‘හෙවන්ලි ඉන්ටීරියර්ස්’ විවෘත කිරීමේ සුබ මොහොත සඳහා පැමිණ සිටියේ සීමිත පිරිසකි. ආදිල් ගේ මව, පියා, බාල සහෝදරිය හා ඇගේ සැමියාත් කුඩා දියණියත් ඔවුන් ගේ පවුල වෙනුවෙන් පැමිණ සිටි අය වේ. ඔහු ගේ පෙම්වතිය නොහොත් හිටපු පෙම්වතිය එහිදී මට හමු වනු ඇතැයි රහසිගත බියක් යටි හිතේ කොතැනකින් හෝ ඉඳහිට මතු වෙවී තිබිණි ද එවැන්නක් සිදු වූයේ නැත.
ආදිල් ගේ මව් පැහැපත් මැදි වියෙහි කාන්තාවකි. අප එහි යන විටත් ඇය පැමිණ සිටි අතර මා දුටු විට මුහුණේ වෙනසක් සිදු වී දැයි සිතිණි ද මම ඒ සිතිවිල්ල ගැන නො සිතා සිටියෙමි. කෙසේ වෙතත් මුද්‍රා හා පීහු ද එක් වූ විට අපේ උස් සිනහවන් දෙස ඇය අමුතු දෑසකින් බැලූ බව නම් විශ්වාස ය. නංගී ගේ අවධානය මුළුමනින් යොමු වී තිබුණේ ඇගේ බිළිඳු දියණිය වෙත යි. ඇය ඇවිදින්නට හැකි වීමේ සතුට උපරිමයෙන් භුක්ති විඳිමින් හෙවන්ලි ඉන්ටීරියර්ස් ඉදිරිපස අවකාශය පුරා දිව්වා ය. දුහුවිලි කඅණු වැදුණු අතට හසුවන සියල්ල අල්ලා මුවෙහි ලාගන්නට හැදුවා ය. අප සමගින් උකුළු මුකුළු කළා ය. ළදැරිය බිම ඇද වැටී තුවාලයක් සිදු කරගනු ඇතැයි බියෙන් ඇගේ අලුත් අම්මා ඈ වඩා හිඳින්නට උත්සාහ කළා ය. ළදැරිය ඊට නො කැමති ව ඇගේ දෑතින් ලිස්සා බිමට ම බැස්සා ය. අම්මා කෙනෙකු ට දරුවෙකු ලොකු කරගැනීම දක්වා අනවරත වෙහෙසක් දරන්නට සිදු වන හැටි මම බලා සිටියෙමි.
“දඟයි නේ…”
මා ආදිල් ගේ සොයුරිය වෙතින් එසේ විචාලේ ඈ කෙරේ අමුතු දයාවක් හටගත් නිසා ය.
“අනේ ඔව් නංගි”
ඊට පස්සේ අපි දැරියගේ හුරතල් ගැන මඳ වෙලාවක් කතා කරමින් සිටියෙමු.
“මට නංගි කිව්වට ඔයා නංගිද දන්නෙත් නෑ”
කියා මා කීවේ සැබැවින් එසේ වන්නට බැරි නැති නිසාවෙනි. නමුත් ඇය මට වැඩිය වසරකින් වැඩිමහල් වූවා ය.
“ඔක්කෝටම ඉස්සල්ල නෑනව සෙට් කරගෙන”
කියා කියමින් මගේ මිතුරියෝ කොමළ පෑහ. ඔවුන්ගෙන් වචනයක් වැරදෙතැයි මා සිටියේ බියෙනි.
සුබ මොහොතින් හෙවන්ලි ඉන්ටීරියර්ස් වෙත ගෙවදීම වෙනුවෙන් ආරාධිත අමුත්තෙකු පැමිණ සිටියේ නැත. එබැවින් මා සිතුවේ එය ආදිල් ගේ දෙමාපියන් අතින් සිදු වනු ඇති බවයි. නමුත් නැකත ආසන්න වෙත්දී ආදිල් ආච්චා වෙතට කතුරක් ගෙනැවිත් දුන්නා ය.
“නැකතට රිබන් එක කපල ඇතුළට යං ආච්ච”
මගේ උගුර හිර වූ සේ ය. ආච්චා සන්සුන් ව ආදිල් දෙස බැලුවා ය.
“අනේ පුතා ඒකට මගෙ මොන සුදුසුකමක්ද… ඒක පුතාගෙ දෙමව්පියන්ට කරන්න දෙමු නේද…”
“අනේ ආච්ච මේකට සුදුසුම කෙනා ආච්චා. මගෙ අම්මයි තාත්තයි වගේමයි ආච්චා මට ආශිර්වාද කළේ. ඔයගොල්ලොංගෙ කරුණාවන්තකම නැත්තං මට අද මේ විදිහට මේ දේ කරන්න පුළුවන් වෙන්නෑ කීයටවත්. මගෙ ජීවිතේ තියෙන තුරාවට මට ඒක අමතක වෙන්නෑ ආච්ච”
ආදිල් මඳහසකින් යුතුව ඍජුව දෙඩුවේ ය.
“ඒ වුණාට පුතා…”
“අපේ පුතාට මේ දීල තියන සහයෝගයෙ හැටියට අම්ම තමයි මේ වැඩේට සුදුසුම කෙනා”
ආදිල් ගේ අම්මා අවංක සරකින් ඉදිරිපත් වූවා ය.
“අනිත් එක මෙතන ඉන්න වැඩිහිටිම කෙනා අම්මනෙ. ඒ හැම දේටම වැඩිය ආදිල් එහෙම තීරණයක් අරං තියෙන්නෙ එයාගෙ හිතේ ඇත්තටම අම්ම ගැන තියන ආදරේ නිසානෙ. ඒක නිසා අපි නැකතට වැඩේ කරමු අම්මෙ”
කියමින් ඇය රෝද පුටුව ඉදිරියට කොට ආච්චා ගේ හිතට දිරි දුන්නා ය. මගේ ලස්සන ආච්චා ලස්සන ම සිනහවකින් හා ආශිර්වාදය පුරවාගත් හදවතකින් යුතුව හෙවන්ලි ඉන්ටීරියර්ස් ද්වාරය හරහා දමා තිබි රතු රිබන් පටිය කපා දැමුවා ය. අපි සතුටු ඇස් වලින් අත්පොළසන් දුන්නෙමු.
“ජයෙන් ජය ම වෙන්නෝනෙ පුතා. දියුණුවෙන් දියුණුවටම පත්වෙන්න ඕනෙ”
ආදිල් ආච්චා ගේ දෙපා අල්වා නමස්කාර කළේ ය. ආච්චා අපමණ ආදරයකින් ඔහු ගේ හිස පිරිමැද ආශිර්වාද කළා ය.
කේටරින් සේවය මගින් කිරිබත් හා කැවිලි කිහිපයක් සැපයිණි. කවුරුත් ඒවායින් සප්පායම් වෙමින් කෝපි පාණය කළහ.
“සකීගෙ කෝපි එක තරංනං රහ නෑ නේ…”
අප පස් දෙනා වට වී කෝපි බොමින් සිටි අතරේ ආදිල් ගානකට නැතිව කීවේ ය. මගේ කම්මුල් පුපුරු ගසන්නට විය.
“උඹට එහෙමද දන්නෑ. නේ මුද්‍රා… අනේ අපිටනං එහෙම නෑ”
සචින් අයියා විහිළුවකට ගත්තේ ය. මගේ මිතුරියෝ ඕනෑවටත් වැඩියෙන් සිනහ වන්නට වූහ. අපට එක් නොවී පසෙකට වී තනිව සිටි දෙව්මි නො රිස්සුම් බැල්මක් හෙළුවා ය. මම හෙමිහිට ඇය වෙතට ළඟා වීමි.
“කොහොමද දෙව්නි අක්ක…”
ඇය ඉක්මන් කෙටි සිනහවක් පෑවා ය.
“ඉන්නව”
“මං අක්කට කියන්නමයි හිටියෙ. සචින් අයිය ඔෆිස් ගියාට පස්සෙ ඔයාට කම්මැළි ඇතිනෙ. ෆ්‍රී වෙලාවට අපේ ගෙදර එන්න. මගෙ පොඩි ලයිබ්‍රරි එකක් තියනව. ඔයාට ඒකෙන් නවල්ස් අරං කියවන්න පුළුවන්”
“අනේ නවල් කියෝ කියෝ ඉන්නවට වැඩිය ගෙදර වැඩ තියනව මට”
ඇය අපහාස සරකින් කීවා ය. මට යම් අපහසුවක් දැනිණ. මගේ මිතුරියන් දැනගතහොත් “හොඳ වැඩේ බොට… ඕනවට වැඩිය හොඳ කරන්න යනවට” කියා කියනු ඇත.
“ආන්‍යා”
කියා මුද්‍රා කතා කළේ ඇතැම් විට දෙව්නි අස මා පත් අපහසුව වටහාගෙන විය හැක.
“මේහ්”
මා ඈ ළඟ අසුනෙන් නැගී සිටින්නට තැත් කරනා විට ම දෙව්නි යළි මා ඈ වෙත යොමු කොටගත්තා ය.
” කසාද බැඳපු නැති ගෑනු වගේ කසාද බැඳපු ගෑනුන්ටත් හුරතල් වෙවී ඉන්න බෑ. මොකද වගකීම් ගොඩක් තියනවනෙ. ඒක දන්නැති මෝඩ පිරිමින්ටයි නැට්ටිච්චියන්ටයි කවදාවත් වයිෆ් කෙනෙක්ගෙ ජීවිතේ කොච්චර අමාරුද කියල තේරුං ගන්න බෑ”
එය මගේ කම්මුල හරහා එල්ල කරන ලද දරුණු පහරක් සේ මට දැනිණ. දෙව්නි සමගින් තව ගොඩක් වෙලා බොහෝ දේ කතා කළ යුතු යයි සිතුණ ද මේ ඊට අවස්ථාව නොවේ. එබැවින් මම නැගී සිට මිතුරියන් වෙතට ගියෙමි.
“අහගත්තද හොඳවයිං… මූණ ඇඹුල් වෙලා ගියේ…”
“දෙව්නි අක්කට ලොකු ප්‍රශ්නයක් තියනව. එයාට අපි උදව් කරන්නෝනෙ මං හිතන්නෙ”
මා මිමිණුවේ ද කල්පනා බරව ය.
“උදව් කරන්නෙ කොහොමද මෝහිනීගෙ අක්ක වගේ බලනකොට… මන්නං කියන්නෙ තමුසෙ අතදාන්න යන්නෙ අසූචි ගොඩකට හොඳේ. ස්මෙල් එක පැතිරෙනව කියල පස්සෙ දඟලන්න එපා”
අපට ඒ කතාව එතෙකින් නතර කරන්නට සිදු විය. නමුත් දෙව්නි අක්කා මගේ මනසෙහි කුහරයක් හදාගෙන එහි රිංගා ගත්තා ය. ඇය යනු හෙමි හෙමිහිට අධ්‍යයනය කළ යුතු විෂයෙකැයි මම සිතාගතිමි.
හෙවන්ලි ඉන්ටීරියර්ස් වල සමාරම්භයෙන් පසු ආදිල් ගේ ගෙදර අය යළිත් ගම රට බලා පිටත් ව යාමට බලාපොරොත්තු වූහ. ආච්චා ඔවුන්ට අපේ ගෙදර රාත්‍රියක් නවාතැන් ගෙන යා හැකි බව සිහිපත් කළ ද ඔවුන්ට ඒ ආරාධනය පිළිගත හැකි වූයේ නැත.
“බොහොම ස්තූතියි අම්මෙ. ඒත් ඉතිං අපි එහෙම දේකට සූදානම් වෙලා ආවෙ නෑනෙ. අපි වෙන දවසක එන්නං”
ආදිල් ගේ අම්මා විනීත ලෙස ආච්චා ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළා ය. නමුත් ඒ හෝරා දෙක තුන තුළ ඔවුන් හා අප අතරේ සැලකිය යුතු හිතවත් කමක් ගොඩනැංවිනැයි මම සිතමි.
එදා ආදිල් වේලාසන ගෙදර ආවේ ය. ඒ වෙලාවේ ආච්චා කෙටි හවස් නින්දකට එළඹ සිටියේ ගමන් වෙහෙස නිසා විය හැක. ආදිල් දිය නාගෙන එන විට මම තේ එකක් හදාගෙන ඔහු ගේ මග් එක බරාඳය වෙත ගෙන එමින් සිටියෙමි. නැවුම් සුවඳක් පැතිරිණි. ඔහුගෙන් විද්‍යමාන වූයේ බලාපොරොත්තුවේත් ප්‍රීතියේත් ඕරාවකි.
“ඇත්තටම සචින් අයියගෙයි දෙව්නි අක්කගෙයි ප්‍රශ්නෙ මොකද්ද…”
ආදිල් නෙතු කුඩා කොට බැලුවේ ය. මේ හදිසියේ ඔහු එහෙම ප්‍රශ්නයක් මගෙන් බලාපොරොත්තු නොවන්නට ඇත.
“ඇයි එහෙම ඇහුවෙ…”
“නෑ… මට අමුත්තක් දැනෙනව. එදා අර සචින් අයිය අපේ ගෙදර ටිකක් රෑ වෙනකල් හිටිය දවසෙ දෙව්නි අක්ක මට කතාකරල කෑගැහුව”
“කෑගැහුව…”
“හ්ම්. අපේ මිනිහව මේ රෑ තිස්සෙ ඔහෙ දාගෙන මොනා කරනවද වගේ දෙයක් ඇහුව. ඒත් මං ඒක සචින් අයියට කිව්වෙ නෑ. එයා අවුල් යයිනෙ කියල. අදත් මං බලෙන් වගේ දෙව්නි අක්ක එක්ක කතා කළේ. එයාගෙ මොකක්හරි මිස් අන්ඩස්ටෑන්ඩින් එකක් තියනවනං කතා කරල ඒක නැතිකරන එක හොඳයිනෙ… ඒත් එයා මාත් එක්ක තරහෙන් වගෙයි කතා කරන්නෙ”
“ඔයාගෙ පාඩුවෙ ඉන්න”
මගේ ඒ තරම් දිග ප්‍රකාශයකට ඔහුගෙන් ලැබුණේ වචන තුනකි. මම තරමක නො සන්සුන් බවකට පත් වීමි.
“පාඩුවෙ ඉඳල කොහොමද… සචින් අයිය මට හරියට කියන්නෙත් නෑ. මං දන්නැතුවම කාගෙවත් ජීවිත වලට මං ප්‍රශ්නයක් වෙලාද කියල දැනගන්න අයිතියක් තියනවනෙ මට”
“ඔයා පාඩුවෙ ඉන්නවද කිව්වහම අහල… මං සචින් එක්ක කතා කරන්නං”
“ඔයා කතා කළා කියල…”
“සකී දැං ඕක ඇති”
කියන්නට ගිය දේ කියා නිම කරන්නටවත් ඔහු මට ඉඩ දුන්නේ නැත. සිදු වෙමින් පවතින්නේ කුමක් ද? මට කිසිත් වැටහුණේ නැත.