මතකයක සේයා – 19

0
1555

” කෛලාශ් ටිකක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ මන්දාකිණි.ඒකයි ඔය ” 

මන්දාකිණි විසින් දුන් වේදනා නාශක ලබා ගැනීමෙන් අනතුරුව කෛලාශ් සත්‍සර ගේ වාහනයට වී වායු සමීකරණය දමා ගෙන මඳ වේලාවක් ගත කරමින් උන්නේය. හිතට දැනෙන නොසන්සුන් බව බිඳක් වත් පහව නොගොස් ඇති නිසා කෛලාශ් වාහනයේ වීදුරුවෙන් ඈතින් පෙනෙන මන්දාකිණි දෙස බලාගෙන සාක්කුවේ තිබූ දුරකථනය අතට ගත්තේය.

ඇන්ඩ්‍රියා බාලසූරිය උන්නේ නිවසේ මල් බඳුන් පුරවන්නට ගෙවත්තේ ඇති වෛවර්ණ මල් ගස් වලින් මල් කීපයක් කපන අතරේය.එරික් බාලසූරිය ව්‍යාපාරික රැස්වීමක් අවසන් කර නිවසට පැමිණ ගිමන් හරින අතරේ ඇන්ඩ්‍රියා ගේ දුරකථනය නාද වූ නිසා එය රැගෙන මිදුලට බැස්සේ ඇමතුම පැමිණෙමින් තිබුණේ කෛලාශ් ගෙන් බව දුටු බැවිනි.

” පුතා කතා කරනවා ඇන්ඩ්‍රියා ” 

ඇන්ඩ්‍රියා අත තිබූ කතුර ගෙවත්තෙ වූ යකඩ මේසය මතින් තබා දුරකථනය අතට ගත්තේ පුදුමයෙනි. කෛලාශ් නැවත මව්බිමට ගිය පසුව බොහෝ විට ඇමතුම් ලබා දුන්නේ උදෑසන වරුවේ හෝ රාත්‍රී කාලයේදීය.දැන් මේ අවේලාවේ ඔහු හදිසියේම අමතන්නේ කුමක් හෝ ගැටලුවක් නිසා වත් දැයි ඇන්ඩ්‍රියා ගේ සිත තුළ බියක් උපන්නේය.

” පුතා ” 

ඇන්ඩ්‍රියා ඇමතුම ක්‍රියාත්මක කර දඩිබිඩියේ දුරකථනය කනේ තබා ගත්තාය.ඇන්ඩ්‍රියා ගේ හැසිරීම නිසා එරික් ද බලා උන්නේ කුහුලෙනි.

” අම්මා ” 

” ඇයි පුතා මේ අවේලාවේ? ඔයා හොඳින් නේද ? ” 

” මං හොඳින් අම්මා ” 

කෛලාශ් එසේ කියා සුසුමක් මුදා හල අතර එය ඇන්ඩ්‍රියා හට පැහැදිලිවම ඇසුනි

” ඔයා මොකක් හරි අවුලකින් නේද ඉන්නේ ? ” 

ජීව විද්‍යාත්මකව තම මව නොවූවද ඇන්ඩ්‍රියා තමාගේ හැසිරීමක වෙනසක් පවා හොඳින් හඳුනා ගන්නා බව කෛලාශ් සිතුවේ ශෝකයෙනි. මවකගේ සෙනෙහස කුමක්දැයි කියා නොදන්නා අවධියක එය තමා වෙත නොඅඩුවම ලබා දී ජීවිතය සාරවත් කල ඒ ගැහැණිය තවමත් තමා වෙනුවෙන් කුඩා දෙයකදී පවා කම්පා වන ආකාරය පුදුමයකැයි කෛලාශ් කල්පනා කලේය.

” අම්මා මට ඔයාට දෙයක් කියන්න තියෙනවා “

” ආ.. ඒකද මේ ? ” 

ඇන්ඩ්‍රියා සිනාසී අසල වූ යකඩ පුටුවෙන් වාඩි වූ අතර එරික්ද ඊට එහායින් වූ පුටුවේ වාඩි වී ඇන්ඩ්‍රියා දෙස බලා උන්නේ කෛලාශ් සමඟ කතා කිරීමට තම වාරය පැමිණෙන තුරුය.

” ඉතින් කියන්නකෝ පුතා? මොකෝ? අර ඩ්‍රීම් ගර්ල්ව හම්බුනාද ? ” 

ඇන්ඩ්‍රියා ඇසූ පැනයට දිය යුතු පිළිතුර කුමක් දැයි කෛලාශ් ඈතින් පෙනෙන මන්දාකිණි දෙස බලා ගෙන කල්පනා කළේය. තමා අනුමාන කරනා දෙය ඇත්ත වශයෙන්ම සත්‍යයක් නම් එතනින් එහා කළ යුත්තේ කුමක්දැයි කියා පවා අදහසක් කෛලාශ් තුළ නොවීය.

” ඔව් අම්මා ” 

” What ? What a surprise පුතා? ඔයා ඔය ඇත්තමද කියන්නේ ? එරික් මේ බලන්නකෝ.පුතා අර ගර්ල්ව හොයා ගෙන ” 

ඇන්ඩ්‍රියා තුළ උපන් උතුරා යන සතුට මෙන්ම සතුටක් එරික් ගේ මුහුණේ ද ඇඳුනේ ක්ශනයකිනි. 

” ඒත් අම්මා..  ” 

” ඇයි පුතා? මොකක්ද ප්‍රශ්නේ ?” 

” මං දන්නෙ නෑ අම්මා ඇත්තටම ඒ එයාමද කියල.ඒත් මට දැනෙනවා මේ එයාමයි කියලා.මාව නිකං පැටලිලා වගේ අම්මා.මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියලා ” 

ඇන්ඩ්‍රියා තුළ වූ සතුට අනෙක් තත්පරයේදී මැකී ගිය අතර ඇයට තම එකම පුතු පිළිබඳව ඇති වූයේ සුවිසල් අනුකම්පාවකි.මතක ඇති කාලයක පටන්ම කුඩා කාලයේ පාසලේදී තමා වෙත අනුකම්පාව පෑ ඒ කුඩා ළදැරියව සෙවීම ඔහු ගේ අරමුණ වූ බව ඇන්ඩ්‍රියා මෙන්ම එරික් ද හොදාකාරවම දැන උන්නෝය. ඕස්ට්‍රේලියාවේ සියලුම සැප සම්පත් තිබියදී කෛලාශ් තම මව්බිමට ගොස් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කළේද ඒ අරමුණ ඉටු කර ගැනීම උදෙසාය. එය සිතනා තරම් පහසු කාර්යයක් නොවන බවත් කෛලාශ් හට ඒ සඳහා විශාල වෙහෙසක් දරන්නට වන බවත් ඇන්ඩ්‍රියා විසින් කෛලාශ් මව්බිමට පැමිණීමට පෙරම කියා සිටියාය. ඒ නිසා කෛලාශ් මේ මොහොතේ හිඳින්නේ ඒ වෙහෙසකාරී බවෙන් කියා තේරුම් ගන්නට ඇන්ඩ්‍රියා හට අපහසු වූයේ නැත.

” දැන් සිටුවේශන් එක මොකද්ද පුතා ? ” 

ඇන්ඩ්‍රියා ඇසුවේ නිවුනු හඬිනි. ඒ කෛලාශ් ව මදකට හෝ සන්සුන් කරන්නටය.

මන්දාකිණි ගේ කාර්යාලයෙහි හමුවීම සිදු වූ දා පටන් සියල්ලම කෛලාශ් අකුරක් නෑරම ඇන්ඩ්‍රියා වෙත කී අතර ඇන්ඩ්‍රියා සාවධානව ඒ සියල්ලම අසා උන්නාය. තම පුතු කුඩා දැරියක ගේ මතකයෙන් වැඩුණු යුවතියක සෙවීම විටෙක නිශ්ඵල කාර්යයක් සේ පෙනුනද සැබවින්ම ඒ කුඩා දැරිය කෛලාශ් කුඩා කාලයේදී පාසලේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි බව ගුරුවරුන්ගෙන් අසා දැනගෙන තිබුණ නිසා පමණක් ඇන්ඩ්‍රියා මේ සෙවිල්ල කෙරෙහි වචනයෙන් හෝ සහයෝගය දැක්වූවාය.එහෙත් කෛලාශ් මේ කාරණාව සම්බන්ධයෙන්  ව්‍යාපාරික කටයුතු පසෙකලා වෙහෙසෙනවා නම් ඔහු මව්බිමට යාම පවා අරුත්සුන් දෙයක් වනු ඇති බව සිතා ඇන්ඩ්‍රියා සුසුමක් පිට කළාය.

” මේ අහන්න පුතා.. ” 

ඇන්ඩ්‍රියා කරුණාවෙන් කියා මොහොතක් නතර වූවාය.

” මං අහන් ඉන්නේ අම්මා ” 

” ඔයාට ඒ ළමයාව හම්බ වෙන්න තියෙනවා නම් හම්බ වෙයි පුතා .කවුද දන්නේ ඒ ළමයා මේ වෙනකොට කොහේ ඉන්නවද මොනව කරනවද කියලා ? ඔය කියන ගෑණු ළමයාගේ ගම ඕක උනාට , ඔයාට එයාව දැකලා පුරුදු උනාට අපිට කියන්න බෑනේ ඒ ඔයා හොයන ළමයාමයි කියලා.කවුද දන්නේ ඒ ළමයා මේ වෙනකොට ලංකාවේ ඉන්නවද නැද්ද කියලවත්? එහෙම නැත්නම් වෙන පළාතක පදිංචියට ගිහින්ද කියලවත්? සමහර විට කොළඹ පැත්තේ ජොබ් එකකට ගිහින්ද දන්නෙත් නෑනේ? “

” අම්මා ඒත් …” 

” ඔයා හුඟක් පුංචි කාලේ හම්බවෙච්ච ළමයෙක්ව දැන් හොයන්න අමාරුයි නේ පුතා. ඊට කලින් ඔයා ලංකාවට ගිය වැඩේ පිළිවෙලක් කරගෙන ඉන්න.ඕපනින් එකට තව සති දෙකයිනේ තියෙන්නේ.ඒ වැඩ ටික පිළිවෙලක් වෙලා ඉවර වුණාට පස්සේ අපි ඔය ළමයා ගැන හොයමු ” 

ඇන්ඩ්‍රියා එසේ කී පසුව කෛලාශ් තත්පර ගානක් නිහඬව බලා උන්නේ බලාපොරොත්තු රහිතවය.

” මුලින්ම ඔයා හොටෙල් එකේ වැඩ ටික ඉවර කරගෙන ඉන්න.ඊට පස්සේ ඔයා පුංචි කාලේ ඉගෙන ගත්ත ඉස්කෝලෙට ගිහින් ඒ ළමයා ගැන තොරතුරක් හොයා ගන්න පුළුවන්ද කියල බලන්න ” 

ඇන්ඩ්‍රියා ලබා දුන්නේ අලුත් අදහසකි.තමාට මෙතෙක් දිනකට එවැන්නක් සිහිපත් වූයේ හෝ නැති බව කෛලාශ් සිතුවේ පුදුමයෙනි.

” අනේ අම්මා මට මෙච්චර දවසකට කොහොම දෙයක් මතක් උනේවත් නැහැ. අඩුම ගානේ අපේ මේ සත්සර වත් මට ඕක මතක් කලේ නැහැනේ “

” හරි දැන් මං මතක් කරානේ.ඔයා දැන් හොඳ ළමයා වගේ හිත කලබල කර ගන්නෙ නැතුව ඔය වැඩේ ගැන බලන්න. ඊට පස්සේ අපි අනිත් වැඩේ ගැන බලමු.තේරුනාද ? ” 

එරික් ඇන්ඩ්‍රියා දෙස බලා උන්නේ පුදුමයෙනි.වසර ගණනාවක් මුළුල්ලේම මවක වීමට සිහින දැක, බොහෝ දෙනාගෙන් අනේක විධ අපහාස විඳි තම බිරිඳ අන් දරුවෙකුට මම වී ඇති ආකාරය, ඔහුට දක්වන සෙනෙහස අතිශයින්ම පුදුමාකාරය. මව් සෙනෙහසට මේ ලෝකයේ කළ නොහැක්කක් නොමැති බව එරික් ඇන්ඩ්‍රියා දෙස බලා ගෙන පසක් කර ගනිමින් උන්නේය.

කෛලාශ් දුරකථන ඇමතුම අවසන් කළේ බොහෝ සැනසීමෙනි.විනාඩි ගණනාවකට පෙර හදවතේ වූ නොසන්සුන්භාවය බොහෝ දුරට පහව ගොස් තිබුණු නිසා කෛලාශ් වාහනයේ වායු සමීකරණය ද එන්ජිම ද ක්‍රියා විරහිත කර වාහනයෙන් බැස දිගු හුස්මක් ගත්තේය.අනතුරුව සෙමෙන් පියවර තබා මන්දාකිණි ත් සත්සරත් කතා කරමින් හුන් තැනට පැමිණියේ අව් රශ්මිය නිසා රත් පැහැ ගැන්වී තිබුණු මන්දාකිණිගේ පියකරු මුහුණ දෙස වඩා උවමනාවෙන් බලන අතරේය.

” මචං සත්සර “

මන්දාකිණි සහ සත්සර හුන් තැනට අඩි කිහිපයක් මෑතින් නතර වී කෛලාශ් සත්සර ඇමතූ අතර සත්සර මෙන්ම මන්දාකිණි ද එකවර හැරී කෛලාශ් දෙස බැලුවෝය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here