තාදී – 6

0
2184

ධීර Clothez ඉදිරිපිට තම රථය නවත්වා තාදී ගේ රුව සහිත නාම පුවරුව දෙස මොහොතක් බලා සිටියේය. ඉතා අලංකාර මංගල ඇඳුම් ඇන්දවූ ඩමි කිහිපයක් සමග පෙනෙන්නට තිබූ Clothez බැලූ බැල්මට කුඩා ව්‍යාපාරයක් ලෙස පෙනුණේ නැත. තමාගේ පැමිණීම අනිවාර්යයෙන්ම තාදීගේ පුදුමයට හේතු වන නිසා ඒ වෙත ඇතුල් වීමට ධීර තවත් මොහොතක් පමණ පමා වූයේය.

විනාඩි දෙක තුනකට පසුව වාහනයෙන් බැසගත් ධීර Clothez වෙත ඇතුළු වන විට ගයාත්‍රී උන්නේ තවත් සේවිකාවක සමග පිට රටින් ගෙන්වන ලද මංගල ඇඳුම් කිහිපයක හැඩ බලමිනි. එක් බිත්තියක් පිරෙන්නට වූයේ තාදී ලබාගත් සහතික සහ විවිධ අවස්ථාවන්වල ඡායාරූපයන් ය.

” සර් මෙහෙ ?  “

ගයාත්‍රීට ධීර ව හඳුනාගන්නට ගත වූයේ තප්පර කිහිපයක් පමණි. 

” මං පොඩි වැඩකට ආවේ. තාදී ඉන්නවද ? “

තාදීගේ රථය Clothez ඉදිරිපිට නවත්වා තිබෙනු දුටුවත් ධීර එසේ ඇසුවෙ ඇය පෙනෙන්නට නොසිටි නිසාය.

” මිස් office එකේ ඉන්නවා. යමු සර් ”  

ගයාත්‍රී ඉස්සර වූවාය. ප්‍රදර්ශනාගාරයේ කොණකට වන්නට තිබූ කුඩා කාර්‍යාල කාමරයේ අසුන් ගෙන හුන් තාදී උන්නේ දුරකථන ඇමතුමකය. ගයාත්‍රී පසුපස එන ධීර ව දුටු තාදී ගේ දෑස් පුදුමයෙන් විසල් විය. අනතුරුව ඇය අසුන් ගන්නා ලෙස අතින් සංඥා කර ඉදිරියෙන් වූ පුටුව ධීර ට පෙන්වූ අතර ධීර වාඩි වූයේ තාදී දෙස බලාගෙනම ය. තත්පර කිහිපයකින් දුරකථන ඇමතුම අවසන් කළ තාදී ,ධීර දෙස බැලූයේ පෙරවූ පුදුමය පිරි දෑස් වලින්ම ය.

” ඔයා කොහෙද මෙහේ ? ” 

” ඇයි අපිට එන්න බැරිද ? ” 

ධීර ඇසුවේ සිනාවකිනි. 

” මොකෝ බැරි. එන්න පුලුවන්. හැබැයි අපි කොල්ලන්ට නම් ඇඳුම් මහන්නේ නෑ  ” 

” ඒක මං දන්නවා. මං ආවේ අපේ අම්මගේ වැඩකට ” 

” අම්මගේ ?  මොකද්ද? ” 

” අපේ අම්මා සාරි ජැකට් එකක් දුන්නද මහන්න ? ” 

” අම්මගේ නම කිව්වොත් තමයි ඉතින් ලේසි ” 

තාදී කීවේ සිනාව තදකර ගනිමිනි.

” ආ.. ඒකත් අමතක උනා. අම්මගේ නම ජයමිණී ” 

” ජයමිණි ? සර්නේම් එක ? ” 

” ජයමිණි ගජනායක “

තාදී පුදුම වූවාය. එසේ නම් ධීර යනු ජයමිණි ගජනායක ගේ  පුත්‍රයාය. Hotel Sea View හී අධිපතිගේ පුත්‍රයා ය.

” මොනවද කල්පනා කරන්නේ? වැඩේ තාම ඉවර නැද්ද ? ” 

තාදී නිහඬව කල්පනා කරද්දී ධීර ඇසුවේ ය.

” නෑ නෑ ඒක කරලා ඉවරයි. ඒක හදිසියි කියපු නිසා ඊයෙම ඉවර කරා. ඉන්න මම ගයාත්‍රි ට කියන්නම් ගේන්න කියලා ” 

තාදී ප්‍රධාන දුරකථනයෙන් ගයත්‍රි අමතා ගජනායක මහත්මියගේ සාරි ජැකට්ටුව සහ කෝපි දෙකක් ගෙන එන ලෙස පැවසුවා ය.

” ඉතින් ධීර ? ” 

තාදී කතාවට මුල පිරුවාය.

” ඇක්සිඩන්ට් එකෙන් පස්සේ අපි හම්බ වෙන්නේ අද නේද ? ” 

ධීර ඇසුවේය. 

” ඔව්. ඒත් මෙහෙම හම්බවෙයි කියලා මම හිතුවේ නෑ ” 

තාදීව මුණ ගැහෙන්නට සිත තුළ ආසාවක් තිබුණත් එයට හේතුවක් සොයා ගැනීමට නොහැකිව සිටියදී අම්මා නිසා ලැබුණු අවස්ථාව ගැන ධීර සිත යටින් සතුටෙන් ඉපිලෙමින් උන්නේය.

ගයාත්‍රි ආවේ තවත් සේවිකාවක සමග කෝපි සහ සාරි ජැකට්ටුව ද රැගෙන ය.

” ජැකට් එක ෆිටෝන් කරලා බලන්න අම්මාත් ආවනං තමයි හොඳ .අඩුපාඩුවක් තිබ්බනං හදන්න පුලුවන්නේ ” 

තාදී කීවේ ගයත්‍රි සහ සේවිකාව පිටව ගිය පසුවය. ධීර කෝපි උගුරක් තොල ගෑවේ ජයමිණි කියූ වදන් සිහි කරමිනි.

” ඒ ගැන බයවෙන්න එපා. අපේ අම්මා කිව්වා ගිය පාර ඔයා වැඩේ හොඳට කරලා තිබ්බා කියලා. ” 

ධීර ගේ කතාවට තාදී සිනාසුනා පමණි. ඔවැනි ඇගයීම් තාදීට සාමාන්‍ය දේවල් ය. කවදත් තමන්ගේ රාජකාරිය අවංකව කළ නිසා තාදීට ලැබුණේ සේවාදායකයන් ගෙන් හොඳ පැසසුම් සහ වර්ණනා පමණි.

” මට පොඩි ගමනක් යන්න තියෙනවා ධීර ” 

” ඒ කොහෙද ? ” 

” සෙවණ ට ” 

” ඉතින් මෙතනත් හෙවනයි නේ ? ” 

ධීර එසේ කී විට තාදීගේ මුවින් සිනහවක් පැන්නේය. තාදී ඔය කියන්නේ ළමා නිවාසය පිළිබඳව බව ධීර දනී.

” මමත් එන්නද ඔයත් එක්ක යන්න ? ” 

අනපේක්ෂිත ලෙස ධීර ඇසුවේ ය.

” ඔයා ? ඔයාට එතකොට අද වැඩ නැද්ද ? ” 

” ඒක මං බලාගන්නම්කෝ. මගේ වෙහිකල් එකේ ගිහින් එමුද ? නැත්තං ඔයා අතන මෙතන වාහනේ ඇන ගන්න ගියොත් එහෙම ගමන යන්න වෙන්නෙ නෑ ” 

ධීර සිනාසෙමින් කීවේ තාදී මුහුණ දුන් රිය අනතුර සිහිපත් කරමිනි.

“ඒක උනේ මගේ වැරැද්දෙන් නෙමෙයි හරිද ? ” 

තාදී තරවටු සිනහවක් පාමින් අසුනෙන් නැගිට්ටේ දුරකථනය සහ අත් බෑගය අතට ගනිමිනි. 

සුපුරුදු පරිදි ගයාත්‍රීට වගකීම් පවරා තාදී , ධීර සමඟ ” සෙවණ ” ට යාමට පිටත් වූවාය.

තමා පැමිණෙන බව දැනුම් දී තිබූ නිසා නැනෝ අම්මා උන්නේ මග බලා ගෙනය.

” නෝනේ.. ” 

තාදී රථයෙන් බසින විටම නැනෝ අම්මා ඉදිරියට දුවගෙන ආවාය.

” මම බයේ උන්නේ ” 

” ඇයි නැනෝ අම්මා ? ” 

” එදා සිද්ධියෙන් පස්සේ මට බයයි දරුවෝ ඔයා මෙහෙට ගොඩ වදිනකම්ම. ඔයා හරියට වාහනේ පැද්දට පාරෙ යන ගොඩක් මිනිස්සු එහෙම නෑනේ ” 

නැනෝ අම්මා කීවේ තාදී ව අත ගාමිනි.

” නැනෝ අම්මා.. මේ ධීර. මෙයා තමයි ඇක්සිඩන්ට් එක උන වෙලාවෙ ඇවිල්ලා මාව හොස්පිට්ල් අරන් ගිහින් තිබුණේ ” 

තාදී කීවේ වාහනයෙන් බැස එන ධීර ව පෙන්වමිනි. නැනෝ අම්මා ධීරව දුටු විට යමක් සිතුවාය. එහෙත් එය වචන වලට පෙරලන්නට  නොගියා ය .

” අනේ රත්නත්තරේ පිහිටයි පුතේ අපේ කෙල්ලව බේරලා දුන්නට ” 

නැනෝ අම්මා දෑත් එක්කර ධීරට ස්තූති කළේ ඔහු කෙරේ උපන් සැබෑම ආදරයකිනි.

” මං කලේ මෙයාව ඉක්මනින් හොස්පිට්ල් එකට අරන් ගිය එක විතරයි නැනෝ අම්මේ. ඉතුරු හරිය කරේ ඩොක්ටර්ස්ලා තමයි ඉතින් “

” යමු පුතේ තේ ටිකක් බීලා ඉමු ” 

නැනෝ අම්මා ඉස්සර වූවා ය.

” තේ එපා නැනෝ අම්මා. අපි කෝපි බීපු ගමන් ආවේ ” 

” එහෙනම් එමුකෝ ඇතුලට ඉස්සෙල්ලම ” 

කියමින් නැනෝ අම්මා නිවාසය තුළට ගිය අතර තාදී මොහොතක් මිදුලේ නතර වූවාය.

” මෙතන තමයි මම පොඩි කාලෙ ඉඳලම හැදුනෙ. මං ඉස්කෝලෙ ගියේත් මෙහේ ඉඳන්. ෆැශන් ඩිසයිනින් , මහන්න ඉගෙන ගත්තෙත් මෙහෙ ඉඳන් . නැනෝ අම්මාත් මේකෙම ඉඳලා වයසට ගිහින් ධීර. ” 

තාදී පිටකළ එවදන් වල කුමක්දෝ හිස් බවක් ධීර ට දැනුනත් ඔහු ඒ ගැන අසන්නට ගියේ නැත. තමාට කියා කිසිවෙක් ලොව නැති හැඟීම කුමන ආකාරයේ එකක්දැයි සිතා ගන්නට ධීර ට ඒ මොහොතේ නොහැකි විය.

” සමහර ළමයින්ව පවුල් වලින් ඇවිල්ල හදාගන්න අරගෙන තියෙනවා.ඒත් මට කවදාවත් පවුලක් කියලා එකක් හම්බ වුණේ නැහැ. පවුලක් කියන්නේ මොන වගේ හැඟීමක්ද කියලවත් මම දන්නේ නෑ ධීර. ඇත්තටම , මාව බිහි කරපු අම්මා මාව මෙහෙට දුන්නේ ඇයි කියලවත් මම අද වෙනකන් දන්නේ නැහැ . ඒත් මට විශ්වාසයි එයයි තාත්තයි කොහේ හරි ජීවතුන් අතර ඉන්නවා කියලා. සමහරවිට එයාලා කවද හරි මාව හොයාගෙන මෙහාට එයි කියලා හිතෙනවා. ඒත් එතකන් මං එයාලව හොයන්නේ නෑ ” 

තාදී ගේ දෑස් දිලිසෙන්නේ ඒවා කඳුළින් පිරී ඇති නිසා බව ධීර පැහැදිලිවම දුටුවේය. තාදි ගැන කුමක්දෝ දුකක් සිත තුළ උපන්නේ ඉන් පසුවය. තාදීගේ සුන්දර සිනහව පසුපස ඇති කටුක යථාර්ථය ඇයව මොන තරම් රිදවනවාදැයි තේරුම් ගැනීමට ධීරට අපහසු වූයේ නැත.

” මං දෙයක් අහන්නද තාදී ? ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here