අවංක ආදරය ඔප්පු කරන්නට දෛවෝපගත ගමනක් ගිය Shiddat

ආදර කතාවක් සන්තෝසෙන්ම අවසන් වෙන්න පුලුවන්ද?

ඒ වගේම සැබෑ ආදරය ඔප්පු කරන්න අපිට පුලුවන්ද?

ආදරය ඔප්පු කරන්න යන ගමනක් මරණයෙන් කෙලවර උනොත් ඒ ආදරය සැබෑ ආදරයක් කියල කෙනෙක්ට පිලිගන්න පුලුවන් කමක් තියෙනවද?

මම අද කතා කරන්න යන්නෙ සැබෑ ආදරය ඔප්පු කරන බලාපොරොත්තුවෙන් නොඑන ගමනක් ගියපු අපේ කාලයේ ආදර වන්තයෙක්ගෙ කතාවක් ගැන.

කෙනෙක්ට නිකන් මිනිස්සුන්ව ආදරේ කරන්න බෑ නේද? කතාවක් තියෙනවනෙ, “ආදරයේ මල් පිපෙන්නේ නිකම්ම නෙවෙයි ඒක ඊට වඩා සංකීර්ණ දෙයක්” කියල. ඔස්කාර් වයිල්ඩ් ට අනුව නම් මලක් පිපෙන්නෙ සතුට වෙනුවෙන් කියනවනෙ.

ආදරයත් ඒ වගේ. ආදරය නිසා වේදනාව, විරහව, කඳුලු ගැන අනන්ත අප්‍රමාණ කතන්දර අපි අහල තිබුණට ආදරේ සන්තෝසෙ ගැන කතන්දර අපි අහල තියෙන්නෙ හරිම අඩුවෙන්.

සෙලියුලොයිඩ් මත නිරූපනය වන සියලුම ආදර සබඳතාවයන් තුළ, ඒ සියල්ල ආරම්භ වන්නේ ආලවන්ත හැඟීම් පෑමෙන්, වගේම අර “Love at fist sight” කියන කතාව මූලික කරගෙන නේ. ඒ විදියට ආරම්භ වෙන ආදර කතාවල ඉන්පස්සෙ පිරිමි ළමයා හෝ ගැහැණු ළමයා එකිනෙකාගේ අවධානයට ලක් උනයින් පස්සෙ, ඔවුන් අනෙක් පුද්ගලයා සතුටු කරන දේ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් තමයි තමන්ගෙ නේ සබඳතාවය පටන් අරගෙන ඉස්සරහට අරගෙන යන්නෙ. ඒක හරියට අර ආදරය කියන සංසිද්ධියේ හනිමූන් පීරියඩ් එක වගේනේ. එයා ආස දේවල් ඔයා බොනවා, ඔයා ආස පාට එයා අඳිනව වගේ හරි ලස්සන, මල් වගේ සුකුමාල, මි පැණි වගේ රහ කතා තමයි දෙන්න අතර හුවමාරු වෙන්නෙ.

ඉන්පස්සෙ තමයි කසාදය කියන මාතාව ඔය ආදරේ අස්සට රිංග ගන්නේ. දෙන්නට දෙන්න කොච්චර කම්ෆටබල් ද, එකිනෙකා අනිත් කෙනාට දක්වන සැලකීම, සොයා බැලීම කොපමණද කියන කාරණා ලොකුවටම බලපාන්නෙ අන්න ඒ කොටසෙදි.

මේ චිත්‍රපටයේ නම Shiddat. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ කුනාල් දේස්මුක්.

මේ චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයට කියන්නෙ ආදරේ හදවතින්ම කරොත් ඒ ආදරේ අවසානය කුමක් වුණත්, තමන්ගෙ කැපවීමට අගයක් තියෙන බව.

අනික් හැමදෙයක්ම වගේම ආදරේ කරන්නත් කැපවීමක් තිබිය යුතු බව.

සමාන්තර ආදර කතා දෙකක් එකවර දිග හැරෙන මේ චිත්‍රපටය අවසානයේ අවංක ආදරයට තමන්ව මොන තරම් දුර අරගෙන යන්න පුලුවන්ද කියල අපිට කියල දෙනවා.

ඒ  සැබෑ ආදරය ඔප්පු කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙ අපේ හිත අස්සෙ පැලපදියම් කරගෙන.

ජග්ගි කියන්නෙ දක්ෂ හොකී ක්‍රීඩකයෙක්. ක්‍රිතිකා කියන්නෙ පිහිණුම් ක්‍රීඩිකාවක්.

ස්විමින් පූල් එකේ ඉඳල කාර්තිකා එනව දකින ජග්ගිගෙ හිතේ ක්‍රිතිකා ගැන ආදරයක් ඇතිවෙන්නෙ “Love at first sight” කතාව ඇත්තක් කියල ඔප්පු කරන්න වගේ.

මේ ආදර කතාව සම්පූර්ණයෙන්ම බලගැන්වෙන්නෙ ජග්ගිගෙ පැත්තෙන්. ක්‍රිතිකා එහෙමකට කියල උනන්දු වෙන්නෙ නෑ. ඒකට හේතුව ක්‍රිතිකා ඒ වෙද්දිත් වෙන කෙනෙක් එක්ක එන්ගෙජ් වෙලා ඉන්න එක. ඒත් ජග්ගි වගේ ආතල් කොල්ලෙක්ගෙ යාලුකම ඒ හේතුව නිසා නැති කරගන්නත් අකමැති වන ක්‍රිතිකා ජග්ගිව යාලුවෙක් දුරින් තියාගන්නව. දෙන්න එකට විනෝද වෙනවා, කල්බ් යනව, නටනව, සිංදු කියනවා.

ඒ වගේ විනෝදෙන ගෙවෙන එක දවසක් ඉවර වෙන්නෙ බොහොම අනුරාගී රැයකින්. ක්‍රිතිකා සහ ජග්ගි ශාරීරිකව එක්වෙලා. ජග්ගි ඒ හැඟීම් විඳගන්නෙ ආදරයෙන් උනාට ක්‍රිතිකා දන්නව තමන්ගෙ ඇත්ත තත්ත්වෙ.

ක්‍රිතිකා තමන්ගෙ බෑග් ඔක්කොම ලෑස්ති කරගෙන ආපහු ලන්ඩන්වලට යන්න හදද්දි ජග්ගි එනවා.

“මම එන්ගේග් වෙලා ඉන්නෙ වෙන කෙනෙක් එක්ක”

ඒ තමයි ක්‍රිතිකාගේ උත්තරේ. ප්‍රශ්නයක් අහන්නෙවත් නැතුව ක්‍රිතිකා දුන්න ඒ උත්තරේට ජග්ගි අහන්නෙ ප්‍රශ්නයක්.

“එතකොට එදා අපි දෙන්න එකතු වුනේ ආදරෙන් නෙවෙයිද?”

චිත්‍රපටය ආරම්භ වෙන්නේ ජග්ගි ගෞතම් ගෙ සහ ඉරාගෙ මගුල් ගෙදරට බලෙන් කඩන් පැන්න එකෙන්. එහෙම බලෙන් ආව ජග්ගිව එලියට ඇදල දාන්න හදද්දි තමයි ජග්ගිට තමන්ගෙ ජීවිතේ වෙනස් කරන කතාව අහන්න වෙන්නෙ. ඒ ගෞතම්ගෙ හඬින්. ගෞතම් මනමාලය විදියට තමන්ගෙ මංගල උත්සවයෙදි ලස්සන කතාවක් කරනවා. ඒ කතාව ජග්ගිට උදව්වක් වෙන්න තමන්ගෙ ජීවිතේ පරමාර්තය සැබෑ ආදරය බව වෙනස් කරගන්න.

ආදරේ කියන්නෙ අපිට අපෙ පෞද්ගලික ධනයක් කියල හිතල කූඩු කරල තියන්න පුලුවන් හැඟිමක් නෙවෙයිනේ. ඒ නිසාමයි ජග්ගි තමන්ගෙන් වෙන් වෙලා ගිය තමන්ගෙ සැබෑ ආදරය වෙච්ච ක්‍රිතිකාව හම්බෙන්න නීති විරෝධි විදියට ලන්ඩන්වලට යන්න හදන්නේ.

ක්‍රිතිකා අහිමිවීම නිසා කලකිරීමෙන් ඉන්න තමන්ගෙ හිතට සැනසීමක් ගෙනත් දෙන්න හිතාගෙන ජග්ගි මේ ගමන යන්න පුලුවන් විදිය ගැන උපදෙස් ඉල්ල ගන්නෙ තමන්ගෙ ජීවිතේ වෙනස් කරන්න වචන හසුරවපු යාලුවා ගෞතම්ගෙන්. ඔව් ගෞතම් ජග්ගිට උදව් වෙනවා ලන්ඩන්වලට යන්න. ක්‍රිතිකාගෙ විවාහයට කලින් ලන්ඩන් වලට ගිහින් තමන්ගෙ ආදරේ අවංක බව ක්‍රිතිකට ඔප්පු කරන්න.

ක්‍රිතිකා තමන්ගෙ විවාහයට සූදානම් වෙද්දි, නීති විරෝදි විදියට ජග්ගි ලන්ඩන්වලට යන්නෙ ප්ලේන් එකක රෝද තියෙන කොටසෙ හැඟිලා. පොඩි තීරුවක් වගේ කෑල්ලක, අඩි දහස් ගණනක් උඩ, සීතලෙන් මිරිකිල ක්‍රිතිකා හොයාගෙන යන ජග්ගිට ලන්ඩන්වලදි තමන්ගෙ ආදරේ අවංක බව, තමන් ආදරේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම් කෙනෙක් බව ඔප්පු කරන්න පුලුවන් වෙයිද?

එහෙම ඔපු කරත් ඒ ආදරේ පිලිගෙන තමන්ගෙ විවාහය මග නතරකරන්න ක්‍රිතිකා කැමති වෙයිද?

ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඔයා Shiddat බලන්නම ඕන.

ඒ චිත්‍රපටය පුරාවටම අපි දකින්නෙ අවංක ආදරයක ප්‍රතිමූර්තියක්ද එහෙම නැත්තම් තමන්ගෙ ජීවිතේ දෙවනි තැනට දාල ආදරේ හොයාගෙන දෛවෝපගත ගමනක් ගිය තරුණයෙකු ගෙ කතාවද කියල තීරණය කිරීම ඔබට භාරයි.

අමතක කරන්න එපා.

මේක ඇස්වලට කඳුලු අරන් එන චිත්‍රපටයක්. ඉතින් බලන්න – ආදරේ අහන්න දකින්න – Shiddat එක්ක.

Related Articles

Don't Miss


Latest Articles