විභාග…

ගුරු විභාගේට නියමිත දවස නිකුත් කරලා කියලා නඳුනි ට කිව්වේ යාලුවෙක්. 

” ඔයාට නම් මේ පාර එග්සෑම් කරන්න වෙන එකක් නෑ නඳුනි…. බබාගේ වැඩ එක්ක කොහොමද ක්ලාස් එකකටවත් යන්නේ …”

කැම්පස් එකේ එකා කාමරේ හිටපු යාලුවා එහෙම කියනකොට නඳුනිට දුක හිතුණා.  ඒත් නඳුනි ඒකට කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ වෙනුවට යාලුවට හොඳට පාඩම් කරන්න කියලා ඇමතුම විසන්ධි කලා. 

කිව්වාත් වගේම පැය භාගයක් යන්න කලින් බබා ඇහැරුණා. ඊට පස්සේ එයාව නිදි කරගන්න නඳුනිට පැයක් විතර ගියා. 

නඳුනිගේ ගම නුවර. මාලක එක්ක විවාහ වෙලා තමයි නඳුනි කොළඹ ආවේ. මාලක එක්ක විවාහ වෙනකොට නඳුනිට රැකියාවක් තිබුණේ නෑ. ඒත් උපාධිය සම්පූර්ණ කරලා තිබුණ නිසා ගුරුවරියක් විදියට සේවය කරන්න නඳුනි ආසාවෙන් හිටියේ. ඒ නිසාම ජාතික පාසැල් ගුරු විභාගයට වගේම පළාත් ගුරු විභාගයටත් අයදුම් කලා. 

” ඔයා ආසයිනම් ටීචින් යන්න…”

මාලක කිව්වේ එහෙමයි. නඳුනිට රැකියාවක් ලැබෙනකල් ජීවිතේ අලුත් සැලසුම් වලට නොයන්න දෙන්නම තීරණය කරලා තිබුණේ. ඒත් නොහිතපු විදියට දෙන්නා තුන් දෙනා කරගෙන චූටි පැටියෙක් දෙන්නා අතරට ආවා. ඊට පස්සේ මාස අටක්ම යනකල් නඳුනිගේ දවසේ ඉඩ මාලකයි බබයි වෙනුවෙන් වෙන් වුණේ. මාලකගේ අම්මයි තාත්තයි මාලකගේ නංගී ළඟට විදෙස්ගත වෙලා හිටපු නිසා මාලකයි, නඳුනියි තනියම තමයි හැමදේම කලමණාකරණය කරගත්තේ.  දවල් වරුවට ගෙදර වැඩට උදව්වට කාන්තාවක් ඇවිල්ලා ගියාට බබාගේ වැඩ හැමදේම කරගත්තේ නඳුනි. 

නඳුනි අම්මට ඇමතුමක් අරගෙන ගුරු විභාගය ගැන විස්තර කිව්වා. 

“ඔයාට ඉතින් එග්සෑම් ගොඩ දාන්න පුළුවන් නෙහ් ලොකූ .. එග්සෑම් නතින් නේ ඔයාට…. මට මේ බිස්නස් දාලා එන්න බෑනේ.. මල්ලිට මේවා තනියෙන් කරගන්න තේරෙන්නේත් නෑ..  බබාව බලාගන්න නර්ස් කෙනෙක් වගේ හරි ගෙන්නගන්නකෝ ….අනෙක ළමයෝ ඔය හිඟන පඩියට ටීචින් යන එක තේරුමක් තියෙනවා ද කියලත් හිතන්න.. මම ඔයාට කියන්නේම ඔහේ අපේ බිස්නස් එකේ බ්‍රාන්ච් එකක් ඕපන් කරගන්න කියලා ….”

නඳුනි හිත රිදුණ බව පෙන්නන්නේ නැතුවම අම්මට සමුදුන්නා. අම්මා ඔය විදියට ප්‍රතිචාර දක්වන බව දැන දැනම අම්මා ට කතා කල එක ගැන නඳුනිට දැනුනේ කලකිරීමක්. 

හැමදේම දරාගෙන, හැමදේකම වගකීම අරගෙන වැඩ කරපු එක සමහර වෙලාවට පාරාවලල්ලක් වෙලා තමන්ටම ඇදගෙන වැටෙන බව නඳුනිට වැටහෙනවා. 

මේ ගැන මාලකට කියලා මාලකගේ හිතටත් අමතර වදයක් දෙන්න නඳුනිට හිතුනේ නැහැ. ඒ නිසා නඳුනි උත්සාහ කලේ කොහොමම හරි තනියම විසඳුමක් හොයාගන්න.

විභාගයට දින වෙන් කිරීමෙන් පස්සේ ආරම්භ කෙරුණු පන්තියකට නඳුනි මුදල් බැඳලා සම්බන්ධ වුණා. රෙකෝර්ඩින් දෙන නිසා පස්සේ බලන්න පුළුවන් කියලා හිත හදාගත්තා. ඒත්, විභාගයට තියෙන්නේ හරියටම දවස් තිහක් විතරයි කියලත් නඳුනිට අමතක වෙලා තිබුණේ නැහැ..

“නෝනා මොකක් හරි ප්‍රශ්නයක්ද?

දවස් දෙකකට විතර පස්සේ ගෙදර උදව්වට එන කාන්තාව නඳුනිගෙන් ඇහුවා.  නඳුනි ඇයට කිසිවක් කිව්වෙත් නැහැ. 

“නෝනා මට මේ මාසේ ගෙදර උදව්වට එන්න වෙන්නේ නැහැ …”

කාන්තාව එහෙම කිව්වම නඳුනි පුදුමෙන් බලාගෙන හිටියේ. නඳුනිට හිතාගන්න බැරි වුණා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. 

“ඇයි ඇන්ටි ?”

“අපේ ලොකු ළමයා විශ්ස විද්‍යාලේ පාස් වෙලානේ ඉන්නේ.. දැන් ඔන්න මොකද්ද මන්දා විභාගෙකට ඇප්ලිකේශන් ඇවිල්ලලු …. බැඳලා ඉන්නේ තිස්සට නේ..  දැන් ළමයි බලන්න මට යන්න වෙනවා.. ඒ පුතාගේ අම්මා ට අංශභාගේ හැදිලා … ලොකු ළමයාගේ විභාගේ වැඩ ඉවර වෙනකල් ඒ අම්මවත් බලන්න වෙන්නේ මට….”

නඳුනි ඔලුව වැනුවා විතරයි.

” මං එනකොට ඉඩ තිබුනොත් ආයේ මම එන්නම්.. නැත්නම් නෝනලා කෙනෙක් හොයාගන්න …”

එහෙම කියලා ඇය සමුදුන්නා. එදා හවස මාලක  ගෙදර ආවට පස්සේත් නඳුනි ඒ ගැන නොකියාම හිටියේ හිතේ කලබලය නිසාම

ඒත් නඳුනිගේ වෙහෙස මූණෙන් මාලක දින දෙක තුනක් තිස්සේ මඟෑරිලා තිබුණ කතාව කියෙව්වා.  

“මොකෝ අවුල නඳුනි ?”

මාලක දෙතුන් වතාවක්ම ඇහුවා. නඳුනි කලේ මඟෑර මඟෑර හිටපු එක.

“නඳුනි … නිදාගන්න කලින් කතා කරන්න ඕනි ….” 

මාලක බලෙන්ම නඳුනිව කතාවකට නවත්තගත්තා. 

” ඇන්ටි මේ මාසේ එන්නේ නෑ කිව්වා…”

නඳුනි එකපාරටම කිව්වා. 

” ඇයි ඒ ?”

” ඇන්ටිගේ ලොකු දුව ටීචින් එග්සෑම් ලියනවලු … ඉතින් බබාලා බලාගන්න ඇන්ටි යනවා කිව්වා …”

“ටීචින් කිව්වේ , ඔයත් ඇප්ලයි කල එකද ?

මාලක උනන්දුවෙන් ඇහුවා. නඳුනි කලේ හිස සලපු එක විතරයි. 

“ඒ කිව්වේ ? ඔයාටත් එග්සෑම් ද ?”

නඳුනිට ඇඬුණා. මාලක ඒ හැඬුම් වලින් නඳුනි හංගගෙන උන්න කතාව තේරුම් ගත්තා. 

” අපි බලමුකෝ… “

මාලක නඳුනිව වැලඳගත්තා. අඬන්න ගත්ත  බබාව අතට අරගෙන  නඳුනි  මාලකට තව ගුලි වුණා. 

දවස් තුනක් ගියා. මාලක දවස් තුනේම වේලාසන ගෙදර ආවා. 

හතරවෙනි දවස සෙනසුරාදාවක් නිසා මාලකට නිවාඩුයි.  නඳුනි හිටියේ අඩ නින්දක. 

“හම්මෝ …. ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආවත් හරි … මේ ටික ආවත් හරි … මාර මහන්සි අය්යා ….”

නඳුනි දඩි බිඩි ගාලා ඇඳෙන් බැස්සා. බබා දිහා එහෙමම  බලලා සාලෙට ගියා. 

මාලකගේ අම්මයි, තාත්තයි, නංගියි සාලේ. 

නඳුනි ඒ දිහා බලාගෙන හිටියේ හීනයක් දකිනවාද කියලා විශ්වාස නැතිව. 

“දෙය්යනේ .. අම්මලා කොයි වෙලේද ආවේ ??” 

නඳුනි කලබලෙන් ඉස්සරහට ගියා. 

“අය්යා කිව්වා ඔයාට එග්සෑම් ඇවිල්ලා කියලා… මට වැකේශන් අක්කා මාසයක් …. “

“ඔව් ඒත් ඔයා අම්මලා එක්ක මල්ලිව බලන්න ඉටැලි යන්න නේද හිටියේ ?”

” එයාටත් ටූ වීක්ස් වැකේශන් ලැබිලා … සමහරවිට නෙක්ස්ට් වීක් මෙහෙ ඒවි …”

“ඒත් …”

“හරි හරි… අද ඉදන් අපි ළමයි බලන්නම්, ගෙවල් බලන්නම්.. ඔයා එග්සෑම් එකට ෆෝර්කස් වෙන්න … ඇත්තටම ඔයා ඩිසර්ව් චූටි ටීචර් කෙනෙකුට අක්කා … මේ මාසේඉවර වෙල අර නැන්දා ඒවි නේ… එතකල් අපි ඉන්නවා …”

නඳුනි ට ඉකි ගැහුණා. තමන්ගේම අම්මයි, මල්ලියි තමන්ගේ හීන අතෑරපු වෙලාවක, තමන්ගේ හීන වෙනුවෙන් කැපකිරීම් කරන මිනිස්සු ගැන මහ සෙනෙහසකින් පිරුණා.

නඳුනි මාලක දිහා බලලා හිනා වුනේ කඳුළු අස්සෙන්.

|  අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles