මහිලාගෙයි සත්සරගෙයි වැඩිමහල් දරුවා විහඟ. පොඩි කාලේ ඉඳලාම විහඟ සහකම්පනය කියන ගුණාංගය පුහුණු කරපු දරුවෙක් . විහඟට ඒ හුරුව ආවේ මහිලාගෙනුයි, සත්සරගෙනුයි කිව්වාට ඒකේ වරදකුත් නෑ. පහ වසර වෙනකොට විහඟ අධ්‍යාපන කටයුතු වලට වගේම විෂය භාහිර කටයුතු වලටත් සෑහෙන්නම ඉදිරිපත් වුන දරුවෙක්.
සිරිපාලයි, කරුණාවතියි තමයි මහිලාගේ ගෙදර උදවුවට එන්නේ. සිරිපාල වත්තේ වැඩ බලාගන්න අතරේ, කරුණාවති ගෙදර වැඩ කටයුතු වලට මහිලාට උදවු කරන අතරේ මහිලාගෙයි සත්සරගෙයි බාල දියණිය බලා කියාගන්න වැඩ කලා. මහිලායි සත්සරයි කාර්යාල වැඩ අවසන් කරලා එනකල් විහඟව බලා කියා ගත්තෙත් ඒ දෙන්නා.
දනුක සිරිපාලගෙයි, කරුණාවතිගේයි එකම දරුවා. එකම දරුවා කිව්වාට දනුකට බාලව හිටපු නංගී අසනීප වෙලා නැති වුනාට පස්සේ ඉන්න එකම දරුවා. ඉඩ කඩම් පවා විකුණලා දාලා දරුවාව සනීප කරගන්න දරපු හැම උත්සාහයක්ම ව්‍යර්ත වෙලා ගියාම සිරිපාලටයි, කරුණාවතීටයි ජීවත් වෙන්න හයියක් දුන්නේ සත්සර.
“ අපේ පහල පොල් ඉඩමේ තියෙන ගේ සුද්ද කරලා ගන්න සිරිපාල .. මෙවෙලේ මේ ඔක්කොම අතෑරලා දාලා යන්න දිහාවක් නැති එකේ වඩ වැදගත් වෙන්නේ ජීවත් වෙන්න විදියක් හොයාගන්න එක ..”
“ අනේ ඒ වුනාට කවදා වෙනකල් එහෙම ඉන්නද අපේ මහත්තයා …”
“ ඒක ඒ වෙනකොට බලමුකෝ … අනෙක ඒ ගෙදර නිකම් වහලා දාලානේ තියෙන්නේ… සිරිපාලට පුලුවන් පොල් වත්තේ වැඩත් බලාගෙනම ඉන්න …”
එහෙම කිව්වාට පස්සේ සිරිපාලලා ඒ ගෙදර නැවතුණා. දනුකගෙයි , විහඟගෙයි අතරේ අපූරු යාලුකමකුත් හැදුනේ ඒ පදිංචි වෙනස් විම හින්දා.
“ අනේ අම්මේ ..උදේට මට හදන කෑම එකෙන්ම එකක් දනුකටත් හදන්නකෝ … දනුක ඉස්කෝලේ කෑම ගේන්නේ නෑ .. බඩගිනි නෑ කියනවා….”
එහෙම කිව්වාට පස්සේ තමයි, මහිලා ගෙදර අත් උදව්වට කියලා කරුණාවතී ගෙන්නගත්තේ.
“ මට බබා ලැබෙනකල් කරුණාවති කුස්සියේ වැඩ බලාගන්න .. රෑට උයනකොට ඔය තුන්දෙනාටත් එක්කම උයාගෙන ගෙනියන්න ..”
මහිලා එහෙම කියනහොට විහඟ හරි ආදරෙන් අම්මාව වැළඳගත්තා.
සිරිපාලයි, කරුණාවතියි දෙන්නාම තමන්ගේ සේවා දායකයන් වෙනුවෙන් අවංකව සහ කැපවීමෙන් වැඩ කලා. ලැබෙන මුදල් දනුක වෙනුවෙන් ඉතුරු කරගන්න වගේම, මැරෙන්න කලින් තමන්ගේම කියලා ඉඩම් කෑල්ලක පැළක් අටවගන්න හීන දැක්කා.
“ මිනිස්සුන්ට නරක කාල එනවා කරුණාවති … ඒවා අපි පහු කරන්න ඕනි .. දැන් බලන්න ඔය දෙන්නා අහම්බෙන් මුණ ගැහිලා, බැඳලා, දරු දෙන්නෙකුත් හදාගෙන මේ දුර ආවානේ ..”
තමන්ට වඩා වයසින් වැඩි කරුණාවතීට ජීවත් වෙන්න ඕනෑ කරන මානසික හයිය දෙන්නත් මහිලා පැකිලුනේ නැහැ.
ඔය අතරේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා. දනුකයි, විහඟයි දෙන්නම විභාගය සමත් වෙලා තිබුණේ අම්මලා තාත්තලා දෙගොල්ලන්ගේම ඇස් වලට සතුටු කඳුළු දීලා.
“ මට බයිසිකලයක් ඕනි …”
හැමදාම මතුර මතුර උන්න මන්තරේ විහඟ කිව්වාම, සත්සර පහුවෙනිදාම ගිහිල්ලා සෑහෙන වටිනාකමක් තියෙන බයිසිකලයක් ගෙනාවා.
“ මට එහෙම මුකුත් ඕනි නෑ අම්මේ …”
දනුක එහෙම කියලා විහඟගේ බයිසිකලේ දිහා බලලා සතුටු වුණා.
“ නෝනේ .. අර මහත්තයා ගෙනාව බයිසිකලේ කීයක් විතර වෙනවාද ?..”
සිරිපාල සති දෙකකට විතර පස්සේ හවසක මහිලාගෙන් එහෙම අහනකොට විහඟත් උන්නේ ඒ කතාව අහගෙන.
“ හරියට ගානක් දන්නේ නැ .. මහත්තයාගෙන් තමයි අහන්න ඕනි …..මං හිතන්නේ හැට හැත්ත දාහක් වෙනවා ඇති … ඒක හොඳ වර්ගේ එකක්නේ …”
මහිලා එහෙමට හිතන්නේ නැතුව කිව්වා.
“ එතකොට නෝනේ .. ඔච්චර හොඳට නැති බයිසිකලයක් …”
“ මේ ගානට හොඳ නොවුනත්, දැන් ඉතින් ඒ ජාතියෙ බයිසිකලයක් සෑහෙන ගානක් වෙනවා ඇති සිරිපාල .. ඇ්යි එහෙම අහන්නේ ?…”
මහිලා එහෙමත් ඇහුවා. මහිලාට කල්පනා වුනේ නැහැ දනුකගේ ශිෂ්‍යත්ව සමත්වීම සමරන්න සිරිපාලටයි, කරුණාවතීටයි දෙන්නටත් අවශ්‍ය වෙලා ඇති බව.
සිරිපාල කුස්සියේ වැඩ කරමින් උන්න කරුණාවති දිහාවට ඇවිදගෙන යනකොට විහඟත් ඒ පස්සෙන් ගියා. කාටවත්ම නොපෙනෙන්න.
“ ඒ ජාතියේ බයිසිකලයක් නම් ගන්න වෙන්නේ නෑ … ලක්ශේකට කිට්ටු වෙනවාලු …”
“ ඒකට කමක් නැහැ අපේ මහත්තයා …. අපි මෙවෙලේ එච්චර ගානක් වියදම් කරන්න ඇහැක් තත්වේක නැහැනේ …”
“ අපේ වැරදි නිසා දරුවෝ දුක් විඳිනවා.. සුදු බේබි බයිසිකල් පදින වෙලාවට හිත රිදෙන හින්දා වෙන්නැති කොල්ලා දැන් මෙහෙ සෙල්ලමට එනවාත් අඩුයි …”
“ ඒක නම් මටත් හිතුනා .. සුදු බේබිගෙන් බයිසිකලේ ඉල්ලන්නත් කොල්ලාට හිතට හරි නැතුව ඇති ..”
“ හ්ම්ම් .. නොවෙන්නම් ..”
“ මම බැලුවේ හන්දියේ බයිසිකල් කඩේ පරණ බයිසිකලයක්වත් හදලා ගන්න ඇහැක් වේවිද කියලා ගිහින් බලන්න …”
“ හ්ම්ම් …”
විහඟගේ පොඩි හිතට ඒ හැම වචනේකම බර දැනුනා. විහඟ අම්මාගේ ලඟින් ඉඳ ගත්තා.
“ අම්මේ …තාත්තාට සල්ලි ගොඩක් ගියාද මගේ බයිසිකලේට …?”
කවදාවත් නැතිව විහඟ එහෙම අහන එක වටහාගන්න බැරිව මහිලා පුදුමෙන් බලාගෙන උන්නා.
“ඇයි පුතේ ?…”
“ මම මේ බයිසිකලේ තියාගන්නේ නැතිව කාටහරි දුන්නෝත් තාත්තාට දුක හිතේවිද ?…”
මහිලා විහඟ දිහා බලාගෙන උන්නා.
” දනුක මටත් වඩා ආසාවෙන් උන්නේ බයිසිකලේකට අම්මේ.. දනුකගේ ආශාවත් ලොකු වෙලා රේස් පදින්න .. ඒත් එයා දන්නවා අම්මලාට එච්චරට වියදම් කරන්න බෑ කියලා.. මගේ බයිසිකලේ අලුත් නිසා එයා මගෙන් බයිසිකලේ ඉල්ලනේත් නෑ… මට බයිසිකලේකට ලොකු ආශාවක් නෑ. මේක මම සිරිපාල මාමාට තෑගි දීලා, සිරිපාල මාමා ලවා දනුකට දෙන්නද අම්මේ…?”
මහිලා කඳුලු නවත්තගත්තේ අමාරුවෙන්. ඇත්තටම විහඟ බයිසිකලයක් වෙනුවෙන් කොයි තරම් ආසාවෙන් උන්නද කියලා මහිලා දන්නවා.
“අපි තාත්තා ආවම අහමුකෝ…”
සත්සර සෙනසුරාදා උදේම ගිහින් ආයේ ආවේ විහඟගේ ජාතියෙන්ම බයිසිකලයක් අරගෙන.
” සිරිපාල .. මේ ගාන මම හෙමි හෙමින් පඩියෙන් කපාගන්න නිසා, ඒ ගැන හිතේ කහටක් තියාගන්න එපා.. අපි මේක එකතු වෙලා යන ගමනක් නේ.. දනුක දවසක ලංකාවේ නම තියන රේස් පදින වීරයෙක් වුනොත් මටත් සතුටින්ම අත්පුඩි ගහන්න පුලුවන් …. දැන් මේක අරගෙන යන්න .. මට මේක මඟෑරුනට මෙච්චර දවස් මට සමාවෙන්න.. මගේ පුතා නිසයි මගේ ඇස් ඇරුණේ…”
සත්සර එහෙම කියනකොට විහඟ සත්සරව ආදරෙන් බඳාගත්තා