ආදිල් දවල්ට කෑම කා තිබුණේ නැත. ඒ බව කියවුණේ පමා වී හවස තේ එක බොන විටයි.
“උදේ බත් ටිකක් කාල ගියාට පස්සෙ දැන් තමයි තේ ටිකක්වත් බඩට වැටෙන්නෙ. අද දවසෙම වතුර විතරයි”
ගිලින්නට ගිය තේ උගුර පිටිඋගුරේ යා නොදී මා වළකා ගත්තේ අසීරුවෙනි.
“අනේ දෙයියනේ! ඇයි පුතා දවල්ට කෑවෙ නැත්තෙ…”
“වෙලාවක් හම්බුණෙ නෑ ආච්චා එළියට යන්න”
ඔහු මඳහසකින් කීවේ ය.
“උදේට බත් ටික කාල ගියෙත් කොච්චර අමාරුවෙන්ද… කියල කියල. ඒකවත් කාල ගියෙ නැත්තං දවසම බඩගින්නෙනෙ”
මගේ වචනත් එක්ක නො රිස්සුමක් හෝ කේන්තියක් විසි විණි ද? කිසිවෙකුට එසේ දැනුණත් නො දැනුණත් මගේ නළල රැලි නැංවී තිබිණ.
“බඩගින්නක් දැනුණනං කොහොමහරි ගිහිං කනව..දැනුනෙත් නෑ අප්ප”
“දැනෙයි ගෑස්ට්‍රයිටිස් හැදුනහම”
මා එසේ කතා කළේ ඔහු ගැන මට වන්නා වූ කවර අයිතියක් මත ද? නමුත් ඒ ආවේගය පාලනය කරගන්නට මා කිසි සේත් සමත් වූයේ නැත. ආදිල් ඇස් පහළට හරවාගෙන මඳ සිනහවකින් හිටියේ ය. ආච්චා නිහඬව තේ පාණය කරමින් හිඳ කතා කළා ය.
“ඔය කඩ කෑමනං කන්නත් බෑ තමයි. තෙල් තලිය නිසා ඉඳහිට කොහොම වුණත් හැමදාමනං කන්න බෑ. කෑවොත් ඉතිං ලෙඩ තමයි. කොලෙස්ටරෝල්… ගෑස්ට්‍රයිටිස්… කිඩ්නි කේසස්…එකක් කියලද… ගෙදර උයන හොද්දක් බතක් වගේද ඔය පොල්කිරි බින්දුවක්වත් නැතුව තනිකර තෙල් වලින් හදන කෑම… පුතාට ඉතිං වෙලාවක් නෑනෙ පොඩ්ඩක් දවල්ට ගෙදර දුවල එන්න. එහෙම පුළුවන් වුණානං බත් කටක් කාල යනවනෙ දවල්ටත්”
“අනේ එහෙම ඕන නෑ ආච්ච. ඕගොල්ලො මේ මට දෙන සපෝට් එක ඕනවටත් වැඩියි”
සාමාන්‍යයෙන් අපේ ගෙදර රාත්‍රී ආහාර වේල සරල සැහැල්ලු යමක් වී ද එදා බත් ටිකකුත් පිසින්නැයි මම මානෙල් ට කීවෙමි. ඇගේ ව්‍යාංජන දිය රසැති බව මා තේරුම් ගත්තේ කෑම මේසයේ දී ය. වම්බටු මාළුවක් උයා මුරුංගා හොද්දක් සමග කුකුළු මස් උයා තිබිණ. වම්බටු ඕනවට වැඩිය කිරෙන් තැම්බීම නිසා කෑල්ලක් සොයා ගත නො හැකි තරමට දිය වී ගොසිණි. ගෑනු අප කෙසේ කෑව ද පිරිමින්ට කටට රසට කෑම වේල අවශ්‍ය බව, තාත්තා ජීවත් වෙන කාලයේ සිට ම මම දැන සිටියෙමි. අම්මා උදේට උයා තාත්තා ගේ උදේ කෑම එකත් දවල් කෑම එකත් වෙන වෙන ම බෙදා දුන්නා ය. එද දවල් කෑම එකට යොදනා ව්‍යාංජන උදේ කෑම එකට දැම්මේ නැත. එක ම කෑම පිට පිට දෙවරක් කන්නට තාත්තා නොසතුටු වූ බැවිනි. උදේ බත් එකට කරවල බැදුමක්, පොල් සම්බෝලයක්, බිත්තරයක්, අල බැදුමක් වැනි සරල අංග දෙකක් පමණක් එක් කෙරිණි. රාත්‍රී ආහාර වේල නම් ඉතා විශේෂ ලෙස සකසන්නට අම්මා උනන්දු වූවා ය. ඒ මේසයට හිඳ උණු උණුවෙන් තාත්තා ට කන්න ලැබෙන්නේ රාත්‍රියට පමණක් වන නිසාවෙනි.
“අනේ මන්දා මානෙල් අම්ම බටු එක සුප් හදල වගෙයි”
යයි කියාගෙන මම මේසයෙන් නැගී සිටියෙමි.
“ඒකට කමන්නෑ සකී. ඔය පොඩ්ඩක් කාල දාන එකනෙ”
ආදිල් කීවේ ය. නමුත් පිරිමියෙකුට එහෙම කන්නට දිය හැකි ද? අපේ තාත්තා නම් කෑම පිඟාන එහෙම ම තබා මේසය ළඟින් නැගී සිටිනු ඇත.
මුළුතැන්ගෙට ගිය මම ශීතකරණය හැර ඊට එබී බැලුවෙමි. මාළුමිරිස් කරල් දෙක තුනක් ද තක්කාලි ගෙඩියක් ද ගෙන හොඳින් ලූණු කපා දමා බැදුමක් පිළියෙල කළෙමි. ඒ සඳහා ගත වූයේ විනාඩි දෙක තුනක් පමණකි. ආදිල් බත් කා නිම වේවියි බියෙන් මා සෝස්පෑනය ළිප මත තබා පොල් තෙල් වත්කළේ ලූණු හා මාළුමිරිස් කපමින් ම ය.
“අනේ අපරාදෙනෙ සකී ආයෙ මහන්සි වුණේ”
මාළුමිරිස් බැදුම සහිත සුදු දීසිය මේසය මතින් තබත්දී ආදිල් කීවේ ය. නමුත් ඉන් හැමූ කෑම රුචිය වඩනා සුවඳ නිසා මට ආත්ම තෘප්තියක් දැනිණ.
“ඒ මාළුමිරිස් තෙම්පරාදුවනං ගෑවිච්ච තැන කන්න පුළුවන් ආච්ච”
එක බත් පිඬක් මුවට ගත් ගමන් ඔහු කීවේ ය. ඒ මූණිච්චාවට නොවේ. සැබවින් එය රසවත්ව තිබිණ. ආච්චා ආඩම්බරයෙන් සිනහ වූවා ය.
“සකීට රහට උයන්න පුළුවන්. අපි ඉතිං මානෙල්ව තියං ඉන්නෙ තනි නොතනියටත් එක්කනෙ පුතා. මානෙල් උයල දෙන දෙයක් අපි ඔන්නොහේ ගිල දානව”
“මටත් එහෙම කමන්නෑ. සකී වදවෙන්න ඕන නෑ. මාත් ඔන්නොහෙ අහුවුණොත් රබර් සෙරෙප්පුවක් හරි කාල වතුර බොන එකෙක්”
ඒ කතාවට නම් ආච්චා හොඳට ම සිනහ වූවා ය. මම සිනහව පිට නොකර සිටියෙමි.
ඊට පසු දා දවල් උයන්නට ගත් වෙලාවේ පටන් ආච්චා කියවූයේ ආදිල් ගේ කෑම ගැන ය.
“කොල්ල අදත් දවල්ට බඩගින්නෙම ඉඳීද දන්නෑ… හැබැයි සකීගෙ අල බැදුමයි හයිය වෙන්නැතුව තම්බපු බිත්තරෙයි එක්ක රහයි කිය කිය උදේටනං කාලයි ගියේ නේද… ලන්ච් වලට එන්න කියල කෝල් එකක් දෙන්නත් හිතෙනව… ඔය ළමය හිතලනං එන එකක් නෑ අපිට කරදරයි කියල… කෑම එකක් යවන්නවත් කෙනෙක් නෑනෙ…”
වරින් වර එසේ තනිව මුමුණමින් සිටි ඇයට, අවසන මම තීන්දුවක් දුන්නෙමි.
“මං මේ ඩීඩ් එකක වැඩ වගේකට එළියට යන්න ඉන්නෙ. ඒ යන ගමං එහෙනං ගිහින් දෙන්නං”
ආච්චා ගේ මුහුණට මලක් පිපෙනවා වන් සිනහවක් ආවේ ය.
“අනේ ලොකු දෙයක් සකී”
“හැබැයි මං ගැනවත් නෑ ආච්ච ඔච්චර ආදරයක්”
ඒ නම් තනිකර ම බොරු නෝක්කාඩුවකි. ආච්චා තරමක් හඬ නැගෙන සේ සිනහ වූවා ය.
“සකීටනං මේ මං හරි ඉන්නව. ඒ ළමයට කව්ද මෙහෙ තමන්ගෙයි කියන්න ඉන්නෙ. එහෙම තනි වුණ කෙනෙක් ගැන පොඩ්ඩක් හොයල බලන එක… බඩගිනිද අහන එක… ඒ කෙනාගෙ හිත පිරෙන්න හේතුවක් සකී”
ආච්චා ගේ ලෝකය සොඳුරු ය. එහි ආදරය පිරී තියේ..කරුණාව වැගිරෙමින් තිබේ. තරහව වෙනුවට ඇය හැම විට ම සිනහව හා සතුට බෙදන්නට බලන්නී ය. තමන් කන බත් පත හෝ ඇඳ සිටින වස්ත්‍රය හෝ ඕනෑ කෙනෙකු වෙනුවෙන් ඒ මොහොතේ ම එය ලබා දෙන්නට සූදානම් තරමට ඇගේ හදවත විසල් ය. එබැවින් ඇය පිරිමි පුතෙකු නැති ගෙදර ආදිල් ගැන දක්වන සැලකිල්ල පිළිබඳව පුදුම විය යුතු නැත.
එදා දවල් ට පිසිය යුතු කෑම වට්ටෝරුව මානෙල් ට ඉදිරිපත් කළේ මා ය. ඇය එළවළු මාළු කැපූ විට ගොස් මිරිස් තුනපහ එක් කරන්නට ද මම වගබලා ගතිමි. මා ද උයන්නට දන්නා කෙනෙකු නොවේ. නමුත් යමක් කෙසේ පිසිය යුතු ද යන ඉව මට තියේ. කටට රස ගැන්විය හැකි පදම ගැන මට අදහසක් තිබේ. නො එසේව මා ආහාර පිසීමට කැමති හෝ එය විනෝදාංශය කරගත් තැනැත්තියක නම් නොවේ.
“අලුත් මහත්තය ටිකක් රස ගැන හිතනව වගේ නේද සකී බබා…”
මා ව්‍යාංජන වලට පහේ දමත්දී පොල් මිරිකමින් මානෙල් විමසුවා ය. ඇගේ හිත රිදී දැයි මම බිය වීමි.
“අනේ එහෙම මුකුත් ඇඟෙව්ව නෙවෙයි මානෙල් අම්ම. ඒත් ඉතිං පිරිමි ටිකක් රස ගැන හිතනවනෙ. මං ඒක දන්නෙ අපේ තාත්ත නිසා. චුට්ටක් අපිට මේ ටිකේ මහන්සි වෙලා කෑම ටික හදාගන්න වෙයි. අමුත්තෙක් ගෙදර ඉන්නකොට කෑම ටික හොඳට දෙන්නෝනෙනෙ. ටික දවසනෙ මානෙල් අම්ම. ඒ මහත්තය ඉක්මනට තැනක් හොයාගනී”
“ඒ මහත්තය ඉන්නකොට හරි සිරියාවයි නේද සකී බබා. බලන්නකො ලොකු නෝනගෙත් තියන සතුට…”
මඳහසකින් සැනසුණා මිස ඒ ගැන වචනයක්වත් නො දොඩන්නට මම ප්‍රවේසම් වීමි.
සැබවින් ම මට ඔප්පුවක මහ ලොකු වැඩක් වූවා නොවේ. ඒ වැඩේ ගේ ආසන්න නගරයෙන් වුව හොඳට ම කරගත හැකි ය. දෙහිවල යාමේ කිසිදු උවමනාවක් නැත. නමුත් මා ඒ ගමන යන්නට සූදානම් වූයේ කෙතරම් උනන්දුවකින් ද? ඒ ආදිල් ට කෑම එක දීම වෙනුවෙන් ද? එසේ නොවේ කියා හිතන්නට මට ඕනෑ විය. නමුත් මම ප්‍රවේසමෙන් හා සෙමෙන් සූදානම් වීමි. මල් ඉහිරුණ කහ පාට දිග ගවොමක් හැඳ ඕඩිකොලෝන් සුවඳ පොදක් තැවරූයෙමි. යන්තමින් තොල් ආලේපන වල නිමාවක් රතදරෙහි ඇතිරූයෙමි. කැඩපත මට හුරතල් සිනහවක් පෑවා ය.
“අනේ ප්‍රමාද නොකර කෑම එක ගෙනිහින් දෙන්න සකී”
බුද්ධ පූජාවක් තරම් භක්තියකින් සුදු පිඟානක් මත බෙදා වසා අත් පිස්නාවකින් ගැට ගසාගන්නා ලද කෑම එක ගෙන මා ගෙයින් පිටත් වෙත්දී ආච්චා කීවා ය.
මා ගියේ කිසිදු දැනුම් දීමකින් තොරවයි. පහළ කොටසෙහි ඔහු පේන්නට වූයේ නැත. තරුණයින් දෙදෙනෙකු මොනවා හෝ කරමින් සිටියහ. මා ආදිල් ව විමසූ විට ඔවුන් කීවේ ඔහු මතු මහලේ බවයි. මම පියගැට පෙළ වෙත ප්‍රවේශ වීමි. තරුණයන් දෙදෙනා ගේ දෑස් මවෙත විශ්මයෙන් යොමු වී තිබෙන්නට ඇත. පියවරක් ගානේ ම හිතට අමුතු හැඟීමක් එක් වෙමින් තිබිණ.
ආදිල් හිටියේ මතු මහලේ ඔහු ගේ නිදහස් අවකාශයෙහි වන මේසය අසල හිඳ දෑස් පාර දෙසට පා වෙන්නට හැරයි. එකවර ම මගේ පියවර හඬින් හැරී බැලූ හෙතෙම මඳ තත්පර වීමකින් සිහි එළවාගෙන වහා අසුනෙන් නැගී සිටියේ ය. හුම්මානය සේ මගේ හද පත්ලෙන් නැගී සිටි හැඟුමන් කෝටි ගණනක් නො සලකා හරිමින් මම මේසය වෙතට ඉක්මන් අඩි තැබුවෙමි.
“ලන්ච් එක අරං ආව. නැත්තං අදත් බඩගින්නෙ ඔහේ ඉඳියි. ආ දැන් කාල ඉන්න”
මම සර්වියට් එකේ ගැටය ගැලවූයෙමි. ආදිල් තවමත් වචනයක් හෝ කතා නො කොට මදෙස බලාගත් වන සිටියි.
“සකී… අනේ ඔයා ඕක උස්සං මෙහෙටම එන්න වද වුණේ ඇයි…”
“මෙහෙටම අරං ආවෙ නැත්තං ඔයා ගෙදර ඇවිත් කන්නෑනෙ. අරහෙ ආච්ච කියෝන එකමයි වැඩේ. ඒව අහං ඉන්නවට වැඩිය ලේසියි මේක අරං එන එක”
එහෙම නෝක්කාඩුවක් පානා එක, ඒ වෙලාවේ ඔහු ගේ බැල්ම දරාගන්නවාට වඩා පහසු වූ බව කිව යුතු ය.
“කන්න කන්න ඉතිං තවත් බඩගින්නෙ ඉන්නැතුව”
ඒ බැල්ම මගහැර යමින් මම බල කොට සිටියෙමි.