දොළ අසල රෙදි සෝදමින් උන් අපූර්වා අඩියට දෙකට නිවස දෙසට දිව ආවේ කිසිවෙකුගේ උස් හඬක් නිවස දෙසින් ඇසුණු නිසාය.ඒ එක් අයෙකුගේ හඬක් නොවන බව අවසන ඇයට පැහැදිලි වූයේ මද වේලාවක් අසා සිටියාට පසුවය.. රෙදි බේසම ගැන නොසිතූ ඕ අඩිය ඉක්මන් කලේ ලිස්සා යන ගල් ගැනවත් තැකීමක් නොකරය.
“මේකි අසනීප වෙච්ච එකී කියලා හිතන්න උඹට මනුස්සකමක් නොවුනෙත් උඹේ පවටම තමයි පොඩි පුතේ. උඹ මේ පව් කර ගහගෙන මොන අපායක යන්නද කියලා මටනම් තේරෙන්නේ නෑ.”
“අම්මල දැනගන්න ඕනේ අසනීප එකී ගේ ඇතුලෙ තියාගන්න. අනුන්ගේ වතුවල හතර මායිම් හොයන්න යනවා තවත්. මුන්ට අසනීප ද අසනීප වගේ රඟපානව ද කියලා කවුද දන්නේ?. ආයේ මට කියන්න ඉඩ තියන්න එපා. මේකි මේ ගම වටේම ඇවිද්දත් කමක් නෑ මගේ වත්තට අඩිය තියන්න ඕනේ නෑ.”
“මනුස්සකං නැති උඹ වගේ එකෙක් මගේ බඩෙන් ඉපදුණාද කියන එකත් මට සැකයි දැන්. මගේ එකී මං බලා ගන්නම්. බොහොම ස්තුතියි උඹ කරපු උදව්වට…පිට මිනිස්සු ලඟ මීට වඩා ගුණේ තියෙනවා”
පැමිණ සිටියේ බාප්පත් ඔහුගේ මෑතක විවාහ වූ පුතාත්ය. බාප්පාට අයත් ඇල්ටෝ වර්ගයේ කාරය කඩුල්ල අසල විය. ආච්චී උන්නේ අම්මාගේ අත තදින් අල්ලා ගෙනය. අවුල්ව ගිය හිස කේ ඇද ගනිමින් දත් විලිස්සමින් ඕ බාප්පාට අත දිගු කරමින් අපැහැදිලි යමක් මුමුණමින් උන්නාය.
“ආ…..මේ ඉන්නේ අනිත් එක්කෙනා. උජාරුවට කියන්නේ අම්මව බලා ගන්නවා කියලා. අම්මා අනුන්ගෙ වතු අස්සේ රිංගනකල් දූ දන්නෙ නෑ.”
“මොකද ආච්චි වුනේ…..”
අපූර්වා ආච්චී දෙසට හැරුනේ ඔහු පැවසූ දෑ නොඇසුනා සේය.
“මං ලැට් එකට ගිය ඩිංගට උඹලගේ අම්මා සොල්දර ගෙදර වත්තට රිංගලා කජු ගහ තිබුණු තැන හිටියලු. මේ මහත්තයා අලුතින් කැන්දන් ආපු මනමාලි බයවෙලාය කියන්නේ.”
මුල් වදන් කිහිපය කෝපයෙනුත් ඉතිරි වදන් අවඥා සහගත ස්වරූපයකිනුත් පැවසූ ආච්චි යළිත් අම්මාගේ අත අල්ලා ගත්තේ ඇයට ‘ඌයි’ කියැවෙන තරම් තදින්ය.
“මේ මහත්තයලට ස්තුති කරල උඹේ අම්මවත් අරගෙන ගෙටෙ පලයන්. මේ ඉන්නෙ මැරිලා උපන් මිනිස්සු. තමන්ට තමන්වත් අමතක වෙන ගානට මුං ඉන්නෙ ගෑනුන්ට යට වෙලා..”
අපූර්වාට යමක් පවසන්නට ඉඩක් නොතියා ආච්චී කියවාගෙන ගියේ කෝපයෙන්ය. අම්මාගේ අත අල්ලාගෙන ඇයව නිවස තුළට කැඳවාගෙන යනු වෙනුවට අපූර්වා කළේ ආච්චීව නිවස තුළට කැඳවාගෙන යාමට උත්සාහ දැරීමය.
“මේවා අම්මලාගේ වැරදි. අම්මලාගේ වැරදි වලට මට දොස් කියන්න එපා. අම්මා තමයි පවුලේ බාලයාට අයිති වෙන්න ඕන දේවල් දෙකට බෙදන්න ගියේ. එහෙම නොවුනනම්…”
“ඔව්… මේවා මගේ වැරදි තමයි. උඹ වගේ එකෙක් උපද්දලා උස්මහත් කරපු මගේ වැරැද්ද. ලක්ෂෙට කොඩිය දාගෙන හිටියත් වැඩක් නෑ පොඩි පුතේ මනුස්සකම දන්නෙ නැත්නම්. උඹටයි, මටයි උඹේ සහෝදරයාටයි මේ හැමෝටමයි අන්තිමට අයිති වෙන්නේ හතර රියන විතරයි. උඹ බලෙන් අයිති කරගත්ත දේවල් උඹ යනකොට ගෙනියන්නේ නෑ. බල්ලොත් නොකන සල්ලි”
“මං කිසි දෙයක් බලෙන් අයිතිකර ගත්තේ නෑ අම්මේ. ඒවා මට අයිති වෙන්න ඕන දේවල්. මගේ ගේ උනත් මම ලියන්නේ බාල කොල්ලට. අනිත් එවුන් කසාද බැඳගෙන වෙනම ජීවත් වෙන්න ඕනේ. මට යුතුකම් හරියට කරලා තිබුණානම් මමත් යුතුකම් ඉෂ්ට කරනව තමයි. එදා ඉදලම ඕකා ඔය ගේ අස්සෙ ලැඟගෙන හිටියේ ගෙට තියෙන තණ්හාවට තමයි. මැරිලත් නිදහසක් නෑ.”
“අම්මා කෙනෙක් විදිහට උඹට හෙන ඉල්ලන්න බෑ පොඩි පුතේ මට. ඒක නිසා මගේ දෑහැට නොපෙනී මෙතනින් පලයං. මේවා උඩ ඉන්න දෙයියන්ටම පේන්න ඕන.”
“අනේ අපි යමු ආච්චි ගෙට.”
අපූර්වා යළිත් එසේ පැවසූයේ ගුනවතී නැන්දා පැමිණ කඩුල්ල පනිනු දුටු නිසාය. බාප්පාත්, ආච්චීත් කෑ ගසා ගත්තේ අහල පහල නිවාස වලට ඇසෙන තරම් උස් හඬින්ය.
“යන්න මිසක් මෙතන පැළපදියන් වෙන්න ආවේ නෑ. නතර වෙන්න වටින රාජ මාලිගානෙ මේවා. උඹලගේ මෙන්න මේ පිස්සිව ගෙදර තියාගනින්. අනිත් මිනිස්සුන්ට කරදර කරන්නේ නැතුව. ආපහු ආවොත් කුදලගෙන ගිහිල්ලා පොලීසියට බාර දෙනවා මිසක් මෙහෙම කැන්දගෙන එන් නෑ. ගෙදර තියාගන්න බැරි නම් ගිහින් දාපන් අංගොඩ. මේවා කරුම”
බාප්පා යළි හැරුනේ එසේ පවසමින්ය. ඔහුගේ පුතාත් ඒ පසුපස වැටුනේ නිහඬවය.
“උඩ ඉන්න දෙයිහාමුදුරුවොම මේව බලා ගන්න ඕනේ. කරන්න තියෙන දහ දුරාකම් ඔක්කොම කරලා සුදන වගේ කතා කරන හැටි. උඹට නෙමෙයි පුතේ මේ සාපෙ වදින්නේ මට. උඹ වගේ තිරිසනෙක් මේ බඩෙන් ජාතක කලාට. මේ පවු පලදෙන දවසක් එනවා. එදාට යන්න වෙනම අපායක් හදන්න වෙයි.”
ආච්චී එසේ පැවසූයේ කෑ ගසමින්ය. කඩුල්ල අසලට ගිය බාප්පා තවත් මොන මොනවාදෝ පවසා බැන වදිනු ඇසුණත් අපූර්වා ඉන් පෙර අම්මාත් ආච්චිත් දෙදෙනාම නිවස තුළට ගෙන ගියේ තල්ලු කරගෙන සේය.
“මොකද බං මේ උදේ පාන්දර…..”
ගුණවතී නැන්දා ගෙට එබුණේ එසේ අසාගෙනය.
“මේ කෙල්ල රෙදි බේසමක් උස්සගෙන දොළට ගියා බං. ඒ අතරේ මම විනාඩි පහකට ලැට් එකට ගියා. ඉස්සරහ දොර වහල තිබුනට මට පිටිපස්සේ දොර වහන්න අමතක වුණා. ඒ ඩිංගත්තට මෙන්න මේකි ගිහිල්ලා ලොකු එකා මැරිච්ච කජු ගහ තිබුණු තැනට වෙලා හිටගෙන ඉන්නවලු.මොකට ඒවයේ රිංගන්න යනවද මන්දා..”
“මේකිට සිහියක් තියෙනවද බං යන්නේ කොහෙද ඉන්න කොහෙද කියලා හිතන්න”
“අලුතින් ආපු ළමා තැනී මේකේ දැකලා බයවෙලා කෑ ගහන්න තියා ගත්තලු. ඊට පස්සේ මහ මිනිහා ඇවිල්ලා කාර් එකේ දාගෙන ඇවිත් තමයි උපදෙස් දෙන්න ගත්තේ.”
“මහා පුදුම සහෝදරවරු.”
“සහෝදරකං උගේ ළඟ තිබුන නම් මෙහෙම වෙයිද බං. මිනිස් ආත්ම වලින් ඉපදුණාට කරන වැඩ තිරිසනුන්ටත් අන්තයි.”
“උඹ ගිහිල්ල රෙදි ටික හෝදන් වරෙන් කෙල්ලේ එතකන් මං ඉන්නං. ඕවා ගැන එච්චර හිතන්න ඕනේ නෑ. උන් කරගන්න පව් උන් ගෙනියයි.”
කිසිවක් නොකියූ අපූර්වා යළිත් දොළ දෙසට යාමට පෙර අවුල් වී තිබූ අම්මාගේ හිස කෙස් එක මිටකට එක්කොට ගැට ගැසුවාය. කිසිවක වගක් නොවූ ඕ තවත් හිනැහෙමින් මොනවාදෝ කියවන්නට විය. සිය පපුව තුළින් මතුව ආ හීන් රිදුමට ඉඩ දෙමින් යුවතිය දිගු සුසුමක් මුදා හැරියාය. මෙවේලෙහි අම්මාත් ආච්චීත් නිවසෙහි තනිකර ත්‍රී රෝද රථ ගාල්ලට යාමට තරම් සිතක් ඇයට වූයේ නැත. එනිසාම රෙදි සේදීමට ඕ ඉක්මන් නොවූවාය. අපූර්වා අම්මා අසලින්ම අසුන් ගත්තේ දොළට යන්නට ඉදිරියට තැබු අඩිය ආපසු පසුපසට ගනිමින්ය.
“අද අර මිනිස්සුත් එනවා කිව්වා නේද කෙල්ලේ. හිත පිරිසිදු කරගෙන ඒ මිනිස්සුත් එක්ක වෙන්න ඕන දේවල් සාකච්ඡා කර ගනින්. උඹලයි බාප්පට තියෙන්නේ උඹලා මෙහෙමවත් ඔලුව උස්සගෙන ඉන්නවා බලන්න බැරිකමක්. අනිත් අතට මේ ගමේම මිනිස්සු උන්ව කොන් කරලා කියලා උන් දන්නවා. ඒ තරහත් උන්ට ඇති. උන්ට පොළොවේ පය ගහලා ජීවත් වෙන්න බැරි උනෙත් උන්ගෙම කරුමෙට. උඹට වරදින්නේ නෑ කෙල්ලේ…..”
ගුණවතී කියවාගෙන ගියේ අපූර්වා දෙස බලාගෙනය. ආච්චී මදක් පහත් වී ඇඳ උන් චීත්ත රෙද්දෙන්ම දෑස් මුල පිස දා ගන්නවා අපූර්වා දුටුවාය. අම්මා මේ අයුරින් නිවසින් බැහැරව ගිය සෑම විටකදීම ඈ වරද පටවා ගන්නේ තමාටමය. ‘මට දොර වහලා යන්න ඩිංගිත්තක් අමතක උනා…’ ඈ එසේ කියූ වාර ගණන කීයක්දැයි අපූර්වාගේ මතකයේ නොවේ.
“තවත් මොනවද නැද්දේ අපිට වරදින්න තියෙන්නේ..”
එසේ සිතුනත් අපූර්වා ඒ හඬ පිට නොකළාය. ඒ වෙනුවට අම්මාගේ දෑත් අත ගෑවේ කොපුල් දිගේ ගලා හැලෙන කඳුළුවලට ඉඩ දෙමින්ය. සුදු පැහැ වූ දකුණු අත රතුව තිබිණ. ඒ ආච්චී තදින් අල්ලාගෙන සිටි තැනය.
“ඒ කජු ගහේ මුලක්වත් දැන් එතනන නෑ බං. මේකි ගිහිල්ලා එතැනම නතර වෙච්ච එකනේ පුදුමේ.”
අපූර්වාත් පියසීලීත් ගුණවතී දෙස බැලුවේ තිගැස්සීගෙනය. එය දෙදෙනාටම අමතක වී තිබිණ.
“කෝකටත් ටිකක් පරිස්සම් වෙයං කෙල්ලෙ. මළගිය පරාණකාරයා උඹලගේ අම්ම දිහා බලාගෙන ඇති.”
ඕ එසේ පැවසූයේ අපූර්වාගේ හදවත තුළ අමුතු බියක් ඇති කරමින්ය. මිහිරි හඬකින් නාද වූ ජංගම දුරකථනයේ හඬට පවා ඈ තිගැස්සුනේ එනිසාය.
“උඹ කතා කරල බලහන් කෙල්ලේ. මං අම්ම ලඟ ඉන්නම් අර නෝනද දන්නෙත් නැහැනෙ.”
“පියසීලි උන්නේ පොල් සම්බෝලයක් අඹරන්නට සූදානමින්ය. ගුණවතී නැන්දා අම්මා අසලම උන් නිසා අපූර්වා දුරකථනයත් රැගෙන දොළට යන පාරේම මද දුරක් ඉදිරියට ගමන් කළාය. ඇමතුම යුගාශ්ගෙන්ය”
“ගුඩ් මෝර්නින් ගෑණු ළමයා”
“ගුඩ් මොර්නින් සර්..”
“අපූර්වා මම යුගාෂ්. ඔයාට උගන්නපු සර් කෙනෙක් නම් නෙමෙයි.”
“මම අඳුර ගත්ත සර්…”
“අපූර්වා ඔයා හොඳින්ද..මට ඔයාගේ කටහඬේ වෙනසක් දැනෙනවා. මොකද වුනේ? ඔය අසනීපෙන්ද.එහෙම නැත්නම් අඬලද..?”
“නෑ සර්…”
“නැති වෙන්න බෑ. හොඳ ළමයා වගේ කියන්න මට මොකක් හරි කරදරයක්ද ඔයාට.”
ඔහු එසේ පැවසූයේ පෙරටත් වඩා ලෙංගතුවය.
“මට හරි දුකයි සර්. මට මං ගැනම දුකයි”
“ඇයි මේක පාරටම. දුක් වෙන්න හේතු නෑ කියලා මම කියන්නේ නෑ. ඒත් ඔයා පහුගිය දවස් ටිකේ හිත හදාගෙන නේ හිටියේ.”
“සැනසීම මට හරි දුරයි සර්.”
“හරි දැන් ඔයා ඉන්නේ ගෙදර නං හොඳ ළමයා වගේ ඔය පැත්තකින් වාඩි වෙලා මට කියන්නකෝ ඔයාගේ දුකට එකතු වෙච්ච අලුත් දුක මොකක්ද කියලා..මොනවා හරි සිදුවීමක් වෙලා තියෙනවා.”
අපූර්වා උදෑසන වූ සියල්ල ඔහුට පැවසූයේ හඬමින්මය. ඔහු සුසුමකින්වත් බාධා නොකර සාවධානව අසා සිටියේය.
“එහෙම නෙවෙයි මිනිස්සු කියලා හිතාගෙන හිටියොත් අපිට දුක හිතෙනවා වැඩි අපූර්වා. හැම තිස්සේම හිතන්න මිනිස්සු එහෙම තමයි කියලා. ඔය කෑ ගහන්නේ බාප්ප නෙමෙයි. එයාගේ හෘද සාක්ෂිය. වද දෙන හිත. බාප්පව අයින් කරන්න. දැන් එයා මොනම විදිහකින්වත් ඔයාට වැදගත් වෙන පුද්ගලයෙක් නෙමෙයි. අපි බලන්න ඕනෙ අම්මා ගැන. මගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් ඉන්නවා කොළඹ හොඳ සයික්‍රැස්ට්‍රික් කෙනෙක්. ඔයා අහල ඇති ඩොක්ටර් සුපුල් සමරජීව ගැන. නිතර ටී වී එකෙත් කතා කරන්නේ. අපි අම්මව එයාට පෙන්නමු.”
“ඒ ඩොක්ටර්ට එෆොයිමන්ට් ගන්න අමාරුයි කියලා ගොඩක් අය කියනවා සර්.”
“මට ඒක කරන්න පුළුවන් අපූර්වා. ඔයා මේ එන සෙනසුරාදා හවස අම්මව ලෑස්ති කර ගන්න. මම එන්නම් ඔයාලව ගන්න. ආච්චිට ඒ ගමන පහසු එකක් වෙයිද කියන්න දන්නෙ නෑ අපූර්වා. ඔයාගේ තනියට ආච්චි හරි යාළුවෙක් හරි කතා කරගන්න. මං හිතනවා අපිට මේ ප්‍රශ්නෙට විසඳුමක් එතන තියෙයි කියලා.”
“සර් මට එපොයිමන්ට් එකක් දාලා දෙන්න. මම යන්නම් සර්ට කරදරයක් වෙන්න බෑ මට තවත්”
“මට කරදරයක් නං මං ඔයාට ඒ යෝජනාව කරන්නේ නෑනෙ අපූර්වා. හැමදේම වෙන්නේ මිනිස්සුන්ට කියලා හිතුවොත් හිත හදාගන්න පහසුයි. අද ඔයා ජොබ් එකට යන්න එපා. අර මැඩමුත් එනවා කිව්ව නේද. හැම දෙයක්ම හොඳම විදිහට සිද්ධ වෙයි. ඔයා තමයි අපූර්වා ආච්චිගෙත් හිත හදන්න ඕනි. අම්මා වෙනුවෙන් ආච්චි වෙනුවෙන් ඔයාට හයිය ගෑණු ළමයෙක් වෙන්න වෙනවම තමයි.”
දුරකථන ඇමතුම නිමා වූයේ තවත් විනාඩි ගණනාවකට පසුවය. පුදුමය..සම්පූර්ණයෙන් නොවුනත් අපූර්වා යම් තරමකට සැහැල්ලු වෙමින් උන්නාය. වෛද්‍ය සපුමල් සමරජීව යනු ලංකාවේ සිටින දක්ෂම මානසික වෛද්‍යවරයා බව අපූර්වා දනී. ඕ යූ ටියුබ් ඔත්සේ ඔහුගේ කතා ඕනෑ තරම් අසා තිබුණි. පසුගිය කාලයේ ඇයට සිත හදාගන්නට උදව් වූයේත් ඒ සමහර වෛද්‍ය සාකච්ඡාය. යළිත් සිත තුළ ඉපිද එමින් තිබුණේ අලුත් බලාපොරොත්තුවකි. “ප්‍රශ්න වලින් පැනලා යන එක නෙවෙයි. ප්‍රශ්නවලට මුහුණ දෙන එක තමයි අපූර්වා ජයග්‍රහණය කියන්නේ” ඕ නැගිට යළිත් දොළ දෙසට ඇවිද ගියේ යුගාෂ්ගේ ඒ වදන් සිය සවන් තුළ දෝංකාර නංවද්දීය.
( යළිත් හමුවෙමු ආදරයෙන්)