විශ්වාසයේ සලු පොට

බොහෝ කලකට පෙර, ඝන වනාන්තරවලින් සහ නිරන්තරයෙන් පවතින මීදුමෙන් වැසී ගිය රාජධානියක, ඉසානි නම් රැජිනක් ජීවත් විය. ඇය පාලනය කළ දේශය සෞන්දර්‍යාත්මක නමුත් බිඳී ගොස් තිබුණි. ඒ රාජධානියේ ගම්මාන තිබුණේ රහසින් කැරලි ගසමිනි. රාජධානියේ, මාළිගාවේ කිරිගරුඬ කුළුණු යට රාජ්‍ය සභාව කුමන්ත්‍රණය කර අතර සතුරන්ට තිබුණේ උකුස්සන් මෙන් තියුණු ඇසකුත්, ගිජු ලිහිණියන් මෙන් බලයට ගිජු කමකුත් ය. 

ඔටුන්න හිස මත රැඳී තිබුණද ඉසානිට දැනුනේ තමන් බල රහිත රැජිණක් ලෙසය. ඇගේ ජනතාව තවදුරටත් ඇයව විශ්වාස නොකළ අතර, ඇගේ සමීපතම සගයන් පවා උන්නේ ඇයගෙන් මදින් මද ඈත්වෙමිනි. ඉසානි උන්නේ ඒ මධ්‍යම රාත්‍රියේ අවදි වී රාජකීය පුස්තකාලයේ ආරක්ෂිතව තැන්පත් කොට තිබෙන ඉපැරණි පොත් අස්සේ තමන්ගේ මේ ඛේදනීය ඉරණම වෙනස් කරන්නට හැකි අන්දමේ යමක් ලියවී තිබේදැයි පිරික්සන්නටය.

 මකුළු සේදයෙන් වියන ලද, අදහන්නට අමතක වූ දෙවිවරුන්ගේ කඳුළු වලින් තෙත් වූ සහ ලේ වැකි සඳක රතු දීප්තිය යටතේ වර්ණ ගැන්වූ අද්භූත සලුවක් ගැන පුරාණ පුරාවෘත්තවල ලියැවී ඇති බව ඉසානි දැනගත්තේ ඒ පොත් ඇසුරෙනි. මෙම සලුව පැලඳ සිටින්නාට මෙලොව නතු කරගන්නට නොහැකි කිසිවක් නැති බවත්, ඒ පුද්ගලයාට ඕනෑම හදවතක් තමන් වෙත නම්මා ගන්නත්, ඕනෑම විරුද්ධත්වයක් නිහඬ කරවන්නට හැකි බවත්, සතුරන් පක්ෂපාතී යටත් වැසියන් කරන්නට හැකි බවත් ඒ පොත් වල ලියැවී තිබුණි.  එහෙත් ඒ සලුව තිබෙන්නේ කොතනකද කියා ඒ කිසිදු තැනක සඳහන්ව තිබුණේ නැත.

සලුව තිබුනේ සියවස් ගණනාවක් තිස්සේ අතුරුදහන්වය.ගම්මානයේ බොහෝ අය ඒ සලුව මහා බියකරු දෙයක් ලෙස හැඳින් වූ අතර කුඩා කාලයේ තමන්ගේ අත්තම්මාද එයම කියන්නට යෙදුන බව මතක නමුත් කුඩා කුමාරියක වූ ඉසානිට වඩා රැජිණක වූ ඉසානි උන්නේ ඒ අදහස් කාලයත් සමග වෙනස් කරගනිමිනි. ‍රැජිණක් වූ ඉසානිට තිබුනේ පාලනයට ආශා කල හදවතකි.

ඇගේ රාජධානිය ස්ථාවරව තබා ගැනීමට, කැරැලි ගසන්නන්ගේ හඬ මැඩපැවැත්වීමට ඉසානි ආශා කළාය. ඒ නිසාම ඇය මේ අද්භූත සලුව විසින් එය පැළදගන්නා මිනිසා වෙත දෙන්නට පොරොන්දු වූ බලය සඳහා ආශා කළාය.

එක් සැන්දෑවක, පැරණි ලියවිලි සහ දැල්වෙන තෙල් ලාම්පු වලින් සරසා තිබූ ඇගේ පෞද්ගලික කුටියේදී, ඉසානි ඇයට වඩාත්ම හිතැති (යැයි ඇය සිතූ) උපදේශකවරයා සමග මේ අද්භූත සලුව සොයාගන්නා ආකාරය ගැන වාද කරාය.  මේ උපදේශකයා වනාහී කවුරුන්ද, කොහි සිට ආවාද කියා කිසිවෙකු දැනගෙන උන්නේ නැති නමුත් සියවස් ගණනාවක් තිස්සේ ඔහු උන්නේ රාජ්‍යයයේත් පාලනයේත් උන්නතිය උදෙසා ඔහුගේ තික්ෂන බුද්ධිය නොමසුරුව දායාද කරමිනි. එනිසාම ඔහු “හිතවතෙකැයි” විශ්වාස කරන්නට කාරණා ඉසානි ළඟ තිබුනාය. 

“යුද්ධ කරනවට වඩා, ලේ හලා ගන්නවට වඩා, කුමන්ත්‍රණ කරනවට වඩා හීන් නූලේන් ගේම ගහන එක තමයි හැමදාම වැඩ කරේ” කියා ඔහු කියද්දී ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට සියවස් ගණනාවක් තිස්සේ පැවතගෙන එන අද්භූත සලුව පිළිබඳ බව ඉසානිට තේරුම් ගන්නට අපහසු නොවුණාය.

එහෙත් ඒ සලුව කතාවක් පමණකි. එය සැබෑවටම දුටු අයෙක් මේ රාජ්‍යයයේ සිව් කොණෙන් කිසිම තැනක උන්නේ නැත.

“සලුව ගැනනෙ ඔය කියන්නේ? ඒක කතාවක් විතරයි? ඒක ඇත්තට දැක්ක කිසිම මනුස්සයෙක් නෑ”

“හැමදේම හරියන්න තියෙන්න ඕන එකම දේ තමයි විස්වාසෙ. විස්වාසෙ කියන දේ එක්කහු වෙලා තියෙන්නෙ ඔය කියන සලුවලවත් කතන්දරවත් අස්සෙ විතරක් නෙවෙයි. බලය එක්කහු වෙලා තියෙන්නෙත් විස්වාසෙ අස්සෙ විතරයි. විස්වාසෙ කියන්නෙ අපිට ඕනම දෙයක් රූකඩ වගේ නටවන්න උදව් කරන දෙයක්”

ඒ වචන ඔස්සේ ඉසානිගේ විශ්වාසය දිනාගන්න ඔහුට හැකි විය. උපදේශකවරයා ඉන් පසුව ගෙවුණ කාල හෝරාවම ගත කරේ ඉසානිට මේ විශ්වාසයේ බලය රැගත් අද්භූත සලුව හොයාගන්න වෑයම පැහැදිළි කරන්නටය. 

“අපි අපිව වහගන්නෙ රෙදිවලින් විතරක් නෙවෙයි. මිනිස්සු තමන්ව වහගන්නව විස්වාස කරන්න පුලුවන් විදියෙ ඕනම දේකින්. ඒක කතාවක්ද, මිත්‍යාවක්ද, හෙවණැල්ලක්ද කියන එක අදාල නෑ මිනිස්සුන්ට ඒක තමන්ගෙ හිතට කතාකරනවනම්. ඒ විස්වාසෙ තමයි ඇත්තටම මේ කියන සලුව වෙන්නෙ. තමන්ව වහගෙන තමන්ට ඕන දෙයක් වෙන එවුන් ලව්වා කරගන්න පුලුවන් සලුවක් තමයි උන්ගෙන් අපි දිනාගන්න විස්වාසෙ කියලා කියන්නෙ”

කාලය දින සති මාස ලෙස ගෙවී ගිය අතර, රාජධානිය තිබුනේ නොසන්සුන් රළ පහරක් මෙන් වෙනස් වෙමිනි. කැරලිවල කෙඳිරිලි ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය. ජනාකීර්ණ තැබෑරුම්වල සිට කාර්යබහුල වෙළඳපොළවල් දක්වා, නිහතමානී නිවාසවල සිට මාලිගාවේ දෝංකාර දෙන ශාලා දක්වා ඒ කැරළි ගසන්නන්නගේ හඬ ගලා ආහ. රාජ්‍ය උපදේශකවරයාගේ තිබුනේ හඬ සෑම තැනකම පිරී යමිනි:ී ඉසානි උන්නේ ඇය විසින් සොයාගන්නට යෙදුන බරැති සලුවෙන් තමාව සහමුලින්ම පාහේ වසා ගෙනය. හුදෙක් බැල්මකින් කුණාටු කැඳවිය හැකි වූද, එක් සිනහවකින් නිහඬ ශාපයන් රැගෙන යන්නට හැකි වූද, එක් වචනයකින් බලවත්ම රණ ශූරයන් දණ ගස්සවන්නට හැකි වූද බලයකින් දිනෙන් දින ශක්තිවත් වෙමිනි.

එනිසාම රාජ්‍යයයේ කිසිවෙකුත් උන්නේ ඉසානි රැජිණට විරුද්ධ නොවෙන තරම් නිහඬවය. 

ගම්වැසියන් උන්නේද ඉසානි රැජිණ විසින් කියන්නට යෙදුන සියලුම දේ විශ්වාස කරමිනි. රාජ්‍යය පුරාවටම තිබුනේ ඉසානිගේ හඬ දෙදරුම් දෙමිනි. රාජ්‍යය වැසියන්  කියා සිටියේ මධ්‍යම රාත්‍රිය පුරාවට සුළඟ සමග එහෙ මෙහෙ පාවෙන අද්භූත ගීත ඇසෙන බවය. සමහරු ඒ ගීත ලෙස හමා ආවේ රැජිණගේ වචන බවට විශ්වාස කළහ. ඉසානි කිසිවක් කීවේ නැත. ඇගේ සතුරන්ගේ හදවත් තුළට භීතිය රිංගා ගන්නා ආකාරය සහ ඔවුන්ගේ බියෙන් පක්ෂපාතිත්වය පිපෙන ආකාරය ඇය නිහඬවම බලා සිටියාය.

සුදුමැලි අඩ සඳක් යට එක් නිහඬ රාත්‍රියක, ඉසානි ඇගේ කැඩපතෙන් පෙනෙන ඇගේ මුහුණ බැලුවාය. කැඩපතෙන් එහා පැත්තේ අවසානයේ හෝ ජයගන්නට ලැබුණ රැජිණකගේ රුව පමණක් දකින්නට ඇය බලාපොරොත්තු වුණද තමන්ගේ රූපය පිටුපසින් යම් කිසි අඳුරු සෙවණැල්ලක් පෙනෙන බව ඉසානි දුටුවාය.

හදවත තිබුණේ උපදේශක තැන විසින් කියන්නට යෙදුන වදන් ආයෙ ආයෙම වාදනය කරමිනි.

“හැබෑවටම බලය කියන්නෙ ඔයා ඔයාව පරිස්සම් කරගන්න ඔයා වටේ එලන දැල නෙවෙයි. ඔයා ඔයාව පරිස්සම් කරගන්න ඔයා වටේ ඉන්න මිනිස්සුන්ගෙ ඔලුව ඇතුලෙ වියන දැල”

ඉසානිගේ තොල් මත සෙමින් සිනහවක් ඇඳි ගියාය. තමන්ට පවා නොපෙනෙන යම් කිසි රැහැනකින් තමන්ව පාලනය වන බවත්, ඒ වනාහී රැහැනක් පමණක් නොව ස්කන්ධයක් රහිත ආත්මයක් බවත් ඇයට දැනුනාය.

තමන් තවදුරටත් දිවි ගලවාගනු පිණිස කටයුතු කල රැජිණක් පමණක් නොව, සෙවණැල්ල පවා තමන්ට උවමනා විදියට හසූරවන්නට හැකි, මනසක් රජ කරවන ගැහැණියක් බවට පත් වි හිඳින බව ඉසානි විශ්වාස කරාය.

වසර ගණනාවක් ගෙවී ගියේ එලෙසින්මය. ඒ විශ්වාසයෙන්මය.

 රාජධානිය නිහඬ නමුත් අධිෂ්ඨානශීලී විය. කැරලිකරුවන් අතුරුදහන් වූ අතර, ගැඹුරු අදහස් තිබුණ රාජ සභිකයන් සහ හොඳින් සිතා තෝරා බේරාගත් වචන පමණක් කතා කළ ගම්වැසියන් විසින් රාජ්‍යය නැවත ප්‍රතිස්ථාපනය කරන ලදී.

උපදේශකවරයා ආ ලෙසින්ම අභිරහස් ලෙස අතුරුදහන් වූයේ ඒ කාලයේදීය.

ඔහු මිනිසෙකුද, අවතාරයක්ද, නැතහොත් මංමුලා සහගත රැජිනකගේ බල තණ්හාව විසින් ජීවත් කරවන්නට යෙදුණ දෝංකාරයක්ද යන්න කිසිවෙකු දැන සිටියේ නැත. ඉසානි පවා එය දැනගෙන උන්නේ නැත.

ඔහු අතුරුදහන්ව යන දිනට පෙර දිනයේ ඉසානි ඔහුගෙන් යමක් විමසා සිටියාය.

“මාව මෙච්චර බලයක් තියෙන මනුස්සයෙක් කරන්න උදව් වෙච්ච මේ සලුව ගැන උඹ මොකද හිතන්නේ?” කියා ඉසානි ඇගෙන් ඇසූ දිනයක ඔහු මෘදු ලෙස සිනාසුණාය. “ඒ සලුව කවදාවත් තිබුන එකක්වත් තියෙන එකක්වත් නෙවෙයි රැජිණි. රැජිණි ඒ කතාව විස්වාස කරා. ඒ විස්වාසෙ හන්දා රැජිණ ඒ කතාව දවසෙන් දවස ඇත්තක් කරන්න ඕන කරන දේවල් එක්‍කහු කරා. ඇත්තටම බලය කියන දේ තියෙන්නෙ ඒ විස්වාසෙ අස්සෙ විතරයි. අපි ඇත්ත කියලා පිළිගන්න දේ සහ අපි අපිට අපිවම වෙලා ඉන්න ඉඩ දෙන එක තුල තමයි අපි හැම තැනම හොයන ඔය බලය කියන දේ තියෙන්නෙ”

More Stories

Don't Miss


Latest Articles