අභිෂේකා කාර්යාලයට ඇතුල් වුණේ බරැති බෑගයක් අතේ තියා ගෙන.ඒ මොනවද කියලා දන්න කීප දෙනෙක්ම අභිෂේකාට ළං වුණේ නොඉවසිල්ලෙන්.
” අනේ පොත් ටික හම්බ උනාද ? ”
ඉරේෂා අභිෂේකා ළඟට ආවෙ ආසාවෙන්.අභිෂේකා බෑග් එක ඇතුළේ තිබුණ අලුතෙන්ම මුද්‍රණය කරපු පොත් කිහිපය එළියට ගත්තා. අභිෂේකා අරගෙන ඇවිල්ලා තිබුණේ ඇය විසින් ලියපු අලුත්ම කවි පොත.අභිෂේකා රැකියාවට අමතරව විනෝදාංශයට වගේ කවි ලියන්නියක්.ඇගේ කවි කියවන බොහෝ දෙනෙකුගේ ඉල්ලීම උනේ ඒ සියලු කවි කැටිකරලා පොතක් මුද්‍රණය කරන්න කියන එකයි. පොතක් පුත්රණය කරන්න ආසාවෙන් හිටපු අභිෂේකා කල්යල් බලලා ඇගේ හොඳම කවි ටික එකතු කරලා පොතක් මුද්‍රණය කරනකොට කාර්යාලයේ සගයන් ඒ පොත අතට ගන්න හුඟක් ආසාවෙන් බලා ගෙන හිටියා.
” මොනවද ඕකේ තියෙන්නේ? “
එහෙම ඇහුවේ කාර්යාලයේ පරණම සේවිකාවක් වුන රමණී. තරුණ කාර්යාල සේවකයන්ගේ කතා වලට ඇය එතරම් මැදිහත් නොවන නිසා අභිෂේකාගේ පොත ගැන ඇයට ලොකු අදහසක් ඒ වෙනකොට තිබුනෙ නැහැ.
” මේ පොතේ තියෙන්නේ අභිෂේකා ලියපු කවි “
ඉරේෂා උත්තර දුන්නේ කවි පොත ආසාවෙන් පෙරලලා ඒකෙ තියෙන නැවුම් සුවඳ විඳින ගමන්.
” කවි ? ඒ මොන විකාරයක්ද ? අනිත් එක පොතක් ලියන්න තරම් අභිෂේකා ලොකු කෙනෙක්ද ? ”
රමණි ඇහුවේ සමච්චලයට හිනාවෙන ගමන්. අභිෂේකාගේ මුහුණ බලාගෙන ඉද්දි මැලවිලා ගියේ ඒ වචන ටික ඇහුවට පස්සේ.
” මේ පොත කියවලා බැලුවනං මිස් රමණිට තේරෙයි මේ පොතේ තියෙන කවි කොච්චර ලස්සනද කියලා. අපි නම් මේවා ෆේස්බුක් එකෙන් කියවල තියෙනවා ”
රමණිගේ පිහිතුඩු වගේ වචන බලාගෙන ඉන්න බැරි තැන චරණ එහෙම උත්තර දුන්නා.
” අනේ මට නං ඔය විකාර වලට වෙලාවක් නැහැ ළමයෝ. අනිත් එක ඔහොම කවි පොත් අරගෙන කියවන්න මිනිස්සුන්ට වෙලාවක් තියෙනවද ? ”
රමණී අනික් අතට ඇහුවා
” රසාස්වාදය තියෙන මිනිස්සු තාමත් කවි ,කතා කියවනවා මිස් රමණි. ඔයා දන්නවද බුක් ෆෙයා එකෙන් පොත් ගන්න අවුරුද්ද පුරාම සල්ලි එකතු කරන මිනිස්සුත් ඉන්නවා ”
ඒ උත්තරය දුන්නේ ඉරේෂා.
එදා දවසේ අභිෂේකාගේ කවි පොත කාර්යාලයේ කා අතරත් කතා බහට ලක්වුණා. සමාජ මාධ්‍යවලින් අභිෂේකාගේ කවි කියවලා නැති අය පවා අභිෂේකාගෙන් පොත අරගෙන ඒ හැම කවියක්ම ආසාවෙන් කියෙව්වා. අභිෂේකා ඉතාම කැමැත්තෙන් හැමෝටම පොත නොමිලයේ බෙදලා දුන්නා.
” මේ කවියේ තියෙන්නේ මගේ කතාවමයි ”
කවි පොත අතින් අතට ගිහිල්ලා කාර්යාලයේ වෙනත් දෙපාර්තමේන්තුවක ඉන්න තරුණියක් අභිෂේකාව හොයා ගෙන ආවේ කෑම පැයෙන් පස්සේ.
” ඔයා කොහොමද මිනිස්සුන්ගේ හැඟීම් මේ වගේ ලස්සනට ලියන්නේ අභිෂේකා ? ”
ඒ තරුණිය ආයෙමත් කිව්වේ ඇස් වල කඳුළු පුරවබ්ගෙන. ඒ කවියේ තිබුණේ අසීමාන්තික ලෙස ආදරය කරලා ඒ ආදරය අහිමි වෙච්ච තරුණියක ගේ කතාවක්.ඒක බොහොම කාලයකට කලින් තමන් ලබපු අත්දැකීමක් කියලා අභිෂේකා ඒ තරුණියට කියන්න ගියේ නැහැ
” මේක දැන් නාඩගම් මඩුවක් වෙලා මිස්ටර් රත්නසූරිය ”
රමණි අංශ ප්‍රධානියාට ගිහින් කිව්වේ වරින් වර කිහිප දෙනෙක්ම අභිෂේකා ගේ කවි පොත ගැන වර්ණනා කරනවා අහගෙන ඉන්න බැරිම තැනයි.
” අපි ළඟ වැඩ කරන ළමයෙක්ට මේ වගේ දක්ෂකමක් තියෙනවා කියන්නේම මොනතරම් හොඳ දෙයක්ද මිස් රමණී. අපි වගේ මැදි වයසේ ඉන්න සමහර අයට සාහිත්‍ය ගැන ලොකු අගයක් නැති වුණාට දැන් ඉන්න තරුණ ළමයි ගොඩක් වෙනස්. ඉස්සර වගේ නෙමෙයි මේ ලෝකේ හරි දියුණු නිසා තරුණ ළමයි සාහිත්‍ය රසය බෙදන විදිහත් වෙනස් ”
” ඒ උනාට ඔය පොත් උස්සගෙන ඔෆිස් එකට එන්න ඕනෙ නෑ නේ මිස්ටර් රත්නසූරිය. මේක office එකක් මිසක් පොත් විකුනන තැනක් නෙමෙයිනේ ”
රමණී උත්තර දුන්නේ කේන්තියෙන්.
” අභිෂේකාට ළඟම යාළුවො ඉන්නේ ඔෆිස් එකේනේ මිස් රමණී. ඉතින් එයාගේ ජීවිතේ සතුටු දෙයක් ඒ යාළුවොත් එක්ක බෙදා ගන්න එක වැරදියි කියලා මම හිතන්නෙ නැහැ. අනිත් එක මං දන්න විදිහට අභිෂේකා ඔය පොත විකුණන්න පුළුවන්කම තියෙද්දිත් එයා ඔෆිස් එක ඇතුලේ ඒක විකිණුවේ නැහැ. මං සෑහෙන කාලෙක ඉඳලා අභිෂේකා ෆේස්බුක් එකේ ලියන කවි කියවන කෙනෙක්.මිස් රමණි දන්නවද ඒවට කැමති දහස් ගාණක් මිනිස්සු ඉන්නවා. අභිෂේකා කියන්නේ මිස් රමණිට වඩා තනතුරෙන් පහළ තැනක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්.හැබැයි අභිෂේකාට ඒ ඔෆිස් එකෙන් එළියේ ආදරය කරන මිනිස්සු සෑහෙන්න ප්‍රමාණයක් ඉන්නවා “
අංශ ප්‍රධානියා රමණිට කරුණු පැහැදිලි කරේ බොහොම සන්සුන් විදිහට. රමණි පරාජිත විදිහට ගිහිල්ල තමන්ගේ අසුනෙන් අසුන් ගත්තේ අංශ ප්‍රධානියා එක්කත් කෝපයෙන්.
දවස් ගානක් යනකන්ම අභිෂේකා ගේ කවි පොත සල්ලි වලටත් මිලදී ගන්න කැමැත්තෙන් කාර්යාලයේ බොහෝ දෙනෙක් අභිෂේකාව හොයා ගෙන ආවා.කාර්යාලයේ හැම තැනකම වගේ අභිෂේකා ගේ පොත ගැන කතාබහ උනා වගේම කෑම පැයේදීත් ඒ ගැන බොහො කෙනෙක් කතා වෙනවා රමණි ගෙ කන් දෙකටම ඇහුණා. මෑතකදී කාර්යාලයේ සේවයට ආපු අභිෂේකා ගැන කාර්යාලයේ හැම තැනම කතා වෙන එක ඇත්තටම අහ ගෙන ඉන්න බැරි තැනකයි රමණි හිටියේ. අවුරුදු බර ගානක ඉඳලා මේ කාර්යාලයේ සේවය කරන තමන් ගැන වත් කිසිම හේතුවක් මත කවුරුත් කතා නොවෙන කොට අභිෂේකා වගේ තරුණියක් ගැන හැම තැනම කතා වෙන එක රමණි ගේ හිතට ඉරිසියාවක් ඇති කළා.
” මොකද මිස් රමණි අවුලෙන් වගේ ? ”
රමණි පරිගණකයටම මූණ ඔබා ගෙන දවස තිස්සේම වැඩ කරන නිසා ඉරේෂා ඇහුවා.
” කිසිම අවුලක් නෑ. ඇයි ? “
රමණි ඉරේෂා ගෙන් ඇහුවේ හරිම නපුරු විදිහට.
” ඔයා වෙනදා වගේ කතා කරන්නේ නැති නිසා ඇහුවේ ”
ඉරේෂා එහෙම උත්තරයක් දීලා කතාව නතර කරන්න හැදුවත් රමණී ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න සූදානමින් හිටියා.
” මේකනෙ මට ඕගොල්ලෝ වගේ වැඩක් නැති දේවල් ගැන තැන් තැන් වල කතා කරන්න වෙලාවක් නැහැ. මං මේ ඔෆිස් එකේ වැඩ කරන්නේ සෑහෙන කාලෙක ඉඳලා.මම ගන්න පඩියට සාධාරණයක් කරනවා. ඒ නැතුව ඕගොල්ලෝ වගේ එක එක්කෙනා වර්ණනා කර කර විකාර කරන්න මට වෙලාවක් නැහැ ”
රමණීමේ නොකියා කියන්නේ මොකක් ගැනද කියල කියලා කියන්න ඒ කතාව අහගෙන හිටපු අයට අපහසු උනේ නැහැ. ඒ නිසා කවුරුත් කිසිම උත්තරයක් නොදී තම තමන්ගේ ආසන වලට හැරුණා.
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පටන් ගත්තේ තවත් දවස් කීපයකට පස්සේ. රමණි තමන්ගේ එකම දියණියත් එක්ක පොත් ප්‍රදර්ශනයට යන්න හිතුවේ අවුරුදු විස්සක් වෙච්ච දියණිය පොත් කියවන්න පුදුමාකාර ආසාවක් දක්වපු නිසා. ඒ වගේම ඇගේ උසස් අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය පොත් කිහිපයක් වට්ටම් සහිතව මිලදී ගන්න පුළුවන්කම තියෙන නිසා රමණී ඒ ගමනට කැමති වුණා.
සාමාන්‍ය තරමේ සෙනඟක් හිටපු පොත් ප්‍රදර්ශනයට ඇතුළු වෙලා විවිධ කුටි වලින් පොත් කීපයක් මිලදී ගත්ත රමණි ගේ දියණිය එක්තරා කුටියකට ඇදෙන කොට රමණිත් ඒ පසු පසින් ගියා. ඒ කුටියේ එක කෙළවරක දිග පෝලිමක් තිබුණ නිසා රමණිගේ දියණිය ඒ පෝලිමට එකතු වුණා.
” එක පොතක්වත් ගන්නැතුව පෝලිමේ ඉන්නේ ඇයි ? ”
රමණි දියණියගේ කණට කරලා ඇහුවා.
” මේ අර අභිෂේකා කියන කවි ලියන අක්කගෙ කවි පොත එයාගේ අත්සනත් එක්ක ගන්න පෝළිම අම්මේ. අනේ ඒක අරගෙනම යමු ”
රමණි දියණිය දිහා බැලුවේ පුදුමයෙන්. ඒ එක්කම ඇය තව ටිකක් ඉදිරියට ගිහින් පෝලිමේ කෙළවර බැලුවා. අභිෂේකා ලියපු කවි පොත ගන්න සෑහෙන පිරිසක් වගේම ඇගේ පොතට ඇගේ අත්සන සටහන් කර ගන්නත් ඇය එක්ක පින්තූරයක් ගන්නත් විවිධ වයස් කාණ්ඩ වල පිරිසක් වට වෙලා ඉන්නවා රමණි දැක්කේ එතකොට.