නොකෙරෙන කසාදේ.

කසුනි ඇවිත් ඇඳට වැටුණේ කේන්තියෙන්.අම්මා එක්ක කේන්ති ගන්න කසුනි අකමැති වුණත් අද ඒ ස්වර්ණමය නීතිය අමතක කරන්න කසුනිට සිද්ධ වුණා.

“රටේ ලෝකෙ මිනිස්සුන්ට ඕන හැටියට නටන්නේ ඇයි අම්මා අපි?”

එහෙම ඇහුවට අම්මා කියන්නේ රටේ ලෝකේ මිනිස්සුන්ටත් හරි වැරැද්ද පේනවා කියලයි.

“රමණිගෙ දුව ඔයාගේ වයස.ඒ කෙල්ලගෙ පොඩි එකා ඉස්කෝලෙත් යනවා.”

අම්මා කියද්දී කසුනි අම්මා දිහා බැලුවේ ආපහු අලුත් වුණු කේන්තියෙන්.සිල් ගන්න කියලා ගියාට අම්මා එන්නේ හිතේ තිබ්බ සැනසීමත් අහිමි කරගෙන.

“සචිනි ඒ ලෙවල්ස් ඉවර කරපු ගමන් කසාද බැන්දා අම්මේ.මට ෆස්ට් ෂයි ආපු ෆැකල්ටි එකට අම්මලත් අකමැති වුණු හින්දා මම සෙකන්ඩ් ෂයි එකකුත් කළා..”

කසුනි අම්මා අමතක කරපු දෙයක් මතක් කළා.ඒ කාලේ සචිනිලා ක්ලිනික් යනකොට තමන්ගේ දූ තමන්ට ඕනෑ විදියට හැදුණු එක ගැන සතුටු වෙන අම්මම දැන් කියන කතා ගැන කසුනිට එන්න කියා ගන්න බැරි තරහක්.

කැම්පස් ගිහින් අවුරුද්දක් විතර යනකොට සීනියර් බැච් එකක කෙනෙක් තමන් ගැන උනන්දු වෙන විත්තිය අම්මාට කිව්ව හැටි කසුනි ආයෙත් මතක් කලා.
අම්මා හැම දේකටම කලින් ඇහුවේ එයාගේ වාසගම ගැන.

“අපිට ගැලපෙන මිනිස්සුද ඒ?”

ඊටපස්සෙ අම්මා දවස් ගාණක් පුරා තමන්ට බැන්න හැටි කසුනිට තවමත් මතකයි.එකම ඩිග්‍රිය කරන කෙනෙක් තමන්ට නොගැලපෙන්නේ කොහොමද කියලා කසුනිට අපහැදිලි වුණත් ඒක එහෙම වෙන්නේ කුලය හින්දා කියලා අම්මා ලස්සනට පැහැදිලි කරපු හැටි කසුනිට අමතක වෙන්නේ නැහැ.අප්‍රමාණ බලාපොරොත්තු තියාගෙන කසුනිට ළං වෙන්න හදපු චාමරට ප්‍රතික්ෂේප වෙන්න සිදුවීම හින්දා ආයේ කවුරුත්ම කසුනි ගැන උනන්දු වුණේ නෑ.

“අවුරුදු කීයක් කැම්පස් එකක හිටියද? ඒකත් අපි කරලා දෙන්න ඕන..”

අම්මා දැන් නෑදෑයන් එක්ක එහෙම බනිනකොට කසුනිට එන තරහ කියලා නිම කරන්න බෑ.

“එක එක රටවල්වලට ගියාට ඒ රටවල් වලින් කසාද එහෙම කරගන්නව නෙවෙයි..”

අම්මා කසුනි උසස් අධ්‍යාපනයට විදෙස් ගත වෙනකොට ඊළඟ අනතුරු ඇඟවීම කළා.කසුනිට මේවා මතක් වෙනකොට එන්නේ කලකිරීමක්

“කොච්චර ඉගෙන ගත්තු දුවෙක් හිටියත් වැඩක් නෑ.අනිත් ගෑනු තමන්ගෙ දූලගෙ කසාද ගැන කියල මාව රිද්දනවා..”

අම්මා හයියෙන් හට්ටි මුට්ටි සද්ද කරමින් මුළුතැන්ගෙයි මොනවාහරි රාජකාරියක්.කසුනි අම්මා හොයාගෙන ගියා.

“අම්මා පන්සල් යන්නේ ඇයි? සිල් ගන්නේ හිත නිවා ගන්න නේද? එහෙව් එකේ තව ටිකක් හිත පාරාගෙන රිද්දගෙන එන එක ගැන අම්මා මොකද හිතන්නේ?”

කසුනි එහෙම අහනකොට අම්මා කසුනි දිහා බැලුවේ රවාගෙන.

“කසාදයක් බඳින වයස පහුවෙන දුවෙක් ගෙදරට නාකි වෙනකොට මට පුලුවන්නෙ සැනසිල්ලේ ඉන්න?”

ඉස්කෝලේ යන්න නියමිත වයසක් තිබ්බට කසාද බඳින්න වයසක් තියනවද කියලා අම්මාගෙන් අහන්න කසුනිට හිතෙනවා.ඒත් තව දුරටත් අම්මාව රිද්දන්න හිතෙන්නෙත් නැහැ.

“මිනිස්සු හිතන්නේ ඔයා කසාද බඳින්න පරක්කු කරන්නේ බඳින්න බැරි යමක් සිද්ධ වෙලා කියලා.එහෙම නැත්නම් ඔය රට රටවල ගිහින් මොනවහරි විකෘති දේවල් පුරුදු වෙලා කියලා..”

අම්මාගේ ඔලුවට එක එක දේවල් දාන මිනිස්සු වැරදිද සමාජේ ගැන ඉක්මනින් තීරණ ගන්න අම්මා වැරදිද කියන්න කසුනිට තේරෙන්නේ නැහැ.

පුංචි කාලේ ඉඳලා අම්මට ඕනෑ විදියට ජීවත් වෙන්න සිද්ධ වුණු හැටි කසුනිට අමතක නැහැ.වෙන එකක් තියා නැටුම් ඉගෙන ගන්න ආස වුණාට අම්මා සංගීතය කරන්න බලකරපු නිසා ඒක කරන්න වුණු ළමයෙක් කසුනි.පළමුවැනි පාර විභාග ප්‍රතිඵල වලින් සබරගමු සරසවියට තේරුණාම එහෙ දුර වැඩි බව අම්මා තීරණය කරපු හින්දා ආයෙ පාරක් විභාගේ ලියන්න වුණු බවත් කසුනිට සිහි වුණා.

අම්මා හිතන්නේ තාමත් කසුනිව පාලනය කරන්න.තාත්තා නැති වුණාට පස්සේ තමන්ට අම්මා විතරක් හිටිය බව ඇත්තක්.ඒත් අවුරුදු තිහත් පැනපු තමන්ව අම්මා මේ තරම් පාලනය කරන එක ගැන කසුනිට දැනෙන්නේ කලකිරීමක්.

“මං අර සරණපාල කපු උන්නැහේට කතා කරන්න ඕන..”

අම්මා කියද්දී කසුනි අම්මා දිහා බලාගෙන හිටියේ වේදනාවෙන්.ඊළඟ සති කිහිපයම ඒ මනුස්සයාගේ නාඩගම් බලන්න වෙනවා කියලා දැන් කසුනිට සහතිකයි.

“අම්මා කියන්නෙ බොරුවකුත් නෙවෙයි.කෙල්ලෙක් කසාද නොබැඳ ඉන්න හොඳ නෑ.අනික ඇයි බං බඳින් නැත්තේ.”

හිතේ තියන දුක හොඳම යාළුවා කෞෂිට කිව්වාම ඇය පෙරළා කසුනිගෙන් ඇහුවා.කෞෂිට පුතා ලැබුණට පස්සේ ධනුෂ්ක ඔෆිස් එකේ ගෑනු ළමයෙක් ගැන උනන්දුයි කියලා අඬපු හැටි දැන් කෞෂිට මතක නෑ.

“කසාදයක් බැඳගත්තම තියන සැනසීම උඹ දන් නෑ.මං නම් බැඳපු ගමන් බබෙක් හදා ගත්තේ ඒකයි.පුතුට අවුරුදු දෙකක් හින්දා දෙවැනියට ට්‍රයි කරන්න මං මේ හිතුවේ..”

ධනුෂ්කව දික්කසාද කරන විදියක් ගැන කසුනිගෙන් අහපු හැටි දැන් කෞෂිට මතක් නොකර කසුනි දුරකථනය විසන්ධි කළා.

අම්මට උවමනා වුණු උපාධියක් කරන්න සිදු වීමේ වරද නිවැරදි කරගන්නත් කාලයක් ගිය බව අම්මාට කියලා තේරුමක් නැහැ.අම්මාට ඕනෑ විදියට කසාදයක් කරගන්නත් වුණොත් ඒ වැරැද්ද හදා ගන්න ලේසි නෑ කියලා කසුනි දන්නවා.

“සරණපාල අනිද්දට කට්ටියක් එක්කන් එනවලු..”

අම්මා එහෙම කියනකොට කසුනි අකමැත්තෙන් ඔළුව වැනුවා.එන කෙනෙක් ආපු දෙන්.ඒත් ජීවිතේ වැදගත්ම තීරණය ගන්න අම්මාගේ යාළුවන්ගේ ළමයි කසාද බැන්ද එක හේතුවක් කරගන්නේ නෑමයි.කසුනි හිතුවා.තමන් විවාහ නොවුණා කියලා ඉර නොපායා ඉන්නේ නැති බව කසුනි දන්නවා.රැකියාවෙන් ලැබෙන වැටුපට ඒකෙන් බාධාවකුත් නෑ.ඒ නිසා කාටවත් ඕනෑ හැටියට ඒක නම් නොකරන්න කසුනි තීරණයක් ගත්තා.

“මං බැන්දත් නැතත් කාටවත් වැඩක් නෑ අම්මේ..”

අම්මාට මෙච්චර කල් නොකියා හිටපු කතාව බය නැතුව කියලා හුස්මක් ගන්න කසුනි හිතුවේ ඒ හින්දා.

More Stories

Don't Miss


Latest Articles