අරුමැති ආදරයක් – 15

0
2402

 යුවතිය උන්නේ බත් පත අතගාමින්ය. යුගාෂ් කෑම කන අතරේම තම ජංගම දුරකථන තිරය මත ඇඟිලි තුඩු එහෙටත් මෙහෙටත් ගෙන ගියේ උවමනාවකටම නොවේ. ඉන් අපූර්වා පත්ව සිටින අපහසුතාවයෙන් මදකට ඇය නිදහස් වේයැයි ඔහු විශ්වාස කළේය.. 

“අපේ අපේ ජීවිතේ ගැන ගොඩක් දේවල් හිතනවා. ගොඩක් දේවල් ප්ලෑන් කරනවා ඒක ඔයත් මමත් අපි හැමෝමත් කරන දෙයක්. සමහර තැන් තියෙනවා අපූර්වා අකමැත්තෙන් උනත් අපිට නවතින්න සිද්ධ වෙනවා. ඒ වෙලාවට හොඳ හුස්මක් අරගෙන නතර වෙලා අපි ජීවිතය ගැන ටිකක් හිතන්න ඕන. ඔයා ඉන්නෙත් එහෙම තැනක. ඔයා ගැන කතා කරද්දි ගරාජ් එකේ අයියත් මට ගොඩක් විස්තර කිව්වා. යාළුවෙක්  විදිහට මගෙන් මොනවද ඔයාට කෙරෙන්න ඕනේ.”

අපූර්වා කිසිවක්ම නොකියා තම බත් පත දෙස බලා සිටියාය. බඩගින්නක් වුවත් තවමත් එහි අඩක්වත් නිම වී තිබුණේ නැත. සැබවින්ම ඇය උන්නේ මහත් වූ අපහසුතාවයක් දරමින්ය. එක නීතිඥයෙකු තමන්ගේ මුළු පවුලම විනාශ කර දමා තිබියදී තවත් නීතිඥයෙකු ජීවිතය ගොඩ නගා ගන්නට සහාය වන්නදැයි ඇසීමම විහිළුවකි. එහෙත් ඕ ඒ බවක් නොකීවාය. යුගාෂ් පවසන පරිදි තමාත් ඔහුත් අතර මිතුදමක් ඇතිවිය හැකිදැයි ඇය සිතුවේත් නිහඬවය.

යුගාෂ්ට දුරකථන ඇමතුමක් පැමිණියේ එවේලෙහිය. ඒ තීක්ෂණගෙන්ය.

“උඹ කොහෙද ඉන්නේ..”

“මචං මං පොඩි වැඩකට ආවා. මොකක්ද ප්‍රශ්නේ.”

යුගාෂ් එසේ ඇසුවේ තීක්ෂණගේ හඬ මදක් නොසන්සුන් වූ නිසාය. 

“පුෂ්පානන්ද සර් උඹව හොයනවා..”

“මොකටද කියලා අහපං…..”

“සර්ගෙන් කොහොමද බං  අපි එහෙම  ප්‍රශ්න කරන්නේ.” 

“හරි මම බලන්නම්….”

යුගාෂ් එසේ පැවසූයේත් යුවතිය දෙස බලාගෙනය. ඇය උන්නේ ඩෙවල්කළ ඉස්සෙකුට ගෑරුප්පුවෙන්  අනිමින්ය. 

“මේ දවස්වල නඩුවක් සම්බන්ධයෙන් මට බලපෑමක් තියෙනවා.”

යුගාෂ් එසේ පැවසූයේ අපූර්වාව යළිත්  කතාවට ඈඳා ගන්නටය. ඇගේ සිතෙහි කොහොමටත් නීතිය ගැන වූයේ අපැහැදීමකි. ඒ අපැහැදීමට පියාපත් දුනහොත් මෙවේලෙහි ඇගේ සිතුවිලි තුළට රිංගා බලන්නට තමාට හැකියාවක් වෙතැයි යුගාෂ් සිතුවේය. 

“මරණ තර්ජන…..”

සිතූ සේම අපූර්වා එසේ අසා  හිස ඔසවා බැලුවේ කලබලයෙන්ය.

“නෑ. තවම එච්චර දුරදිග ගිහින් නෑ. මං ඔයාට පස්සේ විස්තර කියන්නම්. ඇත්තටම අසාධාරණයක් වෙච්ච ගෑණු ළමයෙක්ගේ පාර්ශවය වෙනුවෙන් මං පෙනී හිටිනවා. ඒක ඇස් පනාපිටම   වෙච්ච අසාධාරණයක්. නමුත් මට ඒ නඩුවට පෙනී හිටින්න එපා කියන්න තරම් විත්තියේ  පාර්ශවයෙන් තර්ජන එනවා.”

“නීතිය ගැන නම් මගේ කිසිම විශ්වාසයක් නැහැ. කොහොම වුණත් සර් පරිස්සමෙන්. මේ ලෝකේ ඇත්තට තැනක් නෑ. සර්ගේ අම්මට, තාත්තට, සමහරවිට ගර්ල්ෆ්‍රෙන්ඩ්ට, වයිෆ්ට සර්ව නැති වෙන්න පුළුවන්. මං අඳුනන්නේ ඒ දුක, වේදනාව විතරයි සර්…සමහර මිනිස්සුන්ට හිතක් පපුවක් නැහැ. එහෙම මිනිස්සු අතින් මොනව  වෙයිද කියලා අපි කාටවත් කියන්නත් බැහැ. 

මේ යුවතිය වැඩිපුර යමක් කතා කළාමය. සිතු සේම ඇගේ හඬ අවදි කරන්නට තමාගේ උපාය සමත් වූ බව යුගාෂ් සිතුවේය.

“ලෝයර් කෙනෙක් දිවුරුම්  දෙන්නේ අසාධාරණය වෙනුවෙන් අවැසි තැනදී පෙනී හිටින්න මිසක් නොදැක්කා වගේ ඉන්න නෙමෙයි. එහෙම ඇස්කන්  පියාගෙන මේ රස්සාව කරන්න බෑ අපූර්වා. අනිත් අයට මං දන්නෙ නැහැ. මට කොහොමටවත් බැහැ. මං එහෙම කරපු කෙනෙකුත් නෙමෙයි.”

“අසාධාරණය වෙනුවෙන් පෙනී හිටින්න බැරි තැන්වලදී මග ඇරලා යන එක තමයි හොඳම දේ  කියලා මං තේරුම් ගත්තේ මගේ ජීවිතේ  අත්දැකීම් වලින්. සර්ට උපදෙස් දෙන්න සර්ගේ ෆීල්ඩ් එක  ගැන මම කිසිම දෙයක් දන්නේ නෑ. හැබැයි තමන්ගේ කෙනෙක් නැති උනාම දැනෙන දුක වේදනාව මං හොඳට අඳුනනවා.”

“මං ඒකේ සාධාරණකම ගැනවත් අසාධාරණකම ගැනවත් මේ වෙලාවේ අපූර්වා එක්ක කතා කරන්නේ නෑ. මොකද ඒ ගැන කතා කරන්න මං ඇත්තටම දන්නේ නැහැ. හැබැයි මං අපූර්වට එක දෙයක් කියන්නද”

“මොකක්ද සර්…”

“අපූර්වගේ තාත්ත ගතපු තීරණය මං කවදාවත් අනුමත කරන්නේ නෑ. තාත්තට නැතිවුණේ ඉඩමක් විතරයි අපූර්වා. එයාට ආදරේ කරන මිනිස්සු නැති උනේ නෑ” 

“නෑ සර් තාත්තට සහෝදරකම නැති උනා ආච්චි කියලා තියනවා මේ බාප්පට සහෝදරයෙක් නෙමෙයි තවත් තාත්තා කෙනෙක් කියලා. අවුරුදු ගානකින් සිංහල අලුත් අවුරුද්දට බුලත් කොළයක් දෙන්නවත් බාප්ප අපේ ගෙදරට ආවේ නෑ. ඒ උනාට හැම තැනකදිම තාත්ත බාප්ප ගැන කතා කලේ හරි ඉහලින්. මට උනත් කිව්වේ බාප්පා වගේ ඉගෙන ගනින් කියලා. ඒක අම්මට ප්‍රශ්නයක් නොවුනට මට ප්‍රශ්නයක් වෙච්ච තැන් ඕන තරම් තිබුණා. මඟදි හම්බ උනත්  අහක බලාගෙන යන බාප්ප ගැන තාත්තා ඇයි ඒ තරම් වර්ණනා කළේ කියලා අදටත් මගේ හිතේ තියෙන්නේ ලොකු පුදුමයක් සර්. තාත්තට දරාගන්න බැරි උනේ ඉඩම නැති වෙච්ච දුක නෙමෙයි ඒ සහෝදරකම නැති වෙච්ච දුක. අවුරුදු ගානක හිත් වේදනාවේ ප්‍රථිපල වෙන්න ඇති සර් ඒ”                

“මං මෙහෙම කියන්නේ අපූර්වගේ  හිතේ තාත්තා ගැන අමනාපයක් කලකිරීමක් ඇති කරවන්න නෙමෙයි. අපිව විශ්වාස කරගෙන අපේ වටේ අපිත් එක්ක ඉන්න මිනිස්සු ගැන අපිට වගකීමක් තියෙනවා අපූර්වා. අපිට යුතුකමක් තියෙනවා එයාලව ආරක්ෂා කරන්නත් ආදරේ දෙන්නත්. හිතා නොහිතා උනත්  අද ඔයා මේ කරන්නෙත් ඒ දේ. තාත්තට එක පාරක් ආපහු හැරිලා  හිතන්න තිබුණා අපූර්වා. එයාගේ අම්මගේ ජීවිතේ, තමන්ගේ බිරිඳගේ ජීවිතේ, ඔයාගේ ජීවිතේ..එහෙම ඒ වගකීම් වලින් යුතුකම් වලින් පැනලා යන්න අපිට පුළුවන්ද අපූර්වා…කිසිම මනුස්සයෙක් ඒ තරම් දුර්වල වෙන්න ඕනද මේ ජීවිතේ ඇතුලේ.”

නිහඬව ගලාගිය  කඳුළු බිඳුවක් කුඩා මේසය මත වැටී බොඳව යන අයුරු යුගාෂ් බලාගෙනය. ඔහු මේ සියල්ල පවසන්නේ යුවතියගේ සිත යළි යළිත් වේදනාවට පත් කිරීමේ අරමුණින් නොවේ. ඇගේ සිත විවර කරන්නනම් වේදනාවට ඉඩක් දිය යුතු බව ඔහු විශ්වාස කළේය. බොහෝ විට ගැහැණුන් කතා කරන්නට පටන් ගන්නේ එතැනින්ය. ගැහැණුන් දිනන්නේද, නොනවත්වා අරමුණු හඹා යන්නට පටන් ගන්නේද එතැනින්ය. ජීවිතයතුල  ලැබූ අත්දැකීම් තුළින්, වේදනාව තුළින් ශක්තිමත් වන ගැහැණිය අව් වැසි වලින් පරාජය කල නොහැකි  රාජාලි ධේනුවක වැනියැයි  ඔහු විශ්වාස කළේය. 

“මේ ජීවිතය අතරමඟදී,  එක තැනකදි ඔයාට ඔයාවම නැති වුණා. මේ ඉන්නේ තාත්තා මැරෙන්න කලින් ඉඳපු අපූර්වා නෙමෙයි.”

“ඒ  අපූර්වා වෙන්න ආයේ කවදාවත් මට බැරි වෙයි සර්..”

යුවතිය එසේ පැවසූයේ මද හඬකින්ය. කොපුල් දිගේ  ගලා නොගියාට ඒ දෑස් වල වූයේ පිට පනින්නට පොර බඳන කඳුළකි. 

යුගාෂ් අද මේ පවසන කතාව මින් පෙර ත්‍රී රෝද රථ ගාලෙහි වූ ඔහුගේ මිතුරන් විවිධ ස්වරූපයෙන් පැවසූ අයුරු අපූර්වාට සිහි වූයේ එවේලෙහිය. 

“සහෝදරකම්  නැති උනේ අද ඊයේ නෙමෙයිනෙ දුවේ. ඊට වඩා වටින අම්මා කෙනෙක්, ගෑනියෙක්, දරුවෙක් හිටියා කියලා මේ මනුස්සයට හිතන්න තිබුණනේ.”

“තරහ වෙන්න එපා මෙහෙම කිව්වට තාත්තා මේ අරගෙන තියෙන්නේ කොන්දක් පණ තියෙන මනුස්සයෙක් ගන්න තීරණයක් නෙමෙයි. සොල්දර  ගෙදරයි, ඉඩමයි නැතිවුනාට පර්චස් හත අටක් හරි තමන්ගේ කියලා ඉතුරු වෙලා තිබුණනේ. කොහොමින් කොහොම හරි අව්වට වැස්සට නොතෙමී ඉන්න ගේ කෑල්ලක් ඒකෙ අටව ගන්නත් පුළුවන් උනානේ..ඉතින් මැරෙන්න තරම් හේතුවක් තිබුණද…”

“ගෑනු තුන්දෙනෙක් තනිකරල දාලා මේ වගේ ගමනක් යන්න ඒ මනුස්සයා කොහොම හිත හදා ගත්තද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ..”

ඔවුන් කුමක් පැවසුවත්  අපූර්වා එකදු වදනක්වත් කතා නොකළාය. ‘තාත්තා ඇයි එහෙම තීරණයක් ගත්තේ’ යනුවෙන් ඇය ඇගේ සිතින් ප්‍රශ්න කළ වාර ගණන අනන්තය. 

“අපේ අම්මයි තාත්තයි උනත් කියන්නේ උඹලයි තාත්තා අන්තිමට ගන්න ඕන තීරණයලු ඉස්සර වෙලා අරන් තියෙන්නේ..මාමා  එහෙම කරපු එක සාධාරණයක් නෑ බං. බලහං උඹේ ජීවිතයට වෙච්ච දේ. අර අම්මගේ ජීවිතයට වෙච්ච දේ. අර වයසක මනුස්සයාට සැනසිල්ලෙ ඇස් දෙක පියාගන්න ඉඩක් තියෙනවද බං.”

යෙහෙළිය පවා පැවසූයේ එසේය. සමහර අධි සංවේදී මිනිසුන් ජීවිතයට මුහුණ දිය නොහැකි තැනදී ප්‍රශ්නවලින් පලා යන බව අපූර්වා දැන සිටියාය. ඒ පලා යාමේ ලෙහෙසිම ක්‍රමය සිය දිවි හානි කර ගැනීම බව ඔවුන් විශ්වාස කරනු ඇත. තාත්තා වුවත් මේ කලේ එයම බව අපූර්වා දනී. දැන් මැරි මැරී ජීවත් වන්නේ ආච්චීත්, අම්මාත්, තමාත්ය.

“ඒ වැටුණු තැනින් නැගිටින්න හයියක් තියෙන්න ඕනේ අපූර්වා. අපේ අම්මා නිතරම කියන දෙයක් තමයි පිරිමියෙක්ට තියෙන්නෙ කායික හයිය නමුත් ගෑනියෙක්ට තියෙන්නේ මානසික හයිය කියලා. අවුරුදු අටක් වෙච්ච මේ වෘත්තිය ජීවිතේදිත්  මං ඒක ඒ විදිහටම අත් දැකලා තියෙනවා අපූර්වා. සමහර ගෑනු ජීවිතේ අල්ල ගන්නෙ පිරිමියා අතෑරපු තැනින්. ගෑනු ශක්තිමත් වෙන්න් ප්‍රශ්න ලගදි. මට ඔයා ගැන තිබුනෙ පුදුමයක්, කුතුහලයක්,  ඒ නිසාම මං ගරාජ් එකේ අයියගෙන්  ඔයා ගැන ඇහුවා. මේ ගොඩක් දේවල් මං දැනගත්තේ එතනින්. ඔයා තාම ජීවිතය පටන් ගත්ත විතරයි දරුවෝ.” 

එසේ පවසා යුගාෂ් මද වේලාවක් ගතව යනතුරු යුවතිය දෙස බලා උන්නාය.

“තාත්තා මැරුණා. බාප්පට රිදුනද..රිදුනේ ඔයාටයි, අම්මටයි ආච්චිටයි. අපූර්වා මනුස්සයෙකුට රිද්දන්න ඕනනම් නං රිද්දන්න පුළුවන් හොඳම ක්‍රමය ඕක නෙමෙයි.  හෙමිහිට හිතන්න. ආපහු ඔයා ඔයාවම හොයාගන්න..”

යුගාශ් නැගී සිටියේ එසේ පවසමින්ය. අපූර්වා තවත් තත්පර කිහිපයක් යනතුරු එතැනම හිඳ ඔහු දෙස බලා සිටියේය. ඒ වදන් ඇගේ දෙසවන් පුරා දෝංකාර නංවන්නට විය. යුගාෂ් උසාවි සංකීර්ණය තුළදී අසාධාරණයට ලක් වූ තමා වෙනුවෙන් පෙනී සිටියාවන් හැඟීමක් අපූර්වාට දැනෙමින් තිබිණ. ඇය ත්‍රී රෝද රථය අසලට යන විට ඔහු උන්නේ පිටුපස අසුනෙහි වාඩිවීගෙනය. හිසමත වූ මහා බරැති යමක්  බිම තැබුවාක්වන් හැඟීමක් ඇයට දැනෙමින් තිබිණ. ඕ ත්‍රී රෝද රථය පණ ගන්වා ගත්තේ, ඒ සැහැල්ලුවට හදවත පුරා ඇවිද යන්නට ඉඩ දෙමින්ය. 

(යළිත් හමු වෙමු ආදරයෙන්…….)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here