අමන්දි හවස ලොකු අම්මලගෙ ගෙදර තියෙන පාටි එකට යන්න සූදානම් වුනේ හරි සන්තෝසෙන්. ඔෆිස් ඉවර වෙලා ඇවිත් ටක්ගාලා වොශ් එකක් දාගෙන හවස තියෙන පාටි එකකට මැච් වෙන විදියට රෙඩි උනේ ඇත්තටම සන්තෝසෙන්.
හෙට සෙනසුරාදා නිසා ඉතින් අද රෑට ඇතිවෙන්න විනෝද වෙන්න පුලුවන්.
පාටි එකට ගැලපෙන්න ඇඳලා, මේක් අප් දාලා පොඩි හෙයා ස්ටයිල් එකකුත් දාගෙන අමන්දි ලොකු අම්මලගෙ ගෙදර සාලෙට ගියේ පුදුම තරම් සන්තෝසෙන්, තමන් ගැනම හිතේ ඇතිවෙච්ච නිහතමානී ආඩම්බරයක් එක්ක.
ඒත් ඒ සතුටයි, ආඩම්බරෙයි බිඳෙන්න ගියේ විනාඩියකටත් වඩා අඩු කාලයක්.
“අපෝ මොකද අමන්දි මේ ඔයාගෙ හැටි”
“කැතවෙලානෙ, මහතුත් වෙලා, කනවා වැඩිද? ඔය විසි ගණන්වලදි ඔහොම නම් අපෝ තිස් ගණන් කිට්ටු වෙද්දි හරි කැත වෙයිනෙ”
පුංචි අම්මා එහෙම කියාවි කියල අමන්දිගෙ තුන් හිතකවත් බලාපොරොත්තුවක් තිබුනෙ නෑ. අමන්දිට හිතුනෙ මහ සෙනගක් මැද්දෙ තමන්ගෙ ඇඳුම් ගැලවුනා වගේ. කියාගන්න ඕන මොනවද කියල හිතාගන්නවත් බැරුව උන්න අමන්දිට දැනුනෙ තමන්ට හුස්ම ගන්න අපහසුයි වගේ.
මේ මෙහෙම වෙච්ච පලවෙනි වතාව නෙවෙයි කියල අමන්දිට අමතක නෑ. තමන් තරුණ වයසෙ ඉඳල මොනවා ඇන්දත්, මොනව කරත්, මොන විදියට හැසිරුණත් තමන්ගෙ නෑදෑයො කවදාවත්ම තමන්ගෙ හොඳක්, ලස්සනක්, කිව්වෙම නෑනෙ කියලා අමන්දිට මතකයි.
මීට කලින් වතාවකත් ඔහොමම උනානෙ.
එතකොට අමන්දි ඉස්කෝලෙ යනවා. ඒ වයසෙදි ඉතින් යාලුවො අතරෙ ට්‍රෙන්ඩ් වෙලා තිබුන ටී ශර්ට් ඩිසයින් එකක් අමන්දිත් අරගෙන තිබුනා. පවුලේ හැමෝම එක්ක ගිය ඒ ට්‍රිප් එකෙදි අමන්දි ඇන්දෙ ඒ ටී ශර්ට් එක. ඒ දවස්වල පාරට බැස්සම පොඩි කෙල්ලො ඇඳගෙන යන්නෙම ඔය ටී ශර්ට් එක නිසා ඒක ගන්නවට අම්මා මුකුත් කිව්වෙත් නෑ. ඉතින් අමන්දි ඒ ඇඳුමෙ වරදක් දැක්කෙත් නෑ.
ඒ උනාට එදත් ඔය විදියටම කවුරුහරි ඔහොම කිව්ව අමන්දිට මතකයි.
“මොකද්ද ලමයො ඔය ඇඳගෙන ඉන්නේ? වස කැතයිනේ. ඔක්කොටම වඩා ඔයා මහත නිසා ඒ ඇඳුම මහ අජූතයි”
ඒ දවස්වල පවා එහෙම කෙනෙක් දෙයක් කිව්වම තමන් ඒක ඉස් මුදුනින් පිළිගත්තා වගේම “අනේ මම මහ කැත, මෙලෝ වැඩකට නැති කෙනෙක්” කියල හිතුන හිතුවිල්ල තමයි අමන්දිව මානසික උපදේශනයට අරගෙන එන්නෙ.
“පුංචි කාලෙ ඉඳල මට කවදාවත් මගෙ ගැන හොඳක් අහන්න ලැබිල නෑ. මම මොන විදියට ඇන්දත්, කොච්චර බ්‍රෑන්ඩඩ් දේවල් ඇන්දත් කවදාවත් මගෙ ලස්සනක් කවුරුවත් දැක්කෙ නෑ. පොඩි කාලෙ නම් නැන්දලට බය නිසා මම ඒවට කටවහගෙන හිටියට දැන් රස්සාවක් කරන මනුස්සයෙක් වෙලත් ඇයි මට බැරි එයාල කියන ඒව ගණන් ගන්නෙ නැතුව ඉන්න, එහෙම නැත්තම් දෙයක් කියන්න කියල මට හිතාගන්න බෑ.
මට Self confidence කියන දේ පොඩ්ඩක්වත් නෑ. මට ඕන ඒක හදාගන්න. මොකද මාව මාරෙට හැමතිස්සේම, පවුලෙ අය අතරෙ විතරක් නෙවෙයි ඔෆිස් එකේදිත් මේ නිසා මාව හරියට condemn වෙනවා. මම කියන දෙයක් කිසිම කෙනෙක් අහන්නෙ නෑ. මට කිසිම කෙනෙක්ට නෑ,බෑ කියල කියන්න Confidence නෑ. ඒ නිසා අන්තිමේ මම මාර ස්ට්‍රෙස් එකක ඉන්නෙ. මට මාර ප්‍රෙශර් එකක් දැනෙනවා”
මේ ප්‍රශ්නෙ මට අහන්න ලැබුන අවස්තාව නෙවෙයි මේ. මේ වගේ දේවල් අපිට නිරතුරුවම අහන්න ලැබෙනවා.
“ඔයාට කවුරුහරි එහෙම කැතයි, ඇඳුම හරි නෑ කියල කිව්වම ඔයා මොකද කියන්නේ?”
මම අමන්දිගෙන් එහෙම ඇහුවෙ ඇත්තටම පුදුමයෙන්. අමන්දි හරිම ලස්සන, ලස්සන නේල් ආර්ට් කරල, ලස්සනට අඳින පලඳින ළමයෙක්. එහෙම ළමයෙක්ට කැතයි කියන්න ඇත්තටම කෙනෙක්ට හිතෙන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙ මට නොතිබුනා නෙවෙයි.
“මට ඇත්තටම ඒ වෙලාවට කියාගන්න දෙයක් නෑ. මම මාර ඉක්මනට එතකොට panic වෙනව. මොනවද කියන්න ඕන කියල දහ අතේ හිතුවට මට කරන්නවත් කියන්නවත් දෙයක් හිතාගන්න බෑ
සමහරවිට ඒ මම පොඩි කාලෙදිම තමයි මට මේ දේවල් අහන්න ලැබුනෙ. මට ඒ කාලෙ කොහොමත් පුලුවන් කමක් තිබුනෙ නෑ එහෙම කියන අයට විරුද්ධව මුකුත් කියන්න. දැන් මට ඒක පුරුද්දක් වෙලා”
මේ ගැටලුව සමහරවිට ඔබෙ ජීවිතයටත් ලොකු ගැටලුවක් වෙලා තිබෙන්න පුලුවන්. ගැටලුවක් කියනවටත් වඩා ජීවිතේ ඉදිරියට යන්න බාධාවක් විදියට සමාජය අපිට කියන දේවල් මම දකිනවා.
අමන්දි ඇත්තටම ලස්සන ළමයෙක්. වයසට ගැලපෙන විදියට අඳින පලඳින, හොඳ රස්සාවක් කරන කෙනෙක් වෙලත් අතීතයේ ඉඳල තමන්ගෙ නෑයන්, වටපිටේ ඉන්න අය කියන දේවල් සියයට සියයක් ඇත්ත කියලා අමන්දි හිතපු එකම එයාට සතුටෙන් ඉන්න, ජීවිතේ ඉදිරියට යන්න බාධාවක් වෙලා තියෙනවා.
අපි වටපිටාවෙ ඉන්න මිනිස්සු අපිට කියන දේවල් වලක්වන්න බෑ. අපි ඒව ගණන් නොගෙන ඉන්න ඕන කියල මොනතරම අවවාද උපදෙස් දුන්නත් සමහරවෙලාවට අපිට ඒක එහෙමම ක්‍රියාත්මක කරන්න බෑ. එකම දේ නැවත නැවත ඇහෙද්දි අපි විශ්වාස කරන්න පටන් ගන්නවා ඒ කියන දේ ඇත්ත කියල. ඒ වගේ අපි නිතර නිතර මුහුණ දෙන දේවල් අපේ ආත්ම ශක්තිය, Self Confidence අඩු කරන්න හේතුවක් වෙනවා.
කෙනෙක්ගෙ කැත ලස්සන, අඩුපාඩු අපි දකින බව ඇත්ත. ඒත් කෙනෙක්ගෙ හිත රිදවන අන්දමට, මානසික මට්ටම, ආත්ම විශ්වාසය බිඳ වට්ටන විදියට “ඔයා හරි කැතයි, ඇයි මේ මහත්වෙලා” වගේ Negative දේවල් අපි එයාලගෙ මූණටම කියන්න ඕනද?
අපිට පුලුවන් නේද කෙනෙක්ගෙ ලස්සනක්, හොඳක් අපි නොදකිනවනම් ඒ අඩුපාඩු එයාගෙ හිත රිදෙන විදියට, මානසික මට්ටම බිඳ වට්ටන විදියට නොකිය ඉන්න?
නමුත් අපි හරි කැමතියි කෙනෙක්ගෙ අඩුපාඩු පෙන්නල දෙන්න, ඇඟිල්ල දික් කරලා “ඔයා හරි කැතයි” කියල පෙන්නල හිනාවෙන්න. එහෙම කරද්දි අපි කිසිම මොහොතක හිතල තියෙනවද “එයාගෙ අඩුපාඩු පෙන්නද්දි මගෙ අඩුපාඩු කොච්චර තියෙනවද කියල?”
අමතක කරන්න එපා, තව කෙනෙක්ගෙ එක අඩුපාඩුවක් අපි දකින එකම අපි ලඟ තියෙන ලොකුම අඩුපාඩුවක් අමනුස්සකමක් බව.
හැමතිස්සෙම උත්සහ කරන්න කෙනෙකුගෙ හිත සනසන වචනම කියන්න. හිතා මතා නොපෙනෙන අඩුපාඩු නොපෙන්වා ඉන්න.
මතක තියාගන්න,
ඔයා වෙන කෙනෙක්ගෙ බොරු අඩුපාඩු පෙන්නද්දි මිනිස්සු තේරුම් ගන්නෙ ඔයා එහෙම කියන්නෙ ඔයාට එයාට තරම් දේවල් නැති ඉරිසියාවට කියල
මතක තියාගන්න,
ඔයා වෙන කෙනෙක්ගෙ අඩුපාඩු යහපත් සිතකින් දකින්නෙ නෑනෙ. ඉතින් අයහපත් සිතුවිලි පිරිච්ච හිත ඔයාගේ මූණෙන් පේන බව. සමහරවිට අනුන්ට කැතයි කියන ඔයාගෙ සිතුවිලි ඔයාව මාර අවලස්සන මනුස්සයෙක් කරන්න පුලුවන් බව.
ඉතින් හොඳ වචනම කියන්න. හොඳ දේම හිතන්න. හොඳ දේවල්ම පතුරන්න. ඒ ඔස්සේ ඔයාව යහපත් කෙනෙක් වගේම, සොඳුරු ලස්සන කෙනෙක් කරාවි.
ජීවිතේ කියන්නෙ චක්‍රයක්. අපි අද වෙන කෙනෙකුට දික්කරන ඇඟිල්ල හෙට අපි දිහාවට දිගුවෙන්න පුලුවන් බව අමතක කරන්න එපා!
ReplyForwardAdd reaction |