Not Without You – 3

0
6069

මගේ මිතුරියන් දෙදෙනා ම විවාහ වූ අය වෙති. මුද්‍රා සිය විවාහයට වසරක් සපිරෙන්නටත් පෙර දික්කසාදයෙන් වෙන් වූවා ය. එය ඉතා විෂ සහිත සම්බන්ධයක් වූ බව ඇගේ අදහසයි. පෞද්ගලික ආයතනයක මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස සේවය කරමින් දැන් ඇය නිදහස් හා සැහැල්ලු දිවියක් ගත කරයි. යළිත් විවාහයක් කර නො ගන්නා බව ඇය නොකියයි. නමුත් විෂ සහිත සම්බන්ධයක බැඳී හිඳිනවාට වැඩිය තනිකඩ ජීවිතය යහපත් යයි ඇය විශ්වාස කරයි.

පීහු ගේ සැමියා විදේශ රැකියාවක නියැලෙයි. ඈ විවාහ වූයේ පාසල් ජීවිතය නිමා කළ ගමන් ඉතා අඩු වයසෙනි. ඇයට ප්‍රාථමික ශ්‍රේණි වල උගන්නා පුතෙකු හිඳී. සැමියා ළඟ පාතක නොමැතිව තනිව දරුවෙකු හදා වඩාගන්නට ඇය වන වෙහෙස මම දකිමි. දෙදෙනා දෙපසක එවන් ජීවිතයක් ගෙවන්නට නම් විවාහයක් කුමටද කියා ඇතැම් විට මම සිතමි. ඔවුන් දෙදෙනා ම අහිමි වූ හෝ නො ලැබී ගිය දේවල් ගැන නො තැවී සිටිනු වස් මේ මොහොත සතුටින් ගෙවන්නට බලති. ජීවිතයෙහි තෙවන දශකයට එළඹීමට ආසන්නව සිටිනා අපට අප හැම මොහොතක ම ශක්තියකි.  පීඩනය දුරු කරනා සතුටු මන්තරයකි.

“ආදිල් මෙහෙනෙ ඉන්නෙ”

ඔවුන් දෙදෙනා දුරකතනයට සම්බන්ධ වූ ගමන් මම කලබලයෙන් කීවෙමි.

“කවුද ආදිල් කියන්නෙ…”

ඒ ප්‍රශ්නය ඔවුන් දෙදෙනාගෙන් පිට වූයේ එකට ම ය.

“ඇයි අප්ප. ඊයෙ බීච් එකේදි හම්බුණෙ. සචින් අයියගෙ යාළුව”

“ඕ…එහෙම කියන්නෙපැයි. අපිට ඉතිං ඔය මගදි හම්බවෙලා ජෝක් එකට ගන්න හැම කොල්ලවම මතක තියෙන්නෑ කියල ඔයා දන්නවනෙ ආන්‍යා”

“හැබැයි සකීට ඒ නම හොඳට මතක තිබිල වගේ”

ඔවුන් දෙදෙනා ම එක හඬින් සිනහ වන්නට වූහ. මම මූණ හකුලාගතිමි.

“මට මතක් වුණෙත් ඉතිං දැං දැක්කහම. මං සැන්සවේරියා ටික බලන්න බැල්කනි එකට ගියා. මෙන්න මේ කොල්ල සචින්ලගෙ ඒ පැත්තෙ ෆ්‍රෙන්ච් වින්ඩෝ එක ඇරගෙන බැල්කනි එකට ආව”

“හප්පතසිලි. එහෙනං හොඳ හින්දි ෆිල්ම් එකක් ශූට් කරන්න පුළුවන් වෙයි වගේ”

“මේ… මටත් ටික දවසකටහරි ආන්‍යාගෙ රූම් එකේ නවතින්න ඕනෙ”

“හැබැයි කොල්ලගෙ ඇස් තිබුණෙ සකී ළඟ”

“හැබැයි ඔන්නෙහෙ ඒකත් කමන්නෑ නේ… හරියට ඒක නිකං හොයාගෙනම ආපු ගමනක් වගේද දන්නෑනෙ”

“අනේ මේ… දොඩවන්නැතුව ඉන්නවල. මං මේ කොල්ල මෙහෙ ඉන්නව කියලයි කිව්වෙ. ඒ දෙන්න මගුල් කතා කරලත් ඉවරයි”

“ඇත්තටම අපිට දැං වෙඩිමක් ඕන කියල හිතෙන්නැද්ද… සකී වෙඩිමක් ගත්තනං මටයි පීහුටයි බ්‍රයිඩ්ස්මේඩ්ල වෙන්න තිබුණ. ලස්සනට ඇඳල කාල බීල එහෙම දවසක් ගත කරන්න අපිටත් අයිතිය තියනවනෙ”

“එහෙනං ඉතිං ඔය දෙන්නගෙං එක්කෙනෙක්ට තමයි ආයෙ බඳින්න වෙන්නෙ. මට ඕන්නෑ”

හැමදාමත් සේ මා එසේ කී විට කරබාගෙන පසු බසින්නට ඔවුන්ට සිදු විය.

ආදිල් මන්රූ රත්නායක

කොල්ලො රංචුවකට කෙල්ලෙක්ව අහුවෙනවට වැඩිය කෙල්ලො දෙතුන් දෙනෙක්ට තනි කොල්ලෙක් අහු වුණාම අමාරුයි කියල ඉස්සර ඉඳන්ම කොල්ලො කියනව අහල තිබුණට මං ඒක හරියට තේරුං ගත්තෙ බීච් එකේදි. සාමාන්‍යයෙන් මං කෙල්ලො ඩීසන්ට් වෙනවට කැමති කොල්ලෙක්. හැබැයි මේ කෙල්ලො තුන්දෙනාගෙ සැහැල්ලු හැසිරීම ගැන මුල ඉඳලම මට අපැහැදීමක් දැනුණෙ නෑ. උං කෑගහල හිනා වෙනකොට සමහර වෙලාවට මට තනියම හිනාගියා. කෙල්ලො ඩ්‍රිංක්ස් ගන්න එක ගැන කොහොමත් මගෙ කැමැත්තක් නෑ. ඒ වුණාට මේ කෙල්ලො තුන්දෙනා බියර් එකක් බිබී හිටපු එක ගැන කිසිම අවුලක් මට දැනුන්නෑ. කොටිංම ජීවිතේ විඳින කෙල්ලො තුන්දෙනෙක් කියල තමයි මට උං ගැන දැනුණෙ. උං බයිට් එකට අරං තියෙන්නෙ මාවයි කියල හොඳටම දැනුණත් මට එතනිං යන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. මොකද සචින් මට එන්න කිව්වෙ ඔතනට.

මං කොළඹ ඇවිත් ටික දවසක්. එක එක යාළුවොත් එක්ක සෙට් වෙලා මගෙ වැඩේ ගැන කතා කළා. වැඩේට ප්ලේස් එකක් හෙව්ව. ඒත් හිතට හරියන තැනක් හම්බ වුණේ නෑ. අන්තිමට තමයි මං සචින්ට කතා කළේ. සචින් මගෙ ඉස්කෝලෙ යාළුවෙක්. ශිෂ්‍යත්වෙ පාස් වෙලා ඇවිත් මං හොස්ටල් නතර වෙලයි හිටියෙ. සචින්ලනං කොළඹ අවට නිසා ගෙදර ඉඳන් ඉස්කෝලෙ ආවෙ. ඉස්කෝලෙන් පස්සෙ අපේ යාළුකං ඈත්වෙලා ගියා. කැම්පස් එකේදි හිටියෙ වෙනම සෙට් එකක්.

කාලයක් මං නුවර ආකිටෙක්ට් කෙනෙක් එක්ක වැඩ කළා ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් විදිහට. ටික දවසක් යද්දි මට ඕන වුණේ මගෙම ඉන්ටීරියර් ඩිසයිනිං ෆර්ම් එකක් පටංගන්න. නුවර ඒක කරන්න බැරිකමක් නැති වුණත් මට ඕනවුණා ආයෙ කොළඹ එන්න. ඒකට ලොකුම හේතුව කල්පනී. කල්පනීගෙයි මගෙයි රිලේශන්ශිප් එක මේ වෙද්දි හොඳටම ස්පොයිල් වෙලයි තිබුණෙ. ඇත්තටම මට මාර වදයක් වෙන තරමට ඒ ළමය මගෙ ඔළුව කන එකයි කළේ. පිරිමියෙක් නතරවෙන්න කැමති නිදහස් තැනක. විශේෂයෙන් ම කසාද බඳින්න තෝරගන්නෙ සැනසිල්ලෙ ඉන්න පුළුවන් ගෑනියෙක්ව. දකින දකින වෙලාවට ඔළුව කන්න බලං ඉන්න ගෑනියෙක් එක්ක දීර්ඝ කාලීන බැඳීමක් ගොඩනගාගන්න අමාරුයි. සම්බන්ධයක් කියන දේ දෙන්නටම පහසු හැඟීමක් දෙන්න ඕනෙ. සැනසිල්ලක් දෙන්න ඕනෙ. ඕනම ප්‍රශ්නයක් විවෘතව කතා කරන්න පුළුවන් තැනක් වෙන්න ඕනෙ. පිරිමියෙක් කසාද බඳින්න තෝරගන්නෙ එහෙම ගෑනියෙක්වයි කියල කොච්චර තේරුං කරල දෙන්න බැලුවත් කල්පනී ඒක තේරුං ගත්තෙ නෑ. ඒකයි අන්තිමට මං කිව්වෙ අපි බ්‍රේකප් වෙමු කියල. මේ ළමය ඒක කිව්වට පස්සෙ ආවේස වුණා වගෙයි හැසිරුණෙ. එයා මට පුදුම විදිහට බැන්න. අහං ඉන්න අප්පිරිය හිතෙන තරං කතා කිව්ව. එයාගෙ ඇත්ත ම ස්වභාවය එළියට ආවෙ ඊට පස්සෙද කොහෙද. එහෙම තැනක තවදුරටත් රැඳෙන්න මොළේ තියෙන පිරිමියෙක් හිතන්නෙවත් නෑ. අන්තිමට මං දමල ගහල කොළඹ ආව. මට ඕනකරල තිබුණෙ හැමදේම අලුතෙන් පටන්ගන්න. අඩු තරමින් මගෙ රස්සාව හිතේ නිදහසේ කරගෙන ඉන්න.

සමහර දේවල් හරි පුදුම විදිහට සැලසුම් වෙලා තියනව. සචින් ඒ බීච් එකේ හිටිය අමුතු කෙල්ලො තුන්දෙනාව දැනගෙන හිටපු එකත් එහෙම සැලසුමක් වගෙයි. පින්ක් ගර්ල් නැත්තං රෝස පාට ගෑනු ළමය කියල සචින් කතා කරපු කෙල්ල අහිංසක පාටයි. අනිත් කෙල්ලො දෙන්නගෙ විහිළු වලට පවා ඒකි මූණ රතුකරගෙන හිනා වුණා. සචින් ගෙ ගෙදර නතර වුණ පළවෙනි දවසෙම බැල්කනි එකට එද්දි එයාව දකින්න ලැබුණ එකත් ටිකක් අමුතුයි. එයා අහිංසකයි වගේම ටිකක් ආඩම්බරයිත් කියල ඒ වෙලාවෙ මට හිතුණා.

සකී ආන්‍යා තඹරවිල

මම ආච්චා සමග මිදුලේ ඇවිදිමින් සිටියෙමි. ඇගේ පාළු දිවියට වන එක ම අස්වැසිල්ල මා ය. ඇයට සිටින එක ම ඥාතියා ද හිතවතා ද මා ය. මගේ තනියට මාත් එක්ක නතර වීම නිසා මව් පස ඥාතීහු, එනම් ආච්චා ගේ අනිත් දූ පුතුන් ඇය හා අමනාප වූහ. ඔවුන්ට ඕනෑ වූයේ දෙහිවල නගරයේ පිහිටි අම්මා ගේ කඩ කාමර දෙක යළිත් ඔවුන් අතට ගන්නටයි. ඒවා සීයා හරිහම්බ කළ දෑ ය. නමුත් සීයා ගේ දේපල බෙදා දෙත්දී ඒ කඩ කාමර දෙක ආච්චා අම්මා ට දුන්නා ය. ඒ විවාහයේ දී ලැබිය යුතු දායාද ලෙසයි. තාත්තා කවදත් අම්මා ගේ දේපල ගැන උනන්දු වූ අයෙකු නොවේ. ඔහු මහ බැංකුවේ ඉහළ නිලයක් දැරුවේ ය. අපේ ගෙදර තාත්තා ට ඔහු ගේ තාත්තා ගෙන් ලැබුණකි. මිය යන විට ස්ථිර තැන්පතු ලෙස සැලකිය යුතු මුදලක් තාත්තා ගේ ගිණුම් වල විය.

“මං නැතිවුණ කාලෙක හරි ඔයා කාටවත් අතපාන්න ඕනෙ නෑ. ෆික්ස් ඩිපොසිට් වලින් එන පොලියෙන් ඔයාට ජීවත් වෙන්න පුළුවන්”

අම්මා නැති වූවාට පස්සේ තාත්තා නිතර එහෙම කීවේ ය. ඉක්මනින් ඔහුටත් අම්මා වෙතට යාමට සිදු වන බව තාත්තා දැන සිටියා දැයි නො දනිමි.

“අම්ම ආසාවෙන් හිටියෙ ඔයාව ලස්සන මනමාලියක් කරල හොඳ පිරිමි ළමයෙක්ට බාර දෙන්න. ඒත් එයාට ඒක කරන්න කලින් යන්න වුණා”

තාත්තා තැවුණේ ය. අම්මා හා තාත්තා අතරේ තිබූ දැඩි බැඳීම මත ඔහු ට ඇය නැතිව වැඩි කල් ජීවත් විය නො හැකි වන්නට ඇත. මා දමා යා නො හැකි බවට හැඟීමක් වී ද අප දෙදෙනා අතරේ වූ බැඳීමට වඩා අම්මා සමග තිබූ බැඳීම වඩාත් දැඩිව තාත්තා ට දැනෙන්නට ඇත. අවසන ඔහුට මා අතැර අම්මා වෙත යන්නට සිදු විය. අම්මා ට කරන්නට ඕනෑ වූ දේ තාත්තාට ද කරගත නො හැකි වූයේ ය. අම්මා ගේ ජීවිතයේ අවසාන කාලයේදී හසන්ත මගේ ජීවිතයට පැමිණ තිබිණි ද මට එය ඇයට කියාගත හැකි වූයේ නැත. තාත්තා ද අවසන මට වඩා ඉස්සර වී තිබිණ.

අම්මාට දුන් කඩ කාමර දෙක ඇගේ වියෝවෙන් පසු යළිත් ඔවුන්ට පවරා නොදී මා සමග මේ ගෙදර රැඳීම මත ආච්චා ගේ අනිත් දරුවෝ ඇය අත්හැරියාහ. ඇගේ ආවතේව කරන්නට ද ගෙදර වැඩ වලට ද කාන්තාවක සේවයට ගෙන අපි මෙතෙක් කලක් කෙසේ හෝ මේ හුදෙකලා දුෂ්කර ජීවිතය අල්වාගෙන පැමිණියෙමු.

“මේ සන්ඩේ චර්ච් යන්න ඕනෙ සකී. මට කැබ් එකක් කෝල් කරල දෙන්න. මං මානෙල් එක්ක ගිහිං එන්නං”

ගේට්ටුව දෙසට ගමන් කරන අතරේ ආච්චා පැවසුවා ය. සාමාන්‍යයෙන් හැන්දෑවට ඇය ගේට්ටුව ළඟ ටික වෙලාවක් ඉන්නට කැමති ය. ඒ පාරේ යන එන උදවිය සමග වචන කිහිපයක් කතා කරන්නට ඇති කැමැත්තටයි. ඇගේ හුදෙකලා දිවියට, අසල්වැසියන්ගෙන් එකතු කරගන්නා ඕපාදූප ටිකක් වුව ලොකු සතුටක් ගෙන එයි.

“කැබ් එකක යන්නෙ මොකටද… මං ආච්චව චර්ච් එක්කං යන්නං”

“සකීට වැඩනෙ. දෙහිවල කඩ දෙකේ රෙනවේශන්ස් ඉවරත් නෑනෙ තාම”

“ඒකට කමක්නෑ ඉතිං. මං එතනම ඉන්න ඕන නෑනෙ. අපි යං”

“මට දේව මෑණියන්ට බාරයක් වෙන්න ඕනෙ… සකී ගැන. අඩු ගානෙ සකීව දේව මෑණියන්ටවත් බාර කළානං මගෙ හිත ටිකක් නිදහස් වෙයි”

“අනේ මං ගැන ඔච්චරට වොරි වෙන්නෙපා ආච්චා. අනික ගෑනු ළමයෙක් කසාද බඳින්න ඕනමයි කියල එකක් නෑ. ජීවත් වෙන්න සල්ලි තියනවනං ඉන්කම් එකක් තියනවනං තනියම වුණත් ජීවත් වෙන්න පුළුවන්. අපි කසාද බඳින්න ඕන තනියම ජීවත් වෙන්න බැරි කමකට නෙවෙයි… ජීවිතේ ශෙයා කරගන්න. ඒකට හරියන කෙනෙක් හම්බවුණේ නැත්තං තනියම ඉන්න එක ඔක්කෝටම වැඩිය හොඳයි ආච්චා”

“අනේ මන්දන්නෑ දරුවො”

සචින් ගේ යතුරුපැදිය අප පසුකොට අඩි කිහිපයක් එහා දී නතර විය. ආච්චාව දුටු විට වචන කිහිපයක් කතා කොට යාම ඔහු ගේ සිරිතකි. මේ මොහොතේ වෙනසකට වූයේ ඔහු ගේ යතුරු පැදියෙහි පිටුපස ආදිල් සිටි එකයි. මා ඔහු ව හැඳින ගත්තේ යතුරු පැදිය නතර වූ කල ඔහු හෙල්මට් එක ගලවා අතට ගත් බැවිනි. අතැඟිලි වලින් හිස කේ සකසන ගමන් ඒ දෑස් මගේ නෙතු සීමාවේ නතර විය. මම ඔහුටත් නො දැනෙන සේ ඉවත බැලුවෙමි. කෙසේ වෙතත් ඔහු ගේ දෙඅදර අතරේ නලියමින් තිබි අඩ සිනහව පෙර දවසින් ශේෂ වූවක් බව වටහා ගන්නට බැරිකමක් මට වූයේ නැත.

“සචින් පුතා”

ආච්චා පුරුදු ළෙංගතුකමෙන් සචින් ඇමතුවා ය.

“කොහොමද ආච්චා…”

“පොඩ්ඩක් මේ පාරට ආව දරුවො. හවසට මේක තමයි ඉතිං කම්මැළිකමට තියන එකම බේත”

“මාත් ගියා ආච්චා මේ යාළුවට ඉන්ටීරියර් ඩිසයිනින් ෆර්ම් එකක් පටන් ගන්න තැනක් හොයන්න”

“ආ ඇත්තද… මේ පුතාගෙ යාළුවෙක්ද… ඉතිං අපේ දෙහිවල කඩ කාමර දෙක දෙන්න පුළුවන්නෙ… නේද සකී…”

ආච්චා ගේ ඒ ප්‍රශ්නය මා කැළඹූ බවට සැකයක් නැත. ඒ කිසිසේත් මා එවැන්නක් බලාපොරොත්තුවෙන් සිටි මොහොතක් නොවේ.

“මට ඒක මතක් වුණේවත් නෑ. අනිත් එක ඒව රෙන්ටවුට් කරල නේද තියෙන්නෙ…”

“නෑ නෑ සචින් පුතා. මේ දවස්වල දීල නෑ. රෙනවේට් කරනව. අපි හොඳට හදල හොඳ බිස්නස් එකකට දෙන්නයි හිතං ඉන්නෙ. නේද සකී…”

“ඔය තියෙන්නෙ. හොයන්න ඕනලු හම්බ වෙන්න”

කියමින් සචින් ආදිල් ට බයිසිකලයෙන් බසින්නට ඉඟි කරමින් තෙමේ ද බැසගත්තේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here