ආකාස මෝස්තර – 55

සුරත් ශාරීරික වශයෙන් සුවය ලබමින් හිඳී. නමුත් මානසික වශයෙන් සුවයක් ලැබී නැති තරම ය. නැතහොත් එන්න එන්න ම මානසික සෞඛ්‍යය පිරිහෙමින් පවතිනවායි පැවසිය හැක. නමුත් පියා හා පුතු සන්සුන් කොට ගෙදර කාලගුණ තත්වය යහපත් ව පවත්වා ගන්නට නිර්ධා සියුම් ලෙස කටයුතු කළා ය.

දිනෙක සිය මරණයත් සමගින් මිහිදන් ව යනු ඇතැයි සුරත් විසින් සිතා සිටිනු ලැබූ ඒ රහස දන්නා තවත් එක්කෙනෙකු හෝ මෙලොව වෙතැයි ඔහු සිතුවේ නැත. නමුත් ජීවිතය මත්තේ දී නො සිතූ දේවල් ඕනෑ තරම් සිදු වන්නට පිළිවන.

එදා ඒ මුඩුක්කු වත්තෙන් පැන ගියාට පස්සේ සුරත් යළි කිසි දාක එහි අඩිය තබා නැත. එදා මුඩුක්කු වත්තේ සිටි සරත් හා පසු කලෙක දේශපාලනයට පිවිසි සුරත් යනු එක් කෙනෙකු සේ හැඳින ගන්නට කිසිවෙකු සමත් නොවෙන බව ඔහු විශ්වාස කළේ ය. ඒ කාලේ ඔහු ගැටවරයෙකි. නමුත් දේශපාලනයට එත්දී වැඩුණු මිනිසෙකි. වත්තෙන් පිට වෙත්දී දැලි රැවුලවත් හරි හැටි නො වැඩී තිබුණු තරම ය. නමුත් ඔහු දේශපාලනයට පිවිසියේ මුහුණ පුරා රැවුල වවාගෙන ය. කැහැටු කොල්ලෙකු ලෙස නොව මහත දෙහෙත මිනිහෙකු ලෙස ය. කොළඹට සැතපුම් ගණනක් ඈත දිස්ත්‍රික්කයකිනි. ඉතින් සරත් හා සුරත් සමපාත කරන්නට කිසිවෙක් සමත් නොවුණහ. අනිත් අතට ජයධරන් යුවළට හැරුණුකොට මුඩුක්කු වත්තේ කාටවත් සරත් කෙනෙකු මතකයෙහි ඉතිරි වී තිබුණා ද කියාත් සැක ය. නමුත් ඔහු ඒ පැත්ත පලාතේ පස් පාගන්නටවත් නො ගියේ ය. ඔහු ට ඕන වුණේ ඒ අතීතය මුළුමනින් අමතක කරන්නටයි. මුඩුක්කු වත්තේ එකෙකු යයි නො සිතා ඉන්නටයි.

නමුත් ඔහු හඳුනාගත් එක් අයෙකු වත්තේ හිඳ තිබිණි. ඒ සපත්තු මහන්නා වන ජයධරන් ය. සුරත් දේශපාලනයට පිවිස පාර්ලිමේන්තුවේ ප්‍රකට චරිතයක් වන විට ජයධරන් ගේ බිරිඳ මානසික රෝගියෙකු වී සිටියා ය. ය. කාලයක් මුල්ලේරියාව මානසික රෝහලේ උමතු ගැහැනියක ලෙස ජීවත් වී මිය ගිය ඇගේ අවසන් කටයුතු සිදු කොට තිබුණේ රජයේ වියදමෙන් රෝහල මගිනි. ජයධරන් ට එවූ පණිවිඩ එකක්වත් ඔහු ට ලැබුණේ නැත. බිරිඳ බලන්නට රෝහලට ගිය වතාවක මේ ආරංචිය දැනගෙන ඔහු හිස් අතින් ගෙදර ආවේ ය.

සුරත් විජයවීර ලෙස අභිසෙස් ලබා හිඳින්නේ ඈත අතීතයේ දිනෙක සපත්තු මහන තැන බිම දමා ගොස් තිබූ සරත් බව ඔහු හැඳින්නේ ඔහු ගේ ඇස් දෙකෙනි. ඒ අවබෝධය ලැබුණ මොහොතේ ජයධරන් කම්පිත වූව ද ඔහු ඒ රහස හදවතේ රැකගත්තේ ය. සුරත් ගැන කටින් කෙළ බිඳක් නො හෙළුවේ ය. ඔහු හදා ගත් පුත්‍රයා රජ වී සිටියදී ඔහු දිගට ම කොළඹ මන්සන්ධියක කැඩුණු සපත්තු පිළිසකර කළේ ය. සදා නො වෙනස් ව පැවති මුඩුක්කු ගෙයි තනිව ම වැටී නිදාගත්තේ ය. බිරිඳ වාගේ ම මේ ජීවිත දුක කෙළවර කරන්නට දින පැමිණෙන තුරු බලා සිටියේ ය.

සියවස් ගණන් දරා හිඳිනා ගිනි කඳු වුණත් පුපුරා යන වෙලාවල් තිබේ. ජයධරන් නම් මහළු මිනිසාගේ හදවත් ගිනිකන්ද පුපුරා ගියේ, ඡන්ද ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු සඳහා ගඟුල් එහි ගිය දවසකයි.

“මහත්තයො… මට මහත්තයත් එක්ක ඩිංගක් කතා කරන්න අවසරයි”

ඇහෙන නෑහෙන හඬකින් දමිළ ඌරුවට ඔහු ගේ කනට කෙඳිරූ හඬට ගඟුල් කැළඹී ගියේ ය. ඒ බොර පාට ඇස් වල පත්ලේ කියා ගන්නට පෙරුම්පිරූ කතාවක් කිමිදී තිබිණ.

“කියන්න සීයා”

ගඟුල් ඔහු ගේ ගෙතුළට ගියේ ය.

“චූටි මහත්තය සුරත් විජේවීර ඇමතිතුමාගෙ පුතයි කිව්වහම මට මේක තවත් දරං ඉන්න බැරි වුණා චූටි මහත්තයො. මං මේක කාටවත් අපහාසයක් කරන්න කියනව එහෙම නෙවෙයි. පපුවෙ හිරකරං හිටිය දරු දුක නිසයි කියන්නෙ. බොරුනං මේ දැං මගෙ පපුව පැලිල මැරෙන්න ඕන චූටි මහත්තයො”

ඒ ගිළුණ ඇස් ගැඹුරේ කඳුළක් නළියෑවේ ය. සරත් ජයධරන් හා සුරත් විජයවීර ගැන පුරාවෘත්තය ඔහු ගෙන් කියැවුණේ ඒ වෙලාවේ ය.

“හදාගත්ත දරුවෙක් වුණාට අපි එයාට ගොඩක් ආදරේ කළා කියල කියන්න මහත්තයො. මගෙ ගෑනි මළෙත් එයා වත්තෙන් පැනල ගිය දුක වාවගන්න බැරුව ඔළුව පිස්සු වැටිල ඉඳලයි කියලත් කියන්න”

 නමුත් ගඟුල් එය එකවර විශ්වාස කළා නොවේ. ඒ මහළු මිනිසාට වැරදීමක්, පැටළීමක් හෝ අමතක වීමක් වීමට ඕනෑ තරම් ඉඩ ඇති බව ද හෙතෙම දැන සිටියේ ය. එදා පාරුල් ගැන කතාව ඇදී ආ වෙලාවේ ගඟුල් ඒ තුරුම්පුව ඇද්දේ ද ඒ ගැන ඉඳුරා විශ්වාසයකින් යුතුව නොවේ. නමුත් සුරත් ගේ සිදු වූ ක්ෂණික වෙනස, ඒ සරත් ජයධරන් බව ඔප්පු කොට සිටී.

දැන් ගඟුල් ට සැහැල්ලුවක් දැනේ. ඔහු ගේ පියා සපත්තු මසන්නෙකු විසින් සාදා ගත් අනාථයෙකු වූවා කියා ලැජ්ජාවක් ඔහු ට නැත. වඩා වැදගත් වන්නේ කෙනෙකු සිටි තැන නොව දැන් ඉන්නා තැන යයි ඔහු විශ්වාස කරයි.

තරග ජයග්‍රහණයෙන් පසු නව නිවසෙහි යතුර චන්දුල ට ලැබුණ ද ඔහු එහි පදිංචි වීමට හදිසියක් නො පෙන්වූයේ ය. ඒ පාරුල් ගේ අදහසක් මත යි. හැමදාමත් ඔවුන් සමග එකට උන්, චන්දුල තරුවක් කරනු වස් අපමණ කැප වුණ ලොන්ඩරිවත්තේ මිනිසුන් එහි ම සිටියදී ඉන් පිට වී නව නිවසක පදිංචි වීමට බැරි කමක් පාරුල් ට දැනිණ.

“ගඟුල් ගොඩක් මහන්සි වෙනව වත්තෙ කට්ටියට ෆ්ලැට් එකේ ගෙවල් ඉක්මනටම බෙදල දෙන්න. ඊට පස්සෙ අපිට යන්න පුළුවන්නං හොඳයි නේද අයියෙ…”

ඇය චන්දුල ට බැගෑපත් වූවා ය.

“දැං අයියට මෙහෙ ඉන්න එක හරිනෑ වගේනං ඔයා එහෙ ඉන්න. තව ටික දවසක් අපිට මෙහෙ ඉඳල එන්න පුළුවන්නෙ”

“පිස්සුද ඕයි… තමුසෙල මෙහෙ ඉද්දි මං තනියම එහෙ යන්න…”

චන්දුල කට කොනකට සිනහවක් නගා ගත්තේ ය.

“මේ අහිංසකයො අත්ඇරල යන්නැතුව උං එක්කම එකට ගොඩ යමු”

දැන් චන්දුල ගේ සම්මුඛ සාකච්ඡාවක් නැති පුවත්පතක් නොමැති තරමි. රූපවාහිනී නාලිකා වල වැඩසටහන් සඳහා නිරන්තර ඇරයුම් ලැබේ. හැම රාත්‍රියක ම සංගීත සංදර්ශන ය. එක් සන්දර්ශනයකින් ඔහු රෙදි හෝදා මාසයක් තිස්සේ ඉපයූ මුදල උපයයි. අළුයම් යාමයේ ගෙදර විත් සොල්දරයේ ඇඳට වැටුණ විට චන්දුල  ඒ අතීතයත් මේ වර්තමානයත් අතරේ වන විනිවිද පෙනෙනා සීමාවෙහි ඔහු දෝලනය වෙයි. ඔහු ට නින්ද යන්නේ කොයි වෙලාවේ දී දැයි ඔහු ම නො දනී.

කෙනෙකු ගේ දෛවය එක නිමේශයක දී වෙනස් විය හැකි බවට චන්දුල සාක්ෂියකි. දෛවය වෙනස් වූව ද ඔහු තමන් ලෙස ම පැවතීම මගින් ඔහු මනුශ්‍යත්වයෙන් ඔබ්බට ගොස් දිව්‍යමයත්වයකට ළඟා වන්නේ ය.

එක හවසක රිදී ගේ ගෙදර අය කදමලු බැඳගෙන උමා ගේ ගෙදරට ගියහ.

“මේ පැංචිව අපිටම දීල දාහං බං. කොහොමටත් මේකි පුංචි එකියක් කාලෙ ඉඳං හිටියෙ අපේ ගෙදර අපේ උං දෙන්න එක්කනෙ”

ජුලී උමා ගේ මව් වෙත යෝජනාව කළා ය.

“කෙල්ල මට කිව්ව රිදියො. අනේ ඒත් අපි දන්නෑ ඔව්ව කෙරෙන වැඩද කියල. චන්දුල දැං හරියට අභිමාන් එකේ අමිතාබ් භච්චන්  වගෙයි බං”

“අපේ එකාව අමිතාබ් භච්චන් කෙනෙක් කළානං ඒ උඹලගෙ එකී බං. ඒව උං ලබා උපං හැටි”

එදා පාරුල් උමා සමගින් වත්ත පුරා ඇවිද ගියා ය. මහල් නිවාසය ලොන්ඩරි වත්තේ ගෙවල් හිමිකරුවන් වෙත බෙදා දෙන්නට සියලු කටයුතු සූදානම් වෙමින් තිබෙනා බව ගඟුල් කීවේ ය. ඊට පස්සේ මේ පේළි ගෙවල් ඩෝසර් කොට ඉඩම නගරසභාව සතුවට ගනු ඇත. කෙසේ වී ද රෙදි සෝදන්නේත් වේලන්නේත් මදින්නේත් මේ වත්තේ රෙදි කාමර පෙළ ආශ්‍රිතවයි. ඔවුන් පමණක් නොව ඔවුන්ට ද පෙර පරම්පරා හතර පහක වැඩිහිටියන් ජීවත් වූ ඉසව්ව මෙයයි. ජීවිකාව කරගත් තැන මෙයයි. ඔවුන් ගේ දහඩිය හා රෙදි වල කෝස්ටික් සෝඩා මුසු වූ සුවඳ පාරුල් ලා ගේ උමා ලා ගේ චන්දුල ලා ගේ ආත්මයන් තුළ සදා සුවඳ දෙනු ඇත. ආකාසය ලස්සන සළුවක් හැඳ සිටියේ ය. මිනිසුන් ගේ ජීවිත මොන තරම් දුක් කම්කටොළු වලින් පිරී පැවතී ද මේ අහස හැමදාමත් ලස්සන මෝස්තර සහිත විචිත්‍ර රටා හැඳි බව පාරුල් දනී. රෙදි අපුල්ලන මිනිසුන් දිනකට කී වතාවක් අහස දෙස බලනවාදැයි අහස වුව නො දන්නවා විය හැක. නමුත් ඔවුන් ගේ ජීවිත බැඳී පවතින්නේ ම අහසත් එක්ක ය. අහසින් උරුම වෙන සියල්ල ඍජුව ම ඔවුන් ගේ ජීවිත වලට බලපාන්නේ ය.

“ගඟුල් කියනවනං එයා කොහොමහරි කරයි. කොල්ල කොහොම කෙනෙක්ද කියල දැන් අපි දන්නවනෙ. මේ ප්‍රශ්න වලට විසඳුම එයාව අතෑරල දාන එකයි කියල මොටහාතකටවත් හිතන්නෙපා. අල්ලගෙන ඉමු”

උමා පාරුල් ගේ අතකින් අල්වාගෙන කීවා ය. මීට ටික කාලයකට වැඩිය දැන් ඔවුන්ට කතා බහ කරන්නට ඇති දේවල් සංකීර්ණ වී තිබේ. පාරුල් ට උවමනා යළිත් සැහැල්ලුවෙන් සිනහ වී හිඳින්නට ය.

“මට එහෙම කරන්න පුළුවන් උමා. ඒත් හිතට මොකද්ද බයක් කරදර කරනව. එයාල පලිගන්න විදි අපිට හිතාගන්න බෑනෙ. මට බය මං ගැනම නෙවෙයි. දෙයියනේ කියල හිනාවෙන්න හදන අයිය ගැන මට බයයි”

“රාජා වෙනුවෙන් මං හැම වෙලේම කාලි මෑණියන්ට කන්නලව් කරනව. උඹත් මගෙ සහෝදරී. උඹල දෙන්නටම වරදින්න එපා. මට ඉල්ලන්න තියන එකම දේ එච්චරයි”

එදා අහස ශාන්ත වූයේ ය. රිදී හා ජුලී ද උමා ද එක්ව රාත්‍රිය වෙනුවෙන් අහර පිසිමින් සිටියහ. සුවඳ හාත්පස පැතිර ගියේ ය. එදා රාත්‍රියේ චන්දුල ට සන්දර්ශන නොතිබුනෙන් ඔහු ගෙදර සිටියේ ය. තෙම්පරාදු සුවඳ රිදී ගේ කුස්සියෙන් පිටතට පැන ඉගිලෙමින් තිබිණ. ගඟුල් පැමිණෙත්දී පාරුල් සිටියේ කුඩා කුස්සියේ බිම හිඳිගෙන දණහිස් වල මූණ ඔබාගෙනයි. උමා ඇයට ආදරයට දොස් කීවා ය.

“මෙතන හැරෙන්නවත් ඉඩක් නෑ. එයාත් ඇවිත් ඉඳං ඉන්නව මෙලෝ වැඩක් කරන්නෙත් නෑ. දවසක මිනිහගෙන් ගුටිකනව උඹ හොද්දක් උයාගන්න බතකට වතුර තියාගන්නවත් දන්නෑ කියල”

ගඟුල් ගෙට ගොඩ වූයේ එතකොට ම ය. උමා අතින් මුව වසාගත්තා ය. පාරුල් ට නැගිටවිණ. ගඟුල් ගේ දෙඅදර අතරෙහි දඟකාර මඳහසක් විය. පාරුල් ඉක්මනට නැගිට ඔහු වෙතට වූවා ය. ගඟුල් ගේ අතක් යන්තමින් ඒ අතැඟිල්ලක දැවටිණ. පාරුල් ගේ ඇස් ලස්සනට සිනහ වූයේ ය. ඒ මුව මතින් පහත් වී සිපගැනීමේ ආශාවක් ගඟුල් තුළ ඇති වූවද ඒ සිතිවිල්ල ඉවසාගන්නට ඔහු ට සිදු විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles