තාවකාලික ආදර කතාවක් නිසා හිත රිදවාගත් තරුණියක්..

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

නිත්‍යා හිටියෙ මානසිකව සෑහෙන වැටිල. ජීවිතේ මෙතනින් නතර කරගන්න පුලුවන් නම් මොනතරම් හොඳ ද කියල හිතිච්ච වාර අනන්තයි. එහෙම මැරිල ගියානම් මේ දුකෙන් තමන්ට සදහටම මිදෙන්න පුලුවන් නේද කියල නිත්‍යාට හිතිච්ච වාර අනන්තයි.

නිත්‍යා සේනකගෙන් ඩිවෝස් උනේ සේනක එකම වරද දෙතුන් පාර කරපු එක. වෙන වරදක් නම් සමාව දෙන්න පුලුවන් කමක් තිබුනත් තමන්ව කසාද ජීවිතේ ඇතුලෙ දෙතුන් පාරක්ම රවට්ටනව අහුවුනාට පස්සෙත් තව දුරටත් සේනකට සමාව දීලා තේරුමක් තියෙනවද කියල නිත්‍යා නිතර නිතර හිතුවා.

සේනක – නිත්‍යා ඩිවෝස් උනේ අන්න ඒ හන්දා. ඒ කසාදෙ ඇතුලෙ කිසිම දවසක තමන්ට ආදරයක් කියල දෙයක් ලැබිලම නෑ නේද කියල නිත්‍යාට තේරුම් ගියේ ඩිවෝස් වෙලා අවුරුද්දකට විතර පස්සෙ භාෂිතව හම්බුනාම.

“භාෂිත කියන්නෙ ඕනම ගෑණියෙක් ආදරයෙන් පිස්සු වට්ටන මිනිහෙක්” කියල නිත්‍යා හිතුවා. නිත්‍යා වගේම භාෂිත උන්නෙත් ජීවිතේ දහසක් හැල හැප්පීම් වලට ලක්වෙලා. ටිකෙන් ටික බිඳීගෙන යන විවාහ ජීවිතයක් අස්සෙ හිරවෙලා උන්නු භාෂිත මේ ලෝකෙ නිවනක් ලැබුවනම් ලැබුවෙ නිත්‍යා හන්දා. නිත්‍යාටත් එහෙමයි. කසාද බැඳල උන්නත් ආදරයක් කියල දෙයක් නොලබපු කෙනෙක් විදියට නිත්‍යාට භාෂිතගෙ ආදරය, කරුණාව ඇත්තට හිතේ තිබ්බ වේදනාව සමනය කරන “පේන් කිලර්” එකක් උනා.

“වයිෆ්ගෙන් ඩිවෝස් එක ගත්තට පස්සෙ අපිට බඳින්න පුලුවන් නිතී. එයා බබාලවත් භාරගන්න කැමති කියනවා”

භාෂිතගෙ ඩිවෝස් එක ලැබෙනකම්ම නිත්‍යා භාෂිත එක්කම හිටිය. භාෂිත කිව්ව හැම වචනයක්ම ඇඳහුවා. භාෂිතට ආදරේ කරා.

ඒත් ඒ එක දවසක් වෙනකම් විතරයි.

“ඇයි භාෂිත ඔයා ඊයෙ මාව මීට් වෙන්න ආවෙ නැත්තෙ?”

නිත්‍යා කතාකරේ භාෂිත අවුලක ඉන්නව කියල තේරිච්ච හන්දා. ඒත් භාෂිත උන්නු ප්‍රශ්නෙක වගේ.

“මට ඔයාට කියන්න දෙයක් තියෙනව”

“මොකද්ද?”

“මාලි කියනව අපි ආයෙම වතාවක් අපේ රිලේශන්ශිප් එක, මැරේජ් එක ගැන හිතල බලමු කියල”

“ඇයි ඒ?”

“එයා කියනව අපි ඩිවෝස් වෙන එක දරුවන්ට කවදහරි නරක විදියට බලපාන්න පුලුවන් කියල?”

“ඉතින් ඔයාලා ඩිවෝස් වෙන මුලින්ම ඩිසයිඩ් කරද්දිත් බබාල හිටියනෙ, එතකොට එයාට ඕව හිතිල නැද්ද? දැන් ඇයි මේ හදිසියෙම එයා ආයෙ මේ ගැන හිතමු කියන්නෙ?”

“එයා කියන දේ වරදක් නෑ නේද නිත්‍යා? දරුවො පොඩි කාලෙ මූන දෙන දේවල් එයාලා ලොකු වෙද්දි ට්‍රෝමා වෙන්න පුලුවන්. අපේ මොන වැරදි තිබුනත් දරුවො ගැන හිතද්දි අපිට ඒව අමතක කරන්න පුලුවන් වෙන්න ඕන”

“ඉතින් ඇයි ඔයාලට ඒව මුලින් හිතන්න බැරි උනේ. මාත් එක්ක යාලුවෙන්න කලින් හිතන්න බැරි උනේ. මම ඔයා එක්ක යාලුවුනේ ඔයා එයාගෙන් ඩිවෝස් වෙනව කියල කිව්ව හන්ද”

“හරි නිත්‍යා ඔයාට මම නැති උනා කියල වෙන කෙනෙක් හොයාගන්න…”

“භාෂිත ප්ලීස් ඔයාට මට වඩා හොඳ කෙනෙක් හොයාගන්න පුලුවන් වගේ බොරු බයිල ගහන්න හදන්න එපා. ඔයා දැන් තනියම ඩිසිශන් එකක් අරගෙනනෙ ඇවිත් තියෙන්නෙ නේද? මේ ආවෙ අර මට කියල යන්න වගේනෙ? ඇයි මාව මෙහෙම අසරණ කරේ? මගෙ ගෙදර අයත් දන්නව ඔයාගෙයි මගෙයි අෆෙයාර් එක ගැන.මම කොහොමද දැන් ඒ මිනිස්සුන්ට මූණ දෙන්නෙ?”

බාතෘම් එකේ කණ්නාඩියෙන් තමන්ගෙ මැලවිච්ච මූන බලාගෙන ඉන්න ගමන් නිත්‍යා ට භාෂිත එක්ක අන්තිමට කතා කත හැම වචනයක්ම ආයෙ ආයෙ මතක් උනේ. ඒ මතකය තමන්ව ටිකෙන් ටික පිස්සු වට්ටන බව තේරිච්ච හන්දමයි නිත්‍යා මගෙ ළඟට ආවෙ. ඒ එනකොටත් නිත්‍යා හිටියෙ හොඳටම ඩිප්‍රෙස් වෙලා. ජීවිතේ ගැන කලකිරිලා.

“මම හිතුවෙ ඇත්තටම භාෂිත හැමදාම මගෙ ලඟ ඉඳිවි කියල. මට හිතාගන්න බැරිඋනා එයා ඇවිත් කියද්දි එයා ඩිවෝස් වෙන්නෙ නෑ කියල, මට දැනුනෙ එයා මාව උස කන්දක මුදුනකට ගෙනල්ල අතෑරල දැම්ම වගේ. මම දැන් මොකද කරන්නෙ? මට ආදරෙයි කියල මම හිතපු මනුස්සය මට මෙහෙම රිද්දුවනම් අනිත් මිනිස්සු මොනව නොකරයිද?”

නිත්‍යා ඩිප්‍රෙස් වුන හේතුව එහෙම නැත්තම් රූට් කෝස් එක හොයාගෙන යද්දි මට තේරුන දෙයක් තමයි සේනකගෙන් ඩිවෝස් වෙලා භාෂිතට ලංවෙද්දි නිත්‍යාට ලැබුන දේ දැනුන දේ ආදරේ. සේනක නොදුන්න ආදරයක් භාෂිත නිත්‍යාට දුන්නා. නිත්‍යා එයාගෙ හිතේ සේනක නිසා ඇතිඋන දුක, රැවටීමේ වේදනාව නැතිකරගන්න පේන් කිලර් එක විදියට පාවිච්චි කලේ භාෂිතගෙ ආදරේ.

ඒත් සබඳතාවයක් ඇතුලෙ උන රැවටීමකට අපි කරන්න ඕන හිත හදාගන්න එක මිසක්, ඒ වේදනාව තාවකාලිකව වහගන්න, සමනය කරගන්න වෙන කෙනෙක්ට ලං වීම එහෙම නැත්තම් වෙන කෙනෙකුගෙන් ලැබෙන ආදරය පේන් කිලර් එකක් කරගන්න එක නෙවෙයි.

අපි ලෙඩකට ගන්න පේන් කිලර් එකෙන් අපේ ලෙඩක් නිට්ටාවටම සුව වෙන්නෙ නෑ ඒ මොහොතෙ තියෙන වේදනාව අඩු වෙනව විතරයි. ආදරය, ජීවිතය, විරහව කියන්නෙත් ඒ වගේ. බැඳීමක් බිඳීම නිසා ඇතිවෙන වේදනාව නැතිකරගන්න බෑ කීයටවත් තව කෙනෙක්ට ටක් ගාලා ලංවෙලා. ඒක තාවකාලික සැනසුමක් විතරයි. ඒ දෙවනියට ලං උන කෙනත් අපිව රැවැට්ටුවොත්, දාලා ගියොත් අපි කලින් වගේම ආයෙම හිත රිද්දගන්නව.

ඒක හරියට රෑ වැටුණ වලේ දවාලෙ ඇස් දෙක ඇරගෙන ගිහින් වැටෙනව වගේ වැඩක්.

ඒ නිසා ජීවිතයේ කිසිම ප්‍රශ්නයකට පේන් කිලර්ස් එහෙම නැත්තම් තාවකාලික විසඳුම් හොයන්න එපා. ඒකෙන් ඔයාට ලැබෙන සැනසුම තාවකාලිකයි. හිත රිදවන ප්‍රශ්නයක් තියෙනම් ඉස්සෙල්ල ඒ ප්‍රශ්නෙට තුඩු දුන්න හේතුව නැති කරගන්න මහන්සි වෙන්න. හිත හදාගන්න, ඔයා වෙනුවෙන් කාලය වැය කරන්න.

තාවකාලික සැනසුමක් වෙනුවට දීර්ඝකාලීන නිවීමක් හොයන්න!

Related Articles

Don't Miss


Latest Articles