Not Without You – 15

0
6204

ඒ වැහිබර හැන්දෑව ඉතා මනරම් වූයේ ය. අපි ආලින්දයෙහි පුටු වල වාඩි වී ඉතාමත් සැහැල්ලු කතා බහක නිරතව සිටියෙමු. මුද්‍රා මානෙල් අම්මාට කියා පෑන් කේක් සෑදවූවා ය. තේ ද කෝපි ද කෝප්ප කිහිපයක් ම හිස් වන තුරු අපේ සල්ලාපය දිගට ඇදිණි. වැස්සේ ම කුඩයක් ඉහළාගෙන, අඳුර අතරින් සචින් අයියා ද අපේ ගෙදර ආවේ ය. ඉස්සරත් මෙහෙම ය. ඕනෑ වෙලාවක ඔහු අපේ ගෙදර ය. ගෙවල් දෙකෙන් ම අපේ ඇසුර සීමා කරන්නට උත්සාහ කෙරුණේ නැත. ඔවුන් අප විශ්වාස කරන්නට ඇත. ඒ නිසා ම අපට නිදහස ද ලැබී තිබිණ.

“නංගිව බලාගන්න සචින් පුතා”

කියා අම්මා නිතර සචින් අයියාට කීවා ය. මගේ ගමන් වලදී මගේ තනි නොතනියට ඕනෑ තරම් ඔහු පැමිණ තිබේ. අප අතරේ පෙම් සබඳකමක් තිබෙනවා දැයි ගෙවල් දෙකෙන් ම කිසි දා අසා නැත. කිව යුතු යමක් වන්නේ නම් අප ඔවුන් දැනුවත් කරනු ඇතැයි අම්මලා බලාපොරොත්තු වන්නට ඇත.

“ඔයා දන්නවද නංගි…අපේ සචින්ගෙ කෙල්ලන්ට පණිවිඩ ගෙනියන්නෙ සකී. මට අහුවෙලා තියෙන්නෙ ඒක”

වතාවක් සචින් අයියා ගේ මව් අපේ අම්මා ට සිනහ වෙවී කීවා ය. ඒ වෙලාවේ ඔවුන් දෙදෙනා ගේ ඇස් මත, ඒ වචන වලින් හුවමාරු කරගත් කතාවට වෙනස් යමක් සැඟවී තිබිණ. හරියට ඔවුන් ගේ බලාපොරොත්තුවක් බිඳී ගියා වැනි තත්වයකි එය. නමුත් කිසිසේත් අපේ තීරණ වලට එරෙහි වන්නට හෝ අත් පොවන්නට ඔවුන් පෙළඹුණේ නැත.

“මටත් කෝපි ඕනෙ. සකීගෙ කෝපි එකේ රස ෆේමස් කොෆී ශොප් වල කෝපි එකකින්වත් මට දැනිල නෑ”

සචින් අයියා අසුන්ගත වූයේ එසේ පවසමින් මගේ හිස් මුදුනේ කෙහෙරැල් අවුල් කරමිනි. මුද්‍රා හා පීහු ‘ආ..’ ගෑහ. ආච්චා හඬ නැගෙන සේ සිනහ වූවා ය. ඉතිහාසය නැවත උදා වෙන බවට කතාවක් මා අසා තිබේ. ඉතින් මේ සිදු වෙමින් පවතින්නේ එය ද?

අප තේ බී වැඩි වෙලාවක් ගත වී තිබුණේ නැත. ඒ වුණත් අසුනෙන් නැගී සිටින්නට පෙර “ඕගොල්ලොන්ටත් කෝපි ඕනෙද” කියා  පීහු හා මුද්‍රා දෙස බලමින් මම විමසීමි. “එපා” ය යන්න ඔවුන් දෙදෙනා ගේ ම පිළිතුර වූයේ ය. ආදිල් ට නොදී සචින් ට විතරක් කෝපි පිළිගැන්වීම නුසුදුසුයි වාගේ මට දැනිණ. මා ඔහුගෙන් ඕනේදැයි විමසූයේ ද නැත. මගේ මිතුරියන් මෙන් ඔහු එපා කීවේ ද නැත. එබැවින් ඕනෑ දෙයක් වුණාවේයි මම සචින්ටත් ආදිල්ටත් දෙදෙනාට ම කෝපි පිළියෙල කළෙමි.

“සචින්ට විතරනෙ කෝපි ඉල්ලුවෙ. ඔයා ඇයි මේ ආදිල්ටත් හදල…”

මගේ දෑතෙහි වන මග් දෙක දෙස මාරුවෙන් මාරුවට බැලූ මුද්‍රා ප්‍රශ්න කළා ය. යටි පතුල් වල සිට සීතලක් පැතිර යනවා දැනුණත් වෙනසක් නො හඟවා කතා කරන්නට මම උත්සාහ කළෙමි.

“එයා එපා කිව්වෙ නෑනෙ. ඉතිං මං ගෙනාව”

“ඕන කිව්වෙත් නෑනෙ ඉතිං”

මා මුලින් කෝපි එක පෑවේ සචින් අයියා වෙතට ය.

“ආ මගෙ පරණ මග් එක. සකී ඒක තාමත් අරං තියල තියනව නේ…”

සචින් අයියා වෙතින් මා දුටුවේ අතීත සිනහවකි. කළු පාටින් මල් ලියකම් ඇඳි ඒ සුදු මග් එක කෙළවරකට වී හැමදාමත් පාළුවේ සිටියේ ය. කෝපි සුවඳක් විඳින්නට ඊට මේ අවස්ථාව ලැබී තිබෙනුයේ වසර ගණනාවකට පසුයි.

“අපිට අල්ලන්නවත් දීපු නැති අර ලා නිල් මග් එකත් ඔය යසට එළියට ඇවිත් තියෙන්නෙ”

පීහු මුද්‍රාව අවුස්සමින් කීවා ය. මුද්‍රා මොනවා හෝ කියවූවත් එය මගේ සවනෙහි නො රැඳුණේ ඒ වෙලාවේ මා ආදිල් ට කෝපි එක දෙන ගමන් මොහොතකට ඔහු දෙස බැලූ බැවිනි. සිතිජමය හැඟීමක් මා මත් කරන්නට පෙර මම වචන සොයාගතිමි.

“පාවිච්චි නොකරපු අලුත් මග් එකකට තිබුණෙ මේක විතරයි අනේ. අමුත්තෙකුට පරණ එකක දෙන්න බෑනෙ ඉතිං”

“හම්මේ… කොහොමද ඒක…”

“අමුත්තෙක්”

“රෑට කන්නෙ මොනාද ළමයි දැං…”

හොඳ වෙලාවට ආච්චා මාතෘකාව වෙනස් කළා ය. නො එසේ වී නම් මට සචින් අයියාගේ හෝ ආදිල් ගේ මූණ බලන්නට බැරි වෙන තැනට මගේ මිතුරියන් ගේ කවටකම් දුර දිග යනු ඇත.

“මං කියන්නමයි හිටියෙ. මොනාත් හදන්නෙපා ආච්ච”

ප්‍රතිචාරය ආදිල් වෙතිනි. අප සියලු දෙනාගේ ඇස් ඔහු වෙතට යොමු වන්නට ඇත.

“මං පීට්සා ගෙන්නන්න කියල හිතුවෙ… කට්ටියටම… වෙන මොනාහරිනං කන්නෙ ඒත් කියන්න”

තත්පරයක දිගු හා ගැඹුරු වූ නිශ්ශබ්ධතාවයකි. ඒ වගේ නිහැඬියාවකින් පසු කුමක් සිදු විය නො හැකි දැයි මා සිතන්නට හදත්දී ම ඒ මහා ඝෝෂාව නැඟුණේ ය.

“යේ… පීට්සා…”

වැඩිහිටියන් ලෙස වැඩුණු අප හැම තුළ ම ළමයෙකු ද ජීවත් වෙයි. අපේ ළමා කාලය අපේ වැඩිහිටි වියට වඩා හැම අතින් ම සුන්දර බව ඒ ළමයා තරම් දන්නා වෙන කෙනෙකු ඇතැයි සිතිය නො හැක. ඉඳහිට වැඩිහිටි අප තුළින් අර අප ඇතුළේ නිදා නො නිදා සිටිනා ළමයා අවදි වේ. වැඩිහිටියෙකු වශයෙන් ද අප වඩාත් ම සතුටට පත් වන්නේ එවන් අවස්ථා වලයි. මේ ද එහෙව් මොහොතකි. මුද්‍රා හා පීහු පමණකුදු නොව මා තුළින් ද එකී ළමයා සන්තුෂ්ටියේ යෂ්ටිය ඔසවාගෙන නැගී සිටියාට සැක නැත. මගේ මිතුරියන්ට නො සඟවා ඒ සතුට සමරන්නට අවස්ථාව තිබිණි ද මම ළමයාට පිටතට එන්නට අවසර නොදී සිටියෙමි.

“එහෙනං ඕඩර් එක දාන්නද… ආච්චත් පීට්සාම කනවද… ආස නැත්තං වෙන මොනාහරි ගේමු”

“මේ රෑ ටිකට ඔය තරං ආස දේවල්ම ඕන නෑ පුතා. මටත් ඒ කෑල්ලක් කෑවම ඇති. ඒත් ඉතිං පුතා මේ වෙලාවෙ නිකං බොරුවට වියදං කරන එකනං මගෙ හිතට එච්චර හරිනෑ”

ඒ මගේ ආච්චා ය. මගේ ආදරණීය ආච්චා ය.

“ආ… ඔයත් මාර එක්කෙනෙක්නෙ ආච්චා. අපිට පොඩි ට්‍රීට් එකක් දුන්නයි කියල මෙයාගෙ හතර කේන්දරේ පාළු වෙන්නෑ”

මම දෙතොල් තද කොට ගතිමි. නමුත් ඒ අතරින් සිනහව පුපුරා ගියේ ය.

“කමක් නෑ කමක් නෑ ආච්ච… මූට මෙච්චර චාන්ස් එකක් වැදිල තියෙද්දි පීට්සා එකක් ගෙනාවට මොකෝ…”

“ඒකනෙ සචින්. ආච්චට මේ මුණුපුරා ගැන මාර විදිහටනෙ උණු වෙන්නෙ. මොන්ටිසෝරියෙ ඉඳං මෙහෙ ආව ගිය අපි ගැන නෑනෙ එහෙම උණු වීමක්”

“අනේ දරුවනේ මට උඹල ඔක්කොම එකයි. මේ වයසට තාම මං හිනා වෙලා නීරෝගීව ඉන්නෙත් මේ කෙල්ලො තුන්දෙනා නිසා සතුටෙන් ඉන්න හින්ද තමයි”

“අන්න එහෙම එන්න ආච්චා”

ආදිල් මගේ මිතුරියන් සමගින් පීට්සා වර්ග තෝරන අතරේ සචින් අයියා මා පසෙකට කැඳවා වැරැන්ඩාව වෙත කැටිව ගියේ ය. ආදිල් අද ම ඔවුන් ගේ ගෙදරින් නික්මෙන්නට තීරණය කොට තිබෙන්නේ ඔහු ගේ බිරිඳ දෙව්නි අක්කා ආදිල් ගේ හිත රිදෙන සේ සචින් ට බැණ වැදෙනු ඇසුණ බැවිනි.

“ආදිල්ගෙ වැඩ කිය කිය ඔයා කරන්නෙ සකීලගෙ ගේ අස්සෙ රිංගන එක. ඒක නිසා ඔයාගෙ යාළුවව පුළුවන් තරං ඉක්මනට මෙහෙං යවන්න”

ඇය එසේ කියනු ආදිල් ට ඇසී තිබේ.

“ඇයි අනේ දෙව්නි අක්ක මෙහෙම… “

මට තේරුණේ ම නැති කාරණය එයයි.

“කවුද අප්ප දන්නෙ… එයාගෙ අනවශ්‍ය සැකයයි තව විකාර වැඩ ගොඩකුයි තියනව සකී. මං කීප සැරයක්ම ට්‍රයි කළා එයාව කවුන්සලර් කෙනෙක් ළඟට එක්කං යන්න. එ්කටවත් කැමති වෙන්නෑනෙ”

සචින් අයියා පව් කියා මට සිතිණ. විවාහ ජීවිතයක් කියන්නේ තරාදියක් වැනි යමකි. එය සමතුලිතව පවතින්නට නම් දෙපැත්තෙන් ම ඒ මත යෙදෙනා බලය සමාන විය යුතු වේ. එය සමතුලිත ව පවත්වා ගන්නට නම් දෙදෙනාට ම සමාන වගකීමක් තිබේ. එසේ නොවෙන කල අනිත් පුද්ගලයා මත ද බලපෑමක් එල්ල වෙන එක වැළකිය නො හැකි ය.

“එයා නිසා කාලයක්ම මං මෙහෙ එන්නෙවත් නැතුව හිටිය. ඒත් එයා කියන විදිහට මට කිසිම ගෑනු ළමයෙක්ව ආශ්‍රය කරන්න බෑ. යාළුවො පවා නැති වෙනව. එහෙම සැකයක් එක්ක අපි තව කොච්චර දුරක් යන්නද සකී…”

“කැත්තට පොල්ල වගේ ඉන්න හදන්නෙපා අයියෙ. අපි මේක විසඳගන්න බලමු”

“මේ ළඟදි ඔෆිස් එකේ ඉන්නකොට වීඩියෝ කෝල් එකක් ගත්ත. ඒ වෙලාවෙ මගෙ ටේබල් එක ළඟට ගෑනු ළමයෙක් ආව මොකක්හරි වැඩක් ගැන කතාකරන්න. වීඩියෝ කෝල් එක ආන්සර් කළේ නැත්තං මෙයා ඒකත් සැක කරන නිසා මං ආන්සර් කළා. එක පාරටම අර ගෑනු ළමයව දැකල ඔෆිස් ගිහිං කරන්නෙ ඔය වැඩේ තමයි නේද කියල කැත විදිහට ඇහුව. අර කෙල්ල වැනිශ් වුණා වගේ කොහෙං ගියාද නෑ. මට මාර අවුල් අප්ප”

“මොනා වෙලාද අනේ එයාට… අපි කොහොමහරි කවුන්සලින් එක්කං යන්න බලමු”

සචින් අයියා ගේ ගැටළුව නොවන්නට ඒ රාත්‍රී කෑම වේල සතුට ද සිනහව ද පිරුණු එකකි. බොරුවට රෙදි මල්ලක් එල්ලාගෙන ආවාට මුද්‍රා අපේ ගෙදර රාත්‍රිය ගෙවන්නට නතර වූයේ නැත. පීහු ඇගේ පුතු කැටිව විත් නො තිබූ නිසා වදයෙන් පොරයෙන් හෝ මට ඔවුන් නතර කරගත හැකි වූයේ ද නැත.

“යං. මං ඩ්‍රොප් කරල එන්නං”

ආදිල් අසුනෙන් නැගී සිටියේ මොහොතක නිශ්ශබ්ධතාවයක් ඇති කරවමිනි. බරැති හැඟීමක් මගේ පපුව දෙසට කිඳා බසිනු දැනිණ.

“අනේ එපා ආදිල්. මේ වැස්සෙ ඔයත් රස්තියාදු වෙන්නෝන්නෑ. අපි කැබ් එකක් දාගන්නව”

“කමන්නෑ යං. මේ රෑ කැබ් වල යනවට වැඩිය හොඳයිනෙ”

“එපා එපා අනේ. තෑන්ක් යූ හොඳේ. ඉස්සරහට උදව් ඉල්ලන්නංකො”

ඔවුහු ඔහු ට ඉඩ නොදී කැබ් රියක් ඇණවුම් කළහ. ලොකු කුඩයක් යටින් මා ඔවුන් ගේට්ටුව වෙත ගෙන ගිය පසු, සමුගන්නට මුද්‍රා මා වැළඳගත්තා ය.

“මං එයාට කැමතියි හොඳේ”

ඈ එසේ කීවේ ළෙංගතු ආදරණීය ස්වරයකිනි. ඒ සමග ම පීහු අප දෙදෙනාව ම වැළඳගත්තා ය.

“මාත්”

“ඔයාට එහෙම කොල්ලෙක් ලැබෙන්න තමයි ඕනෙ. ඔයාට ආදරේ ඔයාට ළඟින් ඉන්න අයව වුණත් බලාගන්න දන්න කොල්ලෙක්”

“අනේ එහෙම දෙයක් නෑ අප්ප”

මම මිමිණුවෙමි.

“නැති නිසා තමයි කියන්නෙ. ඔයාට ඕනෙ එහෙම කොල්ලෙක්…අපිට ඕනෙ එහෙම කොල්ලෙක්…”

“ගෲප් ක්ලාස්”

අපේ සිනහව රාත්‍රී අඳුර විනිවිද ඈතට ඈතට පැතිර යන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here