යුධ වීරයෙකුගේ සත්‍ය කතාව රැගත් Shershaah

කියාරා අද්වානි සහ සිද්ධාර්ථ් මල්හෝත්‍රා අතර විවාහය සුරංගනා කතාවක් තරමට සුන්දරව පැවතියේ පෙබරවාරි හයවැනිදා. ඔවුන් පුදුමාකාර ලෙස ගැළපෙන ආදරවන්තයන් බවට මත පළ වෙන්නට පටන් ගත්තේ Shershaah චිත්‍රපටියෙන් පසුවයි. මේ ඒ ආදරයේ කතාව ගැනයි.

IIFA සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටිය බවට පත් වූයේ Shershaah චිත්‍රපටියයි.මේ චිත්‍රපටිය අයිති වන්නේ Biographical War ගණයටයි.
1997 – 1999 වර්ෂ වල ඉන්දීය හමුදාවේ සිටි කැප්ටන් වික්‍රම් බට්‍රා සම්බන්ධ සත්‍ය සිදුවීම් මේ චිත්‍රපටියට පාදක වී තිබෙනවා.වික්‍රම් දක්ෂ නිලධාරියෙක්. කාර්ගිල් සටන් අතර ඔහු මිය යන්නේ 1999 වසරේදීයි.ඔහුව ජාතික වීරයෙකු ලෙස නම් කර Param vi Chakra නම් ගෞරව සම්මානයද වික්‍රම්ට ලබා දෙනවා.මේ සියල්ල සිදු වන්නේ වික්‍රම් විසිහතර හැවිරිදි වියේ පසුවන විටයි.

කැප්ටන් වික්‍රම් කුඩා කල සිට ම හමුදා සේවයට බැඳීමට සිහින දුටු තරුණයෙක්.විශාල් නමින් නිවුන් සහෝදරයෙක් ද ඔහුට වෙනවා.වික්‍රම් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට චන්දිනාගර් වෙත ගොස් එහිදී කැඩෙට් වරයෙකු ලෙස පුහුණු වී තිබෙනවා.මේ කැඩෙට් සඳහා ලබාගත් සහතිකයක් යටතේ ජනරජ දිනයේ දී කැඩෙට්වරයකු ලෙස සහභාගී වීමට ඔහුට අවස්ථාවක් ලැබෙනවා.ඉන්පසු යුධ හමුදාවේ සේවය කිරීම සිහිනය කරගන්නා වික්‍රම් විවිධ විභාග වලට මුහුණ දී ඒවායින් සමත් වී Indian Military Academy වෙත සම්බන්ධ වන්නේ 1996 වසරේදී.පුහුණුව ලබා ඔහු 1997 දී යුධ හමුදා ලුතිනන් වරයෙක් බවට පත් වෙනවා.වික්‍රම්ගේ සේවා ප්‍රදේශ වන්නේ ජම්මු හා කාශ්මිර් ප්‍රදේශයි.

මේ යුධ වීරයා එහි සිදු කරන සේවය නරඹන්නට ඔබ මේ චිත්‍රපටිය නැරඹිය යුතුම වෙනවා.සැබෑ වික්‍රම් බත්‍රා වීරයෙක් වගේම අපූරු පෞරුෂයක් තිබූ කඩවසම් විනෝදජනක කෙනෙක් බවට ඉතිහාසය සාක්ෂි දරනවා.මේ චරිතයට සිද්ධාර්ත් මල්හෝත්‍රා හොඳ සාධාරණයක් ඉෂ්ට කරන්නට සමත්.සිද්ධාර්ත් මෙහි විශාල් සහ වික්‍රම් ලෙස චරිත ද්විත්වයම නිරූපණය කරනවා.මේ චිත්‍රපටිය රඟපාන්නට පෙර සිද්ධාර්ථ් හමුදා පුහුණුවක් පවා ලබා ගත් බව කියවෙනවා.ඔහුගේ රංගනය අගය කළ යුතු මට්ටමේ තිබූ බවයි සිනමා විචාරකයන් පවසන්නේ.
“මේ චිත්‍රපටිය රූගත කරද්දී අපිට මුහුදු මට්ටමෙන් ඉතා ඉහළ ප්‍රදේශයක හිඳීමෙදී හුස්ම ගැනීමේ අපහසුතා පවා ඇති වුණා.අපිට චිත්‍රපටියකට එසේ දැනුණානම් සැබෑ මිනිසුන්ට කොපමණ අභියෝග තියෙන්නට ඇතිද?”

චිත්‍රපටිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී සිද්ධාර්ත් එසේ පවසා තිබුණා.

මේ යුධ චිත්‍රපටියේ ආදර කතාවක් ද ගැබ්වී තිබෙනවා.වික්‍රම්ගේ පෙම්වතිය වූ ඩිම්පල් අදටත් අවිවාහක ගැහැනියක්.ඇය වික්‍රම්ගේ මතක දරාගෙන ජීවත් වන්නියක්.සේර්ෂා යනුවෙන් හඳුන්වන්නේ සිංහ රජෙක්.ඒ කැප්ටන් වික්‍රම්ට යුධ හමුදාවේ පටබඳින ලද නමක් වීම ඒ නම මේ චිත්‍රපටියට ලැබෙන්නට හේතුවක්.වීරයන් කිසිදා මිය යන්නේ නෑ.ශෙර්ෂා පවසන්නේ ඒ කාරණාවයි.

IIFA සම්මාන -2021 දී හොඳම චිත්‍රපටිය සහ හොඳම අධ්‍යක්ෂණයට සම්මාන දිනාගත් මේ යුධ වීරයාගේ ආදරණීය කතාව ඔබත් මඟ නොහැර නරඹන්න. ආදරණීය යුවළක් එකතු කළ ආදරයේ කතාව තිරය තුළ ඛේදාන්තයක් වුවත් ඔවුන්ගේ ජීවිතය තුළ සුඛාන්තයක් වූ අන්දම නරඹන්න.

Related Articles

Don't Miss


Latest Articles