“මැඩම්ට මේ ඩ්‍රින්ක් එක දෙන්න කියල සර් කිව්වා” කියා වේටර්වරයෙකු පැමිණ බන්දේසියක තබාගෙන උන් කහ පැහැ පලතුරු බීම එක නදී අතට ගත්තේ එහෙම එකක් එවන්නවත් මියුරුට මතක් වෙච්ච එක ගැන සන්තෝස වෙමිනි.
ස්තුති කියා කියන්නට දුර හන්දා නදී මියුරු දෙස බලා සිනාවක් පෑවාය. මියුරුද යාන්තම් සිනාවක් පා ආයෙම වරක් ඔහු කා සමගදෝ කරමින් උන් කතාව ආරම්භ කරේය. ඒ වෙද්දී සංගීතයත් නැටුමත් තිබ්බෙ හොඳම තැනකය. හින්දි සින්දුවල තාලයට කෙල්ලන්ද කොල්ලන්ද නටද්දී නදී කලේ බලාගෙනම ඉන්න එකය.
නදී ලඟට ඇවිත් කතාකරන්න හොඳටම උවමනාව තිබ්බද මියුරුට අම්මාත් තාත්තත් ඉන්න නිසා මියුරුට එය කරන්න හැටියක් තිබ්බේ නැත. අනෙක් අතට කතාකරන්නට බොහෝ දෙනා ඉන්නා හන්දාද මියුරුට වෙන කිසිම දෙයක් ගැන හොයන්න බලන්න අස්වැසිල්ලක් තිබ්බේම නැත. අහල පහල මේසවල වාඩි වී උන් වයසක සේවකයන් කිහිප දෙනෙකු නම් නදී එක්ක ඉඳහිටක කතා කරද ඒද කොහොමද? මොන ෆ්ලෝ එකේද? වගේ ප්‍රශ්නයක් දෙකක් මිස බොහෝ වෙලා ඇදෙන කතා බහක් නොවේ.
නදී උන්නේ හීන් සැරේ බීම වීදුරුව තොලගාමිනි. පොඩ්ඩ පොඩ්ඩ දෙනෙත් නිකන් පියවීගෙන යනවා දැනුනත් නදී හිතුවේ ඒ වෙනදාට මේ වෙලාව වෙද්දි නිදාගන්න නිසා කියාය. ටිකෙන් ටික ඒ නිදිමත එද්දී ඇඟ නම් වෙනදාට වඩා සැහැල්ලු වෙන බවක් නදීට දැනුනි. ඒක බයවෙන්න හේතුවක් නොවේ. පාවෙනවා වගේ දැනෙන එක හොඳ බව නදීට හිතුනේ ඒ පාවෙන හැඟීම එක්ක මෙච්චර වෙලා කවුරුවත් තමන්ව ගණන් ගන්නේ නෑ කියා හිතුන සිතුවිලිත් පාවෙලා යද්දීය.
කකුල් දෙකට හයිය ආවේ කොහෙන්ද කියා හිතන්නේවත් නැතුව උන් තැනින් නැගිට්ට නදී හීන් සීරුවේ ඩාන්ස් ෆ්ලෝර් එකට ගියේ නටාගෙනමය. මියුරු ඒ බව දැක්කේ නැත. කට්ටියම හිතුවේ අනිත් අය නටන හන්දා නදීත් නටන්න ගියා කියාය. එහෙත් තමන්ගේ ශරීරය තමන්ට කන්ට්‍රෝල් කරගන්න අමාරු බවත්, මේ දැනෙන සැහැල්ලුව නිසා ඇහෙන හින්දි සින්දුවේ තාලයට ඇඟ ඉබේම නැටවෙන බවත් දැන උන්නේ නදී පමණකි. එවෙලාවේ වාදනය වෙමින් තිබුණේ ෆේවිකෝල් සේ සින්දුවයි.
හින්දි සින්දු යනු නදීට ඉතින් මව් බාශාව වගේ ය. පුංචි කාලෙ ඉඳන් ඇහුවේත් වත්තෙ හැමෝම අහන හන්දා අහන්න ලැබුනේත් වැඩිහරිය හින්දි සිංදුය. ෆේවිකෝල් සේ සිංදුවේ කරීනා වගේ ඉණ ගස්ස ගස්ස නටන්න ඉතින් නදීට ඕනවටත් වඩා පුලුවන් ය. ඕව පුරුදු උනේ ඕලෙවල් පංතිවලදීය. ඉඟ ගැස්සුනේත් අත ඉස්සුණේත් මත් ගතියටය. ඒ මත් ගතිය අස්සේත් තමන්ට මත් වුනේ කොහොමද කියා නොහිත ඉන්න විදියක් නදීට තිබ්බේ නැත.
“මේ තෝ චලෝ ඉස් කදර්
කී මච් ජයේ රේ ගදර්
හෝශ් වාලේ බී මදහෝශ් ආයෙ රේ නසර්
මෙරේ ෆෝටෝ කෝ
මෙරෙ ෆෝටෝ කෝ සීනේ සේ යාර්
චිප්කා ලේ සයියාන් ෆේවිකෝල් සේ”
නදී කෙස්ස කඩාගෙන ඇඟ ගස්ස ගස්ස නටන විදිය බලාගෙන හිනාවෙච්ච සෙට් එකක් ශාලාවේ එක කෙලවරක උන් බව මත්වෙලා උන් නදී දැක්කේ නැත.
“දෙබොස්ගෙ සෙක්‍රටරි කොහෙන්ද දන්නෙ නෑ හොයාගත්තෙ?” කියා කතාව පටන් ගත්තේ ඇනිවසරි පාටිය ගැන දැනුම් දෙමින් ඊමේල් එක ආව දවසේය. ඒ දවල් කෑම වෙලාවේ කට්ටිය කැන්ටිමට වී කෑම කමින් උන්නු මොහොතේය. කතාව පටන් ගත්තේ තේමියය. තේමිය උන්නේ සනුකි ගැන හිත අස්සේ බලාපොරොත්තු තියාගෙනය. සනුකි ඒ බව තේරුම් ගියත් නොතේරුනා සේ ඉඳිමින් තේමිය ලව්වා එක එක වැඩ කරගන්නට කටයුතු කලාය. එහෙත් සනුකි කවදාවත් තේමිය වගේ පඩියකට මේ ආයතනයක වැඩ කරන කොල්ලෙකු සමග බැඳෙන්න හිතාගෙන උන්නා නොවේ. සනුකිට තිබුනේ ඊට වඩා ලොකු බලාපොරොත්තුවකය.
“හැම පිරිමියෙක්ම බලන්නෙ තමන්ගෙ හිතේ ඉන්න හැමදේම කරන්න පුලුවන්, සර්ව සම්පූර්ණ ගෑණිව කසාද බැඳගන්න. ඊට එහා වෙන හීනයක් පිරිමින්ට නෑ. තමන් කසාද බැන්ද ගෑණිට වඩා තමන්ගෙ හිතේ ඉන්න, තමන්ගෙ හීනවල ඉන්න ගෑණිට සමාන එකෙක් හම්බෙච්ච ගමන් කසාද ගෑණිව අමතක කරලා අර දෙවනියට හම්බෙච්ච ගෑණි පස්සෙ යන්නෙ ආන් ඒකයි. පිරිමි විතරක් නෙවෙයි බං ගෑණුත් එච්චර තමයි. සමහරු ගෑණු හොයන්නෙ ජීවිතේ ඉතුරු ටික හොඳට ගෙවන්න පුලුවන් පිරිමියෙක්ව නෙවෙයි, තමන්ගෙ හිත අස්සෙ තියෙන හීන මාළිගාව ඇත්තටම එළිපිටම හදල දෙන්න පුලුවන් පිරිමියෙක්ව” කියා චන්ද්‍රකාන්ති නදීට අතරින් පතර කියා තිබූ කතාවල කිව්වේ ඕන් ඔය ඇත්තය. සනුකි හෙව්වේද එහෙව් පිරිමියෙකි.
කොච්චර ලස්සනට ඇඳ පැලඳගෙන, මේකප් දාගෙන ආවද මේ ජීවිතය මේන්ටේන් කරන එක කොච්චර අමාරුද කියා සනුකි දනී. හිත ඉල්ලන, නෙත රැඳෙන දේවල් ගන්නට සරිලන වැටුපක් ලැබෙන්නේ නැති හන්දා හොඳම විසඳුම එහෙම සල්ලියක් නිතර අත රැඳෙන කෙනෙකු හොයාගන්න එක බව සනුකි දනී. ඒ කෙනා තේමිය නොවේ. මියුරුය. නැතිනම් ඒ හා සමාන වෙන අයෙකි.
“ඔව් අනේ මහ ගොඩේ ඩයල් එකක්නෙ. ඇඳන් එන ඒව දැක්කද? චීප් අප්පා”
“ඔලුවෙන් ඉන්නෙ හැබැයි? නිකමට ඇවිල්ල අපි එක්ක කතා කරේවත් නෑනෙ”
“අපි ඇවිල්ල එයා එක්ක කතා කරාවි කියල හිතාගෙන ඇත්තෙ”
“ආහ් හරි එකක්නෙ, අපි මොකදට එයා එක්ක කතාකරන්න යන්නෙ? එයානෙ මෙතනට අලුතෙන් ආවෙ, අපි සීනියර් නෙ එයාට වඩා. එයානෙ හරිනම් ඇවිල්ල අපිත් එක්ක කතාකරන්න ඕන”
“මේ පොඩි ආතල් එකක් ගන්න පුලුවන් වැඩක් තියෙනව මොකෝ කියන්නෙ?” කියා තේමිය ඇහුවේ සනුකිව සතුටු කරනු පිණිසය.
“ඒ මොකද්ද කියා?” අහන්න සනුකිත් එතන උන් අනිත් කෙල්ලන් උනන්දු වුනේ තේමියගේ දෙනෙත් දිලිසෙන එකත් දෙතොල අස්සේ රැඳී තිබුණ හිනාවෙච්ච නිසාත් ය.
මේ විදියට සංවත්සර උත්සවය වෙලාවේ ඔය විදියට එලියට ආවේ අන්න ඒ තේමියගේ මාස්ටර් මයින්ඩ් ප්ලෑන් එකය. බීම වීදුරුවට මත්පැන් ටිකක් එක්කහු කරන්න තේමියට වැඩි කරදරයක් වෙන්න තිබුනේ නැත.
මේ කිසිම දෙයක් දැන උන්නේ නැති නදී පිස්සියක මෙන් ඩාන්සින් ෆ්ලෝ එක මැද්දෙ කොණ්ඩෙ කඩාගෙන ඉණ ගස්සමින් නටන එක හොඳටම එන්ජෝයි කරේ සනුකි, තේමිය ඇතුලු සෙට් එකය.
මෙතෙක් වෙලා නටමින් උන් අය පවා පොඩ්ඩ පොඩ්ඩ ඈත් වී ඩාන්සින් ෆ්ලෝ එකෙන් ඉවත් වී වටේ රැඳෙමින් අත්පුඩි ගසමින් නදීට නටන්නට රුකුල් දුන්හ. නදී උන්නේ ඒ රුකුල් දීමෙන් තව තවත් උත්තේජනයට ලක්වෙමින් නටන ගමන් ය.
කොණ්ඩෙ උතුරේය, ඉඟ දකුණේය, හැබැයි නැටුම සුපිරිය.
මියුරු නදීව දැක්කේ ඇය ඔන්න ඔහොම නට නට ඉන්න අතරේය. හිස හරවා එක් වරක් බලා ආයෙ අහක බලාගත්ත මියුරුගේ බෙල්ල ස්ප්‍රින්ග් එකක් මෙන් ආයෙ ගැස්සී ඩන්සින් ෆ්ලෝ එක වෙතට හැරුණේ දන්න අඳුරන මූණක් ඩාන්සින් ෆ්ලෝ එකේ නටන බව දැක්ක හන්දාය.
කට ඇරුණේ ඒ කවුද කියා දැක්කයින් පස්සේය.
මියුරු එතනට ගියා නොවේ පියැඹුවේය. නදී මියුරුව දැක්කේ බොස් විදියට නොවේ, කරීනා එක්ක ෆේවිකෝල් සේ සින්දුවට නටන සල්මන් කාන් වගේය.
ලතාවට ලා පතක් වගේ විහිද ආ දෑත රැදුණේ මියුරුගේ උරහිසේය. අඩි දෙක තුනක් මියුරුට වඩා කොට හන්දා දෙපා ඇඟිලි වලින් මදක් ඉස්සී මියුරුගේ බෙල්ල වටේ අත දාගෙන තාලෙට නදී නැටුවාය.
“ජූම් ජූම් ජුම් බර බර ජූම් ජූම් ජුම්
ජූම් ජූම් ජුම් බර බර ජූම් ජූම් ජුම්
ආජ් මෙරා රාජා තුජේ ජන්නත් දෙකා ඌ මේ
බර්ෆීලේ පානී මේ ෆයර් ලාගා මේ”