මතකයක සේයා – 13

0
2522

මන්දාකිණි වාහනයට නැග වාහනයේ දමා ගිය ජංගම දුරකථනය අතට ගෙන පරීක්ෂා කළේ පුරුද්දට මෙනි. එහි ශෙනාල් ගෙන් මගහැරුණු ඇමතුම් කිහිපයක් මෙන්ම නොසරුප් වදන් වලින් බැන දෙවන ලද කෙටි පණිවිඩ කිහිපයක්ම විය. නිදහසේ රාත්‍රී ආහාරයක් ගෙන පසුගිය හෝරා දෙකක් පමණ ගත කළ සැහැල්ලුව මන්දාකිණි වෙතින් පලා ගියේ තප්පර ගණනාවක් තුළදීය.

රියදුරු අසුනට අනෙක් පසින් වාහනයට නැග ආසන පටිය පැළඳ ගත් කෛලාශ් දුරකථනය අතේ තබාගෙන අඳුරු වූ මුහුණින් යුතුව ඉවත බලාගෙන කල්පනාවේ සිටින මන්දාකිණි දෙස බැලුවේ විමසිල්ලෙනි.

” මන්දාකිණි ? ” 

මන්දාකිණි තිගැස්සී ගියේ කෛලාශ් ගේ හඬටය.

” අ..සො..සොරි මිස්ටර් කෛලාශ් මම වෙන කල්පනාවක හිටියේ “

කෛලාශ් හට ඒ බව තේරුම් ගන්නට අපහසු වූයේ නැත. අවන්හල තුලදී ඇගේ මුහුණේ තිබූ දීප්තිමත් බව කොහේදෝ පලා ගොස් ඇති බව පැහැදිලිවම දක්නට ඇති නිසා කෛලාශ් උන්නේ ඒ සඳහා හේතුවක් සිතා ගත නොහැකිවය.

” Are you alright ? ” 

කෛලාශ් ඇසුවේ යන්තමින් මන්දාකිණි දෙසට නැඹුරු වෙමිනි.ඇය වාහනය පණ ගැන්වූයේ ආයාසයෙන් මවා ගත් සිනහවකින් කෛලාශ් දෙස බලමිනි

” Yes I am ” 

මන්දාකිණි වාහනය පසුපසට ගෙන ප්‍රධාන පාරට අවතීර්ණ කර ඈතට විහිදෙන මග ඔස්සේ සාමාන්‍ය වේගයකින් වාහනය ධාවනය කළේ සිතිවිල්ලේය.ශෙනාල් මුණ ගැසීමට පෙර තමා මේ ආකාරයටම ආයතනයේ වැඩ අවසන් කර කුඩා හෝ රාත්‍රී ආහාරයක් නිදහසේ ගෙන සැහැල්ලු කර ගත් සිතින් යුතුව සුව නින්දක් ලබා ගැනීම සඳහා නිවසට ගිය දිනයන් ඇය සිහිපත් කළේ ශෝකයෙනි. නොසරුප් වදන් වලින් බැණ වැදී කෙටි පණිවිඩ රැසක් තමාට ඒවා ඇති ශෙනාල් මේ වන විට තමා නිවසට එනතුරු කෝපාවිෂ්ට වී බලා හිඳිනා ආකාරය මන්දාකිණිගේ දෑස් ඉදිරියේ මැවී පෙනුණි. තම ජීවිතය මේ ආකාරයට අඳුරට ඇද ගැනීම තවදුරටත් නොකළ යුතු වුවත් තමා අතින් ජීවිතය තුළදී මේ සිදු වූ වරද කෙසේ නිවැරදි කරගන්න දැයි ඇය  බොහෝ වාරයක් කල්පනා කළේ අනතුරුවය.

” මාව මෙතන පාර ගාවින් දාන්න මන්දාකිණි.මම ඉතුරු ටික යන්නම්” 

කෛලාශ් කීවේ එගොඩවත්ත පාරට මීටර්  කිහිපයක් නුදුරේදීය. ගැඹුරු කල්පනාවක රැඳී හුන් මන්දාකිණි දිගු සුසුමක් හෙලා වාහනයේ වේගය මදකට බාල කළාය.

” එකට ආවට පස්සේ එහෙම මගින් දාලා යන්න බැහැ නේ මිස්ටර් කෛලාශ්.මට ගේ පෙන්නන්න මං එතනින් ඩ්‍රොප් කරන්නම් ” 

මන්දාකිණි ලබා දුන් සරල පිළිතුර කෛලාශ් බොහෝ දුර සිතා අනතුරුව පෞද්ගලික පාරේ නිවාස කිහිපයකට නුදුරින් ඇති සුවිසල් නිවසට යන මග ඇය හට පෙන්වූයේය.

” මන්දාකිණි ඇත්තටම ඔයා හොඳින් නේද ? ” 

කෛලාශ් ආසන පටිය මුදවා හැර වාහනයෙන්  බසින්නට පෙර නැවත වාරයක් මන්දාකිණි  දෙසට හැරී ඇසුවේය.හදවත පත්ලෙන් කුමක්දෝ වේදනාවක් නැගී එනවා දැනුනත් මන්දාකිණි ඒ වගක් නොපෙන්වා මදහසක් මුහුණට නගා ගත්තාය.

” ඔව් මිස්ටර් කෛලාශ්.ගුඩ් නයිට් ” 

” ගුඩ්නයිට් මන්දාකිණි ” 

මන්දාකිණි ගේ වාහනය ප්‍රධාන පාරට අවතීර්ණ වී නොපෙනී කෛලාශ් බලා උන්නේ සංවේගය මුසු වූ හැඟීමකිණි.බොහෝ සැහැල්ලුවෙන් හෝරාවක් පමණ සිනාසුනු යුවතිය ක්ෂණයකින් වෙනස් වුනු ආකාරයට හේතුව නිවසට ඇතුළු වී තරප්පු පේළිය නගිනා අතරතුරදී කෛලාශ් කල්පනා කලේය.

වාහනය පාර අයිනට කර නතර කළ මන්දාකිණි  නැවත ජංගම දුරකථනය අතට ගෙන ශෙනාල් විසින් එවන ලද කෙටි පණිවිඩ මුල සිට නැවත කියෙව්වාය.ඉන් පසුව හැකිතාක් වේගයෙන් වාහනය පදවාගෙන විනාඩි කිහිපයක් ඇතුළත නිවාස සංකීර්ණය වෙත පැමිණ වාහන අංගනයේ වාහනය නවත්වා විදුලි සෝපානයට ගොඩ වූවාය. හදවත ගැහෙන වේගය ක්‍රම ක්‍රමයෙන් වැඩි වන බව මන්දාකිණි හට දැනුනේ දහවන මහලට පැමිණ විදුලි සෝපානයෙන් පිටතට පියවර තබන විටය.

නිවසේ ප්‍රධාන දොරටුව අසලට පැමිණි මන්දාකිණි හුස්මක් ගෙන නිවසේ විදුලි සීනුව නාද කළාය. විනාඩි දෙක තුනක් ගෙවී කිසිදු හැල හොල්මනක් නොමැති තැන මන්දාකිණි නැවත සීනුව නාද කළේ වෙව්ලන ඇඟිලි තුඩු වලිනි.ජංගම දුරකථනය ගෙන ශෙනාල් ගේ අංකය අමතන්නට සූදානම් වෙද්දීම ප්‍රධාන දොර විවෘත වී කෝපාවිෂ්ට වූ රෞද්‍ර මුහුණකින් යුතු ශෙනාල් එය ඉදිරියේ පෙනී සිටියේය. මන්දාකිණි කිසිවක් නොකියා නිවස තුළට ඇතුළු වන්නට සූදානම් වන විටම ශෙනාල් ඇගේ දකුණතින් අල්ලා තද කර නතර කළේය.

” ඔහොම නැවතියන් ” 

මන්දාකිණි ඉදිරියට ගත් පියවර එහෙමම නතර කර බලා උන්නාය.

” මම උඹට කෝල්ස් කීයක් ගත්තද? මෙසේජස් කීයක් දැම්මද ? මොකා එක්කද උඹ හිටියේ ? ” 

මෙවැනි ආකාරයේ ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා තමා බැඳී නැත.විශ්වාසයක් නොමැති තැන ආදරයක්ද නොමැති බව ශෙනාල් වැනි හිතක් ඇත්තෙකුට තේරුම් කර දීමද ඵලක් නැත.එහෙත් මේ මොහොතේදී පිළිතුරු නොදී සිටීමද කළ නොහැක.

” ෆෝන් එක තිබුණෙ කාර් එකේ. මං ඩිනර් ගන්න ගියා ” 

ශෙනාල් ගේ මුහුණෙහි ඇඳුනේ අපහාසාත්මක සිනහවකි.තමා දුන් පිළිතුර ඔහු දශමයකින් හෝ විශ්වාස නොකළ බව ඒ සිනාවෙහි මනාව සටහන් වී තිබුණි.

” කාත් එක්කද ? ” 

තමා රාත්‍රී ආහාරය ගැනීම සඳහා ගියේ තනිවමය.කෛලාශ් මුණ ගැසීම අහම්බයක් බැවින් එය කිසිසේත්ම බොරුවක් නොවේ.

” තනියම ” 

මන්දාකිණි තනි වචනයකින් පිළිතුරු දී නිවසට ඇතුළු වීම සඳහා බලා උන්නාය.සම්පූර්ණ දවසක්ම වෙහෙස වී දවස අවසානයේදී නිවසට පැමිණි විට මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවීම අතිශයින්ම අවාසනාවකි.

” හිටපු තැනකට පලයන් ” 

ශෙනාල් මන්දාකිනිගේ අතින් ඇද ඇයව නිවසින් පිටතට තල්ලු කර දොර වසා දැමීමට සූදානම් වූවාය.

” ඔයාට පිස්සුද ෂෙනාල් ? “

දොර වසා දැමීමට සූදානම් වූ ශෙනාල් නැවත දොර හැර ඉදිරියට පැමිණියේය.

” යකෝ මේක ගෑනියෙක් ගෙදරට එන වෙලාවක්ද? තෝ කොහේ ගිහින් මොනවා කරලා එනවද කියලා කවුද දන්නේ? “

” ශෙනාල් මේක මගේ ගෙදර.ඔයාට බෑ මාව මෙහෙම එළියට දාන්න.කරුණාකරලා එහාට වෙන මට ගෙට යන්න ” 

මන්දාකිණි සූදානම් වූයේ ශෙනාල් ව පසෙකට කර නිවසට ඇතුළු වීමට වුවත් ඔහු එයට ඉඩක් නොතබා නැවත මන්දාකිණි පිටතට තල්ලු කර දොර වසා දැම්මේය.මන්දාකිණි  කිහිප වරක්ම දොරට තට්ටු කර එය විවෘත කරවා ගැනීමට උත්සාහ දැරුවද ශෙනාල් කිසිදු හැල හොල්මනක් නොමැතිව නිවස තුළට වී සිටියේ කිසිවක් සිදු නොවූ පරිද්දෙනි. නිවසේ ප්‍රධාන දොරටුව අසලට වී මේ ආකාරයෙන් සිටීමෙන් ලැජ්ජාවට සහ අගෞරවයට පත් වන්නේ තමාම බැවින් මන්දාකිණි ඉතා අසරණ හැඟීමකින් යුතුව යුතුව නැවත විදුලි සෝපානයට ගොඩවී වාහන අංගනය වෙත පැමිණ වාහනයට නැග එය පණ ගැන්වූවාය.

දින ගණනාවක් තිස්සේ හදවතේ සිර කර ගෙන තබා ගෙන හුන් කම්පනය තප්පර ගණනාවක් තුළදී මන්දාකිණි වෙතින් පිට පැන්නේ වේගයෙනි.දෑතින්ම සුක්කානමට ගසමින් මන්දාකිණි රිසිසේ හඬා වැටුණේ හදවතට දැනෙන ශෝකය සහ කෝපය මුදා හැරීමටය.

නිවසට පැමිණි කෛලාශ් කාලය ගත කළේ දැඩි නොසන්සුන්භාවයකිනි.එදා කෙටි වේලාවක් තුළදී මන්දාකිණි වෙතින් දක්නට ලැබුණු ඒ වෙනස්කම හේතුවක් රහිතව සිදු වූවක් නොවන බව තේරුම් ගන්නට කෛලාශ් හට අපහසු වූයේ නැත. ක්ෂණිකව පැමිණි සිතිවිල්ලකට අනුව කෛලාශ් ඊ මේලය දිග හැර ගෙන මන්දාකිණි ගේ ආයතනයෙන් පැමිණි ඊමේල් පණිවිඩයක් වෙත යොමු වී ආයතනයේ නම අසල ඇති ජංගම දුරකථන අංකය දුරකථනයෙහි සටහන් කර ගත්තේය මෙතෙක් දිනක් මන්දාකිණි සහ ඇගේ ආයතනය සමග ගනුදෙනු පැවැත්වූයේ සත්සර නිසා මන්දාකිණි ව සම්බන්ධ කරගත හැකි අංකයක් නොවූ බැවින් කෛලාශ් දුරකථනයේ සටහන් කරගත් අංකයට ඇමතුමක් ලබා ගත්තේ දෙගිඩියාවෙනි.

දුරකථනය නාද වන විට මීනු පසු වූයේ අඩ නින්දේය. නාද වන්නේ තම පෞද්ගලික දුරකථනය නොව කාර්යාලයේ කටයුතු සඳහා වෙන් කර ඇති දුරකථනය බව මීනු හදුනා ගත්තේ එහි නාද රටාවෙනි.මධ්‍යම රාත්‍රිය ඉකුත් වී යන මොහොතක නොදන්නා අංකයකින් අමතන්නේ කවුරුන් දැයි සිතා ගත නොහැකිව මීනු බලා හිඳිද්දී ඇමතුම අවසන් වූ අතර තත්පර ගණනාවක් තුළදී නැවතත් දුරකථනය නාද වන්නට විය. මේ ආකාරයට දිගින් දිගටම අමතන්නේ කවුරුන්දැ සිතමින් මීනූ දුරකථනය අතට ගත්තාය.

” හෙලෝ ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here