පිණි මුතු පලසක් – 43

0
1846

එදින දහවලේ, විශේෂ මහාධිකරණය වෙත දෙවන සැසියේ වාර්තාව ලැබී තිබුණි. එය ලක්ෂිතගේ මානසික තත්ත්වය පිළිබඳව මනෝ වෛද්‍ය විමුක්ති විසින් සකස් කරන ලද වාර්තාවකි. විනිසුරුවරයා එය ඉතා සූක්ෂමව කියවූ අතර, ඇතැම් කොටස්වල යටින් ඉරි ඇඳ තිබූ අයුරු ඔහු හොඳින් විමසුවේය.

“පියාගේ සිය දිවි හානි කර ගැනීමෙන් පසු මානසික පීඩනයට පත්ව සිටින බව පෙනේ. කෙසේවෙතත්, ඔහු තුළ තවදුරටත් ගැඹුරින් මුල් බැසගත් ආත්මකාමීත්වය, චිත්තවේගී වශයෙන් ඈත් වීම සහ තමන්ගේ ක්‍රියාවන්ගේ බලපෑම සම්පූර්ණයෙන් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම ප්‍රදර්ශනය කරයි. බලය, අවධානය සහ සංජානනය සමඟ ඔහුගේ සම්බන්ධතාවය මුදා හැරියහොත් නැවත වැරදි කිරීමට ඇති අවදානමක් පෙන්නුම් කරයි. චිකිත්සක සහාය නිර්දේශ කරනු ලබන්නේ වරදකරු කිරීමෙන් පසුව පමණි.”

මෙම වාර්තාව ලක්ෂිතගේ මානසික තත්ත්වය මෙන්ම ඔහුගේ අනාගත හැසිරීම් රටාව පිළිබඳවද පැහැදිලි චිත්‍රයක් ඉදිරිපත් කරන්නට හේතු වූ අතර එයින් ගම්‍ය වූයේ, ඔහුට මානසික සහනයක් අවශ්‍ය වුවද, ඔහුගේ මූලික පෞරුෂ ලක්ෂණ එලෙසම පවතින බවයි. විනිසුරුවරයා ඒ වාර්තාව කෙරේ තම අවධානය සහමුලින්ම පාහේ යොමු කරද්දී සමුධ්‍යාත් අරුණත් පහළ මාලයේ, උසාවි ශාලාවේ පොදු කොටසේ, එකිනෙකා දරාගනිමින් වාඩි වී උන්නහ. දෙනෙත් වල කොපමණ නොඉවසිල්ලක් ගැබ් වී තිබුණද සමුධ්‍යා තමන් සහ අරුණ අතර තිබූ නිහඬතාවය බිඳිනු පිණිස පියවරක් ඉදිරියට තැබුවෙ නැත.

උසාවි ශාලාවේ ගාම්භීර නිශ්ශබ්දතාවය තුළ, අරුණගේ සිත තුළ දැවැන්ත අරගලයක් ඇවිලෙමින් තිබුණි. පියාගේ මරණය, හිතට මහත් කම්පනයක් ගෙන දුන්නද, ඒ සමඟම අරුණට තමන්ගේම කොටසක් නැති වූවාක් මෙන් හැඟීමක්ද ඇති වූවා යැයි කීම බොරුවක් නොවේ. ජීවිත කාලය පුරාම අරුණ උත්සාහ කළේ තම පියාගේ බලගතු සෙවණැල්ලෙන් මිදී, තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමටය. පියාගේ අණසකට එරෙහිව නැගී සිටීම, සාම්ප්‍රදායික මාර්ගයෙන් බැහැර වීම, මේ සියල්ල මහත් අරගලයක් වූ බව ඇත්තක් නමුත් දැන් ඒ සෙවණැල්ල සදහටම පහව ගොස් තිබියදී පවා තමන්ට මේ දැනෙන අහිමි වූ හැඟීම කුමක්දැයි හරියාකාරව වටහාගන්නට හැකියාවක් අරුණට තිබුනේ නැත. එය පියා කෙරෙහි වූ දරුවෙකුගේ නොකැළැල් ආදරයද? නැතහොත් තමන් මෙතෙක් කාලයක් තිස්සේ පුරුදු පුහුණ කරගෙන ආ පිය පුතු අරගලය මෙතනින් නිමා වීම දැයි  යන ප්‍රශ්න තිබුණේ අරුණගේ වෙහෙසකර මනසට තව තවත් වද දෙමිනි.

සත්සරාගේ නඩුවෙන් අයින් වීමට තමන් ගත් තීරණය, තමන්ගේ ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන බව අරුණ දැන උන් නිසාවෙන්ම මේ නඩුවට සෘජුවම සම්බන්ධ නොවූවත්, එහි ප්‍රතිඵලය තමන්ගේ අනාගතයට සෘජුවම බලපාන බව අරුණ හොඳින් දැන සිටියේය. පියාගේ අකටයුතුකම්වලට එරෙහිව යුක්තිය ඉටු වීම පුතෙකු ලෙස තමන්ට කොපමණ හිතට වේදනාවක් ගෙන එන්නට සමත් වුවද මේ සමාජයේ යුක්තිගරුක සාමාජිකයෙකු ලෙස අරුණ එය දුටුවේ ජයග්‍රහණයක් විලසිනි. තවදුරටත් තමන්ට තාත්තාගේ සෙවණැල්ල යට ජීවත් වීමට අවශ්‍ය නොවන බවත්, තමන්ගේම මාවතක් තනා ගන්නා ගමන වඩා සැහැල්ලුවෙන් යන්නට හැකි බවත් අරුණ දැන උන්නේය. මේ නඩුවේ අවසන් තීන්දුව, තමන්ට මෙන්ම තවත් බොහෝ අයට නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාවක් සලසන බව අරුණ ඒ නිසාවෙන්ම විශ්වාස කලේය. 

සත්සරාගෙ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණේ හෙට උදේය. මුළු රෑම, සමුධ්‍යාගේ හිත තිබුණේ නොසන්සුන්ව, නොඉවසිල්ලෙන් බරවීය. අරුණ ඇය ළඟින්ම සිටියේ, ඇගේ අත අල්ලාගෙන, නිහඬවම ඇයට ශක්තිය ලබා දෙමිනි. 

ඒ රෑ වනාහී කිසිවෙකුට පහසු වූ රැයක් නොවුනි. සමුධ්‍යා මෙන්ම සත්සරාද, අරුණද, ගුණවතීද, ලක්ෂිත ද, අනෝමාද උන්නේ හෙට දවසේ ලියවෙන්නට නියමිත තමන්ගේ හෙට දවස ගැන කල්පනා කරමිනි. ඒ හෙට දවස උසාවි තීන්දුවකින් කුමන අන්දමකට ලියවේද කියා කල්පනා කරමිනි. විදුර වීරබද්ධනගේ අනපේක්ෂිත මරණය, ලක්ෂිතගේ අවාසනාවන්ත ඉරණම, එමෙන්ම සත්සරාට යුක්තිය ලැබෙන එක  මේ හැමදේම සියල්ලන්ගේම හිතට බරක් එක්කහු කරන්නට හේතු විය. 

“අරුණ, මට ඇත්තටම හරිම බයයි. හෙට මොනවා වෙයිද කියලා මට හිතාගන්න බෑ.”

“මට තේරෙනවා. ඒ උනාට සමුධ්‍යා, අපි මේ වෙනකන් ආපු ගමන දිහා බලන්නකෝ. අපි කොච්චර දේවල් විඳදරාගත්තද. ඔයා දන්නවා නේද අපි හිතනවට වඩා අපි සෑහෙන හයියයි කියන එක? අනික මං හිතන්නෙ නෑ අපිට බයවෙන්න දුක්වෙන්න ඕන විදියෙ තීන්දුවක් කීයටවත් හෙට ලැබේවි කියලා. අනික සත්සරා වගේ පොඩි දරුවෙක්ට වෙච්ච මේ වගේ කරදරයක් වෙනුවෙන් ඒ දරුවට වෙන්න ඕන සාධාරණේ කරන්න ඔයා බය නැතුව මෙච්චර දුර ආව එකේ මේ හෙට දවසෙ යන්න තියෙන පුංචි අඩි කීපෙ ගැන බයවෙන්න එපා සමුධ්‍යා. අපි කන්ද නැගලා ආවා. අමාරු කොටස දැන් ඇත්තටම ඉවරයි. අපි දැන් මේ ඉන්නෙ තැනිතලාවක. තව පොඩි දුරකින් අපිට මේ ගමන ඉවර කරන්න පුලුවන්. අනික මොන දේ උනත් මම මෙච්චර දවසක් ඔයා එක්කම උන්නනෙ. හෙටත් ඒකෙ කිසිම වෙනසක් වෙන්නෙ නෑ.”

“ඒත් ඔයා හිතනවද ඇත්තටම අපිට සාධාරණ තීන්දුවක් ලැබෙයි කියලා? මෙච්චර දේවල් වුණාට පස්සේ… මට බයක් තියෙනවා මේ හැමදේම නිකම්ම ‍යට ගැහිලා යාවිද කියල. වෙච්ච කිසිම දෙයක් අපි වෙයි කියලා බලාපොරොත්තු වෙච්ච දේවල් නෙවෙයි. එහෙම එකේ හෙට දවසෙ තීන්දුවත් අපි බලාපොරොත්තු උනේ නැති දෙයක් උනොත්? මට බය සත්සරා ගැන. සත්සරා වගේ තව ගෑණූ ළමයි ගැන. ඒ තීන්දුව වැරදි එකක් උනොත් සත්සරා වගේ තව ගෑණු ළමයි සිය ගාණක් අපි ගැන, නීතිය, යුක්තිය, සාධාරණේ ගැන තියෙන විශ්වාසෙ නැති කර ගනීවි කියලා මට හරි බයයි” 

එදින උදෑසන උසාවි ශාලාව තිබුණේ නිහඬ බවක් පොරවාගෙනය.

 විනිසුරුවරයා තම තීන්දුව ප්‍රකාශ කළේය. ලක්ෂිතට එරෙහිව චෝදනා ඔප්පු වී ඇති බවත්, ඔහුට නියමිත දඬුවම් ලබා දෙන බවත් ඔහු නිවේදනය කළේය. සමුධ්‍යාට සහ අරුණට මෙන්ම ශාලාවේ සිටි සියලු දෙනාටම එය මහත් සහනයක් විය. යුක්තිය ඉටු වී තිබුණි.

ලක්ෂිත, ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟ උසාවි ශාලාවට ඇතුළු වෙද්දිත් ඔහුගේ මුහුණේ තිබුණේ කිසිදු හැඟීමක් නොමැති වියරුවක් වැනි ස්වරූපයකි. ඔහු කිසිවෙකු දෙස බැලුවේ නැත, ඔහුගේ දෑස් හිස්ව, ඉදිරිය බලාගෙන සිටියේය. එහෙත්, ඔහු උසාවි ශාලාව මැදට පැමිණි විට, ඔහුගේ දෑස් සමුධ්‍යා සහ අරුණ දෙසට යොමු වූයේ දෛවෝපගත ලෙසිනි.

ඔවුන් දෙදෙනා එකට සිටගෙන සිටින අයුරුත් සමුධ්‍යාගේ අත අරුණගේ අතේ තදින් වෙලී තිබෙන අයුරුත්. ඔවුන්ගේ මුහුණු මත සහනය, බලාපොරොත්තුව සහ එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය ගැන සලකුණු ඇඳී තිබෙනු දකිද්දී ලක්ෂිත ඔවුන් දෙස වඩා හොඳින් බැලුවේය. ඔහුගේ දෑස්වල ක්ෂණිකව කෝපයක්, පරාජිත බවක් සහ යම් ආකාරයක පුදුමයක් වැනි හැඟුම් සමුදායක් ගිණි පුළිඟු මෙන් දැල්වී නිවී ගියේය. ලක්ෂිත කිසි විටෙකත් සමුධ්‍යා මෙතරම් ශක්තිමත් වනු ඇතැයි හෝ තමන් සමඟ මෙලෙස පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා නොකරන්නට ඇති බව අරුණ ඒ සිතුවිලි පිළිබඳව සිතුවේය. 

මිශ්‍රිත හැඟුම් සමුදායක් සමග අරුණත් සමුධ්‍යාත් දෙස බැලුවද ලක්ෂිතගේ මුහුණේ තිබූ සියලු හැඟීම් තත්පරයකින් අතුරුදහන් විය. ඔහු නැවතත් හිස්, කිසිවක් නොදන්නා මුහුණුවරක් පැළඳගත් අතර ආරක්ෂක නිලධාරීන් ඔහුව උසාවි ශාලාවෙන් පිටතට රැගෙන යද්දී පවා තමන්ට කියා කිසිවෙකුත් මෙලොව නැති අන්දමෙන් ඉදිරිය හිස් බැල්මකින් බලා උන්නේය.

සමුධ්‍යා සහ අරුණ එකිනෙකා දෙස බැලුවේය එකිනෙකා ගැන විශ්වාසයෙනි, නිහඬ අවබෝධයකිනි. අතීතයේ තමන් ඇතුලු තවත් බොහෝ දෙනා පෙලන්නට හේතු වූ භීෂණය අවසන් වී, වඩා පැහැබරව දකින්නට හැකි අනාගතයක් තමන් ඉදිරියේ ඇති බව ඔවුන් තේරුම්ගත්තහ.

 එය ඔවුන්ට එකට ගොඩනගා ගැනීමට තිබූ අනාගතයකි. 

ඉතින්, මේ කතාව තව දුරටත් අවසන් වී නැත, එය ඇරඹුණේම දැන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here