සන්තාන සුසුම් සර – 38

0
3554

සැන්දෑ සුළඟ සිහිලක් දනවමින් හමා ගියේ ය. චේතිය මිදුල ට බැස්සේ අස්විද ගේ ඉඟියකට අනුවයි. පෙර දා සනුක ගේ වදේ නිසා පීසා හලකට ගොස් පැමිණීමෙන් පස්සේ, අයියා ට යසස්වි ගැන කියන්නට අස්විද සිතාගත්තේ ය. ඇතැම් විට ඔවුන් එවැන්නක් අනුමාන කරනවා ද විය හැක. නමුත් කුඩා කල පටන් අයියා සමගින් වූ බැඳීම නිසා ම, ජීවිතයේ මේ සුවිශේෂ ම තීරණය ගැන ඔහු ට පවසන එක තවත් පමා කිරීම වරදක් සේ අස්විද ට දැනිණ.

‘කියන්න දෙයක් තියනව’

ඔහු සිමෙන්ති බංකුව මතින් හිඳගත්තේ එහෙම පවසමිනි. මුවග ලා හසරැල්ලකින් චේතිය ද එහි අසුන්ගත වූයේ ය.

‘සුබ ආරංචියක්ද…’

‘අරූ සනුකය මේක වණ කරන්න කලින් කියල දාන එක හොඳයි’

‘නැත්තං ඌ තමුසෙගෙනුයි මගෙනුයි දෙන්නගෙංම මාරුවෙං මාරුවට ඩිනර් අවුට් ඉල්ලනව’

‘අයියෙ…’

අස්විද කතාවට ගොඩ වෙන්න හදත්දී ම යසස්වි මල් වට්ටියත් ගෙන මිදුලට බැස්සා ය. වට්ටිය පිරෙන්නට ඉද්ද මල් නෙළීම හැන්දෑවට ඇගේ භාවනාවයි. ඒ වෙනුවෙන් කොයි තරම් කාලයක් වැය වුණ ද ඇයට ඒ නහස්තියක් සේ නො දැනේ.

‘කියනව ඉතිං… අර ගෑනු ළමය පස්සෙ ඇස් දෙක දුවන්නෙ මොකද…’

අස්විද ගේ දෙතොල් අතරට පැමිණි සිනහවේ ලැජ්ජාවක් නොවූවා ම නොවේ. මේ ඔහු මෙවන් පුවතක් ගෙදරට දැනුම් දෙන ප්‍රථම වතාවයි.

‘යසස්වියි මායි අතරෙ සම්බන්දයක් ඇති වෙලා තියෙනව අයියෙ. මේ… යසස්වි සනුකයට ඕක කියල. මං හිතන්නෙ ඕකා ඒ ළමයගෙ කටිං අල්ලගෙන. රයන් ඇරෙන්න… අම්මලවත් තාම මේක දන්නෑ අයියෙ’

චේතිය සිය සොයුරා ගේ කරට අතක් දමාගත්තේ, ප්‍රාථමික පන්ති වල දී ඔහු ව ආරක්ෂා කළ අයියා ගේ භූමිකාව හදවතේ          ඇඳෙමින් මැකෙමින් යත්දී ය. ඇයිදෝ මන්දා සිය දෑස් යන්තමින් තෙත් වන්නා සේ අස්විද ට දැනිණ.

‘මට හිතුණා ඕක වෙයි කියල’

දෙදෙනා එකට ම සිනහ වූහ. අස්විද ඇස් පිසදාගත්තේ ය.

‘මේක තමයි වෙන්න ඕන හොඳම දේ. ඒ වගේම වෙන්න තිබුණ හොඳම දේ. සමහර විට හොඳම දේ ලැබෙන්න ටිකක් කල් යනව මල්ලි. අපි කලබල වෙලා ඊට කලින් මොනාම හරි තෝරගන්නව කියන්නෙ… හොඳම දේ අපිට මිස් වෙනව කියන එක. සමහර විට සොබා දහම අපිව ටෙස්ට් කරනව වෙන්නත් ඇති. තමුසෙ ඒ ටෙස්ට් එකෙන් පාස්. හරියටම හරි කෙනා හම්බවෙනකල් තමුසෙ කිසි හදිස්සියක් නැතුව ඉවසීමෙං බලං හිටිය. දැන් ඉතිං දිනල ඉවරයි මල්ලි. ඒ ගැන කියන්න බැරිතරං මට සතුටුයි’

‘ඇත්තටම මෙහෙම වෙයි කියල මංවත් හිතුවෙ නෑ ඕයි’

‘හරි හරි මේ. රයන්ටත් එන්න කියල සෙට් වෙන්න ඕන කාරණයක් මේකනං හොඳේ’

‘අයියෙ මේ අම්මලනං දන්නෑ හොඳේ’

‘ඉතිං අපි අම්මලට කියමු’

‘පිස්සුද…’

‘ඇයි… තමුසෙ හිතනවද අම්මල මේ යසස්විව ලේලි කරගන්න කැමති වෙන්නෑ කියල…’

‘එහෙම නෙවෙයි අප්ප. යසස්වි එපාලුනෙ දැම්ම’

‘හරි හරි එහෙනං තමුසෙල හොරෙං ලව් කරනවලකො ඒ ලෙවල් ක්ලාස් එකේ කොල්ලො කෙල්ලො වගේ’

‘දැං මේ වයසෙදි හරි ඒ එක්ස්පීරියන්ස් එක ගන්න එපැයි ඕයි’

මල් කඩාගෙන යන ගමන් යසස්වි යන්තම් සිනහ වීගෙන අයිය මලෝ මගහැර යන්නට ය උත්සාහ කළේ. නමුත් චේතිය ඊට ඉඩක් දුන්නේ නැත.

‘මේ මේ. ඔහොම චුට්ටක් ඉන්න’

තුසිතයෙහි යසස්වි විහිළු කරගෙන නො ගිය එක ම පුද්ගලයා චේතිය විය හැක. ඔහු පිළිබඳව ඇරඹුමේ පටන් ම ඇගේ සිත් හි වූයේ ගෞරව සම්ප්‍රයුක්ත වැඩිහිටි හැඟීමකි. චේතිය හැසිරුණේ ද ඒ ගෞරවයට අනිවාර්යයෙන් සුදුසු තැනැත්තෙකු ලෙසයි.

ඇය මල් වට්ටිය තුරුළු කරගෙන ම අඩමාන බැල්මකින් නතර වූවා ය. චේතිය ඒ තරම් ළෙංගතු ලෙස ආමන්ත්‍රණය කිරීම තුළ ම, අස්විද යමක් ඔහු ගේ කනේ තබා ඇති බවට සැකයක් ඈ තුළ ජනිත කරවන ලදී.

‘අයි…ය…’

ඈ කතා කළේ දැරියක ගේ හුරතල් සරිනි.

‘අයිය තමයි. මේ හොඳට හිටපු එකාට මොකද කළේ…මං නැතත් මල්ලි හරි හොඳිං ඉන්නවනෙ කියල මං හිතං හිටිය. දැං ඉතිං ඒකත් නෑනෙ’

යසස්වි ගේ ඇස් මත සිනහ මල් පිපෙමින් තිබිණ. ඇය අස්විද දෙස බැලූයේ ඔහුගෙන් පිහිට පතන්නට මෙනි. වචන කතා නො කළත් ඔහු ගේ ඇස් මත ආදරය නම් විය.

‘හරි හරි මේ… දැං ඉතිං තුසිතෙ අයිති ඔයාට තමයි හරිද… තුසිතෙ කියන්නෙ ඔය බිත්ති ටිකට විතරක් නෙවෙයි නංගි. අපි ඔක්කොමත් එක්ක. අපි හතර දෙනාගෙ… ඒ කියන්නෙ මගෙයි මල්ලිගෙයි අම්මගෙයි තාත්තගෙයි පුදුම බැඳීමක් තියනව. අපේ අම්මයි තාත්තයි අපි දෙන්නව හැදුවෙ මල් පැළ වගේ. ඒ බැඳීම් නැති කරල දාන්නැතුව තවත් බැඳීම් හයිය කරන ගෑනු ළමයෙක් තමයි තුසිතෙට ඕනකරල තිබුණෙ. දෙවියොද මන්ද අපිට ඔයාව හොයල දීල තියෙන්නෙ. මල්ලිව විතරක් නෙවෙයි නංගි. ඔයා අපේ අම්මයි තාත්තයිත් ආදරෙන් බලාගන්න ඕනෙ. අපිට ඕනෙ එච්චරයි. මේක තුසිතයක් කියල අපිට දැනෙන්නෙත් ඒ සැනසීම ඔයා මේ ගෙදරට දෙනකල් තමයි. අපිට ඒක ඉල්ලන්න වෙන කෙනෙක් නෑ. තේරුණාද…’

‘ඔව් අයියෙ’

වැඩිපුර කතා නොකරන චේතිය පවා මේ වෙලාවේ දොඩමළු ව සිටියේ හදවතින් ම ය. ඇය දැනටමත් තුසිතයෙහි සතුට වපුරන්නිය වී සිටිය ද චේතිය බාර දුන් වගකීම හදවතට දරාගත නො හැකි හැඟීමක් දනවන බව යසස්වී ට දැනිණ. ඕ බිම බලාගෙන මඳහසකින් සිටියා ය. නමුත් තුනී මීදුමක් ලෙස ඇරඹුණ දුමාරයක් පිනි බින්දු දෙකක් ලෙස ඝනීභවනය වී ‘ටක්’ ගා බිම පතිත විය.

‘ඒයි… අඬනවද ඉතිං ඔය’

අස්විද ස්නේහයෙන් සන්තෘප්ත සරකින් මුදු ලෙස විමසී ය. ඈ පපුතුර තුරුලු කරගත හැකි වී නම් එහෙම කරන්නට ඔහු දෙවරක් නො සිතනු ඇත.

‘කෙල්ලො සතුටටත් අඬනව ඕයි. තමුසෙත් කඳුළක් දැක්කහම බය වෙන තරමක්’

අයියා ගේ ඒ විහිළුවට අස්විදට සිනහ නැඟිණ. චේතිය යසස්වි ට නික්ම යන්නට අවසර දුන්නේ ය.

‘යසස්විව මට බන්දේසියක තියලනං හම්බවෙන එකක් නෑ අයියෙ. හරි හරි අපි ප්‍රශ්න එන වෙලාවට ෆේස් කරමුකො. දැං කියනවකො… කොහොමද සඳුනි එහෙම…’

‘තමුසෙට නමත් මතකයිද…’

‘ගෑනු ළමයෙක්ගෙ නමක් ඉතිං අමතක වෙනවද…’  

‘එයාට දැං බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව’

චේතිය එය කීවේ මීදුලේ කොහේදෝ ඈතක නෙතු රඳවාගෙන තුනී හසරැල්ලකිනි.

‘ආ…’

අස්විද ට ඒ විශ්වාස කරගත නො හැකි තරම් විණි.

‘ඒ කිව්වෙ…’

‘එයා මට කිව්ව. කොල්ලෙක් එයාට ට්‍රයි කර කර ඉඳල තියෙනව. එයාට කැමති වුණා කියල ගිය සතියෙ දවසක කිව්ව. මට කොල්ලගෙ පින්තූරෙකුත් පෙන්නල හොඳයි වගේද සර් කියල ඇහුව. මං කිව්ව ඉතිං පෙනුමනං හොඳයි. ඒත් ගතිගුණ කොහොමද කියල පින්තූරෙකින් කියන්න බෑනෙ… ඒක එයාව ආශ්‍රය කරනකොට තේරුං ගන්න කියල’

තවමත් අයියා ගේ දෙතොල් අතරෙහි රැඳී ඇති මඳහස, ඉකිබිඳ හඬනා දරුවෙකු ගේ හඬක් සේ ය අස්විද ට දැනුණේ. ඔහු බලා සිටියේ කම්පනයකින් යුතුවයි. ඒ ගෑනු ළමයා කෙරේ චේතිය තුළ වූ අවිහිංසක හැඟීම ගැන මෙලොව වඩාත් ම හොඳින් වටහා ගත් පුද්ගලයා අස්විදයි. දැන් ඔහු මේ තත්වයට මුහුණ දෙන්නේ කෙසේ ද කියා සිතා ගත නො හැකි ය. ඇය අහිමි වූවා කියා හඬන්නට වුව ඔහු ට අවසර නෑ නොවේ ද?

‘අයියෙ ඔයා හොඳින් නෙවෙයි නේද…’

අස්විද ගේ හඬ වෙව්ලා ගියේ ය. නමුත් චේතිය ගේ උපේක්ෂා සහගත බව නො වෙනස් ව තිබිණ.

‘ඒ ළමයට ජීවිතයක් තියනව කියල මං නොදැන හිටිය නෙවෙයිනෙ මල්ලි. අනිත් එක දුර ඉඳං බලං ඉන්න එක තරං අයිති කරගැනීම කියන දේ ඇතුළෙ සැනසීමක් නෑ මල්ලි. මලක් වුණත් කඩල අතට ගන්නැතුව ඒකට ආදරේ කරන්න පුළුවං. මට අයිති කරගන්න බැරිනං කාටවත් ඕන නෑ කියල ද්වේශ කරන එකට නෙවෙයි ආදරේ කියන්නෙ. එයා කා ළඟ හරි හොඳින් ඉන්නවනං එච්චරයි’

අස්විදගෙන් සුසුමක් ගිළිහිණි. චේතිය ඔහු ගේ උරහිසට තට්ටුවක් දැම්මේ ය.

‘කොහොමත් මං ඉන්නෙ මේ පවුල් කඩාගෙන යන්න පුළුවන් තත්වෙක නෙවෙයි. ඒක ඉතිං මගෙ ලැබීම. දැන් ඉතිං මගෙ කාලෙ ඉවරනෙ කොහොමත්. මගෙ කොල්ලොත් තව අවුරුදු දෙක තුනක් යනකොට කසාද බඳියි. දැන් මේ වෙලාවෙ වැදගත්  වෙන්නෙ මල්ලිගෙ අලුත් ජීවිතේ. මට වගේ නෙවෙයි දැන් ඔයාට අත්දැකීම් ගොඩක් තියනව. මේ සිද්ධ වෙචච දේවල් එක්ක පවුල් ජීවිතේ ගැන අවබෝධයක් තියනව. කසාද බැඳල ඉවරවෙලා දේවල් ගලපගන්න හිතන්නැතුව… දැන්ම තියා හැමදේම පැහැදිළිව හිතන්න. ඇත්තටම අපේ හිත් වල ආදරේ කියන දේ තියෙනවනං අනිත් දේවල් කොහොමත් අජෙස් කරගන්න පුළුවං. ආදරේ නැති තැන තමයි හෙමි හෙමිහිට නොරිස්‍සුම වැඩිවෙන්නෙ. යසස්වි හොඳ කෙල්ලෙක්. එයා තමයි තුසිතෙට ලැබෙන්නම ඕන කෙල්ල’

අස්විද ට ඒ කිසිත් නෑසුණ තරමි. ඔහු හිතමින් සිටියේ අයියා ගේ සන්තානීය වේදනාව ගැනයි. ඒ ඔහු අස්විද ට හැර වෙන කිසිවෙකු හට නො පෙන්වූ වේදනාවකි. අයියා ගැන සංවේගයෙන් අස්විද ගේ හදවත රිදුම් දුන්නේ ය.

‘එක අතකට ඔයාට තිබුණෙ ඩිවෝස් වෙන්න අයියෙ’

ඒ වචන ටික නිර්වින්දන තත්වයක්    යටතේ කියවුණා සේ ය. නමුත් අයියා වෙනුවෙන් යුතුකමක් ඉටු කළා වන් හැඟීමක් අස්විද ට දැනිණ.

‘මං එහෙම හිතපු වාර අනන්තයි මල්ලි. ඇත්තටම මනුස්සයෙක් කසාදයක් ඇතුළෙ දුක් විඳිනවනං ඒකෙන් එළියට යන එක තමයි හොඳම. ඒත් සඳුනි නිසා එදා මං එහෙම කළානං… ලෝකෙ මිනිස්සු කියන දේවල් අදාලම නැති වුණත් මට මගෙ හෘද සාක්ෂියෙන් ගැලවීමක් නැතිවෙන්න තිබුණ. වෙන කෙනෙක් නිසානෙ මං නිලූකාට එහෙම කළේ කියල. සමහර විට ළමයි පොඩිකාලෙම මට එහෙම කරන්න තිබුණ. ඒත් අදට වැඩිය එදා අපේ ලෝක හරි පුංචියි. එහෙම තීරණයක් ගන්න අපි හරි බයයි. ඒකයි මං කියන්නෙ… මේක තමයි වෙන්න තිබුණ දේ කියල. දැං ඉතිං කොල්ලො දෙන්න ලොකුයිනෙ. බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල’

අයියා යනු ළමා වියෙහි පටන් ම තාත්තා අම්මා වාගේ ම ඔහු ට හෙවනැල්ලක් වූ පුද්ගලයා බව අස්විද ට අමතක කළ නො හැකි ය. පාසල් සමයේ දී මිතුරෙකු ගේ උපන් දිනයකට ලැබුණු කේක් කැබැල්ලක් වුව ඔහු නොකා එය ගෙන අස්විද ගේ පන්තියට විත් මල්ලී ට එය දී යාම චේතිය හැමදාමත් කළ දෙයකි. එහෙව් අයියා සතුට නැති ජීවිතයක අවතැන් වී සිටියදී ඔහු කෙසේ සතුටෙන් ඉන්න ද කියා සිතත්දීත් අස්විද ඇතුළාන්තයෙන් රිදවුම් ලැබුවේ ය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here