ගඟුල් විජයවීර සිටියේ නො සන්සුන් ව ය. පසන් ඉරුගල්බණ්ඩාර ව මුණගැසීමේ ඕනෑකමක්, පාරුල් ගේ පෙම්වතා ඔහු බව දැනගත් දවසේ පටන් වූ බැව් සැබවි. නමුත් මේ මොහොතේ හදවත ගැස්ම මේ තරම් මන්දැයි ඔහු ට තේරුණේ ම නැත. සිය කුටියෙහි අමුත්තන් හමු වීම සඳහා පනවා ඇති සෝෆා කට්ටලය ඉදිරියේ ගඟුල් සක්මන් කළේ හිතේ තිගැස්මකින් යුතුව යි. ඔහු බලාපොරොත්තු වූ පරිදි ම පසන් කුටිය තුළට ප්‍රවේශ වූයේ ය.
“හෙලෝ පසන්. නයිස් ටු මීට් යූ”
ඉතා ලොකු කලබලයක් හදවතින් සන්සුන් කරගෙන ඔහු සිය ප්‍රතිමල්ලවයාට සුරත පෑවේ අවංක හිතකිනි. නමුත් පසන් ගඟුල් වෙතට සුරත දිගු කළේ එවන් ළෙංගතු බවකින් නොවේ..
“ප්ලීස් හැව් අ සීට් පසන්. මොනාද බොන්නෙ… ටී… කොෆී ඕ අ කූල් ඩ්‍රිංක්…”
“නෝ තෑනක්ස්. මට මොනාත් බොන්න අවශ්‍ය නෑ. මං ආවෙ නගරාධිපතිතුමාට වැදගත් කාරණයක් මතක් කරල යන්න”
පසන් වෙතින් දිස් වූයේ උදදච්ච බවකි. ගඟුල් ඔහු ඉදිරියේ අසුන් ගනිමින් පසන් විනිවිද බැලුවේ ය. ඔහු කඩවසමෙකු බව ඇත්ත ය. නමුත් තමන් ඊට වඩා කඩවසම් නැති ද යන පැනය හිතේ පැත්තක් හෙමිහිට විචාළේ ය. පාරුල් ඔහු ව තෝරාගත්තේ ඇයි? ඔහු වෛද්‍යවරයෙකු හින්දා ද? ඒ උගත් බව සලකා ද? ඉක්මනින් නීති උපාධිය හැදෑරීම ආරම්භ කළ යුතු යයි හෙතෙම හදිසි තීරණයකට ආවේ ය.
“අපි වෘත්තියෙ නමින් කතා කරන්නෙ වෘත්තීය සම්බන්ධතා වලදිනෙ පසන්. ඔන්න මං හොස්පිට්ල් එකට බෙහෙත් ගන්න ආපු වෙලාවකනං පසන්ට ඩොක්ට කියන්න ඕනෙ. ඔයා මේ ඇවිත් ඉන්නෙ රාජකාරී වැඩකට නෙවෙයි නිසා මට ගඟුල් කිව්වහම ඇති”
“හොඳයි. ගඟුල් මං කෙලින්ම කතාවට බහින්නං. මං කැමති නෑ ඔයා මං බඳින්න ඉන්න ගෑනු ළමයව ඕනවට වැඩිය ළඟින් ආශ්‍රය කරනවට”
ඒ වූ කලී බෝම්බ ප්‍රහාරයකි. ක්ෂණික කම්පනයක් ගඟුල් තුළ පහළ විය. ඒ කම්පන තරංග මඳක් තුනී වී යනතුරු ඔහු තත්පර වූයේ ය.
“මං හිතන්නෙ… අපි හොඳ යාළුවො. ඊට වැඩිය ළඟින් ආශ්‍රයක් නෙවෙයි ඒක”
“නෑ නෑ නෑ ඒ යාළුකං ඕනත් නෑ. මොකද එයාට පිරිමි යාළුවෙක් ඕනමනං මං ඉන්නවනෙ ඒකට”
ගඟුල් ගේ මුහුණට මඳහසක් ආවේ ය. ඔහු ඇස් කුඩා කොට නළල මඳක් රැලි නංවා පසන් දෙස බැලුවේ ය.
“මට පේන්නෙ දොස්තර මහත්තය පටලෝගෙන වගේ. තමුං මැරි කරන්න ඉන්න ගෑනු ළමයව ඔච්චර සැක කරන්න හොඳ නෑ නේද… අනික එච්චර සැකයක් තියනවනං ඒ කෙනාව මැරි කරන එකම අපරාදයක්නෙ”
“මේ මේ මේ. මං මෙතනට ආවෙ කාගෙවත් උපදෙස් බලාපොරොත්තුවෙන් නෙවෙයි. කරුණාකරල අපේ ජීවිත අතරට එන්න එපා කියල ඔබතුමාට මතක් කරල යන්න”
ගඟුල් ගේ ඉවසීම දියාරු වී යන බව ඔහු ට ම දැනිණ. නමුත් තමන්ගේ තැනට පැමිණි කෙනෙකු ගේ හිත රිදවා යැවීම මනුෂ්‍යත්වයට තරම් නොවන නිසා ඔහු තවත් ටිකක් ඉවසුවේ ය.
“මං හිතන විදිහට පාරුල් ඔයාට කැමැත්ත දෙද්දිත් මාව මේ විදිහටම ආශ්‍රය කරනව. ඔයා එයාව මැරි කරන්න කැමැත්තෙන් ඉන්නව කියල ගෙදරට කියද්දිම තමයි පාරු මට කිව්වෙත්. මාව නෙවෙයි එයා මැරි කරන්න තෝරගත්තෙ ඔයාව. එහෙම කෙල්ලව ඔහොම සැක කරන්නෙපා”
පසන් ඔහු හිඳ උන් සෝෆාවේ ඇන්දට වැරෙන් පහරක් ගැසුවේ ය. ඔහු ගේ අතට රිදුණේ නැත ද පසන් ගේ හිත රිදිණ.
“මං බඳින්න ඉන්න ගෑනි ආශ්‍රය කරන්න ඕන කාවද ආශ්‍රය කරන්න ඕන නැත්තෙ කාවද කියල තීරණේ කරන්නෙ මං. ඒකට මගෙ වෙන කාගෙවත් ඔපීනියන් ඕන නෑ. අනික මාත් එක්ක අෆෙයා එකක් පටං ගන්න කලින් කාව ආශ්‍රය කළත් ඊට පස්සෙ එයා වැඩ කරන්න ඕන මං කියන විදිහට”
“ඉතිං පසන්ට තියෙන්නෙ ඕක පාරුල්ට කියන්නනෙ”
“මං එයාට කියන්නං. හැබැයි ඔයාටත් කියල යන්නයි ආවෙ. ෆැකල්ටි එක ළඟට ඇවිත් දෙව්රූව වාහනේ දාං යනව කියල මං දන්නව. හැබැයි තැං තැං වලට උස්සං ගිහිං සල්ලං කරල මාරු වෙන්න හිතං ඉන්නවනං…”
“මොකද්ද තමුසෙ කියන්නෙ…”
ගඟුල් අසුනෙන් නැගී සිටියේ ආත්ම පාලනය කියන දේ ගැන හාංකවිසියක මතකයක් නැතිව හී ගසක් සේ ය. ඒ සමග ම පසන් ද නැගී සිටියේ ය.
“කොටිංම මං කැමති නෑ දෙව්රූ වෙන කිසි පිරිමියෙක් ආශ්‍රය කරනවට. ඒක එච්චරයි”
“මං ඇදල එළියට දාන්න කලින් බැහැපං මිනිහො දොට්ට. යන්න කලිං මෙන්න මේකත් අහගනිං. මට පුළුවන් ඕන්නං උඹව තූත්තුකුඩියට දක්කන්න…නැත්තං එලොව යවන්න. හැබැයි ගැරඬි මරණ මිනිහෙක් නෙවෙයි මං. හැබැයි…”
ගඟුල් වඩාත් පසන් වෙතට ලං ව ඔහු ගේ මූණේ ගෑවෙන නො ගෑවෙන තරමට දබරැඟිල්ල වැනුවේ ය. ඔහු ගේ ස්වරය දැඩි විය. නමුත් හඬ වඩාත් මන්ද්‍ර වූයේ ය. ඔහු ගේ ඇස් ඉසිහින් රේඛාවන් ව දිළිසිණි.
“හැබැයි කෙල්ලට වද දීල ඒකිට රිද්දල තිබ්බොත්… මං උඹේ කෑලිවත් ඉතුරු කරන්නෑ ඒක දැනගෙන හිටපං”
ගඟුල් එසේ කියා නිම වන විට ම පසන් දොරටුවෙන් ඉවතට වේගවත් අඩි තබන්නට වූයේ ය. ගඟුල් ට දැනුණේ වෙව්ලීමකි. ඔහු සිය දැවැන්ත මේසය දෙසට ගොස් විධායක අසුනට වැටුණි. පුටුව වටයක් කැරකී ගියේ ය. හිස පුටු ඇන්දට බර කොටගත් ගඟුල් ඇස් දෙක තද කොට පියාගත්තේ ය. තත්පර කිහිපයක් ඒ ඉරියව්වේ රැඳෙනු බැරිව යළිත් මේසයට නැඹුරු වී එහි වැලමිට තබාගෙන අතැඟිලි වලින් මුහුණ පිරිමැද ගත්තේ ය. යළිත් නැගී සිට නො සන්සුන් ලෙස සක්මන් කළේ ය. නගරාධිපති ධූරයේ කටයුතු ආරම්භ කළ දවසේ ම මෙවැන්නක් සිදු වීම ඔහු ගේ හිතට හොඳ නැත. නමුත් පාරුල් වෙනුවෙන් මීට වඩා යමක් වුව කරන්නට සිදු වී නම් නො කර ඉන්නට ඔහු අපොහොසත් වනු ඇත.
පාරුල් හිටියේ දුකෙනි. පසන් ගැන අන්ත කලකිරීමක් ඇයට දැනේ. මහ මග ම සිය ගැහැනිය ට පහර දිය හැකි මිනිසෙකු සමග එක ජීවිතයක් දෙකට බෙදාගන්නේ කෙලෙසින් ද? ඇයට මේ සම්බන්ධය තව දුරටත් පවත්වාගෙන යන්නට උවමනා නැත. නමුත් ඉන් මිදෙන්නට ඔහු ඇයට ඉඩ දෙන්නේ ද නැත. ජීවිතයකට ලං කොට ගත යුත්තේ හිතට පහසුවක් දනවනා මිනිසුන් ය. ඒ නැත ද අපහසුවක් වදයක් සේ නො දැනෙනා මිනිසුන් ය. නමුත් දැන් පසන් දැඩි මානසික පීඩනයක් එල්ල කරමින් හිඳී.
“සොරි දෙව්. අපි ඒක අමතක කරමු. ඒ වෙලාවෙ මට ටිකක් කේන්ති ගියා”
පසුව ඔහු දුරකතන ඇනතුමක් දී කීවේ ය.
“අපි මේ සම්බන්දෙ නතර කරමු පසන්. මට තේරෙනව මට ඔයත් එක්ක ජීවත් වෙන්න බෑ කියල”
පාරුල් හැඬුම්බර ව වුව අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට බැලුවා ය.
“ඒ කියන්නෙ තමුසෙට අරූ එක්ක සම්බන්ධයක් ඇති කරගන්නද ඕනෙ… ඌගෙ නගරාධිපතිකම ලොකු කරගෙන ද කොහොමහරි මගෙන් අයින් වෙන්න බලන්නෙ…”
“ඔයා කැමති විදිහකට හිතාගන්න. මේක හරිම ටොක්සික් රිලේශන්ශිප් එකක්. මේ රණ්ඩු මට මාර ස්ට්‍රෙස්. හිතේ සැනසිල්ලෙන් පාඩමක්වත් කරගන්නෙ කොහොමද මං…”
“හරි බලමුකො ඈත් වෙලා… උඹව ම ර ණ ව දැනගනිං මං…”
පාරුල් ගේ ඇස් වලින් කඳුළු රූරා වැටිණ. ගෙදර අයගේ නෙතු ගැටෙන්නට පෙර ඈ ඒ කඳුළු පිස දා ගත්තා ය. පේන මානයක ගැලවීමක් නැත. ළිඳට වැටී තිබුණාට ළිං කටෙන්වත් ගොඩට පැමිණිය නො හැකි පාට ය.
පාරුල් ට කතා කිරීමේ උවමනාව ගඟුල් ට දැඩිව දැනිණ. පසන් මේ විදිහේ ගමනක් එන්නට ඇත්තේ නිකං ම නොවන බව ඔහු ට විශ්වාස ය. ඔවුන් අතරේ යමක් සිදු වන්නට ඇත. පසන් වාගේ අන්තවාදී මිනිසෙකුට ගැහැනු හිතක සියුමැළි බව ගැන සංවේදීතාවයක් ඇත්තේ ම නැති බව දැන් ගඟුල් ට පැහැදිළි ය. නිසැක වශයෙන් ම ඔහු සිටිනුයේ මානසික උපදේශනය අවැසි තත්වයක ය. පාරුල් එවැනි පිරිමියෙකු තෝරාගත්තේ ඇයි?
“වත්තෙ හැමෝටම අද ඩිනර් එක මගෙ ගානෙ. ඔයාට පුළුවන්ද කට්ටියට පණිවිඩේ දෙන්න…”
හුඟක් වෙලා කල්පනා කිරීමෙන් පසු පාරුල් දකින්නට ලොන්ඩරි වත්තට යන්නට ගඟුල් පොටක් පාදා ගත්තේ ය. ඒ උපාය සිහිපත් වනතුරු ඔහු ඇයට ඇමතුමක් දෙන්නට පවා පසුබාමින් සිටියේ ය.
“වාව්… නියමයිනෙ”
මළානික වී ගොස් සිටි ඕ, ඉඩෝර බිමක් මත මහ වැසි ඇද හැලුණ කලෙක සේ ප්‍රබෝධවත් වූවා ය. උමා සමගින් වත්තේ ගෙයක් ගානේ ගොස් සතුටු ආරංචිය කීවා ය. විඩාපත් හැම මුහුණක ම අලුත් සිනහ රේඛා නැඟිණ. වත්තේ ඒකාකාරී ජීවන ක්‍රමය තුළ සාද සම්භාෂණ විරල ය. ඉතින් ඔවුන් ට එහෙම අවස්ථාවක් මහමෙරක් වටින්නේ ය.
“කෙනෙක්ගෙ මූණට හිනාවක් ගේන්න හැම මනුස්සයෙක්ටම බෑ. හැබැයි ගඟුල් විජයවීර කියන්නෙ එහෙම මනුස්සයෙක්. මීට කලින් ඡන්ද දිනපු මොන යකාද වත්තෙ මිනිස්සුන්ට පාටියක් දුන්නෙ… උං උං පාටි දාන්න ඇති ඉතිං”
උමා ඒ කීවේ හදවතින් ම ය. වත්තේ මිනිසුන් ගේ මුහුණු වල නැඟුණු හිනාවටත් වඩා ඇයට අවධාරණය කරන්නට අවැසි වූයේ පාරුල් ගේ මුහුණේ වූ සිනහව ගැනයි. එදා පාරුල් ගේ අහසට උඩින් පසන් ඇති කොට තිබී අඳුරු වලා සියල්ල ඈතට පළවා හැර රත්තරන් පාට ඉර එළියක් තවරන්නට ඇසිල්ලකින් ගඟුල් සමත් ව සිටියේ ය.
ලොන්ඩරි වත්තේ රෙදි වේලන අවකාශයෙහි වහ වහා විසල් ආවරණයක් ඉදි කෙරිණ. ප්ලාස්ටික් පුටු ලොරියක් ම ගෙනැවිත් බෑවේ ය. හොඳ ම කේටරින් සේවයකින් සාදයකට සේ බොජුන් ද අතුරුපස ද සැපයිනි. පිරිමින් වෙනුවෙන් සැර බීම වර්ග ද කටගැස්ම ද නො අඩුව සපිරිණි. ලොන්ඩරි වත්ත හෝරාවක් දෙකක් ඇතුළත එක ම මගුල් ගෙදරක් වූයේ ය.
පාරුල් ගේ හදවතේ නො ඉවසිලිමත් බලාපොරොත්තුවක් විය. ඒ කුමක්දැයි හිත හාරා පාරා විමසන්නට ඇය වෙහෙසුනේ නැත. රාජ කුමාරයෙක් වාගේ විත් ගඟුල් විජයවීර ඔහු ගේ රියෙන් බැසගත්දී නම් පපුව හෙළවී යනු ඇයට දැනිණ.
“චන්දුල සින්දුවක් කියන්න ඕන හරිද… එකක් මදි දෙක තුනක්වත් ඕනෙ”
ඔහු චන්දුල ගේ උරහිස වටා අතක් දමාගෙන කීවේ ය. පාරුල් සිටියේ උමා සමගින් මඳක් ඈතිනි. අයියා හා ගඟුල් එහෙම දකිත්දී දැනුණා වූ පපුව පිපිරෙන්නට හදනා හැඟීමට පාරුල් ආශා වූවා ය. හුස්ම හිර වී ඇස් වලට කඳුළක් ඉනුවත් ඒ හැඟීමට ඇය ආදරය කළා ය.
ගඟුල් සියල්ල විමසා බැලුවේ ය. අඩුපාඩු තිබේදැයි පිරික්සා බැලුවේ ය. පසන් නිසා දවල් හිතේ ඇතිව තිබූ නො රිස්සුම දැන් හේදී ගොසිනි. සියල්ල අවශ්‍ය පරිදි සිදු ව ඇති බව තහවුරු කරගැනීමෙන් පසු ඔහු පාරුල් සිටි දෙසට පිය තැබුවේ ය. පසන් සිය කාර්යාලයට පැමිණි බව පාරුල් ට නො කියන්නට, පසන් ම කීවොත් මිස පාරුල්ට ඒ බවක් නො කියන්නට ඒ පිය නගනා මොහොතේ දී ඔහු හිතා ගත්තේ ය.