සඳුදා වෙද්දී නදී උන්නේ හොඳටම බයවෙලාය. වැඩට යද්දී මේසෙ උඩ ටර්මිනේශන් ලෙටර් එක තිබුනොත් මොනව කරන්නද කියා නදී දහස්වර නොහිතුවාය. ඒ උනාට කොහොමකරත් වැඩට යන්න වෙන හන්දා නදී ඇඳගන්න අතරේත් උදේට කන අතරේත් බස් එකේ යන අතරේත් දන්න දෙවියන්ට හිතෙන් වැන්දේ “අනේ මුකුත් කරදරයක් වෙන්න එපා” කියාය.
මොන දේ උනත් මේ රස්සාව නැති කරගන්න බැරිය. ඉගෙන ගත්ත තරමට වැදගත්කමට කරන්න ලැබිච්ච වැදගත් රස්සාවක් මේ තමන්ගේ මල පිස්සු හන්දා නැතිකරගන්න බැරිය. නදී එදා වෙනදාට වඩා කලින් කාර්යාලයට ගියේ පරක්කු උනොත් ඔක්කොම වැරදි එකට එක්කහු වී බුදු චාටර් එකක් කන්න වෙන බව දන්න හන්දාය.
නදී කොච්චර උදෙන් ගියාද කිව්වොත් එදා යද්දී ලිඩියා ඇවිල්ලා උන්නෙත් නැත. කාර්යාලයට මුලින්ම ගියේ තමන්ද කියා නොදන්නා නමුත් මියුරුගේ කාර්යාල කාමරයත් ඔහු බලන ඩිවිශන් එකත් සම්පූර්ණයෙන්ම තිබුනේ පාලු කාන්තාරයක් වගේය. මියුරු එන්න තව වෙලාව යන බව දන්න හන්දා නදී බෑග් එක මේසය උඩ තබා පරිගණකය ඕපන් කර නෝට් පෑඩයත් පෑනත් පිලිවෙලට සකසා මියුරුගේ මේසය උඩ අපිලිවෙලට රැඳී තිබුන කොල සහ ලිපි ගොනු පිලිවෙලට සැකසුවාය. කාමරය අතුපතු ගාන්නට කාර්යාල සේවිකාවක් එන බව දන්න හන්දා ඒ වැඩ කරන්න නදී ගියේ නැත. ගෙදරින් එද්දී හැන්ඩ්බෑගය අස්සේ දමාගෙන ආ සමන්පිච්ච මල් වලින් ටිකක් නදී මියුරුගේ මේසය උඩ කෙලවරක රැඳෙව්වාය. වායු සමීකරණයේ සීතල සමග එක්වුන ඒ සමන්පිච්ච මල් සුවඳ කාමරය පුරා පැතිරී ගියේ ඇසිල්ලකිනි.
මියුරු ආවේ වෙනදා එන වෙලාවටමය. ඒ නදීව අද හම්බුනාම අහන්නෙ මොනවද කියන්නෙ මොනවද කියල දහ අතේ කල්පනා කරන ගමන් ය. මේ කතාව නොකර ඉන්න බැරි කතාවකි. එකම කාර්යාල කාමරයක එකිනෙකාගේ දෙනෙත් ඉදිරියේ ඔය ගැන කතා නොකර ඉන්න එක පිස්සු වැඩකි. තේරුමක් නැති වැඩකි. ඒ උනාට ඔය කතාව පටන් ගන්න ඕන කොහෙන්ද කියා මියුරුට හිතාගන්න බැරිය.
වෙනදා නැති තරම් සමන්පිච්ච මල් සුවඳක් කාර්යාල කාමරයේ පිරී තිබෙනවා දකිද්දි නදී ඇවිත් ඉන්න බවත් ඇය තමන්ගේ මේසය උඩ සමන්පිච්ච මල් තබා තිබෙන බවත් මියුරු දුටුවේය. හිනාව හිතෙන් මෑත් වී දෙතොල් අතරට එන්නට ඉඩ දුන්නේ නැති උනත් හිත තිබ්බේ සන්තෝසයෙන් පිනුම් ගහමිනි. පේන විදියට නිවාඩු දවස් දෙකේ කෙල්ලත් තමා ගැන හිතා තිබෙන විදියකි.
“ගුඩ් මෝනින් සර්” නදී කිව්වේ කවදාවත් මියුරු වෙත පෙන්වා නැති අන්දමේ පරම සුන්දර හිනාවකින් ලා රෝස තොල් ආලේපනයෙන් හැඩ ගැන් වූ දෙතොල සරසමිනි.මියුරු උන් තැනම නැවතුනේ ඒ හිනාවෙන් වශීවෙලාය. කොටින්ම මියුරුට හිනාවෙන්නත් අමතක වුණේය. තමන්ගේ හිනාවටවත් තමන්ගේ උදෑසන සුබ පැතුමටවත් මියුරු ප්‍රතිචාර නොදෙද්දී නදී උන්නේ බය බිරන්ත වෙලාය. ඒ උනාට මේ කතාව කොහෙන්ද පටන් ගන්නේ කියා නදීටත් හිතාගන්න බැරිය.
මියුරු ගුඩ් මෝනින් කියා කිව්වේ පොඩ්ඩක්වත් හිනාවෙන්නේ නැතුවය. ඒ උනාට හිත ඇතුලෙන් නම් සතුට තිබුනේ දෝරෙ ගලායමිනි. එහෙත් මියුරු හිතුවේ “මෙච්චර දවසක් මේකි නිකන් මාව බයිට් එකටනෙ ගත්තෙ, ඉදපංකො මං කරන්න” කියා හිතමිනි. මෙහෙම කොල්ලන්ට, යෞවනයට උරුම හැඟීම් මියුරුට එලියට දාගන්න ඉඩ ලැබුනේ බොහෝ කාලයකට පස්සේය. ඉතින් ඒ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕන බව මියුරු දනී.
කොයි වෙලාවේ හෝ මේ ගැන කතාකරන්න වෙන බව දන්න හන්දා “මං ම මේ කතාව කරල ඉවර කරනවා” කියා නදී හිතුවාය.
“සර් පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?” කියා නදී ගිහින් ඇහුවේ ඒ සිතුවිල්ල එක්කය.
“ඔව් කියන්න නදී” කියා මියුරු හිස උස්සා නදීගේ දෙනෙත් දෙස බැලුවේ නිකන් මේ මුකුත් නොවිච්ච ගාණටය. මියුරුගේත් ඉතින් හොර හිතය. නදී ඉන්නේ බයෙන් කියා ඇගේ ඇස් දෙකෙනුත් මුහුණේ මස්පිඬුවල චලනයෙනුත් මියුරුට හිතාගන්න පුලුවන් ය. රෝස පාට මූණ රතු පාට වෙලා තියෙන්නෙ බයත් තිගැස්මත් බව දන්න හන්දා පව් කියා හිතුනත් ඕනවට වඩා ආල ලීල පෙන්නන්න යන එක අපරාදෙ කියා හිතුන හන්දාම මියුරු තමන්ගේ මුහුනේ ඇඳී තිබුන නපුරු පාට පොඩ්ඩක්වත් අඩු කරගත්තේ නැත.
“සර් එදා පාටි එකේදි සොරි සර් මං හින්දා සර්ට කරදර වෙච්ච එකට. මට සෙනසුරාදා තමා දැනගන්න පුලුවන් උනේ සර් තමයි මාව ගෙදර එන්න ත්‍රීවිල් එකට නැග්ගුවෙ කියල”
“ඔව් ඉතින් ඒකෙ මොකක් හරි ප්‍රශ්නයක් වෙලාද?” මියුරු අහන්නේ මෙච්චර වෙලා නදීගේ දෙනෙත් වෙතම රඳවාගෙන උන් දෙනෙත පරිගණක තිරය මත රඳවාගනිමිනි. එලියට පෙන්නුවේ නපුරු පෙනුමක් උනාට හිත තියෙන්නේ සැහැල්ලුවෙන් හන්දා දෙතොල මතට එන්නට තනන හිනාව නවත්තගන්න පුදුම ට්‍රයි එකක් දෙන්න උවමනා හන්දාම නදීට තමන්ගේ මූණ නොපෙනෙන තරමට හොඳය.
“සර්ට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්න ඇති නේද සර්? සොරි සර් ඇත්තටම මම දන්නෙ නෑ මොකද්ද උනේ කියල. සර් එව්ව කියල හිතල තමයි සර් මම ඒ ජූස් එක බිව්වෙ” කියද්දී නදී ඇත්තටම හිතලා බීලා නොව කවුරුන් හෝ ඇයව රවටා මත්පැන් පොවා ඇති බව මියුරු තේරුම් ගත්තේය. හැබැයි ඒ ප්‍රශ්නෙ හොයන්න ඕන පස්සේය. ඉස්සෙල්ල නදීත් ඇගේ ෆෝන් එකේ වස්තු කියා සේව් කර ඇති කෙනා ගැනත් ඇත්ත දැනගන්න උවමනාය.
“මං මොකටද නදී ඔයාට ඩ්‍රින්ක්ස් එවන්නෙ? අනික මං මොකටද ඔයාට ඇල්කොහොල් මික්ස් කරපු ඩ්‍රින්ක් එකක් එවන්නෙ?”
මියුරු අද ප්‍රශ්න අහන්නේ වෙනදාට වඩා නපුරු විදියටය. මේ නම් ඉතින් රස්සාව නැතිවෙන්න යන පොටක් බව ආයෙ අමුතුවෙන් හිතන්න ඕන නැත.
“අනේ නෑ සර් සර් එකට ඇල්කොහොල් දැම්ම කියල නෙවෙයි සර් මම කියන්නෙ. සර් එහෙම කරන මනුස්සයෙක් නෙවෙයි කියල මම දන්නවා. මම දන්නෙ නෑ එහෙම කර කෙනාට එහෙම කරන්න තිබිච්ච හේතුව මොකද්ද කියල. අයෑම් එස්ක්ට්රීම්ලි සොරි සර්. මම ඒක සර් එව්ව කියල හිතුවෙ සර් ඇරෙන්න මේ ඔෆිස් එකේ වෙන කිසිම කෙනෙක් මාත් එක්ක කතාකරන්නෙ නැති හන්දා”
“මෙහෙමයි නදී, මම හිතන්නෙ නෑ මේ ඔෆිස් එකේ කාටවත් උවමනාවක් ඇති කියල මේ ඔයාට ඇල්කොහොල් මික්ස් කරපු ඩ්‍රින්ක් එකක් පොවන්න. අනික කාටහරි එහෙම කරන්න උවමනාවක් තියෙනම් හරි මම ඒක ගැන හොයල බලන්නම්. බොස් කෙනෙක් විදියට ඒක මගේ යුතුකමනෙ. හැබැයි ඔයාම හිතල බලන්න ඔයාට එහෙම දෙයක් කරන්න කෙනෙක්ට ඔයා ගැන හිතේ කොච්චර තරහක් තියෙන්න ඕන ද කියල.
ඕනවට වඩා මේ ඔෆිස් වල ඉන්න මිනිස්සුන්ට ලොකු සීන් දාන්න එපා නදී. ඔයා මෙතන ඉන්න අනිත් අයට වඩා ලොකු සැලරි එකක් ගන්න බව ඇත්ත. හැබයි ඒක ඉතින් අනිත් අයව පල්ලෙහට දාලා සලකන්නවත්, අනිත් අයට ලොකු සීන් දාන්නවත් හේතුවක් නෙවෙයිනෙ නේද?
මම දැකල තියෙනව ඔයා මේ ඔෆිස් එකේ කාත් එක්කවත් කතා කරන්නෙ එහෙම නෑ. කන්නෙ බොන්නෙත් තනියම. එහෙම ඉතින් ඔෆිස් එකක ඉන්න බෑනෙ නේද?” කියා මියුරු කිව්වේ බොරුවට උනත් එච්චර දුර කතාව ඇදගෙන ගිය එක ගැන මියුරු දුක් උනේ නදීගේ මුහුණේ ඇඳිච්ච අපහසුව, ලැජ්ජාව දැක්කයින් පසුවය.
අනිත් අතට මියුරු ඉන්නේ තමන්ව සම්පූර්නයෙන්ම වරදවා වටහාගෙන බව දකිද්දී ඕන දෙයක් වෙද්දෙන් කියා තමන් ආවේ කොහෙන්ද, තමන් කවුරුන්ද කියා කියන්න හිතුනත් නදී ඒ බව කියන්න හිතුවේ නැත. මොන දේ මෙතනින් අස්වෙලා ගියත් තමන් වෙන තැනක වැඩට යන්න ඕනය. එතන ඉන්න මිනිස්සුන් මෙයාලගෙන් මේ විස්තර දැනගත්තොත් තමන්ට මෙතන වගේම එතනත් පැලවෙන්න අපහසු වෙන එක සහතිකය.
“එහෙම ලොකු සීන් දාන්න දේවල් මට නෑ සර්. මම එහෙම මනුස්සයෙක් නෙවෙයි. මම තනියෙන් කන්න කවුරුවත් මාත් එක්ක කතා කරන්නවත් ආවෙ නැති හන්දා, එහෙම නැතුව මේ මම ලොකු මනුස්සයෙක් කියල හිතාගෙන උන්න හන්දා නෙවෙයි” නදී කියන්නේ අඬන්න ඔන්න වගේය.
“හරි හරි, දැන් මේ තේරුමක් නැති දේවල් කතා කරන්න වෙලාව නෙවෙයි. අපි පස්සෙ ඕව ගැන කතාකරමු. ඒ උනාට මං අහන්න ඉඳියෙ දෙයක්. මමනෙ එදා ඔයාට ආව කෝල් එක ආන්ස්වර් කරෙත්, ඊටපස්සෙ ඔයාව ත්‍රීවිල් එකට ගිහිල්ල දැම්මෙත්.
ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ඔයාට ඒකට බැන්නද? ඔයාට ප්‍රශ්නයක් උනාද කියලත් මම හිතුවා. අවුලක් උනේ නෑනේ නේද?” මියුරුත් ඉතින් කපටිම නැත. මෙච්චර වෙලා එක එක වල් භූත දොඩවමින් ඉඳ ප්‍රශ්නයට එන්ටර් උනේ ඔන්න දැන් ය.
ඊලඟට දැනගන්න ඕන නදීගේ උත්තරේය.
“අනේ නෑ සර් එයා මුකුත් කිව්වෙ නෑ” කියා කිව්වොතින් ආයෙ ඕක ගැන මලාට අහන්නෙ නෑ කියා මියුරු තමන්ගේ හිතටම කිව්වේය.
හදිසියේ හරි කෙල්ල “එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් නෙවෙයි” කිව්වොතින් “එහෙනම් වස්තු කියල සේව් කරන් ඉන්නේ ඇයි?” කියා අහන්න ඕන බවත් මියුරු හිතට තරවටු කරේය.