අදහස් උදහස් 

“ජිතුලිගෙ ඉන්ලෝව්ස් ලා හරිම හොඳයි අනේ”

මේධානි ඉතින් ජිතුලි ගැන අහන ඕනම කෙනෙක්ට ඔය කතාව කියන්නෙ හරිම සන්තෝසෙන් වගේම හරිම ආඩම්බරෙන්. මොන අම්මද අකමැති තමන්ගෙ දුවට නැන්දම්මෙක් නොවී අම්මා කෙනෙක් වගේම සලකන මනුස්සයෙක් ඉන්න තැනකට යන්න ලැබෙනවනම්.

ජිතුලිට ඉන්නෙ මල්ලි. මල්ලි කසාද බැන්දෙ අවුරුදු හය හතක ආදර සම්බන්ධයකින්. අම්මලා නම් එච්චර කැමති උනේ නෑ ඒ ගෑණු ළමය ලස්සන මදි කියලා. ඒ උනාට මුල ඉඳල ජිතුලි නම් කිව්වේ ලස්සන නෙවෙයිනෙ අන්තිමේ වැදගත් වෙන්නෙ දෙන්නට එකට හොඳට ජීවත්වෙන්න පුලුවන් ද කියන එකනෙ කියල.

“ඒ උනාට මල්ලිට ඔයිට වඩා පෙනුම තියෙන කෙනෙක්ව බඳින්න තිබුණා” අම්මා එහෙම කියද්දි නැන්දත් ඒකටම උල්පන්දම් දෙන්නයි ලෑස්තිය.

“අනේ ඔව්, මේ ළමය ජිතේන්ට වඩා වැඩිමල් පාටයි අනේ ලස්සන නම් තව කමකුත් නෑ”

“ඔව් එයා ජිතුලිටත් වඩා වැඩිමල් පාටයි”

“මල්ලිට හොඳ නිසානෙ මල්ලි එයාව තෝරගන්න ඇත්තෙ. ඉතින් මල්ලි සන්තෝසෙන් නම් ඉන්නෙ ඔයාලා මොකටද ඕව ගැන හිතන්න යන්නෙ?”

“ඒ උනාට ඕව ප්‍රශ්න වෙනවා පස්සට” කියාගෙන තමයි අම්මයි නැන්දයි එදා ගේ ඇතුලට ගියේ. ටික දවසක් යද්දි ඔය කතා ඉවර වෙයි කියල හිතුවට මොකෝ අම්මට නම් හැමදාම කතා කරාම කියන්න ජිතුලිගෙ නෑනා වෙච්ච රුමේශා ගැන සෑහෙන අඩුපාඩු තිබ්බා.

“උයන්නෙ නෑ”

“ෆෝන් එකේමයි”

“කිසි වැඩක් කරන්නෙ නෑ” කියන දාහක් කතා අස්සෙ ජිතුලි නම් අම්මට කිව්වෙ එකම එක කතාවයි.

“ඔයා ඕවට රණ්ඩු කරගන්න යන්න එපා. ඒ ළමයත් කලින් බැඳල ඉඳියෙ නෑනෙ. ඒ නිසා පුරුදුවෙන්න කාලයක් දෙන්න. ඔයා නිකන් ඕවට ප්‍රශ්න ඇති කරගන්න ගිහිල්ලා නපුරු නැන්දම්මා කෙනෙක් නම් වෙන්න එපා”

“ඒ උනාට ඉතින් තරහ යනවනෙ, ඉවසනව කියල කවදා වෙනකම් ඉවසන්නද?”

“එහෙම තමයි ඉතින් එකට එක ගෙදර පවුල් දෙක තුනක් එකට ඉන්න යද්දි ඔහොම ප්‍රශ්න වෙනවා. ඒ උනාට ඔයා ඒ ළමයගෙ හිත රිදෙන්න දේවල් කියන්න යන්න එපා. මොන දේ උනත් එයා ලඟ ඉන්න එකම කොච්චර හොඳද? අසනීපයක් කරදරයක් උනාම බලන්න කෙනෙක් ඉන්නවනෙ? අනික ඉතින් අපිට සීයයට සීයක්ම හරියන මිනිස්සු මුලු ජීවිත කාලෙම හම්බෙන්නෙ නැනෙ අම්මේ”

“අනේ මන්දා” කියල ජිතුලි එහෙම කියද්දි නම් අම්මා මේධානී කටපියාගත්ත. ඒ උනාට කට වහගත්තට අම්මගෙ හිත වැඩකරන බව ජිතුලි දන්නවා.

දවසක් ඔන්න ඔහොම ඉද්දි තමයි අම්මා කතා කරලා හිනාවෙවී කේලමක් කියන්න ගියේ.

“ඇයි මොකද උනේ?” කියල ජිතුලි අහද්දිත් අම්මා කලේ හිනාවෙන එක.

“මල්ලි රුමේශාට හොඳටම බැන්නා” මේධානී හීන් සැරේ හිනාවෙන ගමන් එහෙම කියද්දි ඒක හිනාවෙන්න ඕන කාරණාවක්ද කියල අහන්නත් ජිතුලිට හිතුනා.

“ඇයි?”

“එයා මල්ලිගෙ ලැප්ටොප් එක ඔෆිස් එකට අරගෙන ගිහින්, ඒක ඔෆිස් එකේ කාගෙද අතින් වැටිල ඩිස්ප්ලේ එක ගිහිල්ලා, මල්ලි හොඳටම බැන්න, උඹ ආයෙ මගෙ දේවල් අල්ලන්න එපා කියල බැන්නෙ” මේධානී ඒක කිව්වෙත් හිනාවෙවී.

“රුමේශා බැන්නෙ නැද්ද මල්ලිට?”

“ඒ ළමයා හොඳටම ඇඬුවා” අන්න ඒ කතාව ඇහුණම තමා ජිතුලිට හිතුනෙ මෙච්චර දවසක් තමන් කොච්චර හොඳින් දේවල් තේරුම් කරල දුන්නත් ඒව අම්ම අහලා නෑ කියන එක.

“අම්මා කැමතිද ජීවන්ත හරි ජීවන්තගෙ අම්මල හරි මට ඔහොම බැන්න නම්? නෑනෙ නේද? රුමේශා හිතල ලැප්ටොප් එක වට්ටගත්තෙ නෑනෙ. මල්ලි උඹ කියල බැන්න එක කොච්චර වැරදිද? ඔයාට තිබ්බෙ එවෙලෙ මල්ලිට හොඳටම බනින්න. එහෙම කතාකරන්න එපා කියල. කොච්චර පව් ද? ඒ ළමය තාම අපෙ ගෙදර ඇවිත් දවස් කීයද? එහෙම එකේ මල්ලි බැන්නමයි ඔයා ඒකට හිනා උනාමයි ඒ ළමයට කොච්චර දුකයි ලැජ්ජයි හිතෙන්න ඇතිද? ආයෙ එහෙම දෙයක් උනාම ඔයා කරන්න ඕන හිනාවෙන එක නෙවෙයි ඒකෙ හරි වැරැද්ද මල්ලිට කියල දෙන එක

හොඳ ඉන් ලෝස් ල හම්බෙන්න ඕන මට විතරක් නෙවෙයි අම්මෙ, රුමේශාටත් හම්බෙන්න ඕන හොඳ ඉන් ලෝස්ලා තමයි” කියල ජිතුලි ෆෝන් එක තිබ්බා.

හැබැයි ඒ මේධානීට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා.

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles