Not Without You – 22

0
5561

අම්මා හා තාත්තා වෙනුවෙන් සෑම වසරක ම එක ම මසක එක ම දිනයක ධර්ම දේශනයක් පවත්වා පසු දා මහා සංඝ රත්නය විෂයෙහි සාංඝික දානයක් පිරිනැමීමට ඔවුන් නික්ම ගියාට පසු හැම වසරක ම අපි කටයුතු කළෙමු. ජීවත් ව නො සිටිනා අය වෙනුවෙන් ජීවත් ව සිටිනා අයට එසේ පිං පැමිණවිය හැකි ද කියා මා ඉඳුරා දන්නේ නැත. නමුත් බෞද්ධයන් වශයෙන් එය එසේයි අපි හිතමු. එබැවින් සාංඝික දානයක් දීමෙන් පමණකුදු නොව ඉඳහිට පන්සලට ගිය දිනෙක ද වැඳ පුදා අම්මා තාත්තා වෙනුවෙන් මම ඒ පින් අනුමෝදම් කළෙමි. යදින්නෙකුට මුදලක් දුන්නත්, එසේ නොකරනා අසරණ මිනිසෙකුට උදව්වක් කළත්, එපින් බෙලෙන් අම්මාත් තාත්තාත් සුගතිගාමී වේවායි හිතින් පැතුවෙමි. කෙනෙකුට යමක් දී කිසිවක් බලාපොරොත්තු නොවී එය අමතක කොට දැමිය යුතු වී ද අම්මා ගේ හා තාත්තා ගේ පරලොව ජීවිතය වෙනුවෙන් පමණක් මම හිලව්වට පින් බලාපොරොත්තු වීමි.  ඔවුන් වෙනුවෙන් අප සිදු කොට ඇති පුන්‍යමය කටයුතු වල අනුහසින් දැන් නම් ඔවුන් දෙදෙන ම සැපවත් නව ආත්මයන් ලබා ඇතිවා විය යුතු ම ය. නමුත් පින් අනුමෝදන් කිරීම නවතා දමන්නට අපට සිත් දෙන්නේ නැත.

“ගෙදර ඇතුළෙ මළගිය ඥාතීන්ට පින් දෙන්න හොඳ නෑ කියල අද මං බණකට ඇහුව සකී. පන්සලකට ගිහිල්ලයි ඒක කරන්න ඕන කියල ඒ හාමුදුරුවො දේශනා කළා”

වතාවක් ආච්චා එසේ කීවේ හවසට ගෙදර බුදු පහන් දල්වමින් පවා මා අම්මා හා තාත්තා සිහිපත් කරනා බව දන්නා නිසා විය හැක.

“එයාල එතකොට ගෙදරට එන නිසාද… තාත්තයි අම්මයි ගෙදරට එන නිසාද… එයාල එනවනං මං කැමතියි ආච්ච. ගොඩක් මිනිස්සු තමන් ළඟින්ම ඉඳං ආදරේ කරපු මිනිස්සු මැරුණට පස්සෙ බය වුණාට… අම්මයි තාත්තයි එහෙම ආව වුණත් මන්නං බය නෑ”

මම මඳහසකින් මිමිණුවෙමි. ආච්චා ට මගේ පණ්ඩිතකම පෙන්වන්නට උවමනා වූවා නොවේ. ඒ මගේ අවංක හැඟීමයි.

“එහෙම නෙවේ සකී. අපි ඒගොල්ලොංව නිතර නිතර මතක් කරනකොට ඒගොල්ලොන්ටත් යන්න බෑ අපිව දාල. ලෝබ කමට අපි ළඟටම වෙලා ඉන්නව. ඒක පව් සකී. අපි ඒගොල්ලොන්ව නිදහස් කරන්න ඕනෙ. ඒගොල්ලොන්ට ඉඩ දෙන්න ඕනෙ හොඳ තැන් වලට යන්න. බැඳීම් කියන දේවල් මෙලොවදි වගේම පරලොවදිත් බැඳීම්ම තමයි සකී”

මගෙන් වරදක් සිදු වී ද කියා මා සිතුවේ ඒ වෙලාවේ ය. හැම හවසක ම බුදුන් වැඳ ගෙදර දී අම්මාටත් තාත්තාටත් පින් අනුමෝදම් කිරීම නතර කර දැමූයේ ඉනික්බිති ය. ඔවුන්ට ඒ ගමන නිදහසේ යන්නට දිය යුතුව තියේ! දරුවන් යනු දෙමාපියන්ට සංසාරය දිගු කරනා බැඳීමක් වී ද හෙමි හෙමිහිට එය ලිහාගෙන සසර බැම්මෙන් නිදහස් වෙන්නට ඔවුන්ට ඉඩ දිය යුතුව තියේ!

මෙවර වර්ෂ පූර්ණය වෙනුවෙන් ධර්ම දේශනයක් පවත්වනු වෙනුවට සර්ව රාත්‍රික පිරිත් පිංකමක් සිදු කිරීමේ ආශාවක් ආච්චා තුළ ඇති වී තිබිණ. මීට පෙර කිහිප වතාවක් ම ඇය ඒ ගැන කියවූවා ය. වර්ෂ පූර්ණය සඳහා ඉතිරි ව ඇත්තේ දෙසතියක පමණ කාලයක් බැවින් මම මේ ගැන ආච්චා සමගින් කතා කළෙමි.

“පිරිත් පිංකමක් කරන්න ආසයිනං තමයි සකී. මයෙ හිතේ සීයා ඉන්න කාලෙ තමයි අන්තිමට මගෙ ආසාවට එහෙම දෙයක් කළේ. ඒ වුණාට ඔන්නොහෙ ඒ අදහස අතෑරල දාමු සකී”

ඕතොමෝ උපේක්ෂා සහගත දෑසකින් සිනහ වී කීවා ය.

“ඇයි ආච්චා ඉතිං… අපි කරමු”

“ඒක ලේසි පාසු කටයුත්කක් නෙවේ සකී. හුඟාක් කැපවෙලා ලොකු වගකීමකින් කරන්න ඕන දෙයක්. හරියට මහන්සි වෙන්න ඕනෙ. වැඩ ගොඩක් තියනව. ඒ හැම දේම ඉෂ්ට සිද්ද වෙන්න ඕනෙ. මොකද දැං මේ මට පුළුවනෑ දුවල පැනල වැඩක් කරන්න. සකී ට ඔය හැම දේටම තනියම කරගහන්න බෑ”

“අනේ එහෙම නෑ ආච්චා. වෙන්න ඕන මොනාද කියල කියන්නකො. මං කරන්නං. අනික මුද්‍රායි පීහුයි වුනත් ඉන්නවනෙ. වෙනදට අපේ හැම දේකදිම මහන්සි වෙලා වැඩ කළා වගේ මාත් එක්ක එකතු වෙලා මේකත් කරයි”

“ඒත් ඉතිං අනේ මන්දා…”

ආච්චා තරමක් පසුබෑවා ය. ඒ පිරිත් පිංකමක් සංවිධානය කිරීමේ බරපතලකම ගැන දන්නා නිසා ය. නමුත් මම ඇය සමගින් ම ගමේ පන්සලට ගොස් ස්වාමීන් වහන්සේ හමු වී අපේ අවශ්‍යතාවය ගැන දැනුම් දුන්නෙමු.

“ආසාව තිබුණත් මේක අපි දෙන්නට තනියම කරගන්න බැරිවෙයි කියලයි මං අපේ මිණිපිරීට කිව්වෙ හාමුදුරුවනේ”

ඒ අන්තිම මොහොතේත් ආච්චා තව වරක් සිතුවා ය.

“උපාසක අම්මලට ආර්ථික හයියක් තියන නිසා ගැටළුවක්නං නෑ ඉතිං. වෙන්න තියන දේවල් ගැන මං දැනුවත් කරන්නංකො. පිංකමක් කියන්නෙ උපාසක අම්ම ඒක කරන්න හිතුව මොහොතෙ ඉඳලම කුසල් රැස්වෙන කටයුත්තක්. ඒක නිසා හිතෙං පස්සට අදින්නැතුව කොහොමහරි කරනව කියල එක හිතින්ම හිතාගෙන අපි වැඩේට හිත යොමුකරමු”

“එහෙමයි හාමුදුරුවනේ”

පිරිත් පිංකමක් සංවිධානය කිරීමේ බරපතලකම මට හරියට අවබෝධ වූයේ ස්වාමීන් වහන්සේ සමග කතාබහ කිරීමෙන් පසුව ය. නමුත් සකී ආන්‍යා තඹරවිල වූ කලී ජීවිතයෙහි අභියෝග වලට ම මුහුණ දුන් ගෑනු ළමයෙකි. ඒ කිසිදු තැනෙකින් ඇය ‘අනේ අමාරුයි’ කියා පලා ගියේ නැත. කෙතරම් අසීරු වුව ද කළ යුතු යමක් නම් නොකර සිටියේ නැත.

පිරිත් මණ්ඩපය සැකසීමේ සිට, දංවැලක පුරුක් සේ ඒ හා බැඳී ඇති බොහොමයක් අංගෝපාංග එක දවසක් තුළ ඇනවුම් කරන්නට මට හැකි විය. ඒ පිරිත් මණ්ඩපය ඉදි කරන්නට භාර දුන් තැනැත්තා ගේ සම්බන්ධතා හා මගපෙන්වීම් ඔස්සේ ය. නමුත් ඒ හැම තැනෙක දී ම ඔවුන්ගේ අදහස් වලට වැඩිය මගේ හිතේ ඇඳී ඇති පරිදි මට අවශ්‍ය ලෙස සියලු ඇනවුම් ලබා දෙන්නට මම කටයුතු කළෙමි.

“මගෙන් කෙරෙන්න ඕන ඕනම දෙයක් කියන්න ආච්චා. කලින් කිව්වනං සකී එක්ක තනියට යන්නහරි මං එනව”

ආදිල් කීවේ ය. ඔහුගෙන් උදව් ගන්නට තරම් මා පමා නො වන්නට හේතු කිහිපයක් ඉවහල් වන්නට ඇත. පළමුවැන්න දැන් තනිව ජීවත් වීමට මට වන පුරුද්දයි. අම්මා ද ඉන්පසු තාත්තා ද අහිමි වීමෙන් පස්සේ ඉතා කුඩා දේ හි සිට ඉතා අසීරු කටයුත්ත දක්වා සියල්ල තනිව කරගන්නට වීමෙන් ලද පුරුද්ද නිසා මා මිතුරියකගෙන් වුව උදව් ඉල්ලන්නේ අඩුවෙනි. ඔවුන්ව වැඩිපුර උවමනා වනුයේ මානසික වශයෙන් ලිහිල් වීම වෙනුවෙනි.

අනිත් අතට දැන් ගෙදර හැම දේකදී ම හිතේ පැටලී ආදිල් පෙරමුණ ට ආව ද අලුත් බැඳීම් ගැන මගේ හිතේ වන බියයි. බැඳීම් කියන්නේ ම බිඳෙන්නට බලා හිඳිනා දෙයකි. සචින් අයියා ද හසන්ත ද එසේ මට බැඳී හිඳ නො දන්වා ම බිඳී ගිය බැඳීම් වේ. ඊට පස්සේ මා හිත දැඩි කොට ගත්තේ යළි කොතැනකටවත් නො බැඳෙන්නටයි. බිඳී රිදෙනවාට වඩා නො බැඳී සිටින එක පහසු යයි නිගමනයකට එළඹ ය.

ඊටත් වැඩිය ආදිල් වෙතට මා ආකර්ෂණය වෙමින් සිටි වේගය කෙරෙහි මම බිය වීමි. ඔහු ට පෙම්වතියක සිටී. ඇයගෙන් සමුගෙන පැමිණි බවක් ඔහු පැවසී ද තවමත් ඇයගෙන් ඔහු ට දුරකතන ඇමතුම් එන බව මට ඉව වැටී තියේ. එබැවින් ආදිල් මට දුරින් ඉන්නා එක හොඳ ය!

“පිරිත දවසෙ රෑට කෑම මගෙන් එහෙනං. කේටරින් සර්විස් එකකට මං කෑම ඕඩර් කරන්නං ආච්චා”

ආදිල් කල් ඇතිව ම කීවේ ය. නමුත් ආච්චා ඊට එකඟ වූයේ නැත.

“තරහ වෙන්න එපා පුතා ඒකනං කරන්න එපා. මොකද අපි මේ වැඩේ පටං ගත්තෙ වියහියදං ගැන තේරුමක් නැතුව නෙවේනෙ. පුතා මේ බිස්නස් එක පටං ගත්ත විතරයි. ඒකටත් ඉතිං යට කරන්න ඇත්තෙ අතේ තිබුණ මුදලක්නෙ. ඕන්නං තව ණය තුරහ වෙලත් ඇති. ඒක නිසා මේ වෙලාවෙ පුතා වියදං කරන්න ඕන නෑ. අපිට මේ වැඩේ කරගන්න සල්ලි තියනව පුතා. නැත්තෙ පිරිමියෙකුගෙ ඇල්ම බැල්ම හයිය. පුතා මෙන්න මේ කෙල්ලට ඔය වැඩ ටික කරගන්න උදව්වක් දෙන්නකො පුළු පුළුවන් වෙලාවට. ඒ හොඳටෝම ඇති”

ආච්චා ගේ දිගු දේශනයෙන් පස්සේ ආදිල් නිහඬ වූයේ ය. නමුත් ඒ රාත්‍රියේ බරාඳයේ දී ඔහු මට නෝක්කාඩුවක් කීවේ ය.

“සචින් අයිය නැති වුණා කියල අඬ අඬ ඉන්නව. අපි උදව්වක් කරන්න හදයි කියලත් මගඅරිනව”

ඒ වචන ටිකක් බරට මගේ ළය මත වැදිණ.

“අනේ එහෙම නෙවේ ඉතිං. ඔයාට තියන වැඩ වැඩිත් එක්කනෙ. අනික තාම ඕඩර්ස් ටික දුන්න මිසක් මුකුත් කළේ නෑනෙ. වැඩ තියෙන්නෙ තව ඉස්සරහට”

පසු දා හවස ගෙදර එන විට ඔහු අට පිරිකර හා සෙසු පිරිකර සියල්ල ගෙනැවිත් තිබිණ.

“නැත්තං පස්සෙ කියයි ඒවත් අරං ඉවරයි කියල”

ඒ නෝක්කාඩුවත් මට ම ය.

“පිරිකර පූජා කරන එකනං ලොකු කුසලයක් පුතා. ආයු වර්ණ සැප බල ලැබෙන්න හේතුවක්”

ආච්චා ඔහු ට අනුබල දුන්නා ය.

“බලල කියන්න අඩුපාඩු මොනාත් තියනවද කියල. මං ගෙස් කරලයි ඔය ටික ගත්තෙ”

ඔහු තව දුරටත් කීවේ මගේ මූණ බලන්නේ නැතිව ය. එතකොට මට පහසුවෙන් ඔහු දකිත හැකි විය. පපු කුහරය ඇතුළේ සුළි සුළඟක් කැරකිණි. එහෙම වෙලාවක කිසිත් සිදු නො වන්නා සේ ඉන්නා එක පහසු නැත. මුව මඳක් විවර වී මට හීල්ලුණේ එබැවිනි. ආදිල් ගේ ඇස් වලට ඒ වෙලාවේ ම මා හසු විය. තත්පර කිහිපයකට ඔහු ඇස් ඉවතට නො ගත්තේ ය. ආච්චා ට වෙනසක් ඉව වැටෙතැයි බියෙන් මුලින් බිම බලන්නට මට සිදු විය. ඒ වෙලාවේත් ආදිල් ගේ සිතිජ දෑස් මට ඈතින් ද මෑතින් ද මන්දා පායා තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here