නදී උන්නෙ පලවෙනි දවසේම හිත රිද්දගන්න පුලුවන් උපරිමයටම රිද්දගෙනය. සාමාන්‍යයෙන් අල්විස් වත්තේ කෙල්ලෙකු, කොල්ලෙකු ඔහොම දෙයක් කිව් පමණින් හිත රිද්දාගන්නා කෙල්ලන් නොවුනත් කුමක් හෝ නොදන්නා හේතුවක් නිසාවෙන් මියුරුගේ ඒ මියුරු නොවූ වචන නදීගේ හිත බොහෝ සෙයින් රිද්දන්නට හේතු වුණාය.
“ඉයස්?” මියුරු හිස ඔසවා ඇසුවෙ ඒ සමන්පිච්ච මල් සුවඳ හිත පත්ලේම තැන්පත් කරගන්නා අතරවාරයේය. තම දෙනෙත් වෙනදා මෙන්ම එක එල්ලේ මේ නාඳුනන කෙල්ලගේ සමන්පිච්ච මලක් තරම්ම සොඳුරු වතේ එහා මෙහා කලබලෙන් ඇදි යද්දී හිත තිබ්බේ වෙනදා වගේ කන්සන්ට්‍රේට් කරගන්නට අපහසුවෙනි.
“මම සර්?..”මියුරු උන්නේ ඇයගේ වදන්වලට ඉවර වෙන්නට ඉඩ දෙන්නට හැකිව නොවේ. එකක් මේ වෙලාවේ තමන් ඉන්නේ දවස ඇතුලත ඉවර කරගන්නට නොහැකි වැඩ කන්දරාවක් මැද්දේය. අනික් අතට කවදාවත් නැතුව තමන්ගේ හිත මේ කෙල්ලක නිසාවෙන් කලබල වී තිබේ.
“අනේ සොරි අද නම් මට ඇත්තටම චැරිටි වැඩවලට දෙන්න වෙලාවක් නැහැ. ඔයා අද අපොයින්ට්මන්ට් එකක් දාලාත් නෙවෙයිනේද තියෙන්නෙ? මගේ සෙක්‍රටරිත් තාම ඇවිත් නැහැ ඒ නිසා පොඩ්ඩක් මම බිසී. පුලුවන් නම් අපේ රිසෙප්ශනිස්ට් එක්ක චෙක් කරල අපොයින්ට්මන්ට් එකක් දාලා එන්න” මියුරු කලබලයෙන් කිව්වේ ඇගේ වතින් දෙනෙත් මුදවාගන්නට තැත් කරමිනි.
“සර් මම චැරිටි වැඩකට නෙවෙයි ආවෙ” තමන් ඇඳ පැලඳගෙන ආ විදිය හෝ කුමක් හෝ හේතුවක් නිසා මියුරු තමන්ව වැරදියට තේරුම් ගෙන ඉන්න බව වැටහුන නිසාවෙන්ම නදී ඉක්මනින් වචන ගොනු කරගත්තාය.
මියුරු බලන් උන්නේ ලා රෝස පාට දෙතොල් සොලවමින් ඇය කතාකරන අන්දමය. මෙච්චර දවසකට කෙල්ල ඉදිරියේ තිගැස්සුණේ නැති හිත අද මේ සාමාන්‍ය පෙනුමැති කෙල්ල ඉස්සරහා තිගැස්සී තියෙන්නෙ ඇයිද කියා කියන්නට මියුරුට නොහැක.
“එහෙනං?”කියා ඇයගෙන් විමසන්නට වචන ගොනු කරගන්නට බැරිම තැන මියුරු ඒ ප්‍රශ්නය මූණ මත ඇඳගත්තේය.
“මම අද ආවෙ අලුතෙන් සර්.මාව තමයි අලුතෙන් ගත්තෙ සෙක්‍රටරි පෝස්ට් එකට. සර් හිටියෙ නෑ මගෙ ඉන්ටවිව් එකෙ මම හිතන්නෙ සර් රට ගිහින් හිටියෙ. අද තමයි සර් මගෙ ෆස්ට් ඩේ” නදී කියාගෙන කියගෙන ගියේ එක අතකින් හෑන්ඩ් බෑගයේ පටිය තද කරගෙන මියුරුගේ දිගු කාලවර්ණ දෙනෙත් දෙසම එක එල්ලෙ බලාගෙනය. නදී අඩියක් දෙකක් ඉස්සරහට තබා මියුරුගේ මේසය මත තැබුවේ ඇයගේ අපොයින්ට්මන්ට් ලෙටර් එකය.මියුරු ඒ ලියුම අතට ගෙන බැලුවේ හිත මහා පුදුමයකින් පිරී යද්දීය. මෙහෙම කෙල්ලෙක්ව තමන් තමන්ගේ කාර්‍යාල සහයිකාව ලෙස බලපොරොත්තු නොවුන බව දන්නේ තමන් පමණකි.එහෙත් ඕර්ගනික් ෆුන්ඩ් වැනි ආයතනයක ඇක්ටින් සී ඊ ඕ තනතුර දරන කෙනෙකුගේ සෙක්‍රටරි ලෙස මෙහෙම සාරි අඳින, රජයේ කාර්‍යාලයක සේවය කරන පෙනුමක් ඇති, මෙලෝ ෆැශන් සෙන්ස් එකක් නැති කෙල්ලක ගන්නට එච් ආර් එකට පිස්සුද කියා නොසිතා ඉන්නට හැකියාවක් මියුරුට තිබුනේ නැත.
තමන් දැන් කියන්නට ඕන කුමක්ද කියා හිතගන්නටවත් නොහැකි තැනක මුවෙන් වචන එලියට පැන්නේ දෙපාරක් හිතන්නට කලියෙන් ය.
“මගේ සෙක්‍රටරි විදියට ඔයාව? පිස්සුද එච් ආර් එකට?”” කියා මියුරු තමන්ගේ හිසේ සිට දෙපතුල දක්වාම බැල්ම දෙතුන් සැරයක් යවද්දී නදීට දැනුනේ තමන් ඔහු ඉදිරියේ නිර්වස්ත්‍රව හිඳිනවා වැනි හැඟීමකි. ඒ අපහසුදායක හැඟීම මින් පෙර කිසිම දිනක දැනුන හැඟීමක් නොවන නිසාම එදාවැඩ ඉවර වී ගෙදර එද්දීත් ඒ ඔලුව කැක්කුම තමන්ව හැර ගොස් තිබුනේ නැත.
කාවින්දි උන්නේ නදී ගෙදර එනතුරු මග බලාගෙනය. අම්මා විසින් හවස්වරුවේ විකුණන්නට හැදූ වඩේ කීපයක්ද ඇය රැගෙන ආවේ නදීට දෙන්නට හිතාගෙනය.නදී කොහොමත් උණු වඩේ කරස් කරස් ගා හපමින් බත් කන්නට ආස බව කාවින්දි තේරෙන කාලේ හිඳ දන්න දෙයකි. වඩේ තියෙන දවසට බත් ටිකක් සමග පරිප්පු හා පොල් සම්බල් හැදුවත් නදී ආසාවෙන් කන බව කාවින්දි දනී. අනික් එක හරියට උයන්න එලවලුවක් ගෙදර නැති දවසක වත්තෙ වුන් ඒ අඩුව පිරිමසා ගන්නේ වඩේ වලින් බව කාටවහ් රහසක් නොවේ.
“උඹ වඩේ ගෙනා එක හොඳයි. පොල් සම්බෝලයක් හැදුවම ඇති” කියමින් චන්ද්‍රකාන්ති ගේ ඇතුලට ගියේ වඩේ පාර්සලය අස්සේ තිබූ බැදිච්ච මිරිස් කරලක් හපමිනි. බුලත් විටම හපා දිවේ රසංකුර මැරී ගොස් ඇති නිසා හැපුවාට මිරිස් කරලේ සැරක්වත් රසක්වත් චන්ද්‍රකාන්තිට නොදැනෙන තරම් ය.
නදී ගෙදර එද්දීත් කාවින්දි උන්නේ ඇයගේ කාමරයට වැදී සුජීව ප්‍රසන්නාරච්චිගේ වර්ශා පොතක් කියවමිනි.ඔය වගේ ඉතින් ලස්සන ප්‍රේමකතාද, මොන දුකක් වින්දත් හමුවන රාජ කුමාරවරුන්ද ඉන්නේ කතා පොත්වලම පමණක් වුණත් සුජීව අයියා ලියන වචනයක් නොකියවා ඉන්න හැටියක් මේ කෙල්ලන්ට නැත. අනෙක් අතට ඇත්ත ජීවිතේ එහෙම ආදර කතා හම්බෙන්නේ නැති නිසාවෙන් “ලබාගන්න නොහැකි තැන බලා හිඳීමත් ප්‍රේමයයි” කියා හිත සනසාගන්නේ ඔහොම කතාවක්වත් කියවාය.
නදී ගෙට ගොඩ වුනේම මූණ නොරොක් කරගෙනය. කාවින්දි හිස උස්සා බැලුවේ නදීගේ පා ගැටෙන හඬටය.
“කොහොමද ඔෆිස් එක?” කියා කාවින්දි අහද්දීත් නදීට ඇත්තටම කියන්නට දෙයක් තිබ්බේ නැත.ඇය “හොඳයි” කියා කිව්වේ කියන්නට දෙයක් නැති තැනමය.පුංචිකාලේ හිඳ දන්න යාලුවාගෙ මූණේ වූ වෙනස අඳුරාගන්න කාවින්දිට බැරිවුනේ නැත.නදී උන්නේ හිත රිද්දාගෙන බව තේරුම් ගිය නිසාම කාවින්දි හීන් සීරුවේ හිටගෙන සපත්තු ගලවමින් උන් නදීගෙ බාහුවෙන් අල්ලා ඇයව තමන් ලඟ වාඩිකරගත්තාය.
“මොකෝ බං උනේ?””
“අනේ මන්ද බං, මහ ලොකුවට උඩ දාන් ගියාට මං හිතන්නේ නෑ ඒ ඔෆිස් එක මට ගැලපෙන තැනක් කියල”
“අර මොකෝ?”
“මං නිකන් එතනට ගියාම තමා බං මට හිතුනෙ මං නිකන් ඩොලර් අස්සට රිංගපු සතපහක් වගේ කියල. උනුන් මායි නිකන් අහසයි පොලොවයි වගේ. ඒකෙ ඉන්න අය මං දිහා බලපු විදියෙන්ම මට හිතුනා මට කවදාවත් එතනට පෑහෙන්න බැරි වෙයි කියලා”
“ඒ මොකෝ?””
“උන් හෙන පොශ්, කොන්ඩ පාට කරල, මං විතරයි බං සාරියක් ඇඳල හිටියෙ මුලු ඔෆිස් එකටම. උන් කොට ස්කර්ට්ස්, ස්ලැක්ස් ඇඳල මාරම ගති. මං හෙන අවුලෙන් බං ඉඳියෙ. ලන්ච් ගන්න ගියාමත් උන් ඕඩර් කරල හෙම සුපිරි කෑම අරගන්නෙ. මං තනියෙම කෑවෙ.අපි හිතුවට පෑහෙන්න පුලුවන් වෙයි කියල මං හිතන්නෙ නෑ බං මට නම් කවදාවත් එතනට පෑහෙන්න පුලුවන් වෙයි කියල”
“අයියෝ උඹ මේ පලවෙනි දවසෙන්ම හිත කඩාගෙනනෙ බං. ඔහොම කොහොමද බං ඉතින් රස්සාව කරන්නෙ? ඇඳුම් නම් ගන්න ඇහැකිනෙ බං පඩි ආවම. හැම පඩියෙන්ම පොඩි ගාණක් වෙන් කරගනින් ටොප් එකක් හරිගන්න. අනික උඹ මොනව ඇන්දත් උඹේ වැඩට ඒව ප්‍රශ්නයක් නෑනෙ. ඔන්න සාරි ඇඳන් වැඩට එන්න එපා කියල බොස්ලා කිව්ව නම් තව කමක් නෑ. එහෙම දෙයක් උනේ නෑනෙ” කියා කාවින්දි පොත වසා පැත්තක තබා දෙපා ඇඳ මතට ගෙන හරිබරි ගැහුණාය.
නදී උන්නේ මියුරු විසින් කියන්නට යෙදුණ කතාව පටන්ගන්නේ කොතනින්ද කියා හිතාගන්නට බැරුවය.
“බොසුත් අනං මනං කිව්වා බං” කියා බිඳුණු හඬකින් නික්මුනේ ඒ වේදනාබර කතාවය.
“ඇයි උන්දැ මොනාද කිව්වේ? ඔය කියන්නෙ අර ඉන්ටවිව් එකට ආවෙ නැතුව රට උන්නු ඩයල් එක ගැන නේද?”
“මං හිතන්නෙ ඒ ඔෆිස් එකට එහෙම සාරි ඇඳන් එන අය නෑ. ඒ මනුස්සය මුලින් හිතුවෙ මම මොකක් හරි චැරිටි වැඩකට ආව ගවන්මන්ට් සර්වන්‍ට් කෙනෙක් කියල. පස්සෙ මං කිව්වම මං තමයි එයාගෙ අලුත් සෙක්‍රටරි කියල් මිනිහගෙ ඇස් තිබ්බෙ නලලෙ. මිනිහ උඩ ඉඳන් පල්ලෙහට මං දිහා බලල ඇහුවනෙ එච් ආර් එකට පිස්සුද කියල මාව ගත්තෙ?”
“හෑ? යකෝ මාර ඩයල් එකක්නෙ. කියන්න තිබ්බෙ ගොබිලට කන් දෙකේ ඇඟිලි ගහගන්න එච් ආර් එක ඇඳුම බලල නෙවෙයි මිනිස්සුන්ව වැඩට ගන්නෙ සුදුසුකම් බලල කියල, ඇයි යකෝ”
“එහෙම කියන්න බෑනෙ. මං ඉතින් සද්ද නොකර හිටිය. මං හිතන්නෙ එහෙම කියවුණාට මිනිහටත් පස්සෙ ඒකට අවුල් යන්නැති. හවස එද්දි කිව්වා එහෙම සාරි ඇඳන් එන්න ඕන නෑ වෙන සරල පහසු එකක් ඇඳන් එන්න සෙක්‍රටරි කෙනෙක්ට ගැලපෙන්න කියල. උන් දන්නෙ නෑනෙ බං අපිට එහෙම වෙන ඔෆිස් අඳින ඇඳුම් නෑ කියල. මං මාර අවුලෙන් මුලු දවසෙම හිටියෙ”
“උන් කිව්ව පලියට එහෙම ඇඳුම් ගන්න උන් මොකෝ සල්ලි දෙනව කියලද? උඹ අර ඉන්ටවිව් ඇන්ද කලු ස්කට් එක හෙට ඇඳපන් මං ටොප් එකක් ගෙනත් දෙන්නං. මොනව කිව්වත් ගණන් නොගෙන ඉඳපං බං. පඩි එනකං ඉන්න ඕනනෙ මොන එක ගන්නත්” කියා කාවින්දි කිව්වද නදීගේ මුහුණෙන් හිත රිදීමේ අවලස්සන ස්වභාවය මිදී ගියේ නැත.
“උඹ ඔච්චර අවුල් ගියේ ඌ කිව්ව එකට විතරමද, මොකෝ හිත හෙල්ලුණාද පොරගෙ ලස්සන ලඟ?” කියා කාවින්දි අහන්නේ කිණ්ඩි හිනාවක් දාගෙන දෙතොල ඇද කරමිනි.
“එව් එව්, හිත හෙල්ලුණා. අනෙ පලයං බං යන්න. ඔහොම උන් ලඟ හෙල්ලෙන්න උඹ හිතුවෙ මං අර වාහන වල ඩෑශ් බෝඩ් එකේ අලවල තියෙන බෙල්ල හොල්ලන බල්ලෙක් කියලද?”
“ඇයි අහල නැද්ද කොල්ල සල්ලිකාරය නම් කෙල්ල ලස්සන නම් ආදරේ ඇතිවෙන්න මහ වෙලාවක් යන්නෙ නෑ කියල” කියමින් නදී ගසන්නට ඉස්සූ අතෙන් බේරෙන්නට මහ හඬින් සිනාසෙමින් කාවින්දි ඇඳෙන් බිමට පැන්නාය.