සන්තාන සුසුම් සර – 50

0
11055

යසස්වී වෙහෙරගොඩ තුසිතයෙහි ලේලිය වූවාට පස්සේ, දැනෙන සේ ම නො දැනෙන වෙනස්කම් ද රැසක් එහි සිදු විය. නිලූකා ඒ සියල්ල දෙස බලා සිටියේ හද තුළ කැකෑරෙන ඊර්ෂ්‍යාකාරී හැඟීම් ප්‍රවාහයක් දරාගෙනයි. ඇතැම් විට ඇය ඊර්ෂ්‍යා කරන්නේ කුමක් නිසා දැයි ඇය ම දැන සිටියේ නැත. යසස්වි නිසා ඈ දැවෙන්නේ මන්දැයි දැන සිටියේත් නැත. ඔවුන් ට බෙදා ගන්නට යමක් වූවා ද නොවේ. නිලූකා තුසිතයෙහි ලොකු ලේලියයි. යසස්වි පොඩි ලේලියයි. ඔවුන් දෙදෙනා ට ම ඔවුන්ට ම වූ අයිතිවාසිකම් එහි තිබිණි. ඒවා ස්වායත්ථ ය. කෙනෙකු ගේ දෙයක් තවකෙකුට උදුරාගත හෝ සොරා ගත නො හැකි ය. තමන් සතු වනුයේ තමන් විසින් ගොඩනගාගනු ලබන දෑ පමණකි. නිලූකා වාගේ වන්නට යසස්වි ට උවමනා වූවා ද නොවේ. එසේ වත්දී යසස්වි යනු කිසිසේත් නිලූකා ට බලපෑමක් ද නොවේ. එනමුත් ඇය අහේතුක ගින්නක දැවුණා ය.

‘ඔහොම හැසිරෙන්න එපා යසස්වි. හරි කැතයි’

දිනක් ඕ අපුලෙන් කට ඇද කරගෙන යසස්වි ට කීවේ වජිරා නොවන මොහොතක මුළුතැන්ගෙයි දී ය. යසස්වි වික්ෂිප්ත ව බැලුවා ය.

‘අක්ක… මොකද්ද මං කරපු වැරැද්ද…’

‘අස්විද එක්ක මුළු වලට වෙලා කොමළ පාන්නයි අනවශ්‍ය විදිහට හැසිරෙන්නයි එපා. මේ ගෙදර තරුණ කොල්ලො දෙන්නෙකුත් ඉන්නවනෙ. ලැජ්ජ නැද්ද… ඔයාට කරගන්න ඕන දෙයක් අස්විදව කාමරේට ගෙන්නගෙන කරගන්න’

‘චී අක්ක. මොකද්ද ඔයා ඒ කියපු කැත කතාව… අපි කතාකරනව තමයි. හැබැයි නරක විදිහට හැසිරිලානං නෑ හොඳේ. අනිත් එක අස්විද අයියව කාමරේට ගෙන්නගන්න තරං මට එහෙම අසනීපෙකුත් නෑ. ඔයා මං ගැන ඔච්චර කැත විදිහට හිතනවට මං කැමති නෑ’

යසස්වි ට සැබවින් ම කේන්ති ගොස් තිබිණ. ඈ වෙව්ලන බවක් ද ඇයට දැනෙන්නට විය. සාමාන්‍යයෙන් ඇය වූ කලී කේන්ති ගන්නා හෝ කලබල වෙන විදිහේ චරිතයක් නොවේ. නිවුණු, සිහිල් වූ චරිතයකි. දුක්බරව හෝ ආවේගශීලීව ඉන්නා කෙනෙකු ගේ මුහුණට වුව සිනහවක් ගෙනෙන්නට උත්සාහ කරන කෙනෙකි. තුසිතයට පය ගැසූ දා පටන් මේ විදිහට කේන්ති ගත් මතකයක් ඇයට නැත.

නමුත් මොහොතකින් ඕ තමන් පාලනය කරගෙන සන්සුන් වූවා ය.

‘ඔය ඔක්කොම ආලවට්ටං ඉතිං බඳිනකං විතරයි. ඊට පස්සෙ ඔයත් මේ මං වගේ තමයි’

ඊලඟට නිලූකා කී කතාවට යසස්වි ගේ සිත්හි මෝදු වූයේ තරහක් නොව අනුකම්පාවකි. ඇය වූ කලී ජීවිතයෙහි සතුට කියන දේ මගහැර ගිය, සතුට ඇති තැන්හිදී අඳ වූ දෑස් සහිත ව උන්, අත්පත් කරගත නො හැකි වූ හා හඳුනාගන්නටත් බැරි වූ සතුටු පොදියක් අතපසු කොට විත් ජීවිතය නීරස විඳවීමක් කරගත් ස්ත්‍රියකි. ඇය වන් ගැහැනුන් ට ලෝකය යනු දුම් ගසනා මුළුතැන්ගෙයක් පමණක් වේ. ස්ත්‍රීත්වය යනු දැළි කුණු කැවුණු, දුම් වැදුණු හා ඉඳුල් වැකුණු කිළිටි ගුලියක් පමණක් වේ. ඒ අතරේ විවාහය යනු දිවි ඇති තෙක් මෙහෙවර කරමින් තුන් වේල කන්නට ලැබෙන මාහැඟි අවස්ථාවකි. ස්වාමියා යනු ඇයට නිල අයිතියක් පමණකි. දරුවන් වූ කලී ස්වාමියාට අයිතිවාසිකම් කියන්නට ඇති බලපත්‍රයයි!

‘අක්කා… ගෑනු ළමයෙක්ගෙ ජීවිතේ කසාදයක් එක්ක ඉවර වෙන්නෑ. සමහර විට ඕන්නං ඒක පටන් ගැන්මක් කරගන්න පුළුවන්. මටනං මේ ජීවිතේ සරුංගලයක්නං… බය නැතුව ඒකෙ නූල අල්ලගන්න දෙන්න පුළුවන් විශ්වාසවන්ත කෙනාව තමයි මං බඳින්නෙ. එතකොට කසාදෙ කියන්නෙ නිදහසේ ඉගිලෙන්න තියෙන අහස වගේ’

‘ඉගිල්ලෙයි ඉගිල්ලෙයි… ළමයෙක් දෙන්නෙක් අතින් කරින් එල්ලිලා ඇඟපත මහත දෙහෙත වෙලා එනකොට’

නිලූකා කට ඇද කොට සමච්චල් සිනහවක් පෑවා ය.

‘දරුවො කියන්නෙ ඉතිං අලුත් ජීවිතේකට අමුතු සතුටක් මිස බරක්ද අනේ… මන්නං ආසයි චූටි පැටියෙක්ට… දඟකර කර හිනා වෙවී ගේ පුරා දඟලනකොට…’

‘අනේ යසස්වියො… නිකං හීන මවන්නැතුව ඉන්නව. ළමයි ඇඟේ චූ කක්ක දානකොට… හෝදන්න වේලන්න රෙදි ගොඩවල් එකතු වෙනකොට… අසනීප වලට නිදිමරන්න වෙනකොට ඔය හුරතල් නෑ. මාත් ඔය වයස පහු කරලනෙ ඇවිත් ඉන්නෙ. ඊටත් පස්සෙ උං ලොකු වෙනකොට… ළමයින්ගෙ වැඩයි ගෙවල් වල වැඩයි තමයි කසාදයක් කියන්නෙ. ඊට එහා දෙයක් නෑ. ඊට එහා දෙයක් තියනවනං ඒ කීයක්හරි කොහොමහරි අතමිට මොලෝගෙන හංගගන්න එක’

ඇය ඒ අන්තිම ටික කියා හඬ නගා සිනහ වූවා ය. නිලූකා ගේ ලෝකය එයයි. ඇය දකිනා හා ඇය ජීවත් වන සීමාවට එපිටින් ලෝකයක් වන බව අදහන්නට කිසි සේත් ඇයට උවමනා ද නැත.

‘අක්කා… ඊට එහා ලෝකයක් තියනව. ලස්සන ලෝකයක් තියනව’

යසස්වි නිවැරදි ම තැනින් මාතෘකාවට ගොඩ වූයේ නිලූකා කෙරේ අනුකම්පාවෙන් ම ය. ඇයව හඳුනාගෙන, ඇයව වටහාගෙන, ඇයට නිවැරදි මාර්ගය වටහා දීම සිය යුතුකමක් සේ සලකාගෙන ය.

‘ඔයාටත් අයිතියක් තියනව ඒ ලෝකෙ දකින්න. ඒ වගේම චේතිය අයියත් එක්ක ඒ ලෝකෙ ලස්සනට විඳින්න. මට තේරුං ගන්න බැරි මොකක්දෝ හේතුවක් නිසා ඔයා ඒ ලස්සන ලෝකෙං ඈත් වෙලා ඉන්නෙ. මං ඔයාව එක්කං යන්නං මගෙ සර් කෙනෙක් ළඟට. එයා ප්‍රශ්නෙ මොකද්ද කියල හරියට තේරුං අරගෙන ඔයාට උදව් කරයි. ඔයාට තියෙන්නෙ එයා එක්ක කතා කරන්න විතරයි. ටික දවසක් ඒ සෙශන්ස් කීපෙකට යනකොට ඔයාට පුළුවන් වෙයි ඔයාලගෙ අලුත් ගෙදරදි ලස්සන අලුත් ජීවිතයක් පටං ගන්න. අපි යමුද… චේතිය අයියටවත් මේක කියන්න ඕන නෑ. අපි කාටවත්ම නොකියා ඉමු. ඔයා කවුන්සලින් වලට යන එක ඔයාගෙ පවුලටම හොඳක් කරනව කියල මට විශ්වාසයි’

ඇය කතා කරගෙන ගියේ කුඩා දරුවෙකු ආමන්ත්‍රණය කරනා මුණිවරියක සේ ඉවසිලිවන්තව ය. නමුත් නිලූකා යකින්නක සේ කිපී ඇගේ ඇඟට කඩන් පැන්නා ය.

‘කවුන්සලින්… හිතුවද මට පිස්සු කියල…’

‘අක්ක. පිස්සුවකට නෙවෙයි… ඒක අපිට ලොකු සහනයක්. අයියත් එක්ක ඔයාගෙ තියෙන ගොඩක් ගැටළු වලට ඒකෙන් විසඳුමක් ලැබෙන්න පුළුවන්. අඩු ගානෙ… ඔයාට නිතරම දැනෙන නොරිස්සුම නැති වෙලා සතුටෙන් ඉන්න හරි පුළුවන් වෙයි. මං කියනවට අක්ක මේ ගැන හිතල බලන්න’

‘එයාගෙ නැහැදිච්චකම ගැන කිව්වහම එයා මාව පිස්සං කොටුවට ගාල් කරන්නයි හදන්නෙ. මේ ගෙදර අනිත් මිනිස්සු වගේ මං අහුවෙන්නෑ ඔය කපටිකං වලට’

නිලූකා ඊටත් තරහ ගෙන කෑගැසුවා ය.

‘ඔයා ඔය මනුස්සයව හදන්න යන්නැතුව ඉන්න. එයා හැදෙන කෙනෙක් කියල මං හිතන්නෑ’

අස්විද ගේ අදහස වූයේ එයයි.

‘මට දුක අයිය ගැන. කොල්ලො දෙන්නත් ලොකුයිනෙ. උන් තව ටික කාලෙකදි උන්ගෙ ජීවිත හොයාගෙන ඉගිල්ලෙයි. අයිය තමයි ජීවිතේ තනි වෙන්නෙ. තට්ට තනියම අසරණ වෙන්නෙ’

‘අයිය නිලූකා අක්කව අත්අරින අදහසක් නැත්තං… ජීවිතේ ඉතුරු කාලෙවත් ටිකක්හරි සැනසිල්ලෙං ඉන්න පුළුවං හැටියට අක්කව වෙනස් කරගන්න එක නේද හොඳ…’

‘යසස්වී… බලු නගුට උණ පුරුකෙ දාල තිබ්බත් ඇද අරින්න බෑ කියනවනෙ. ඔය නිලූකාත් ඒ වගේ තමයි’

‘මට හිතෙනව අයිය එක්ක මේ ගැන කතාකරන්න. සනුකල බැඳල අයින් වුණා වුණත් අක්කයි අයියයි ජීවිතේ තියෙනකල් එකට ඉන්න ඕනනෙ. අසනීපයක් ලෙඩක් දුකක් හැදුණත් ඒ දෙන්නට ඒ දෙන්නනෙ ඉන්නෙ. ඉතිං වෙන මොනාත් නැතත් බැඳීමක් හරි තියෙනවනං ඒක වටිනවනෙ අප්ප. අක්ක ඔයිට වැඩිය සොෆ්ට් වෙලා අයියට ලං වෙනවනං… අයියගෙ හිතේ තියන ඔය පාළුව වුණත් අඩු වෙයි. කවුන්සලින් නිසා ඒ දෙන්නට ඒ දෙන්න ගැන තියන ඔය නොරිස්සුම නැති කරගන්න පුළුවං අයියෙ. මං ඒකයි කියන්නෙ’

‘හරි හරි බලමුකො ඒක පස්සෙ. දැන් අපි වෙඩින් එක ලස්සනට ප්ලෑන් කරගමු. වැඩි කට්ටියක් නැතුව පොඩියට කළත් හැමදේම පිළිවෙලට තියෙන්න ඕනෙ යසස්වි’

ඊළඟ දින කිහිපය ගෙවුණේ ඒ වෙනුවෙනි. තුසිතය මංගල සිරි ගත්තේ ය. ළඟ ළඟ ම සුබ නැකතක සුබ පණිවිඩය ලැබිණ. විජිත තුසිතය සුදු පිරියම් කරවූයේ ය. ගෘහ භාණ්ඩ පිරිසිඳු කළේ ය. වත්ත පිටිය ශුද්ධ පවිත්‍ර කළේ ය. වජිරා මිරිස් තුනපහ කෙටුවා ය. පොල් කැඩවූවා ය. මංගල්ලයට ඥාති මිත්‍රාදීන්ට බුලත් දෙන්නට කාර්ය බහුල වූවා ය. අසල්වැසියන්ට ඇරයුම් පත් බෙදුවා ය. සාරි ගන්නට සාප්පු සවාරි ගියා ය. සාරි හැට්ට මැස්වූවා ය.

‘ඔයාගෙ වෙඩින් එකටවත් ඔයා මෙහෙම ලෑස්ති වුණාද මන්ද’

විජිත විහිළුවක් කළේ ය. වජිරා ගේ මන්දහාසයෙහි සාඩම්බර අම්මා කෙනෙකු ගේ හදවතේ සෙවණැලි විණි. ඇගේ හදවත තුළ උතුරා පිටාර ගලන ප්‍රීතියෙහි ආලෝකය, නෑ හිත මිතුරන්ට පෙන්වීමේ බලාපොරොත්තු සහගත ආශාවකින් ඈ අතැඟිලි ගණිමින් සිටියා ය.

සාවිත්‍රි ට යසස්වි ගේ දුරකතනයට ඒ ඇමතුම ගන්නට සිදු වූයේ නො ගෙන බැරිකමටයි. කතා කරන්නට පෙර ඇය සිය දහස් වරක් සිතුවා ය. ලක්ෂ කෝටි වාරයක් තැවුණා ය. නමුත් ඇයට මේ පුවත සැල කළ යුතුව තිබිණ.

‘ඔයා කලබල වෙන්න එපා. කරගෙන ආපු වැඩ මොනවත් නතර කරන්නත් එපා. වෙන්න තියන දේවල් සිද්ධ වෙයි. ඔයාගෙ අනාගතේ වෙනුවෙන් ගත්තු තීරණ මුකුත් වෙනස් කරන්න ඕනෙ නෑ’

අන්තිම හරියේ දී සාවිත්‍රි ගේ හඬ බිඳී ගියේ හැඬුමක් අත ළඟ බව නො කියා කියමිනි. යසස්වි වඩාත් කලබල වූවා ය.

‘අනේ අම්ම මොකද්ද වෙලා තියෙන්නෙ කියල කියන්නකො’

‘තාත්තව ඉස්පිරිතාලෙ නතර කළා පුතේ. දැං දැඩි සත්කාර ඒකකයෙ…’

යසස්වි ට ඒ වචන ඇහුණේ ඈත දුර ග්‍රහ ලෝකයක සිට කවුදෝ කීවා සේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here