අප පෙරළා නවාතැනට යන තුරුම ඔහු එහි ගෙවූ ජීවිත වල සිටි මිනිසුන් සහ ගැහැණුන් ගැන කෙටි කතන්දර කීවේය. ඒ අය නැවත හමුවෙන්නට සැලසුම් කරන්නේ නැතිවා වුවද , යලි හමුවීමකදී සිප වැළඳගන්නට බාධාවක් නැති වගද ඔහු කීවේය.
එහෙම වෙන හැම වතාවකම මා ඔහුගෙන් ඉවතට දුවන්නට උත්සාහ කිරීම ඔහුට දරා ගත හැකි තත්වයක් නොවන බවද අවධාරණය කලේය.
අප වටා ඇති යදම් වල දිග පළල කොහොම දැයි මට අවබෝධයක් වුයෙ නැත. මා කස්සප නම් මිනිසාගේ නීත්‍යානුකූල බිරිඳය. ඉන් එහාට මේ සිදුවන දේවල් විසඳාගැනීම පහසු නැත. දික්කසාදයක් නැතිව මහේල සමඟ ගෙවන මේ ජීවිතය තුළ මා වැරදිකාරියක නොවේද ?
” අද ඩිවෝස් පේපර්ස් වල වැඩ ටික ඉවර කරලා තියෙන්නේ.. ඒ ටික කස්සප ට යවන්න විදියකුත් හොයාගත්තා … අපි බලමු දැන් මොකාටද ඌ එන්නේ කියලා …”
ඉතින්, මහේල අරන්දර ඔබ මා මෙතරම් සීරුවෙන් කියවන්නේද ?
මම හිස සැලුවෙමි.
” අසේකා … අයියා හරි අම්මා හරි ඔයාට කතා කරොත් මට කියන්න වහාම හරි ද ?”
එක්වරම සිහිවූ යමක් මෙන් මහේල කීවේ මා දෙසද බලමිනි. මම හිස සැලුවෙමි.
” ඔයා ඉස්සර උන්නට වඩා ශක්තිමත් ගෑණියෙක් කියලා මම පිලිගන්නවා. ඒත් දෙයියන්නේ නාමෙට, ප්ලීස් … මගෙන් දේවල් හංගන්න නම් උත්සාහ කරන්න එපා …”
“මං මුකුත් හංගන්නේ නෑ..”
“එහෙනම් ඇයි කියන්නේ නැත්තේ අරූ බඳින්න හා කිව්වෙ ඇයි කියලා .. ඒ අම්මා කියපු නිසා වෙන්න බැහැ නේ…”
“ඔයා කියන්නේ නැත්තේ ඇයි ? ඒ මඟුල එහෙම කැඩුනට පස්සේත් ඔයා මාව දාලාම ගිහින් අවුරුදු හයක් මාව දකින්නවත් නාවේ ඇයි කියලා ..?”
මමද විමසුවෙමි. මහේල හිස සලමින් යමක් තහවුරු කරගත්තේය.
| අපේක්ෂා ගුණරත්න |