“මාව විශ්වාස කරන්න කියල මං ඔයාට කියන්නෑ සකී. හැබැයි මේක බොරුවක්. මං කියන්න දන්නෙ එච්චරයි”
මගේ අත තදින් අල්වාගෙන ආදිල් එසේ මිමිණුවේ ය. ඔහු ගේ ඇස් වල වේදනාවක් විය. ඒ නිවැරදිකරුවෙකු වැරදිකරුවෙකු වීමේදී ඇති වන්නා වූ වේදනාව යයි මම සිතමි. ඔහු ගේ මුහුණේ මාංශ පේශියක් ගැස්සී වෙව්ලා ගියේ ය. දැන් දැන් ඔහු අංශභාග තත්වයකට පත් වනු ඇතැයි භීතියක් දැනී නො දැනී ගියේ ය. මම ඊළඟට මගේ ඇස් කල්පනී ගේ මුහුණ මත තබා විවර කළෙමි. ඇගේ කට කොනක සමච්චල් සිනහවක ඉසිහින් රේඛාවක් වූයේ ය. ආදිල් ගේ අතේ ග්‍රහණය ලිහිල් වනු මට දැනිණ. ඔහු ගේ ස්පර්ශයෙහි හදිසි සීතලක් ඇති විය. ඔහු බලාපොරොත්තු අත්හැර දැමුවේ ය. මා ඔහු විශ්වාස කරාවියි තව දුරටත් බලාපොරොත්තු තැබිය නො හැකි වනු ඇතැයි ඔහු සිතන්නට ඇත.
“ආදිල්”
මම ඉතා හෙමිහිට කතා කළෙමි. මගේ ස්වරය පොඩි බබෙකුට කතා කරන්නා සේ යයි මට ම සිතිණි. ඔහු ගේ මූණේ හැඬුම්බර ඉරියව් මට පෙනුණේ ඒ වෙලාවේ ය.
“මං ඇතුළට යන්න ගියේ මෙයාගෙ විකාර බලං ඉන්නවත් එයාගෙ විකාර කතා අහං ඉන්වත් ඕන නැති නිසා. එහෙම නැතුව මෙයා කියන දේවල් විශ්වාස කරගෙන නෙවෙයි. එයාට ඕන දෙයක් කියල යන්න කියන්න ආදිල්. ආ… අර ට්‍රයිශෝ එකට වේටින් වැටෙන්නෙ අපරාදෙ කියලත් මෙයාට කියන්න. මං ඔයාටයි ආච්චටයි තේ හදන්නං”
මා තුළ කොහේ කොතැනක එහෙව් හයියක් සැඟවී තිබුණා ද කියන්නට මා දන්නේ නැත. ආදිල් දෙසවත් නො බලා ඊළඟට මා කෙලින් ම ගියේ මුළුතැන්ගෙයටයි. වතුර කේතලයක් උඳුන මතින් තබා ඉක්මන් කොට නාන කාමරය තුළට වැදුණෙමි. දොර වසාගෙන මූණ සෝදන බේසමට බර වී කැඩපතින් පෙනෙනා මගේ මූණ දෙස බලාගතිමි. වැහි පීල්ලකින් වැහි වතුර ගලා එන්නා සේ මගේ ඇස් වලින් කඳුළු ගලා එන්නට ගත්තේ ඒ වෙලාවේ ය. දෙවියනි මේවා ගෑනු හිතක් කොහොම උහුලා ගන්න ද? ආදිල් ව විශ්වාස කරන්නට කැමති වී ද ඔහු ව විශ්වාස කරනවායි කල්පනී ට හඟවන්නට උවමනා වී ද මගේ හදවත පැලී යන්නට හදයි. මසිත කීතු කීතු කොට ඉරී යන්නට හදයි. ලේ ගලනා තුවාලයක් ඇතුළාන්තයේ වන්නා සේ මට රිදේ. කවුරුවත් හිතනවා වාගේ මා යකඩ හිතක් ඇති ගැහැනියක නොවන බව කෑ ගසා කියන්නට මට සිත් වේ. නමුත් මා ආදරය කරන අයගේ සතුට වෙනුවෙන් ඔවුන්ට කඳුළක් නො පෙන්වා ඉන්නට හැම විට ම මට උවමනා වේ. ඒත් මේ කඳුළු කෙසේ නම් මා තුළ හිර කරගන්න ද? මට හයියෙන් කෑගැසී හැඬිණි. නමුත් ඒ හඬ පිටතට නෑසෙනු වස් මගේ ම දෑතින් මුව තද කරගෙන සිටියෙමි. යළිත් මා පිටතට ගියේ හොඳට ම හඬා වැටීමෙන් පසු මුහුණ ද සෝදා පිස දා ගෙනයි. තේත්, මවිසින් ගෙදර ම සාදන ලද බටර් කේකුත් ගෙන මා යළි බරාඳයට යන විට කල්පනී නික්ම ගොස් තිබිණ.
“පුතාගෙ දෙමව්පියොත් එක්ක කතා කරල ඉක්මනට මේ දේවල් පිළිවෙලක් කරන එක හොඳයි කියල මට හිතෙනව පුතා. මොකද මේ සිද්ද වෙන දේවල් එච්චර හොඳ මදි. ඔය වගේ හැසිරෙන්න පුළුවන් ගෑනු ළමයෙක්ට කරන්න බැරි දෙයක්. මොකද ගෑනු ළමයෙක් විදිහට ආත්ම ගරුත්වයක් ලැජ්ජාවක් කියල දෙයක් ඒ ළමයට නැති නිසා. බයක් සැකක් නැතුව මේ විදිහට අපේ ගේ දොරකඩටත් එන්න පුළුවන් වුණානෙ. මං මේ පුතාට දොස් කියනව නෙවෙයි. චිංචි මානවිකාව දර මිටියක් බඩේ බැඳගෙන බුදු හාමුදුරුවො ධර්ම දේශනා කරන දම් සභා මණ්ඩපයක් ළඟට ඇවිත් කිව්වලු බුදුන් නිසා තමයි එයා බඩදරු වෙලා ඉන්නෙ කියල. ඉතිං එහෙම කරන්න පුළුවන් ගෑනු එදත් හිටිය අදත් ඉන්නව. අපේ මේ කෙල්ල පුතාව විශ්වාස කළේ නැත්තං තව ගැටළුවක්නෙ. ඒක නිසා අපි මේ ඔක්කෝම ප්‍රශ්න හරි ආකාරයට විසඳගන්න ඕන පුතා”
“මං දන්නව ආච්ච. මට තේරෙන්නැත්තෙ මෙච්චර කියලත් කල්පනී මේක තේරුං අරං පාඩුවෙ ඉන්නැත්තෙ ඇයි කියන එකයි. මං තව කොහොමද එයාට මේක තේරුං කරන්නෙ කියන එකයි”
“ඔව්. අපිට විසඳන්න බැරි සමහර ප්‍රශ්න සොබා දහමට තමයි විසඳන්න වෙන්නෙ. හැබැයි හැමදාම බොරුවට දිනන්න බෑ පුතා. අපි ඒ ගැන විශ්වාසෙන් ඉමු”
ආච්චා රෝද පුටුව හරවාගෙන බරාඳයෙන් කික්ම ගෙතුළට ගියේ අප දෙදෙනා ට පෞද්ගලිකව කතා කරන්නට ඉඩ ලබා දී යයි මම සිතමි. ආදිල් අසුන මගේ පුටුව ඉදිරියට ඇද මට සම්මුඛ ව හිඳ ගත්තේ ය. තත්පර කිහිපයක් ඔහු මදෙස බලා හිඳින්නට ඇත. මම කොතැනක හෝ හිර වී සිටියෙමි. වචන මුවට ආවේ නැත.
“සකී…”
ඔහු අත්‍යන්ත වූ ආදරයක් දැනවූයේ ය. නමුත් මගේ නේත්‍රා පිල්මකුදු සැළුණේ නැත.
“මං දන්නව මනුස්සයෙක්ට සීමාව ඉක්මවා හොඳ වෙන්න බෑ කියල. ඔයත් එහෙම වෙන්න ඕන නෑ. මට බනින්න සකී. මාත් එක්ක රණ්ඩු කරන්න. එහෙම කරල ඔය ප්‍රෙශර් එක එළියට දාන්න”
ඔහු සිය දෑතින් මගේ අත් දෙක ම අල්වා ගත්තේ ය.
“මට ඔයා ඕනෙ දෙයියනේ”
මම එහෙම ම ඔහු ගේ පපුවට බර වුණෙමි. කමිස බොත්තමක් මගේ අතට හසු විය. කමිස පපුව අත මිටට පොඩි වී යන්නට ඇත.
“මාත් මනුස්යෙක්… මට හරි අමාරුයි මේක දරාගන්න”
“මං දන්නව”
ඔහු ගේ අතැඟිලි මගේ හිස පුරා සැරුවේ ය.
“මට කල්පනීගෙ ප්‍රශ්නෙ ඉවරයක් කරන්න ඕනෙ. ඒත් මේ මනුස්සය ඒක කරන්න දෙන්නෑනෙ. ඉතින් කොහොමද මං ඒක කරන්නෙ කියල තේරෙන්නෑ. මොකද කෙල්ලෙක්ට විරුද්ධව පොලීසි ගිහින් කම්ප්ලේන් කරන්න කියලද…”
“කොහොම හරි විසඳං එන්න. මට ඔයාව තව කෙල්ලෙක් එක්ක ශෙයා කරගන්න ඕන්නෑ. කොහොම හරි විසඳං එන්න. ඒ වෙනකල් මාව අමතක කරල දාන්න”
දෙවියනි මා ඒ කීවේ කුමක් ද? ආදිල් සීතල වූයේ ය. අකුණු පහරක් වැදුණා සේ ඔහු සුදුමැළි වූයේ ය. මට මහත් පව්කාර හැඟීමක් දැනිණ. ඊළඟ නිමේශයේ මම ඔහු ගේ ගෙලෙහි එල්ලී සිටියෙමි.
“මට සමාවෙන්න ආදිල්. අනේ මට සමාවෙන්න. මට පිස්සු හැදෙන්න එනව වගෙයි දෙයියනේ”
“සකී… සකී… සකී… කාම් ඩවුන්. හරි මං මේක කොයි විදිහට හරි විසඳගන්නං. විසඳගෙන ඇවිත් ඔයාට කියන්නං. මට තේරෙනව රත්තරං. ඔයාගෙ හිතේ තියන ගින්දර මං දන්නව. ඔයා නොදන්නව වුණාට ඒ ගින්දරට මාත් පිච්චෙනව”
අපට ඕනෑ ම නැති ප්‍රශ්නයක් ඇවිත් හිත ළඟ හිර වූ කල ජීවත් වීමත් එපා වී යාම පුදුමයක් නොවේ. නමුත් තව දුරටත් අල්ලාගෙන සිටිය යුතු වග මම දැන සිටියෙමි. මා ආදිල් ගේ අතින් අල්වා ගත්තේ ඒ තරම් පහසුවෙන් අත්හැර දමන්නට නොවේ. මට දරා ගන්නට අසීරුත් ඒකම ය. කලපනී හින්දා මට ඔහු මුළුමනින් මගේයි සිතන්නට බැරි තත්වයක් උද්ගත වී තිබේ. නමුත් ඔහු අතැර අමතක කර දමන්නටත් බැරි ය.
ඊට පස්සේ ආදිල් වෙනස් ම චරිතයක් වූයේ ය. ඔහු මා සමගින් ප්‍රේමාලිංගන වලට ආවේ නැත. වෙනදා සේ ම ආච්චා සමග කතා බස් කළේ ය. දිවා ආහාරයට ගෙදර ආවේ ය. හවසට තේ බීවේ ය. රාත්‍රියට අප සමගින් ම කෑම ගෙන නිදන්නට ගියේ ය. අවශ්‍ය දේකට මා සමගින් ද කතා බහ කළේ ය. නමුත් ආදිල් කියන පෙම්වතා සඟවාගෙන සිටියේ ය. මට දරන්නට ම බැරි වූයේ එයයි. නමුත් ඔහුගෙන් මා ඉල්ලා සිටියේ එය නොවේ ද?
ඒ විදිහට දවසක් දෙකක් ගත කිරීම වසරක් දෙකක් ගත කිරීමටත් වැඩියෙන් අසීරු වූයේ ය. ඉපදුණු දා පටන් හැම හුස්මක් ම ඔහු සමග ම ගත්තා සේ මට අපහසුවක් දැනිණ. එකට ඇලී උන් ශරීර දෙකකින් මා වෙන් කරන්නට සැත්කමක් කළා සේ මම දුර්වල ව සිටියෙමි. ආදිල් ට රිද්න්නට කෑම මේසයට හිඳ නොගෙන සිටියෙමි. ආදරයෙන් ලං වී ඉන්නට බැරි වීම වෛරයක් බවට පෙරළෙන්නා සේ අන්තිමට මා මහත් නො රිස්සුමකට ලක් විය.
ආච්චා මදෙස බලා ඉන්නට ඇත. ආදිල් කර කියා ගත හැකි යමක් නොමැතිව සිටින්නට ඇත. උමතු වූ දින දෙකකට පසු රාත්‍රියෙහි මගේ ටෙඩියාව ද කනෙන් එල්ලාගෙන ඇවිත්, මහ දොර අඩවන් කරමින් මම ආදිල් ගේ කාමරයට ගියෙමි. ඔහු හිටියේ යහනේ උඩුකුරුව වැතිරීගෙන අතක් නවා හිසට යටින් තබාගෙන යි. මා මහ දොර වසා උඩු මහලට යනතුරු ඔහු කාමරයේ දොර වසන්නේ නැත. මා දැක වහා යහනෙන් නැගී සිටින්නට ගිය ඔහු පෙරළාගෙන මම ඔහු මතට පැන්නෙමි. ඊළඟට අත වූ ටෙඩියාගෙන් පහර දෙන්නට පටන් ගතිමි.
“මට ඔයා නැතුව ඉන්න බෑ කියල දැන දැන… දැන දැන මෙහෙම ඉන්නව. මහ දුෂ්ටයෙක් ඔයා. මැරුණත් ඇවිත් බෙල්ල මිරිකනව මං අර කල්පනී එක්ක ගියොත් එහෙම…”
ආදිල් සිනහ වෙමින් මගේ පහර වැළකුවේ ය. වෙහෙස දැනුණු පසු මම ඔහු මතට ම කඩාගෙන වැටුණෙමි. ආදිල් ගේ දෑත්, මා සිය පපුතුර මත අදරින් වැළඳගෙන තිබිණ. අපි මඳ වෙලාවක් නිහඬව එහෙම ම සිටියෙමු.
“ඒ ප්‍රශ්නෙ ඉවරයක් කරගෙනම ආයෙ ඔයා ළඟට එන්නයි මං හිතුවෙ ඉතිං”
“මට ඔයා නැති වෙන්නෙපා”
“නෑ මැණික”
“ආච්ච ඇරුණම දැං මට ඉන්නෙ ඔයා විතරයි”
“මං ඔයාට ඉන්වනෙ ඉතිං. අපි වැරැන්ඩා එකට යං. ආච්චා එළියට ආවොත් එහෙම… හරි නෑනෙ…”
“මං යනෝ… ඔයා නිදියන්න”
යහනෙන් බැස්සාට මට ඔහු දමා යන්නට සිතුණේ නැත. මහ දොර වසන්නට පෙර දෑතින් ම මම ඔහු බදාගතිමි.
“කොහොමද ඒක විසඳන්නෙ කියල මං දන්නෑ. හැබැයි කොහොම හරි විසඳනව කියල දන්නව. මාව විශ්වාස කරං ඉන්න”
ආදිල් මලක් වාගේ දෝතින් ගෙන මගේ මුව සිපගත්තේ ය.
“මං ඔය කල්පනීව ම ර නව”
දොර වසත්දී ඔහු ට රවාගෙන ම මට එසේ කියවී තිබිණ. ආදිල් ට සිනා ගියේ ය.
“එයා දන්නෑ මගෙ හැටි”
මා එසේ මිමිණුවේ පිය ගැට පෙළ නැගෙනා ගමන් තනිවම ය.