“කලා විෂයයන් කරලා ලෝකෙම දිනන්න පුළුවන්ද?” මේ ප්‍රශ්නෙට උත්තරේ ඔව් කියලා කියන්නෙ වෙන කවුරුවත් නෙවෙයි පසුගිය දිනක ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙච්ච බුද්ධිමය දේපළ පිලිබඳ නොබෙල් ත්‍යාගය දිනාගත්ත ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය.
උසස් පෙළට කලා විෂයයන් කරලා විශ්වවිද්‍යාලයට ගිය ඇය, ලෝකයේ හොඳම ඉංජිනේරු නව නිපැයුමක් වෙනුවෙන් සම්මානයක් දිනාගත්තා. ඒකත් ටෙස්ලා වගේ ලෝක ප්‍රකට සමාගමක, අති දක්ෂ, නවීන තාක්ෂණයට ප්‍රවේශය ඇති කණ්ඩායමක් පරද්දලා.
විවිධාකාර හේතු හන්දා “අනේ මට ඉගෙන ගන්න බැරිවුණා” කියලා දුක් වන බොහෝ දෙනා අතරේ, දරුවො බලාගෙන, අම්මා කෙනෙක් විදියටත් තමන්ගෙ රාජකාරිය කරන ගමන් අපිට තියෙන සීමා මායිම් අපේම හිතේ නිර්මාණය කරගත් දේවල් බවට හොඳම සාක්ෂියක් ඉදිරිපත් කරන්න, රත්ගම ඉඳලා කොළඹ ඉස්කෝලෙකට ඇවිත් කලා අංශයෙන් උසස් පෙළ කරලා ඉංජිනේරුවරියක් වෙච්ච ආචාර්ය නදීශා චන්ද්‍රසේන සමත් වෙනවා.
ඉතින් කවුද මේ නදීශා චන්ද්‍රසේන?
සරලවම කිව්වොත් නදීශා කියන්නෙ “ලංකාව ආයෙ පාරක් ලෝකෙ උඩින්ම තියන්න හේතු වෙච්ච Smart කාන්තාවක්”
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධිකාරී ලත් නිලධාරිනියක් විදිහට, පත්තරේක විශේෂාංග ලේඛිකාවක් විදිහට, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ උපදේශිකාවක් විදිහට වගේ එකිනෙකට නොගැලපෙන රැකියා ගණනාවක් කළත්, නදීශාගේ හැකියාවට ලැබිය යුතු තැන ලැබුණේ නැති අවස්ථා තිබුණා. ඒ නිසා අවසානයේ ඔස්ට්‍රේලියාවට ගිහින් නැවතුණත්, ඇය ලැබූ හැම සම්මානයක්ම අතේ තියාගෙන වේදිකාවේ හැමදාම කිව්වේ “මේක අයිති මගේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන්, නිදහස් සෞඛ්‍ය සේවාවෙන් බිහිවුණු මගේ මිනිස්සුන්ට” කියලයි.
උනන්දුවත්, අවශ්‍යතාවත් තියෙනවා නම්, සීමා මායිම් නැහැ කියන එක ඇය මේ මහපොළොවේ තහවුරු කළ ගැහැනියක්. ලංකාවෙ පොළොවෙ පැළවෙච්ච රූස්ස ගහක් විදියට අපි නදීශා ගැන ආඩම්බර වෙන්න ඕන, සන්තෝස වෙන්න ඕන ඒ නිසාමයි!
“Smart Drain” – ලෝකය හඳුනාගත් නව නිර්මාණයක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පිරිනැමෙන 2025 “WIPO Global Awards” උළෙලේ “පාරිසරික අංශය” සඳහා වන සම්මානය දිනා ගන්න නදීශා චන්ද්‍රසේන මහත්මිය සමත් වුණේ ඇය විසින් ලෝකයට හඳුන්වා දුන් “SMART DRAIN” (ස්මාර්ට් කාණු පද්ධතිය) නිසා.
මේ සම්මාන උළෙල ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වුණා. ඒකට රටවල් 95කින් ආයතන 780ක් ඉදිරිපත් වෙලා තිබුණා. ශ්‍රී ලාංකිකයෙක් මේ සම්මානය දිනා ගත්ත පළමු අවස්ථාව වීම මේ ජයග්‍රහණයට විශේෂත්වයක් එකතු කරනවා වගේම අපිට තව තවත් අපි ගැන, අපේ රට ගැන, අපි අතරෙන්ම බිහිවෙච්ච කාන්තාවක් ගැන ආඩම්බර වෙන්න හේතු සපයනවා.
Smart Drain කියන්නේ නාගරික ගංවතුර පාලනයට හදපු අලුත්ම විසඳුමක්. සාමාන්‍ය කාණු කසළවලින් අවහිර වුණත් මේ Smart Drain එකට වතුර බැහැලා යනවා. මේකේ තියෙන විශේෂ ද්විත්ව ස්ථර නිර්මාණය නිසා ප්ලාස්ටික් වගේ ඝන ද්‍රව්‍ය සිර කරගෙන, වතුරට බාධාවක් නැතුව ගලාගෙන යන්න පුළුවන් වෙන එක. ඒ වගේම, මේ පද්ධතියට සැබෑ කාලීනව ජල මට්ටම නිරීක්ෂණය කරන්න පුළුවන් නිසා, ගංවතුර අවදානම් තත්ත්වයන්ට ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නට බලධාරීන්ට අවස්ථාව ලැබෙනවා.
අපි හැමෝම දන්නවා අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙ බොහෝ රටවල්වල නගර මේ ජල ගැලීම් වලින් කොච්චර ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙනවද කියලා. වතුර බැස්සම ඒ ප්‍රශ්න ඉවරයි කියල සමහර වෙලාවට අපි ඒ ප්‍රශ්නෙ දිහා උඩින් උඩින් බැලුවට ඒ වගේ ප්‍රශ්නයක් දිහාත් වෙනස් විදියට බලන්න නදීශාට තිබුණ හැකියාව ඇයව මේ තරම් දුර අරගෙන එන්න හේතුවෙලා තියෙනවා කියන එක දැන් අපිට පැහැදිළියි.
කාන්තාවන්ට ආදර්ශයක් වූ අපේ නදීශා
ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයත් (NIPO), ස්මාර්ට් ඩ්රේන් එකට පර්යේෂණ පහසුකම් දුන්නු ඇක්සස් ඉංජිනියරින් පුද්ගලික (Access Engineering PLC) සමාගමත් මේ නිර්මාණයට ලොකු සහයෝගයක් දුන්නා. දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්න නදීශා චන්ද්‍රසේන නාගරික නවෝත්පාදිකාවක් සහ පරිසර විශේෂඥවරියක් විදිහටත් වැඩ කරනවා. ඇය මිනිසුන්ට දියුණු වෙන්න උදව් කරන්නට සහ රටවල් දියුණු කරන්නට හරිම කැමති කෙනෙක් බව සඳහන්.
“වතුරෙන් දුවන කාර් හදන්න පුලුවන්, පෙට්‍රල් ලීටරෙන් හඳට යන්න පුලුවන්… ඒත් ආණ්ඩුව මට අත දෙන්නේ නැහැ” කියලා පත්තරවලට ඇවිල්ලා හැමදේටම අනිත් අයට බණින බොල් චරිත අස්සෙ නදීශා චන්ද්‍රසේන කියන්නේ රන් පිළිමයක්.
ලෝකේ බුද්ධිමය දේපළ පිළිබඳ ඉහළම සම්මාන උළෙලේ ජිනීවා නුවර වේදිකාවේ ඇය මේ දරා ඉන්නේ කාන්තාවක, මවක, සහ නිර්මාණකාරියක ලෙසත්, ලාංකිකයකු නොව ලෝ වැසියෙකු ලෙසත් ලැබිය හැකි ඉහළම ජයග්‍රහණයක්.
ඉතින් නදීශා,
අපිට ඔබ ගැන ආඩම්බරයි.
අපිව රටක් ලෙස, කාන්තාවක් ලෙස ලෝකයක් ඉදිරියේ ආඩම්බරයට පත් කරාට ඔබට ස්තුතියි.
ඔබ වැනි කාන්තාවන් අපේ රටටත්, මුළු ලෝකයටම විශාල ආලෝකයක්.
කාන්තාවක් විදිහට, අම්මා කෙනෙක් විදිහට වගකීම් එක්කම තමන්ගේ සිහින හැබෑ කරගන්න පුළුවන් බව ඇය අපිට ඔප්පු කරලා පෙන්නුවා. තමන්ගේ හැකියාවන් ගැන විශ්වාසය තියලා, නොපසුබට උත්සාහයෙන් වැඩ කරනවා නම්, ඕනෑම කාන්තාවකට ලෝකයටම ආදර්ශයක් වෙන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණය තමයි ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය!
Info:
https://www.facebook.com/indika.kodithuwakku.14
https://www.adaderana.lk/news.php?nid=110431#:~:text=Sri%20Lankan%20engineer%20Dr.%20Nadeesha,%2C%20the%20’Smart%20Drain’.
https://www.newswire.lk/2025/07/11/sri-lankas-smart-drain-wins-global-innovation-award-from-wipo/