චායා උන්නේ කෝපය ඉවසගන්න බැරුව. ආයතන ප්‍රධානියා වුනත් සම වයස් මිතුරියගේ ඉවසීමක් නැති වාග් ප්‍රහාර ඇයට දැනුනේ කඩු පහර වගේ. පාසැල් කාලයෙත්, ඊට පස්සේ සරසවි ජීවිතය පුරාත්, පෞද්ගලික ජීවිතයේත් තමා ඉක්මවා යන්නට ඇයට නොහැකි වාඩුව ඇය ක්‍රමයෙන් තමා මතින් පිරිමහන්නට උත්සාහ කරන බව චායාට වැටහෙනවා. ඇය එදා නිවසට ගියෙත් ඒ පීඩනයම එක්ක.
” මට තේරෙන්නේ නෑ කිත්ම … මේ මනුස්සයා මාව මරාගෙන කන්න හදන්නේ … ඔයාට කියන්න මම පුදුම අමාරුවෙන් කට වහගෙන හිටියේ අන්තිමේදි .. මොකද මට අන්තිමට අන්තිමට තේරුනා එයාට ඕනි මගෙන් වචන අරගන්න කියලා…”
ගෙදර ගියපු ගමන් චායා තමන්ගේ සැමියා එක්ක හිතේ දුක කිව්වා. ඔහු කලේ නිහඬව අහගෙන උන්න එක.
” මට ට්‍රාන්සර් යන්න පුලුවන් නම් ඇත්තමයි මම යනවා.. ඒත් ඉතින් , යන්තම් අර දුරක ඉඳලා ඉඳලා ඔයා එක්ක ඉන්න මේ කිට්ටුවට ආවා විතරයි .. කොහොමද අප්පා මම මේක සෙට්ල් කරගන්නේ ?…”
චායා ආයෙම ඇහුවා.
” හොඳම දේ ඔයාට අදාල ඩියුටි එක විතරක් කරලා පාඩුවේ ඉන්න එක …”
කිත්ම එහෙම කිව්වා.
” ඒත් ඉතින් මේ මනුස්සයා මං හැරුනත් ඒක මහ වරදක් ගානට දාගෙන ඔෆිස් එක දෙවනත් කරනවනේ …”
” ඒකට කමක් නෑ .. ඔයා නියුට්‍රල් වෙන්න ….. හැබැයි ඔයාගේ ඩියුටි එක මඟ අරින්නෙපා…”
දෙන්නා සෑහෙන්න වෙලාවක් යනකල් මානව සම්බන්ධතා වගේම රාජකාරි කටයුතු වලදි රැකෙන්න ඕනි අවම සදාචාරය ගැන කතා කර කර හිටියා. මානව ස්වරූප කියන්නේ වෙනස් නොවෙන තත්වයක් නිසා, රැකියා අවස්තා තුළදී මිනිසුන්ගේ වෙනස්කම් දරාගන්න හුරු වෙන්න ඕනි බවත් අන්තිමේදී චායා වටහා ගත්තා.
පහුවෙනිදා චායා වෙනදාට වඩා උද්‍යෝගයෙන් කාර්‍යාලයට ගියා. වෙනදාට වඩා හැඩට, පිළිවෙලට සූදානම් වෙන්නත් වග බලාගත්තා. තමන්ගේ ආයතන ප්‍රධානියා නිසා ආතතියෙන් දවස පටන් ගන්නවා වෙනුවට, තමන්ට පැවරිලා තියෙන වැඩ ගැන අවධානය දීලා දවස පටන් ගත්තා.
දවස් කිහිපයක් සාමකාමිව ගෙවුනා. ආයතන ප්‍රධානියා චායාව අතෑරලා කියලා හැමෝම හිතුවා. ඒත් පහුවෙනිදා දවල් එකපාරටම චායාට කැඳවීමක් ලැබුණා.
” චායා හිතාගෙන ඉන්නේ මම කවුරු කියලාද ?…..”
තමන්ගේ මිතුරිය ආයතන ප්‍රධානිය වීම සතුටින් සමරන්න පුලුවන් කාරණාවක් වුනත්, ඇගේ මේ නොහික්මුන හැසිරීම් චායාට මිතුරිය ගැන ගේන්නම කලකිරීමක්.
” ඒ කිව්වේ මැඩම් ?..”
” දැන් ඔය මට මැඩම් කියලා කිව්වේ නක්කලේටද ?…”
ඇය එහෙම අහනකොට චායාට උත්තරයක්වත් ගලපගන්න බැරුව ගියා. ඇය කලේ විමතියෙන් බලා උන්න එක. ඇගේ නිහඬ බව ආයතන ප්‍රධානියාව තව්ටහ් කෝපයට පත් කලා.
” කතා නොකර ඉන්නේ මාව රැග් කරන්නද ?.. හිතාගෙන ඉන්නේ එහෙමද ?..”
චායාගෙන් ඇය එහෙම විමසුවේ උස් හඬින්. ඒ හඬ කැබින් එකෙන් පිටතටත් ඇහුනා. චායා කිත්මගේ උපදෙස් කිහි කරගත්තා. මේ තමන්ට අදාලම නති නඩුවක් බව ඇය හිතුවා.
” චායා මේක හොඳට මතක තියාගන්න …. ඔයා පන්තියේ පලවෙනියා වෙන්න ඇති … ඒ වගේමයි, ඔයා කැම්පස් කාලෙත් මහ ලොකුවට ඉන්න ඇති…. හැබැයි, දැන් ඔයා ඉන්නෙ මට වඩා සෑහෙන්න පහලින් කියන එක ඔයා අමතක කරන්නෙප… ඔයා හින්දා ඉස්කෝලේ කාලෙත් මම මහ ලොකුවට මානසික වේදනා වින්දා.. කැම්පස් කාලෙත් ඔයා මට සුලු පටු වදයක් නෙවෙයි දුන්නේ… ඒත්, තවදුරටත් ඔයාට මට වද දෙන්න මම ඉඩ තියන්නේ නැහැ .. ඒක හොඳට මතක තියාගන්න… “
” මට මගේ පාඩුවේ මගේ වැඩ ටික කරගෙන ඉන්න දෙන්න මැඩම් … “
චායා නිහඬව ඉන්නම නොහැකි බව වැටහුනාම එහෙම කිව්වා.
” එහෙම ඉන්නේ කොහොමද?. ඔයා මට පාඩුවේ මගේ වැඩ කරගෙන ඉන්න දුන්නාද ?… නෑනේ ?…”
” මේක හොඳට අහගන්න වරුණි… ඉස්කොලේ දවස් වල මම පන්තියේ පලවෙනියා වුනා… ඒ පලවෙනියා වුනේ මම පාඩම් කරලා මම මහන්සි වෙලා මිසක්, ඔයාට රිදවන්න ඔයා එක්ක ඇරියස් එකක් කවර් කරන්න නෙවෙයි ..
අනෙක් අතට කැම්පස් එකේදී මම උපයා ගත්ත හැමදෙයක්ම පිටිපස්සේ තිබුනෙත් මගේ ටැලන්ට් එක , මගේ සහ කිත්මගේ මහන්සිය සහ මගේ යාලුවන්ගේ ආශිර්වාදය මිසක්කා ඔයාට වද දෙන්න අවශ්‍ය හැඟීමක් නෙවෙයි ..
ඔයා මගේ ජයග්‍රහණ ඔක්කොම එකම මල්ලක්ට දාලා, ඒකට පිටින් ඔයාව මානසික පීඩනයකට හෙලන්න මම උත්සාහ කරනවා කියන ලේබල් එක ගහ ගත්ත එක මගේ වරදක් නෙවෙයි වරුණි…
මට සමාවෙන්න මම මෙහෙම නමින් කතා කරනවාට.. ඒත් මම මේ ටික කියන්නේ මගේ ඩිපාර්ට්මන්ට් හෙඩ්ට නෙවෙයි.. ඉස්කෝලේ කාලේ ඉඳන් මම දන්න කියන කෙනෙක්ට නිසයි එහෙම කියන්නේ…
ඒ වගේම ඔයා මෙහේ හෙඩ් වෙලා ආවම, මට කිසිම වදයක් නෑ.. මට කිසිම ප්‍රශ්නෙකුත් නෑ… මට ඔයා යටතේ වැඩ කරන්න බැරි අවුලකුත් නෑ… ඒ නිසා ඔයා තේරුම් ගන්න, මම නෙවෙයි, ඔයාව මා එක්ක සසද සසඳ ඔයාමයි ඔයාට වද දෙන්නේ..
සෝ මැඩම් ප්ලීස් … ඔයා ඔයාගේ ජොබ් රෝල් එකේ ඉම්පෘ වෙන්න .. ඇන්ඩ් ලෙට් මී ටූ …”
චායා ඉතාම ගැඹුරු හුස්මක් හෙලුවා. වරුණි හෙවත් තමන්ගේ ආයතන ප්‍රධානියාගේ ඇස් වල කඳුලු පෙනෙන්න තිබුනත් ඇය ඒක එතරම් ගනනකට ගත්තේ නැහැ.
” ඕකේ ..ඔයා වැඩක් කරගන්න ,…..”
ඊට පස්සේ දවස් දෙකම වරුණි නිවාඩු දාලා තිබුණා. සෙනසුරාදා දවල් වාහනයක් නැවතුණු සද්දේට චායා එබිලා බැලුවා. ඇවිල්ලා උන්නේ වරුණියි එයාගේ සැමියයි.
” මට මං ගැන තිබ්බ හීන මානේ බින්දේ ඔයා.. මට මං ගැන තිබුණ අවතක්සේරුව නති කලේ ඔයා.. මට දැන් දැනෙනවා චායා මම නිදහසේ හුස්ම ගන්නවා කියලා… ඇත්තටම මට දැන් දැනෙනවා , මම ඔයා එක්ක සටන් කරන්න වුවමනාවට , කවුරුත්ම නැති සටන් බිමක තනියෙන්ම සටන් කරලා බව….. ඒකයි මට මෙච්චර වෙහෙස … ස්තූතියි .. හැමදේටම …”
” ඇතුලට ඇවිල්ලා කතා කරමු ..”
කිත්මගේ හඬ ඇහෙනකල්ම චායා උන්නේ ඒ වෙනස්වීම අදහා ගන්න බැරුව.
කොහොම හරි අන්තිමේදි, මානසික සතුට හොයාගන්න වෙන්නේ තමන් තුලින්ම වන අවබෝධ කරගැනීම් වලින් බව චායා වගේම වරුණිත් වටහා ගත්තා.
ReplyForwardAdd reaction |