මේ ඒ වසන්තයයි – 26

0
3001

නුරාන්  අවධාරණය කරන්නට උත්සාහ කලේ කුමක් වුවද ඉසිනි එවෙලෙහි තමා සමඟම උන් සටන නිසා ඕ වටහා ගත්තේ අනෙකකි.

“ ඔයා කියන්නේ මාව සල්ලි වලට ගන්න තරම් ඔයාට සල්ලි තියෙන නිසා ඔයා  දැන්  මාව සල්ලි වලට ගන්න වුනට්  ගන්න වුනත් ඔයා ලෑස්තියි කියලද නුරාන්  ……”

ඉසිනි එලෙසින් විමසන බව යලි තහවුරු කරගන්නට නුරාන් තවත් විනාඩි කීපයක් ගත්තේය. ඉන් පසුව ඔහුට දැණුනේ හිස තුලින්ම දැණුනු වේදනාවේ රිදුමකි. ඇය කිසිදිනෙක තමා වටහා ගන්නෙක් නොවන්නේ කෙලෙසදැයි ඔහු කල්පනා කලේය. පවතින කාරණා සඟවා කතා කරන්නට තරම් දැන් තමා සහ ඇය කුඩා උන් නොවේය. ඇගේ දෙමාපියන් තමාගෙන් ඈ වෙන් කරවා ගත්තේ මුදල් සහ ඔවුන් බලාපොරොත්තු වූ සමාජ තත්වය තමා සතු නොවන බව ඇයට ඒත්තු ගනවමිනි.

 ඒ මුදල් සහ සමාජ තත්වය නොමැති තමා හා ඇයට සුවපහසු සහ පවුලේ අනෙක් අය සම මිතුරන් අතරේ පෑහෙන්නට හැකි ජීවිතයක් ඇයට අහිමි වන බව එත්තු ගන්වමිනි. ඇගේ වෙන්වී යෑමට පසුව පවා ඇයට වෛර නොකිරීම  තම තීරණයය…. ඉන් පසුව පවා ඇයට පෙම්   කිරිමද තමා විසින්ම ගත් තීරණය. එහෙත්, තමා පැවසුවක් මෙලෙසින් ඈ විසින් නිර්වචනය කිරීමට තමාගේ ප්‍රතිචාරය කෙලෙසින් විය යුතුදැයි තිරණය කර ගැනීමට නුරාන්ට හැකි වූයේ නැත.

“ ඔයා කියන්නේ මාව සල්ලි වලට ගන්න තරම් ඔයාට සල්ලි තියෙන නිසා ඔයා  දැන්  මාව සල්ලි වලට ගන්න වුනට්  ගන්න වුනත් ඔයා ලෑස්තියි කියලද නුරාන්  ……”

යලි නුරාන්ගේ දෙසවන්හී ඉසිනිගේ අනුකම්පා විරහිත දැඩි ස්වරය දෝංකාර දෙන්නට ගත්තේය. නුරාන් වහා ජංගම දුරකතනය විසන්ධි කලේය. ඉන් පසුව එය ක්‍රියා විරහිත  කර දැමේය. ඉසිනි ට තමා පැවසූවේ කුමක්දැයි සිතා බලන්නට නිහඬව ගෙවුණු විනාඩි කිහිපය ප්‍රමාණවත්ව තිබුණි.  

ඕ වහා ඇමතුම දෙස බැලුවාය.  එය විසන්ධිව ගොස් තිබුණි. තමා පැවසූවෙන් නුරාන්ගේ සිත රිදුන බවට සැක නැත. මේ පෙර වූ වැරදි යලි සිදුවෙන්නට ඉඩ දිය යුතු කාලයක් නොවේය. ඉසිනි වහා නුරාන්ට ඇමතුමක් ගත්තේය. එහෙත් ජංගම දුරකතනය වූයේ ක්‍රියා විරහිතවය. ඉසිනිගේ හදවතේ ගැස්ම වේගවත් ලෙසින් නැඟුනේය. ඕ යළි ඇමතුමක් ගත්තේය. ජංගම දුරකතනය වූයේ ක්‍රියා විරහිතවය.

“ ඒඩී මිස් …  කෘෂි පාරවල් ලිස්ට් එක ෆයිනලයිස් කරලා එවන්න කියලා ඩිඩී ඔෆිස් එකෙන්  කතා කරා … අපිට තව පාරවල් දෙකකට බජට් තියෙනවා… අපි ඒ දෙක මේ කාර්තුවෙන් කරනවාද, නැත්නම් ඒ දෙක හිස් තියලා ඉතුරු හය යවන්නද ?…”

කැබින් එක තුලට පැමිණි නිළධාරිනියගේ හඬ සමඟම ඉසිනි ජංගම දුරකතනය මේසය මතට අත් හැරියාය. ඕ සිතා මතා අත් හැරියා නොව එය ඉබේම අත් හැරුණි. ඉසිනිගේ වත මත වූයේ බියපත් විකෘතියකි. නිළධාරිනියද ඉසිනි හෙස බලා උන්නේ බියපත් මුහුණකිනි.

“ ඇයි ඒඩී මිස් …මුකුත් ප්‍රශ්නයක්ද ?..”

ඕ  එලෙසින් විමසනතුරුම ඉසිනිට තමාගේ ස්වරූපයෙන් මිදෙන්නට හැකි වූයේ නැත.

“ නෑ නෑ චතූ මිස් .. හරි .. අනේ  ..ඔයා මොකද්ද කිව්වේ ආයේ කියන්නකෝ .. වාඩිවෙන්න .. වාඩිවෙන්න ….”

ඉසිනි වහා පියවි සිහියට එලැඹ, සිහියේම රැඳෙන්නට උත්සාහ දරමින් කීවාය. නිළධාරිනිය අසුන්ගෙන පැමිණි කාරණාව යලි කීවාය

“ එපා .. අපි ඒ දෙකත් ෆයිනලයිස් කරලාම යවමු .. ධනුක මහත්තයාගේ රේන්ජ් එකෙන් තව පාරවල් තුනකට විතර ප්‍රපෝසල් තිබ්බානේ .. ධනුක මහත්තයාට කතා කරලා කියන්න ඒකෙන් දෙකක් ෆයිනලයිස් කරන්න කියලා.. මම ඒ තුනම බලන්න ගියා .. ඒ තුනම කෙරෙන්න ඕනි වැඩ … “

“ හරි ඒඩී මිස් . ඒඩී මිස් එතකල් ඩීඩී සර්ට කතා කරලා කියනවාද අපි තව පැය දෙකකින් වගේ එවන්නම් කියලා.. සබ්ජෙක්ට් එකෙන් මට කෑ ගහනවා ..”

“ හරි .. චතූ මිස් ශෙඩූල් එක දාන්න … මම ඩීඩී සර්ට ගන්නම් …”

“ ධනුක මහත්තයාට ඒඩී මිස් කතා කරනවාද ?.. මම කතා කරන්නද ?..”


“ ඔයා ගන්නකෝ චතූ මිස් .. අරගෙන මම කිව්වා කියන්න ….”

නිළධාරිනිය පිටව යන තුරු උන් ඉසිනි යළි  ඇමතුමක් ගත්තාය. ජංගම දුරකතනය ක්‍රියා විරහිතව තිබුණි.  ඕ යළි නුරාන් එවා තිබූ පණිවිඩ කියෙව්වාය. ඒවායේ ඇත්තේ නිරාමිස සුවයක් නොවේද ?  ඔහු තමා කෙරෙහි නැවෙන්නේ නිවීමක් ලෙසින් නොවේද ?  නුරාධ්‍යා තමාට මඟ හැරුනු දිනයේ යකෙකු සේ කෑ ගැසුවාට, ඔහු ගේ ඇස් වලින් තමා නිවාලන යමක් කාන්දු වූවා නොවේද ? එහෙත් තමා……….,

එහෙත්, තමා සුපුරුදු පරිද් සියල්ල අවුල් කර දැම්මේය. ඉසිනි දිනය ගෙවා දැම්මේ දැඩි අපහ්සුවෙනි. ඕ ඇමතුම් සියයකට වඩා ගන්නට ඇත. එහෙත් ජංගම දුරකතනය ක්‍රියා විරහිතවම තිබුණි.

දිනයේ වැඩ කටයුතු අවසන්  කරගන්නටද ඉසිනිට දැඩි වෙහෙසක් දරන්නට සිදු විය. ඕ මෝටර් රියට ගොඩ වූයේ යළි නුරාන්ට ඇමතුමක් ගනිමිනි. එහෙත් ජංගම දුරකතනය ක්‍රියාත්මක කර තිබුනේ නැත.

නුරාන් දිනය ගෙවා දැම්මේ තමා කෙරෙහි උපන් කෝපය සහ අනුකම්පාව වෙන් කරගන්නට නොහැකි හැඟීමක් සමඟය. එහෙත් ඔහු දිනය තුළ සිදු කර අවසන් කල යුතු සියලු දෑ අවසන් කලේය. ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර තබන්නට සැලකිලිමත් වෙමින් අනෙක් සියලු ඇමතුම් කාර්‍යාලයේ ස්තාවර දුරකතනයෙන්ම ගත්තේය.

නිහඬ දඬුවම් නුරාන්ගේ ජීවිතය තුළ ඔහු අනුගමනය කල යමක් නොවේය. ඔහු පුරුදුව උන්නේ යම් ගැටලුවක්, වරදක්, අත්වැරදීමක්, පසුතැවීමක් කතා බහ කර විසඳාගන්නටය. එහෙත් ඉසිනි විසින් ඇති කල බිඳීම නුරාන්ගේ ස්වභාවය පවා වෙනස් කර දමා තිබුණි.

“ මොකද මිනිහෝ ෆෝන් ඕෆ් ?…”
 

ස්තාවර දුරකතනයේ රැහැන දිගේ ධනුකගේ හඬ  ඇසුණි.

“ චාර්ජරෙයි, පවර් බෑන්ක් එකයි දෙකම ගෙදර දාලා ඇවිල්ලා …”


නුරාන්  වෙනසක් නැතිව කිවේය.

 “ අම්මට කෝල් එකක් ගනින් …”

“ හා …”

“ තමුසේ රෑ වෙනවාද අද ..?”

“ නෑ .. එන්න  හැදුවේ ….”

“ හරි …”

අම්මාට ඇමතුමක් ලබාදී, ඇගේ පණිවිඩය අසා ගත් නුරාන්  කාර්‍යාලයෙන්  පිටත් වූයේය. සවස හයයි තිහ පසුවී තිබුණි. ඉසිනි නවාතැනට ගොස් ඇතැයි ඔහු සිතුවේය. ඇය දැක, ඕ පැවසූ වචන වලින් තම හදවත ඉරී ගිය තරම ඇයට පෙන්වා එන්නට ඇත්නම් යැයිි නැඟුණු සිතුවිල්ල මැඩගෙන නුරාන් නිවෙසට ගියේය.

නුරාධ්‍යාගෙන් මිදී කාමරය තුලට රිංගා ගන්නට සෑහෙන වෙලාවක් ගත විය. ඔහු ජංගම දුරකතනට ආරෝපණය වෙන්නට සම්බන්ධ කලේය. එහෙත් ක්‍රියාත්මක කලේ නැත.

“ඔයා මාව එච්චර සිල්ලරට හිතනවා නම්, ඔයා මගෙන් දුරට වෙලාම ඉන්න තාරා….”

පැය භාගයකටත් වැඩි කාලයක් නාන කාමරයේ උන් නුරාන් යහනේ පෙරලුනේ තුවාය පිටිනි. සීතල ඉක්මවා යන රස්නයකින් ඔහු දැවෙමින් තිබුණි.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here