ඩොරිස් ඩකර්, පුතා නිකලස් සමඟ මේ ලෝකේ තනි කරමින් ඇගේ ස්වාමිපුරුෂයා හිටිහැටියේම කිසිම හේතුවක් නොපවසා ඔවුන් අතහැරල දාල ගිහින් තිබුණා.
ඒත්, ඒ සියල්ලම ඉතාම මැදිහත් සිතින් ඉවසා දරාගන්න ඩොරිස්ට පුළුවන් වුනේ තමන්ගේ ස්වාමිපුරුෂයගේ වෙනස් වීම් ඊට කාලෙකට කලින් ඉදලම ඇයට ටික ටික දැනෙමින් තිබුණ නිසයි.
කවදත් ශක්තිමත් හිතක් තිබ්බ කාන්තාවක් වුණ ඩොරිස් ඩකර්ට ඒ වෙද්දි අවුරුදු 30 ක් පහුවුණා විතරයි. තමන්ගේ තරුණ ජවයෙන් උපරිම ප්‍රයෝජන ගත්තු ඇය රැකියාවන් දෙකකම නිරත වුණේ නිකලස්ට කිසිදු අඩුපාඩුවකින් තොර සුවපහසු ජීවිතයක් ලබාදෙන්න ඕන වුණ නිසාමයි.
අපහසු කාලයන් ටික ටික ගෙවිල යද්දි ශක්තිමත්, කඩවසම් තරුණයෙක් ලෙස හැදී වැඩුණු නිකලස් දිහා බලන් ඉද්දි ඩොරිස්ට තමන්ගේ කැපකිරීම් ගැන දැනුනේ ආඩම්බරයක්.
නිකලස් විවාහ වුනේ හරිම සුන්දර, ආදරණීය යුවතියක් වුණ සැන්ඩ්‍රා එක්කයි. විවාහ වී ටික කාලෙකින්ම ඔවුන්ගේ දියණිය පේජ් උපත ලැබුවේ සැන්ඩ්‍රාට සහ නිකලස්ට කුළුදුලේ දරු සම්පත් හිමිකරල දෙමිනුයි.
ඉතිං මේ ආදරණීය පුංචි පවුල දිහා බලාගෙන ඩොරිස් හරිම සැහැල්ලුවෙන් තමන්ගේ ජීවිතයේ සැඳෑ කාලය ගත කරන්න සූදානමින් හිටියත් කවුරුත් බලාපොරොත්තු නොවුණු ඉතාම කණගාටුදායක සිදුවීමකින් පස්සෙ ඩොරිස්ගේ ජීවිතේ උඩු යටිකුරු වුණා. ඒ වෙද්දි, ඇයට වයස අවුරුදු 60 ක් වෙලයි තිබුණේ.
නිකලස්ගෙ බිරිඳ සැන්ඩ්‍රා රිය අනතුරක් නිසා මේ ලෝකෙන් සමුගද්දි ඔවුන්ගෙ දියණිය පේජ් අවුරුදු 10 ක කුඩා දැරියක්.
සැන්ඩ්‍රාගෙ මරණෙන් පස්සෙ පේජ්ට මොකක් වෙයිද කියල හිතමින් දැඩි ශෝකයෙන් කාලෙ ගතකරපු ඩොරිස්ට පුදුම හිතෙන කාරණාවක් වුණේ ඇගේ පුතා, නිකලස් සැන්ඩ්‍රාගෙ මරණය ගැන වැඩි තැකීමක් නොකර ඉතාම සැහැල්ලුවෙන් කාලෙ ගතකිරීමයි.
වෙනත් ගැහැණියක් සමඟ ප්‍රේමයෙන් බැඳී සිටි තමන්ගෙ සැමියගෙ හැසිරීම් ටික ටික තමන්ගේ පුතාගෙනුත් දැක්ක සැන්ඩ්‍රා ඒ ගැන ගොඩක් කම්පා වුණේ ඔහු පේජ් ගැනවත් හරිහැටි සොයා බැලීමක් නොකරන බව දැණුනු නිසයි.
මේ සියළුම හොර රහස් ගමන් බිමන් නතර කරල සැන්ඩ්‍රාගෙ මරණෙන් මාස තුනකට පස්සෙ සුරූපී ලුසී එක්ක ඩොරිස්ගෙ නිවසට ගොඩවැදුණු නිකලස් ඩොරිස්ට කීවෙ පේජ්ව බලාගන්න තමන්ට තනිවම නොහැකි නිසා ඒ වෙනුවෙන් ලුසීව විවාහ කරගෙන නිවසට කැඳවාගෙන ආව බවක් වුනත් එතනින් පස්සෙ වෙන්නෙ මොනවද කියල ඩොරිස් හොඳින් දැනගෙන හිටියා.
පේජ්ව බලාගන්න නිවසට ලුසීව එක්කගෙන ආව කීවත් එදායින් පස්සෙ පේජ්ට වැඩියෙන් කාලය ගත කරන්න සිදුවුනේ තමන්ගේ ආච්චි අම්ම ඩොරිස් එක්ක ඇගේ ගෙදරයි.
පේජ්ව ඩොරිස්ගෙ ගෙදරට ඇරලවල රෑ කෑම වේල් වලට පිටත් වෙන්න නිකලස් සහ ලුසී මුලින් මුලින් කටයුතු කරත් ඒ ගමන් පස්සෙ ටික ටික සති අන්තයේ චාරිකා සහ සති දෙක තුනක කෙටි නිවාඩු දක්වා දීර්ඝ වෙන්න පටන් ගත්ත.
පුරුදු විදිහටම දවසක් පේජ්ව එක්කගෙන ඩොරිස්ගෙ ගෙදරට ආව නිකලස්ගෙ අතේ ටිකක් ප්‍රමාණයෙන් විශාල ඇඳුම් බෑගයක් දකින්න ලැබුණා.
“ජේජ්ව බලාගන්න ලුසීට හරි අමාරුයි අම්ම ! එයා දැන් සෑහෙන දඟකාර ළමයෙක් වෙලයි ඉන්නෙ.” නිකලස් කීව.
“ලුසීට දැන් හරි මහන්සියි. ඒ නිසා අපි තීරණය කරා මාස තුනක නිවාඩුවකට පිටත් වෙන්න, මන් හරියටම අගෝස්තු 27 වෙනිදා ආයෙ එනව. ඒ එනකන් පේජ්ව බලාගන්න”
පේජ්ව බලාගන්න එක ඩොරිස්ට නුපුරුදු දෙයක්වත් අසීරු දෙයක්වත් වුණේ නෑ. ඒත් තමන්ගෙම දියණිය ගැන නපුරු කතා කියන නිකලස් දිහා තවදුරත් බලන් ඉන්න බැරි තැන තවදුරටත් නිශ්ශබ්දව නොසිටින්න ඩොරිස් තීරණය කරා.
“ලුසී ඔයාව විවාහ කරගත්තේ ඔයාට අවුරුදු 10 ක දුවෙක් ඉන්නව කියල දැනගෙනනේ. අම්ම නැති වේදනාවෙන් ඉන්න මේ දරුව ගැන හිතනවට වඩා ලුසීගෙ මහන්සිය ගැන හිතන්න තරන් ඔයා නපුරු වුණේ කොහොමද? අනික උදේ හවස මන් එක්ක වැඩිපුර ජීවත් වෙන මේ දරුව බලාගෙන ලුසීට මහන්සි වෙන්නෙ කොහොමද?”
ඩොරිස් එහෙම කීවත් අගෝස්තු 27 වෙනිදා නැවත පැමිණෙන බව පමණක් පවසූ නිකලස් ඉක්මණින් පිටත්ව ගියා.
නිකලස් කීව අගෝස්තු 27 වෙනිදා පහුවෙලා මාසයක් විතර ගියාම නිකලස්ව හොයන් ඔහුගෙ ගෙදරට ගිය ඩොරිස්ට දැනගන්න ලැබුණේ ඔහු ඔහුගේ නිවස සහ වාහනය විකුණා දමා ඇති බවකුයි.
ජංගම දුරකථන අංක භාවිතයෙන් ඉවත් කර තිබූ ඔහු තමා කරමින් සිටි රැකියාවෙන් පවා ඉවත්වී තිබුණා.
ඔව් ! නිකලස් ඔවුන්ව අතහැර දමා ගොස් තිබුණා.
නිකලස් ඒ විදිහට පිටත් වෙලා ගිහිල්ලා අවුරුදු 10 ක් ගතවුනත් පේජ්ටවත් ඩොරිස්ටවත් නිකලස්ව දැකගන්න ලැබුණේ නෑ.
අවුරුදු 10 කට පස්සෙ එක දවසක් උදේ තමන්ගෙ නිවසේ සීනුව නාද වෙනව ඇහිල ඒ කවුද බලන්න දොර විවෘත කරපු, ඩොරිස්ගේ අසල්වැසියා වගේම හොඳම මිතුරිය වුණු කැරොලින් මහත්මිය දැක්කෙ තරමක් පරණ සහ අවර්ණ ඇඳුම් වලින් සැරසුණු මූණ පුරා අපිළිවෙල රැවුලක් වාවාගෙන හිටිය මැදිවියේ මිනිසෙකුයි.
“කැරොලින් නැන්දේ, අපේ අම්ම කොහොද ගිහින් ඇත්තේ ? ගෙදර ඔක්කොම දොරවල් ජනෙල් වහල දාල මුළු මිදුලම කැලෑ වැහිලා. මේ ගෙදරට මෙහෙම වෙන්න ඉඩ දීලා එයා මොකක් කරාද? “ අමුත්තා එකවරම කියවගෙන ගියා.
මේ අමුත්තා වෙන කවුරුවත් නෙමෙයි තමන්ගෙ මිතුරිය ඩොරිස්ගෙ පුතා නිකලස් බව කැරොලින්ට වැටහුණේ ඊට පස්සෙයි.
“අම්ම කොහෙද කියල බලන්න ඔයාට දැන්ද මතක් වුනේ නිකලස් ? ඉන්න මන් ඔයාට එයාලගෙ ලිපිනය දෙන්නන්. ඒත් ඔයා සතුටුදායක පිළිගැනීමක් නම් බලාපොරොත්තු වෙන්නෙ එපා” තරහෙන් එහෙම කියල නැවත ගේ ඇතුළට ගිහින් ආව කැරොලීන් මහත්මිය ලිපිනයක් සහිත කොල කැබැල්ලක් නිකලස් අතට දීල හයියෙන් දොර වසා ගත්තේ තරහින් පුපුරමිනුයි.
කැරෝලීන් මහත්මිය දුන්න ලිපිනය හොයාගෙන ගිය නිකලස්ට පුදුම හිතුනේ තමන් පැමිණ තියන්නෙ ඉතාම අලංකාර නවීන පන්නයට ඉදිවුණු නිවසකට බව දුටුව නිසයි.
නිවසේ දොර ඔහුට විවෘත කරේ සේවක නිළ ඇඳුමෙන් සැරසිලා හිටිය සේවිකාවක්.
“මට පේජ්ව සහ ඩොරිස්ව මුණ ගැහෙන්න ඕන” නිකලස් එහෙම කීවෙ තමන්ගෙ දියණිය සහ මව මේ සේවිකාවන් සමඟ සේවය කරනවා ඇති යැයි හිතුව නිසයි.
“ඔබ අදහස් කරේ ඩකර් මහත්මිය සහ හෙන්ඩර්සන් මහත්මියද? ඇතුලට එන්න මම ඔවුන්ට දැනුම්දෙන්නන්”
එහෙම කීව සේවිකාව ඉක්මණින්ම පිටත් වුණා.
පුදුමයට පත්වෙලා නිවසේ එහෙමහෙ ඇවිදිමින් හිටිය නිකලස් පිටුපස හැරුනේ තමන්ව අමතන කටහඬක් ඇසුණු නිසයි.
“නිකලස් ඔයාට මොනවද ඕන?”
ඉතාම ප්‍රසන්න ලෙස වටිනා ඇඳුම් වලින් සැරසී සිටිය තමන්ගෙ මව සහ ඇගේ අතින් අල්ලගෙන ඉන්න සුන්දර නව යොවුන් තරුණිය දුටු නිකලස් මේ ඉන්නෙ තමන්ගෙ දියණිය බව තේරුම් ගත්තේ ඇයට සැන්ඩ්‍රාගේ මුහුණුවර ලැබී තිබුණු නිසයි.
නිශ්ශබ්දව පේජ් දිහා බලන් ඉන්න නිකලස්ව දැක්ක ඩොරිස් නිශ්ශබ්දතාව බිඳින්න තීරණය කරා.
“ මේ දරුවත් එක්ක ජීවත් වෙන්න වයසක මට ගොඩක් අමාරු වුණා නිකලස්. මට ආයෙ රැකියාවක් කරන්න වුණා. ඒත් මම ඇයව හැකිතරම් හොඳින් බලාගත්තා. ඇයත් උගත් බුද්ධිමත් කීකරු කාරුණික දියණියක් ලෙස හැඳී වැඩුණා.
ඇගේ හොඳ හිත නිසාම ඉතාම වැදගත් මහත්මයෙක්ගේ අත ගන්න වාසනාව ඇයට හිමිවුණා. අපි දැන් සතුටින් ඉන්නවා. කරුණාකරල ඔබ හිටිය වගේම අපේ ජීවිත වලින් ඈත් වෙලා ඉන්න” ඩොරිස් කීව.
“තාත්ත ගැන මගෙ මහත්තය පීටර් විස්තර හොයල තිබුණා. ලුසී ඔබව හැරගිය බවත් ඔබට ලඟදිම දවසක මෙසේ අපිව සොයාගෙන නැවත පැමිනෙන්න සිදුවෙන බවත් මම දැනන් හිටිය තාත්තා. මම ඔබට උදව් කරන්නම් ඒත් ආයෙ මාව මුණගැසෙන්න එපා” පෙජ් ඉවත බලාගෙනම කීව.
ඇත්තටම නිකලස් රැකියා විරහිතව ඉතාම පීඩාකාරී කාලයක් ගෙවමිනුයි හිටියේ. කුලී වැඩක් නොලැබුණු සමහර දිනවලදී බඩගින්නෙන් ඉන්නත් ඔහුට සිදුවුණා.
තමන් කල වරදට දඬුවම් ලැබුණු බවත් ඔවුන් සමඟ වාද විවාද කර ඵලක් නොමැති බවත් වටහා ගැනීමෙන් පස්සෙ ලැබෙන දෙයක් භාරගන්න නිකලස් තීරණය කරා.
පේජ් පරණ ගෙදර දොරේ යතුරත් ලියුම් කවරයකට දැමූ ඩොලර් 5000 කුත් රැගෙන පිටත්වෙලා යන නිකලස් දිහා බලාගෙන හිටිය පේජ් කාටවත් නෑසෙන සිහින් හඬින් මෙහෙම කීව.
“ඔයා මගෙ කවුරුවත් නෙමෙයි. ඒත් ඔයා මගෙ ආච්චි අම්මගේ පුතා ඒකයි මම උදව් කරේ”
Amomama වෙබ් අඩවිය ඇසුරෙන් ලීවේ දුලානි නවෝද්‍යා