ආදිල් මන්රූ රත්නායක
මොනාද මේ සිද්ධ වෙන්න යන්නෙ කියන ගැස්මෙන් ම මං ගල් වෙලා ගියා වගෙයි. ඇත්තට ම ඒක මාරු අමාරු රැයක්. අඩු ගානෙ නින්ද ගියානං ඒකත් ලොකු දෙයක්. නින්දක් නැතිව එක එක දේවල් මගෙ හිතට ආව. කලිපනී කොළඹ ආපු එකත් එක්ක මගෙ ජීවිතේටත් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්.
අපිට එකට ගමනක් යන්න බෑ කියල මං තීරණේ කළේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි කල්පනීගෙ ඇවතුම් පැවතුම් හැසිරීම් ආකල්ප නිසාමයි. ඒක එක පාරටම ගත්ත තීරණයකුත් නෙවෙයි. හෙමි හෙමිහිට කාලයත් එක්ක සිද්ධ වෙච්ච සිදුවීම් එක්ක ටික ටික මගෙ හිත එතනට සූදානම් වෙමින් තිබුණ. අනිත් එක්ක කෙල්ලො එක්ක මොන විදිහෙ සම්බන්ධතා තිබුණත් පිරිමියෙක් අන්තිමට නවතින්න බලන්නෙ ඇත්තට ම නතරවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ගෑනියෙන් ළඟ. එතන නිවීමක් දැනෙන්න ඕන. ස්ථාවර බවක්, සැනසිලි හැඟීමක් තියෙන්න ඕන. සුරක්ෂාවක් දැනෙන්න ඕන. මොකද ලෝකෙ පුරා කරක් ගහල ගහල හති වැටුණ මිනිහෙකුට ඊට පස්සෙ ඇත්තට ම ඕනෙ නතර වෙලා ගිමන් නිවන්න.
කල්පනී ළඟ එහෙම නිවීමක් නෑ කියල තේරෙන්න ගන්නකොට තමයි ඒ සම්බන්ධෙන් මට මොනාද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල මං හිතන්න ගත්තෙ. ටික ටික එයාගෙන් මිදෙන්න ඕන වුණෙත් ඊට පස්සෙ. මං ඒක ලොකු වරදක් කියල හිතන්නෙත් නෑ. දෙන්නෙක් ආශ්‍රය කරල බලල නොගැලපෙනවනං කරන්න ඕන හොඳම දේ වෙන් වෙන එක. ඒක දෙන්නගෙම ශාරීරික මානසික සෞඛ්‍යයට හොඳයි.
කොළඹ එන එකේ මගෙ අරමුණ බිස්නස් එකක් හදාගෙන ඉකොනොමිකලි ස්ටැබ්ලිශ් වෙන එක වුණාට, සකී මගෙ හිත තිගැස්සුවෙ නෑ කියල කියන්න බෑ. මුලින් ඒක ගැස්මක් විතරක් වුණත් මං එයාට බැඳෙමින් ඉන්නව කියල ටික ටික මට දැනෙන්න ගත්ත. ඒත් සකී කියන්නෙ ටිකක් වෙනස් කෙල්ලෙක්. එක පාරටම මං එයාට කැමතියි කියල කිව්වනං කීයටවත් එයා එහෙම සම්බන්ධෙකට ඉඩ තියන්නෑ කියල මට හොඳටම විශ්වාසයි. එයා මාව ස්ටඩී කරමින් ඉන්නව කියන එක මට දැනුණ. කොල්ලෙක් නිසා එක පාරක් පාඩමක් ඉගෙන ගත්ත කෙල්ලෙක් ආයෙ කොල්ලෙක් ගෙ ඇඟේ පැනපු ගමන් එල්ලෙයි කියල කොහොමත් හිතන්න බෑ. ඒකට කාලය ඕනෙ. අධ්‍යයනයක් ඕනෙ. අවබෝධයක් ඕනෙ. මටත් කිසීම හිදිසියක් තිබුණෙ නෑ. දෙයක් කෘතිමව සිද්ධ කරගන්නවට වැඩිය ඒක ස්වභාවිකව සිද්ධ වෙනකල් බලං ඉන්න එකේ මිහිරක් තියෙනව. ඇත්තටම සකීගෙ ඒ කල් මැරීමට මං ආදරේ කරමින් හිටිය.
උදේ සකී බෙඩ් ටී එක අරං රූම් එකට එනකොට මගෙ බඩ පපුව කැලතිලා හෝස් ගාල ගියා වගෙයි. කිසිම හේතුවක් මත එයා අහිමි කරගන්න බෑ වගේ හැඟීමක් ඒක. එයා දිහා බලපු මගෙ ඇස්වලත් ඒ හැඟීම තියෙන්න ඇති. හැබැයි සකී හිනාවුණේ ඒ කිසි දෙයක් නො දන්න ගානට.
“ලේට් නැද්ද අද… ගොඩක් වෙලා බලං ඉඳලයි මං මේ කතා කළේ”
මම පොඩි හිනාවක් දැම්ම. හැබැයි මට ඕන වුණේ “අනේ සකී ඔහොම ඉන්නැතුව මට බණින්න. කල්පනී ඇවිත් කියල දැනගත්තට පස්සෙවත් මට කේන්තියක් පෙන්නල තරහ වෙලා ඉන්න” කියල කියන්නයි. එහෙම කියාගන්න බැරිකම මාව අන්තෙටම අසරණ කරලයි තිබුණෙ. අපි අතරෙ පරතරයක් ඇති කරන එක ම හේතුව එයා කල්පනී ගැන දැනගෙනත් බින්දුවකවත් නො රිස්සුමක් කේන්තියක් නො පෙන්වීම. ඒ කියන්නෙ එයාට මං ගැන කිසිම වෙනස් හැඟීමක් නැද්ද?
කල්පනී ‘හෙවන්ලි ඉන්ටීරියර්ස්’ වලට ඇවිත් මං ඉස්සරහට එද්දි මගෙ ලෝකය මහා ග්‍රාහකයක් හැප්පිලා දෙදරල ගියා වගේ වුණා. තමන්ව ප්‍රතික්ෂේප වෙන තැනක බලෙන් රැඳෙන්න හිතන එක තරං කෙනෙක් තමන්ට ම කරගන්න අවතක්සේරුවක් තවත් නැතුවැති. තමන්ව ඕන නෑ කියල අඟවන කෙනෙක් ළඟින් හැරිලවත් නොබල යන්න යනව මිසක් “අනේ මට ඔයා නැතුව බෑ. මං මැරෙයි” වගේ දියාරු කතා කියන්න තරං කිසිම මනුස්සයෙක් දුර්වල වෙන්න හොඳ නෑ.
“ඔයාට ගැලවිලා යන්න බෑ. ඔන්න මං ඔයාව හොයාගෙනම ආව”
කියල කල්පනී වීරකමකින් හිනා වෙනකොට එයා ඇත්තටම පව් කියල විතරයි මට හිතුනෙ.
“තමංවම අවතක්සේරු කරගන්න එපා කල්පනී. එක අතකින් අත්පුඩි ගහන්න බෑ නේද… අපේ සම්බන්ධය කන්ටිනිව් කරන්න බෑ කියල තේරුණ නිසානෙ මං ඒවගේ තීරණයක් ගත්තෙ. ඇත්තටම ඒක කන්ටිනිව් කරන්න බැරි තරමට ස්පොයිල් වෙලා ඉවරයි. මාව තේරුං ගන්න. ප්ලීස්…”
මං ආයෙමත් පැහැදිලිව එයාට ඒක කිව්ව.
“ඔයාට වෙන කෙල්ලෙක් ඉන්නවද…”
ඒ ගමන තියුණු බැල්මකින් එයා එහෙම ඇහුව. කල්පනී දිහාවට නැඹුරු වෙලා එයාගෙ මූණ කෙලින් බලාගෙන මං ඒක කිව්ව.
“ඔව්. මං කැමති කෙනෙක් ඉන්නව”
සකී ආන්‍යා තඹරවිල
වැලි මළුවෙහි බිම එරමිණියා ගොතාගෙන හිඳ මම බෝධි වෘක්ෂය දෙස බලාගෙන සිටියෙමි. ලෝකයේ කොතැනකත් නොවන නිරාමිස සුවයක් මට මේ බෝ මළුවෙහිදී දැනේ. එය මගේ ගෙදර මගේ කාමරයේ දී පමණක් දැනෙනා නිවන ට සමීප නිර්වාණ සනීපයකි. මේ වෙලාවේ සූර්යයා ආකාශ මුදුන තෙක් ගමන්කොට ඇතිවාට, බෝ පත් අතරින් පෙරී පුලින තලාව මත පතිත වන අවසරයක් හිරු කිරණට නොලැබේ. එතරම් ම බෝ පත් උඩු වියන ඝණ ය. මෙතැන මේ තරමට සුවදායක එනිසා ය. කාත් කවුරුත් නැතිව අහඹු දේවතා එළියක් වාගේ මෙහි විත් මළුවේ හිඳ සිටීම හිතට දුකක් පාළුවක් දැනෙනා බොහෝ වාර වල මම සිදු කොට ඇත්තෙමි. නමුත් අද හිත අරක්ගත් ශෝකය කුමක් ද?
පන්සල් පල්ලි තුළ දී ග්ලැසියරයක් වාගේ හිත මිදී යන්නේ කොහොමද කියා මා දන්නේ නැත. මහා සන්තාපයක් දරාගෙන එහි පැමිණී ද මඳ වෙලාවකින් දුක හිත පත්ලේ මිදී බොර ගතිය පෑදෙයි. හෙමි හෙමිහිට නිරවුල් වෙයි. බුදු මැදුරකදීත් දෙව් මැදුරකදීත් අපගේ ක්ශුද්‍ර භාවය වැඩි වැඩියෙන් දැනෙනා අධ්‍යාත්මික උස් බවක් විශ්වයෙහි වන බව දැනෙන්නට ගනී. මිනිසුන් ගේ වැඳුම් පිදුම් ඇදහුම් නිසාමදෝ පුද බිම් වල අමුතු ධන ආරෝපිත ශක්ති ප්‍රවාහයක් සංසරණය වේ. අප තුළ ඇති වන්නා වූ නිරාමිස ප්‍රීතියට හේතුව එකී ධන ආරෝපිත ශක්තිය අපේ ශරීර වලින් විහිදෙන්නා වූ ඕරාව හෙවත් ධන ආරෝපිත ශක්තිය සමග එක්වී වඩාත් ප්‍රබල වීම විය හැක.
බෑග් එක තුළ වූ ජංගම දුරකතනය හැඬවෙමින් තිබිණ. මා කලබලයෙන් එය පිටතට ගත්තේ දැහැන්ගත කෙනෙකුට ඒ හඬ බාධාවක් වෙතැයි බියෙනි. මේ කිසිවෙකු මට දුරකතන ඇමතුමක් දිය හැකැයි නො සිතෙනා වෙලාවක් බැවින් මා එහි ‘සයිලන්ට්’ දැමූයේ නැත. තිරය මත වූයේ ආදිල් ගේ නමයි!
“ආදිල්…”
මගේ කුතුහලය තීව්‍ර වන්නට ඇත.
“සකී… ඔයා වැඩකද…”
“නෑ. කියන්න ආදිල්”
“කියන්න විශේෂ දෙයක් තිබිලමත් නෙවෙයි. මං නිකමට කතා කළේ”
මා එතැන හිර වූවා සේ ය. ඔහු ගේ ඒ ප්‍රකාශය වෙනුවෙන් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ දැයි එකවර මට සිතා ගත හැකි වූයේ ද නැත. නමුත් මගේ මුවග ඉසිහින් මඳහසක් රැලිත්තක් තැනුවේ ය.
“ඔයා ගෙදරනෙ… කොහොමත් තව ටිකකින් ලන්ච් වලට එනව මං”
“මං ගෙදර නෙවෙයි ආදිල්”
“ආ ඔයා එළියට ගිහින්ද ඉන්නෙ… සොරි එහෙනං… මං තියන්නං සකී”
“නෑ නෑ තියන්න කියල නෙවෙයි මං කිව්වෙ. අනික වැඩකට එළියට ඇවිත් කියන්නත් බෑ. මං ඉන්නෙ බෙල්ලන්විල පන්සලේ”
“හදිස්සියෙම පන්සල් ආවෙ…”
ඔහු ඒ අසන්නට පටන් ගත් වේගය ප්‍රශ්නය අග තෙක් රැඳී තිබුණේ නැත.
“හදිස්සියක් නෙවේ ඉතිං… මං එහෙම එනව. හිතට පාළුවක් දුකක් කලබලයක් අමුත්තක් වගේ දැනෙනකොට ටිකක් ඇවිත් ඔහේ ඉඳල යනව. එතකොට හිත සන්සුන් වෙනව කියල මං දන්නව”
මා කීවේ මඳහසින් හෙමිහිට නැවතිල්ලේ ය. මං ගැන ම දුකක් මා තුළ තුනී මීදුමක් සේ පැතිරෙමින් තිබිණ.
“ඔයා අවුලෙන්ද සකී…”
“අනේ නෑ… මුකුත් අවුලක් නෙවේ. අවුලක් ඇති වෙන්න මට මුකුත් ප්‍රශ්නයක් නෑ කියල ඔයා දන්නවනෙ. ඒත් එහෙම තමයි. මොනවත්ම නැති වුණත් අපේ බයෝ කෙමිස්ට්‍රි එක වෙනස් වෙන වෙලාවල් තියනවනෙ…”
“මං එන්නද පන්සලට…”
යළිත් පපුව හිර වීමකට ලක් විය. මට උත්තර නැති ප්‍රශ්න ඔහු නාසා ඉන්නවා නම් වඩා හොඳ ය. එපා කියා වුව කියන්නේ කෙසේ ද?
“අනේ මන්ද ඉතිං… ඔයාට වැඩ ඇති නේද…”
නමුත් විනාඩි කිහිපයක් තුළ දී ඔහු මා ඉදිරියෙහි සිටියේ ය. වැලි බිම එරුණු රෝස පාට පතුල් සහිත දිගටි දෙපා ද උස් පාද ද දිග ඉහළට ගිය මගේ දෑස් ඉහළට හැරී ආදිල් ගේ නෙතු මත නාභි ගත විය. ඒ තරම් සන්තූෂ්ටිදායක සිනහවක් මගෙන් ගිලිහුණේ කෙසේ ද කියා මා දන්නේ නැත. ආදිල් ව මේ විදිහට දකින්නට ඔහු එනවා කී වෙලාවේ පටන් මසිත් හි ප්‍රාර්ථනීය බලාපොරොත්තුවක් තිබිණි ද? ඔහු මට අඟලක් දෙකක් දුරින් මළුවෙහි හිඳ දෑත් දණහිස් මත රුවාගත්තේ ය. මගේ සිරුරේ වම් පස ලේ ධාරාවෙහි උණුහුම වැඩි වෙමින් තිබෙනු දැනිණ.