පිණි මුතු පලසක් – 38

0
1493

“ටීචර්” කියා විවර වුන දොරෙන් සත්සරාගේ රුවත් හඬත් ආ තැන සමුධ්‍යා ඇත්තටම ගල් ගැසුණාය. තමන් විසින් බේරාගන්නට කටයුතු කරන ලද සියලුම දෙනා එකට එකතු වී තමන්ව මුලා කරන්නට ඇතිද යන වේදනාබර වූද, බියකරු වූද සැකය හිත වෙලා ගනිද්දී සමුධ්‍යා උන්නෙ තප්පර කිහිපයක් තිස්සේ නිහඬවය.

“සත්සරා? ඔයා මෙතන මොනවද කරන්නේ? ඔයාවත් මුන් කිඩ්නැප් කරාද? ඔයාට කරදර කරාද? කවුද මේවා කළේ?” සමුධ්‍යා කටහඬ යන්තමින් හෝ යථා තත්වයට පත් කරගෙන ඇසුවේ වුවද, ඇගේ හඬෙහි තිබුණේ වෙව්ලීමකි. ඒ වෙව්ලීම පිටිපස්සේ “මං මෙච්චර පරිස්සම් කරන්න හදපු ළමයව මුන් විනාස කරලද?” කියන හැඟීම නොතිබුනා යැයි කියන්නා ස්ථිරවම නොහැක.

සත්සරා ඇය අසලට පැමිණ, ඇගේ බැඳීම් ලිහිල් කිරීමට උත්සාහ කලේ සමුධ්‍යා එවන් සිතුවිලි දහසක් අස්සේ ගිලී යද්දී වුවද එක එල්ලේ තමන්ව ලෙහන්නට කටයුතු කරන සත්සරා මතම දෙනෙත් අලවාගෙන ඉද්දීය.

 “ටී..ටීච්..ටීචර්… මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ මොනවද කරන්නේ කියලා. තාත්.. තාත්තා… තාත්තා තමයි මේ හැමදේම කළේ. එයා… එයා මට කිව්වා ඔයාට කතා කරන්න කියලා. අනේ ටීච මම දන්නෙ නෑ මොනවද කරන්න ඕන කියා” කියද්දී  සත්සරාගේ කටහඬ බිඳී ගියේය. ඇගේ දෑස්වල කඳුළු පිරී තිබුණි.

සමුධ්‍යාට තවමත් කරුණු පැහැදිලි නැත. “ඔයාගේ තාත්තා? මොනවද එයාට ඕන? ඇයි එයා මට මෙහෙම කළේ? කවුද ඔයාගේ තාත්තා?” කියා සමුධ්‍යා ඇසුවේ සියල්ල එකවර තේරුම් ගැනීමට උත්සාහ කරන්නාක් මෙනි. අනෙක් අතට මෙපමන දවසක් අවජාතක දරුවෙකැයි ගම්මුන් විසින් හංවඩු ගැසූ සත්සරාගේ පියා එකපාරම මෙලෙස මතුවීමත්, අනෙක් අතට තමන්ගේ පැහැරගෙන යාමට ඔහුගේ තියෙන සම්බන්ධයත් සමුධ්‍යාට ගලපගන්න පුලුවන්කමක් තිබුනේ නැත.

“ඔව් ටීචර්, එයා තමයි. මන්ත්‍රී තුමා තමයිලු මගෙ තාත්තා. අම්මා කිව්වෙ ටීචර්. අම්මා කිව්වා මං මේ කරපු දෙයින් අන්තිමේ අපේ තාත්තයි අයියයි කරදරේක වැටිලා හන්දා මං කරන්න ඕන මේ නඩුවෙන් අයින් වෙන එක කියලා. මං නිසා තමයිලු මේ හැම කරදරයක්ම වෙන්නේ කියලා එයා කිව්වා. මම… මම දන්නේ නැහැ මොනවා කරන්නද කියලා ටීච.ලකී මහත්තයා කියන්නෙ මගෙ අයියා නම් ඇයි ටීච අයියා මට කරදර කරන්න හැදුවෙ?” කියා අහද්දී සත්සරාගේ දෙනෙතින් කඳුළු ගලා හැලෙන්නට විය. ඇය සමුධ්‍යාගේ අතක් අල්ලා ගත්තේ, කුඩා දරුවෙකු රාත්‍රියේ සිහිනයක් දැක බියට පත් වූ පසු පසෙක නිදන අම්මාට තුරුලු වී සැනසිල්ලක් සොයන්නාක් මෙනි.

සමුධ්‍යා සත්සරා දෙස බැලුවාය. ඇගේ මුහුණේ තිබුණේ වේදනාවකි. “සත්සරා, එහෙම කියන්න එපා. මේක ඔයාගේ වරදක් නෙවෙයි. මේක මගේ වරදක්වත් නෙවෙයි. මේ වැරදිකාරයො කවුද කියන එක අපි හොඳටම දන්නවා නේද පුතේ? ඔයාගේ තාත්තා උනත් අයියා උනත් කරපු දේ වැරදි නම් ඔයා කරන්න ඕන ඒ අය ඔයාගෙ පවුලෙ අය කියලා බේරන එක නෙවෙයි. වැරැද්දට දඬුවම් කරලා දෙන එක. අනික ඔයා ආච්චි අම්මා එක්ක අර පොඩි පැලේ දුක් විඳිද්දි ඔය අයියල තාත්තලා අම්මලා කවුරුවත් ආවද පුතේ ඔයාට උදව් වෙන්න නෑ නේද?”

“මං දන්නවා ටීච. ඒ උනාට අම්මා කිව්ව ඉස්සර මට කොහොමත් පවුලක් තිබ්බෙ නැති එකේ දැන් මේ පවුලක් ලැබෙන්න යන වෙලේ ඒක නැතිකරගන්න එපා කියලා. මං ගිහින් කිව්වොතින් පොලිසියට ප්‍රශ්නෙ විසඳිලා අයියට ගෙදර එන්න පුලුවන් වෙයිලු. අම්මා ගෙදර එනවනම් තාත්තා කෙනෙක්ව හම්බුවෙනවනම් මට ඉස්සරහට හොඳට ඉන්න පුලුවන් වෙයි නේද ටීච? මිනිස්සු මුකුත් කියන එකකුත් නෑ.අපිට කන්නත් තියේවි හොඳට.

මම නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ කියල අම්මයි තාත්තයි දෙන්නම කිව්වා. මටම විතරලු පුලුවන් ඒක වෙනස් කරන්න. මම එදා ඒක නොකිව්වා නම්, මම ඒ ගැන කතා නොකළා නම්, මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. ටීචට මෙහෙම වෙන්නේත් නැහැ. අරුණ සර්… අයියාටත් කරදර වෙන්නේ නැහැ.” කියද්දී සත්සරාගේ කටහඬේ තිබුණේ දරුණු පසුතැවිල්ලක් බවත් මෙතරම් කුඩා අවදියකදී ඇය තමාටම දොස් පවරා ගනිමින් ඉන්නා බවටත්, ඇයට සිදු වූ කරදරයෙන් ගැලවෙන පිණිස අපරාධකරුවන් මේ කුඩා දරුවාගේ මනස දූෂණය කරමින් හිඳින බවත් සත්සරාට සියලුම බය සැක සංකා අස්සේ මතක් වූවාය.

සමුධ්‍යාට සිතුනේ මේ කුඩා දරුවා මේ තරම් දුරට මේ සංකීර්ණ තත්ත්වය තේරුම් ගන්නේ කෙසේද කියාය. 

“සත්සරා පුතේ, එහෙම කියන්න එපා. ඔයා කළේ හරි දේ. ඔයා කතා කළේ ඔයාට වෙච්ච අසාධාරණය ගැන. ඒක වැරදි නැහැ. මේක ඔයාගේ වරදක් නෙවෙයි. මේක අපරාධකාරයෙක්ගේ වැඩක්. අපි මේකෙන් එළියට එන්න ඕන. අපි මේකෙන් එළියට එනවා. ඔයා හිතනන් ඕන ඒක විතරයි. අරුණ සර් දැනටම අපිව හොයනවා ඇති.” සමුධ්‍යා හැකි තරම් ශක්තිමත් හඬකින් පැවසුවාය. ඇය සත්සරාට ධෛර්යය දීමට උත්සාහ කළේ නමුදු ඒ වදන් අස්සේ තිබුනේ තමන් විසින් තමන්ටම ධෛර්යය වන්නට කියන හැඟීමකි.

“ඒත්… ඒත් ටීචර්.. අරුණ සර්ටත් දැන් ප්‍රශ්නයක් වෙලා නේද? තාත්තා කිව්වා එයා පොලිසියට ගියොත් හැමෝම දැනගනීවි කියලා තාත්තා තමයි මේ හැමදේම කළේ කියලා. එතකොට අරුණ සර්ටත් කරදර වෙනවා නේද?” සත්සරා ඇසීය. ඇගේ දෑස්වල ඇඳී තිබුනේ බියකි. කුතුහලයකි.

සමුධ්‍යාගේ හිත තවත් වේදනාවෙන් පිරී ගියේය. සත්සරා නිවැරදි බවත්, අරුණ මේ වන විට විශාල ගැටලුවකට මුහුණ දී සිටින්නට ඉඩක් ඇති බව දන්න නමුත්, මේ කුඩා දරුවාට බියක් ඇති කරවීමට උවමනා නොවන හන්දාම තමන්ට රඟපාන්නට සිදු වන  බවත් සමුධ්‍යා දැන සිටියාය.

 “අරුණ සර් එහෙම කරන්නේ නැහැ සත්සරා. එයා යුක්තිය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. එයා කවදාවත් වැරදි දෙයක් කරන්නේ නැහැ. අනික පුතේ ඔයා දන්නවද අරුණ සර් කියන්නෙ කවුද කියලා? ඔයා ෆෝන් එකෙන් කතාකරාට සර්ව දැක්කෙ නෑනෙ. සර්ව දැක්කනම් සමහර විට ඔයා අඳුරගන්න තිබ්බා. අරුණ සර් කියන්නෙ වෙන කවුරුවත් නෙවෙයි මන්ත්‍රීතුමාගේ ලොකු පුතා. ඔයාලා ප්‍රභාත් බේබි මහත්තයා කියන කෙනා. ඔයාට ඉන්නෙ එක අයියෙක් නෙවෙයි පුතේ. අයියලා දෙන්නෙක් ඉන්නවා. ඒ අයියා ඔයා එයාගෙ නංගි කියලා දන්නෙවත් නැතුවයි ඔයාව පරිස්සම් කරන්න මෙච්චර මහන්සි වෙන්නෙ?

ඔයා හිතනවද ඒ අයියා කීයටවත් ඔයා එයාගෙ නංගි කියල දැනගත්තට පස්සෙ සද්ද නැතුව ඉඳීවි කියලා? ඒ හන්දා බයවෙන්න එපා. ඔයා ඉස්සරහටත් අම්මල කියන දේ අහන් ඉන්න. මං කියන කිසිම දෙයක් කාටවත් කියන්න එපා. ඒ වගේම තමයි ඔයා පොලිසියට ගිහිල්ල පැමිණිල්ල අයින් කරගන්න හැදුවත් ඒක වෙන්නෙ නෑ පුතේ. එහෙම දේකට ලංකාවෙ නීතිය ඉඩ දෙන්නෙ නෑ”

” මට බයයි ටීච,” සත්සරා සමුධ්‍යාගේ අතක් අල්ලාගත්තාය. ඇගේ දෑස්වලින් කඳුළු වැගිරෙමින් තිබුණි. “අනේ මට තේරෙන්නෙ නෑ ටීච මේ මුකුත්. මට වෙලාවකට හිතෙනව මං මේ හැමදේම කිව්ව එක අපරාදෙ කියල. නොකිය උන්න නම් මම විතරයි නේද ඒක දන්නෙ? එහෙනම් මෙහෙම වෙන්නෙ නෑනෙ.” කියමින් ඇය කුඩා දරුවෙකු මෙන් හඬා වැටුණාය.

“මටත් බයයි පුතේ. මං බය නැත්තෙ නෑ. ඒ උනාට අමතක කරන්න එපා අපි වරදක් කරේ නැත්තම් අපි කිසිම දේකට බය වෙන්න ඕන නෑ. ඔයාට කවුරු නැතත් මමයි, අරුණයි, ආච්චියි ඉන්නවා. ඔයාව පරිස්සම් කරන්න අපි තුන් දෙනා ඕන දෙයක් කරනවා”

ඔයා දැන් මට කියන්න ඕන මොනවද මන්ත්‍රී තුමා තව කිව්වේ කියලා එයා දැන් කොහෙද ඉන්නේ?” කියා සමුධ්‍යා අහද්දී සත්සරා කරේ එක එල්ලේ සමුධ්‍යා දෙසම බලා ඉන්න එකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here