“සකී බබා”
කියා මානෙල් අම්මා කතා කරන විට මා සිටියේ මගේ පුංචි බැල්කනි සැන්සවේරියා උද්‍යානයෙහි අතරමං වී ය. එය කුඩා චමත්කාර ලෝකයකි. ඒ කහ කොළ අළු වර්ණ හා නේකාකාර වෛරං, පුල්ලි හා පැල්ලම් ද රේඛා ද මා විශ්මිත කරයි. නැවත නැවත ද මා උමතු ගන්වයි.
“ඇයි මානෙල් අම්ම”
මට නෙතු හරවා ඇදෙස බලන්නට ඕනෑ වූයේ නැත.
“ලොකු නෝනා කතා කරනව සකී බබාට”
“මං එන්නං කියන්න”
“ඉක්මනට එන්න බබා. එහා ගෙදර මහත්තුරු දෙන්න ඇවිත් ඉන්නව”
මා නැගී සිටියේ හීගසක් සේ ය. ඒ ගමන් ම මගේ හිස දකුණු පැත්තට හැරිණ. ඒ ෆ්‍රෙන්ච් වින්ඩෝ එක වසා දමා තිබේ. අතේ තිබූ ඔස්මොකොට් පොහොර පැකට්ටුවත් අත් මුල්ලුවත් එහෙම ම තබා මානෙල් ට ද ඉස්සර වී මම පියගැට පෙළ බැස්සෙමි. මගේ සෙරෙප්පු ලෑලි තරප්පුව මත වදිනා හඬ උස් ව නැගෙනා එක වළකන්නට මා කෙතරම් උත්සාහ කළ ද එය ඒ තරම් සාර්ථක වූවා නොවේ.
“මේ ළමයි දෙන්න ඇවිත් සකී. කඩ කාමර දෙක බලන්න ඕනලු”
මම සචින් අයියා දෙස බැලුවෙමි. ඔහු මට පුරුදු ළෙංගතු සිනහව නගා ගත්තේ ය.
“මෙන්න මූගෙන් වදේ සකී. පොඩ්ඩක් බිල්ඩින් එක බලල අයිඩියා එකක් ගන්න ඕනලු. සෙට් වෙන්නැත්තං වෙන එකක්හරි ට්‍රයි කරන්න ඕන නිසා”
“නෑ මං හිතන්නෑ මේ ළමය එතනට අකමැති වෙයි කියලනං”
ආච්චා සන්සුන් සිනහවකින් කීවා ය. ඇය එසේ කියන්නට ඇත්තේ වැරදි අදහසකින් නොවී ද එහෙම නො කියා සිටියා නම් වඩා හොඳ යයි මට සිතිණ. අපේ ගොඩනැගිල්ල අප ඔහු ගේ ඇඟේ ගසන්නට හදනවායි ආදිල් සිතුවොත්!
“නෑ නෑ ඒකට කමක් නෑ. කොහොමත් බලල සැටිස්නං විතරනෙ ගන්න ඕනෙ. මං කී එක දෙන්නං. දැං වැඩ කරන අයත් ගිහිං ඇති. සචින් අයිය බිල්ඩින් එක පෙන්නන්න”
මා ඉක්මන් කොට එසේ කීවේ ඔහු එවන් නිගමනයට එළඹෙන්නට පෙරයි.
“අනේ සකී ඉතිං එහෙම හරිනෑනෙ. ඔයත් යං”
යම්දෝ නො යම්දෝ යන දෙගිඩියාව හිතේ වේගයෙන් එහෙ මෙහෙ වෙන්නට ගති. පීහු හා මුද්‍රා හිතේ සැඟවී හිඳ “පලයං ගෑනියේ” යයි කියති. නමුත් ඔවුන් දෙදෙනාට වඩා පුංචි වෙනසක් මගේ තියේ. ඒ අහංකාරයයි.
“අනේ සචින් අයිය මං මොකටද ඉතිං… ඔයා ප්ලේස් එක දන්නවනෙ”
“ඒ වුණාට බෑ බෑ. යං අපිත් එක්ක. ඔයාට මේ වෙලාවෙ වැඩකුත් නෑනෙ නංගි”
කාට බෑ කීවත් මට සචින් ට බෑ කියන්නට බැරි ය. ඔහු එය මැනවින් දනී. මගේ ම හිතත් එ් බව ඉඳුරා දනී.
“ඔන්නොහෙ ඔච්චර කියන එකේ ගිහිං එන්න සකී”
ඒ ආච්චා ගේ අනුමැතියයි. ඉතින් මට නොයා සිටිත නො හැකි විය. එබැවින් මම “චුට්ටක් ඉන්න” යි සචින් දෙස බලා කියමින් යළිත් කාමරයට ඉක්මන් ගමන් ගියෙමි. හිතේ මොකක්දෝ නො සන්සුන් බවක් එහෙ මෙහෙ වෙයි.
“මේක මරු වින්ටේජ් පැලස් එකක් නේ…”
මතු මහළට නැගෙනා අන්තිම පඩියේ දී මට ඒ පිරිමි හඬ ඇසිණ. ඒ සචින් අයියා ගේ කටහඬ නොවේ. මා සූදානම් වෙන අතරේ ආදිල් ආච්චා සමග ඕපාදූප ටොන් ගණනක් කියවමින් ඉන්නට ඇත. ඊට ආච්චා කැමති ය. ඇගේ කම්මැළි කම් දුරු වෙන්නට කවුරුන් හෝ මෙහි විත් වරු ගණන් කියවමින් හිඳිනවා නම් ඇයට ඊට වඩා දෙයක් නැත. නමුත් ගමේ ගැහැනුන් අපේ ගෙදරට නිතර ගොඩවෙන්නේ නැත. තාත්තා හා අම්මා ජීවතුන් අතරේ සිටි කාලයේ පටන් අපේ ගෙදර ගමේ සුවිශේෂ වැදගත් ගෙදරක් සේ සැලකිණි. ඒ තාත්තලා ජීවත් වූ ක්‍රමය මතයි. ආච්චා ඔවුන්ට වඩා සමාජ ආශ්‍රයට කැමති ය. ඇතැම් විට මේ වියපත් දිවියේ දවස ගෙවා ගැනීමට මගක් මිස රැකගන්නට කිසිත් දැන් ඇයට නැතිවා විය හැක. මා නොවන්නට ඇයට මෙහෙම හුදෙකලා වන්නට සිදු වන්නේ නැත. ඇගේ අනිත් දරුවන් ගේ පවුල් ලොකු ය. මුණුපුරු මිණිපිරියන් සමූහයක් ද සිටිති.
“සකී බැඳල දරුවො හදාගත්තනං මට මේ පාළුව නෑනෙ”
නොයෙක් අවස්ථා වල ආච්චා එසේ පවසා තිබේ. දැන් දැන් ඒ කතා වලට මම නෑසූ කන්ව ඉමි.
සූදානම් වී මා පහළට එන විට තරුණයෝ තේ පාණය කරමින් සිටියහ. ආච්චා ඔවුන් වෙනුවෙන් තේ ද සූදානම් කරවා තිබේ. ඒ ටිකට ඔවුන් බොහෝ දේවල් කතා බහ කරන්නට ද ඇත.
අපේ දොරකඩ නතර වී තිබුණේ සචින් ගේ ඇල්ටෝ මෝටර් රථය නොවේ. උස් රෝද සහිත ජීප් රියකි. එය ආදිල් ගේ වන්නට ඇත. එහි පසුපස අසුනට ගොඩ වූ ගමන් මම පීහු ටත් මුද්‍රා ටත් පණිවිඩ යවන්නට පටන් ගතිමි.
“මං සචින් අයියයි ආදිලුයි එක්ක දෙහිවල යනව”
ඔවුන් දෙදෙනා ඇතින්නියන් සේ කුලප්පු වී තිබිණ.
“ඒ මොකටද…”
“අපිටත් කියන්න තිබුණනෙ”
“ඒක හරි අසාධාරණ වැඩක් සකී. ඔයා තනියම නොයන්නයි තිබුණෙ”
“අපේ දෙහිවල බිල්ඩින් එක බලන්න යන්නෙ. ආදිල් ඉන්ටීරියර් ඩිසයිනිං ෆර්ම් එකකට ප්ලේස් එකක් හොයනව”
“ඕක හරියන්නෑ. ඒ කොල්ලට ඕක සෙට් වෙන්නනං එපා දෙයියනේ. මං දැංම පොල් ගහනව ඕක වෙන්නෙපා කියල. අපිව හලල මෙයා තනියම ඒ කොල්ලව සෙට් කරගන්නයි හදන්නෙ”
ඔවුන් ගේ ප්‍රතිචාර වල නිමක් වූයේ නැත. මගේ මුවග සිනහව ද දිගට ම සරැලි නගන්නට ඇත. සචින් හා ආදිල් සිටියේ කතාවකයි. එබැවින් මා ඔවුන්ගේ අවධාන කලාපය තුළ සිටියේ නැත. අනිත් අතට මා හිඳිනුයේ දුරකතනය ඔබමින් මගේ ම ලෝකයක බව ඔවුන් දැන ඉන්නට ද ඇත. එබැවින් මේ පණිවිඩ හුවමාරුව ගැන හෝ තනිව සිනහ වීම ගැන මට කිසිදු ගැටළුවක් නොවිණි. නමුත් මා හිස එසවූ එක් අහඹු මොහොතක ආදිල් ගේ සිතිජ දෑස් රියෙහි ඉදිරි කැඩපත මත පායා තිබිණ. ඒ කියන්නේ මා දුරකතනයට කොටමින් තනිව සිනහ වෙමින් හිඳිනා බව නිසැක ලෙස ම ඔහු ගේ අතට හසු වී තිබේ! මුරණ්ඩු බැල්මකින් මම නැවත ද දුරකතනය වෙතට ඇස් හරවාගතිමි.
අපේ කඩ කාමර දෙක වන්නේ සීයාට අයත් ව තිබූ ගොඩනැගිල්ලෙහි එක මත එක පිහිටනා උඩ හා පහළ කාමර දෙකක් වශයෙනි. අම්මා ගේ අනිත් සහෝදර සහෝදරියන් තිදෙනා වෙනුවෙන් ඒ ගොඩනැගිල්ලේ ඉතිරි කඩ කාමර ද එලෙසින් ම වෙන් වී තිබේ. එය තනි ගොඩනැගිල්ලක් වී ද සීයා ඒ ලෙස කාමර නිමවා තිබෙනුයේ අනාගතය ගැන දුර දක්නා නුවණ සහිතවයි. එහි මතු මහළ හා පහළ මහළ කාමර අටකින් සමන්විත වූ නිසා දරුවන් සිව් දෙනා අතරේ සමව බෙදා දිය හැකි විය. පුංචි අම්මා සිය දරු පවුල සමග විදේශයක පදිංචි වී සිටින නිසා ඇයගේ අයිතිය කුළියට දී තිබේ. මාමලා දෙදෙනා ම ඔවුන් ගේ කොටස් වල ව්‍යාපාර කරගෙන යති. ඒ කාලේ සීයා අතමිට සරු මිනිසෙකු වන්නට ඇතැයි මම සිතමි. මේ වාගේ ආයෝජනයක් කරන්නට ඔහු පෙළඹී තිබෙන්නේ එබැවිනි. එසමයෙහි දිවි ගෙවූ බොහෝ මිනිසුන්ට මුදල් තිබිණි ද එහෙව් අනාගත ආයෝජනයකට තරම් නුවණක් තිබී නැත.
“ශා මෙතන මරුනෙ”
රෝලර් ශටරය විවර කොට මා වීදුරු දොර විවර කළ ගමන් ආදිල් කලිසම් සාක්කු වල දෑත් ඔබාගනිමින් කීවේ ය. අවසාන වතාවට කුළියට ලබා දී තිබියදී මේ තරම් නැවුම් බවක් මෙහි දිස් වූයේ නැත. කැඩී බිඳී ගිය පැරණි කැළැල් මැකෙනු වස් අලුතෙන් ම පොටි පිරියම් කොට ෆිලර් ආලේප කර ඇති නිසා දැන් බිත්ති සුදු පිරුවට සේ ය. සිමෙන්ති බිම ඉවත් කොට අලුතෙන් ටයිල් සවිකොට තිබේ. ඉදිරිපස මුළුමනින් ආවරණය වන සේ විසල් වීදුරු බිත්ති සවි කරනු ලැබුයේ ද කඩ සාප්පුවකට නොව කාර්යාලයකට මෙය ලබාදෙනු වස් ය. ඉතාමත් ඉක්මනින් ඒ බලාපොරොත්තුව ඉටු වීමට යයි.
මතු මහළේ කාමරය ද අලුතෙන් තැනුවා සේ නැවුම් ව දිස් විය. ආදිල් ගේ මුහුණෙන් ද ඔහු ගේ උද්‍යෝගීමත් කතා බහෙන් ද පෙනී ගියේ ඔහු මෙතැන ගැන දැඩි ප්‍රසාදයකට පත්ව ඇති බවයි.
“කොහොමද මෙතන රෙන්ට් එකයි කී මනීයි එහෙම…”
ඔහු හදිසියේ ම මවෙත හැරී ඇසුවේ ඒ උද්‍යෝගයෙන් ම ය.
“ම්… ඒ ගැන ආච්චා එක්ක කතා කරගන්න”
ඒ වෙලාවේ මගේ හිතට නැගුණ හොඳ ම පිළිතුර එයයි. මීට පෙර කඩ කාමර කුළියට දෙත්දී සියල්ල තීරණය කළේ මා ය. දැනුදු ආච්චා මේ කිසිවකට අත පොවන්නේ නැත. මගේ අදහස් වලට හා සැලසුම් වලට ඉඩ දීගෙන, මගේ තනියට මා සමගින් හිඳිනවා පමණකි. අප කතා වී සිටි කුළියෙහි සංඛ්‍යාත්මක අගයක් ද වේ. නමුත් එය කෙළින් ම ආදිල් ගේ මූණට කියන්නට බැරි මොකක්දෝ පසුබෑමක් මට දැනෙමින් තිබිණ.
“ආච්චා රීසනබල් ගාණක් කියයි මචං. ඒක ශුවර්”
සචින් අයියා විශ්වාසයෙන් යුතුව කීවේ ය.
මේ අතරේ මගේ දෙමිතුරියන් මාරුවෙන් මාරුවට මට දුරකතන ඇමතුම් ගනිමින් සිටියහ. මා කළේ ඒවා බිඳ දමනා එකයි.
“තෝ ඒ ගමන කොල්ලත් එක්න හනිමූන් ගිහින්ද අපේ කෝල්ස් කට් කරන්නෙ…”
මුද්‍රා පණිවිඩයක් එව්වා ය. මට සිනහ නැඟිණ.
“ඔයාට කෝල් එකක් ගන්න තියනවනං ආන්සර් කරන්න සකී ප්‍රශ්නයක් නෑ අපි තව ටිකක් වටපිට බලන්නං”
සචින් කීවේ බැරි ම තැන යි.
“නෑ අයියෙ මේ… අර පිස්සු කෝච්චි දෙක”
“ඇත්තටම මං බල බල හිටියෙ දැනට එක කෑල්ලක්හරි ගන්න. මෙතන උඩ ස්පේස් එකත් එක්ක මරු මචං”
“උඹ සැටිස්නෙ…”
“ඩෙෆිනීට්ලි. එකම ප්‍රශ්නෙ කීමනී මාස කීයක ඉල්ලයිද කියන එකයි. මේ වෙලාවෙ මට මැනේජ් කරගන්න පුළුවන් ගාණකට එනවනං…”
ආපසු එන ගමනේ දී සචින් ලා ගෙට ගොඩ නොවූ අතර රෑ බෝ වී ඇති නිසා පසු දා උදයෙහි ආච්චා මුණගැසෙන්නට එන බව පවසා නික්ම ගියහ.
“හරිම හොඳ ඉලන්දාරියෙක් වගේ. අනේ සචින් පුතා වගේම තමයි. කටපුරා මට ආච්චා කියල කතා කළේ. මේ කාලෙ ඔහොම උනන්දුවක් තියන කොල්ලෙක් කියන්නෙ කළුනික වගේ තමයි. මන්නං හරිම කැමතියි එහෙම කොල්ලන්ට”
රෑ කෑම මේසයේ දී ආච්චා ආදිල් ගැන පුරාජේරු කියවන්නට වූවා ය.
“කීමනී ටිකක් අඩුකරගන්න හම්බුණොත් හොඳයි කියලනං කිව්ව. මං කිව්ව ආච්ච එක්ක කතා කරන්න කියල”
“අනේ කමක්නෑ සකී. අපි ඔන්නොහෙ ටිකක් අඩු කරල දෙමු”
“සචින් අයිය හින්දා විශේෂයක් කරන්නම වෙනවනෙ. එහෙනං ආච්ච කියන්න කීමනී ඕන නෑ කියල”
මා ඒ අන්තිම ටික කියාගත්තේ හැල්මේ ය. මගේ මිතුරියන් මෙතැන සිටියේ වී නම් මට විසුමක් නොවෙනු ඇත.
“අනේ ඒක හොඳයි සකී. දියුණු වෙන්න හදන උත්සාහවන්ත කොල්ලෙක්ට අත දෙන එකත් පිණක්නෙ”
ආච්චා ගේ මුහුණ මත මල් යායක් පිපී තිබිණි. මා එය කරන්නේ සචින් අයියා වෙනුවෙන් මට කළ හැකි ලොකුම උදව්ව වශයෙන් පමණකැයි සිතන්නට මම උත්සාහ කළෙමි.