සාමාත් රීටාත් එකතුව දහරා වෙනුවෙන් සාදාගත් බත්පත වෙනදා තරම් සරු එකක් වූයේ නැත. ඉඩ හිට හෝ සොහොයුරාගෙන් නිවසට ලැබෙන මුදල දැන් නොලැබේ. එනිසාම සියල්ල කරන්නට සිදුව ඇත්තේ සාමාගේ වැටුපෙන්ය. දරුවාට අවශ්‍ය රෙදි පිළි මිලට ගන්නට කීයක් හෝ දහරාට ලබාදිය යුතුය.
“මේ තරං සමාජෙ ගැන කරුණු කාරණා දැනගෙනත් මේ කෙල්ලට පරිස්සම් වෙන්න බැරුව ගියානේ අම්මේ. ගෙවල් ඇතුලෙ දාගෙන එළියට බහින්න ඉඩක් නොදී හංග හංග හදපු දරුවො නෙමෙයි නේ.”
සාමා එසේ පැවසූයේ දනහිසට මදක් පහළට වන්නට වූ ගවුම ඇඟලා ගන්නා ගමන්ය.
“කෙහෙල් ගෙඩි ටිකක්වත් ගෙනියන්න වෙයි” යැයි පවසමින් රීටා හැට්ටය තුළ රුවාගෙන උන් රුපියල් පන්සියයේ නෝට්ටුව මේසය මතින් තැබුවේ එවේලෙහිය.
සමාජෙට ගිය ගමන් රැවටෙන්නේ ගෙවල් තුල සිර කරගෙන හදන දරුවන් යැයි රීටාත් අසා තිබේ. දහරා එවන් කෙල්ලක නොවේ. පාඩම් ඉගෙන ගන්නටනම් ඇයට ඉපදී හැදී වැඩුණු මේ පරිසරය හොඳටම ප්‍රමාණවත්ය. සාමා සේකර වත්තේ උස්මහත් වූයේ මීටත් වඩා සාමාජීය ප්‍රශ්න බහුල කාලයකය. එහෙත් ඇය පිරිසිදු චරිතවත් දියණියක ලෙස සැමියාගේ පාර්ශවයෙන් පවා පැසසුම් ලැබුවාය.
“අපි ඔක්කොම එකතුවෙලා ගිය ආත්මෙ මහා පාපකර්මයක් කරලා ඇති. කොහොම මොන විදිහකට ජීවත් උනත් පව පින ඵල දෙනවා. මේ වත්තේ අනිත් කෙල්ලෝ ඔක්කොටම වඩා පිරිසිදුවට පිළිවෙලකට තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන ඉඳපු දරුවනේ මේ..”
රීටා එසේ පැවසූයේ තම දියණිය සමනලයෙකුගේ හැඩය ගත් කොණ්ඩා කටුව කෙස් කලඹ අතර රඳවද්දීය. විවාහ වී යන විට ඇයට තිබුණේ දණහිස තෙක් දිගු වූ කොණ්ඩයකි. අද ඉන් කාලක්වත් නොවේ. විවාහයට නැකත් පොරොන්දම් බැලූයේ බෑනාගේ පාර්ශවයය. එහෙත් දියණිය කනවැන්දුම් ගැහැණියක වී ජීවිතය තුළ තනිවේයැයි ඒ කොතැනකවත් කියවී තිබුණේ නැත.
“එහෙනම් මං ගිහින් එන්නම් අම්මේ…”
සමා රීටාගේ දෙපා වැන්දේ බෑගය කරලා ගෙනමය.
“රෙදි ටික ගන්න යන්න දවසක් දාගෙන ආවනම් හරි නේද. කේන්තියෙන් තරහෙන් ඉන්න එකේ මනුජිත්ගේ අම්මගේ අතින් ඒ යුතුකම් ඉෂ්ට වෙන එකක් නෑ.”
එවර රීටා පැවසූයේ මදක් උස් හඬින්ය. සාමා උන්නේ මළබැඳී දිරා ගිය ගේට්ටුව පසෙකට කරමින්ය.
අම්මා එන බව කලින් පැවසූ නිසාම දහරා ඇයටත් එක්ක කෑම වේලක් සැකසුවාය..අපේ ඇති මුදල් තව මාසයකට දෙකකට ප්‍රමාණවත්ය. ඊයේ නිෂාදීත් රුපියල් දහසේ නෝට්ටුවක් දහරාගේ අත මිට මෙල වූයේ බලෙන් මෙන්ය. දරුවාගේ රෙදි බෑගය සූදානම් කර ගන්නයැයි ගියවර සායනයට සහභාගි වූ වේලේ උපදෙස් ලැබිණ. දහරා සිතා සිටියේත් අද හෙටම අම්මා හා ගොස් ඒ ටික මිලදී ගන්නටය.
නිවසට ගොස් ඒමේ ආසාව දහරාගේ සිතෙහි තදින්ම විය. එහෙත් ඒ බැව් ඈ කිසිවෙකු හා නොකීවාය. කෙනෙකුට තමා උපන් හැදුණු වැඩුුණු පරිසරය අමතක කිරීම ලෙහෙසි පහසු එකක් වන්නේ නැත. තමා මේ ගෙවමින් සිටින්නේ කළ වරදට දඬුවම්යැයි සිතමින් ඈ හිත හදාගත් වාර ගණන අපමණය. විවාහයට කැමැත්ත පලකරද්දී මනුජිත්ගේ මව තදින්ම කියා සිටියේ සේකර වත්තත් සමග ඇති සම්බන්ධකම් අතහැර දමන ලෙසය. දෙවරක් නොසිතා ඊට එකඟ වන්නයැයි අම්මා, ආච්චී පවා පැවසුවාය. එනිසාම අම්මාටත් ආච්චිටත් මෙහි පැමිණීමට අවසර ලැබුණා විනා දහරාට සේකර වත්තට යාමට අවසර ලැබුණේ නැත.
ශ්‍රියාලතා මුළුතැන් ගෙයට එබුණේ දහරාගේ කෑම වල සුවඳ දැනෙද්දීය. වෙනදා නොවූ විරූ කුසගින්නක් දැනුනත් ශ්‍රියාලතා තම සිතුවිලි වලට තරවටු කරගත්තේ ‘බඩගින්නේ මැරුණත් මම ඕකිගේ කෑම නොකනවායැයි පවසමින්ය.’ කුඩා ඇතිලි තුන හතරක්ම පෑන්ට්‍රි ලෑල්ල මත විය. ඒවාට එබී බලන්නට අවකාශයක් නොවූයේ දහරා මුළුතැන් ගේ තුළ සිටි නිසාය.
“අද අපේ අම්ම එනවා කිව්වා. මං අම්මට කෑම චුට්ටක් හැදුවා. උණු උණුවෙන් බත් කටක් අම්මටත් බෙදලා දෙන්නද..?”
දහරා ඇසූයේ ඇයට සුපුරුදු සිනහව මුව මත තබාගෙනය.
“ඒ මනුස්සයා කරගන්න පව් ඒ මනුස්සයා ගෙනියයි. එයා කොහොම මොන විදිහකට සැලකුවත් කමක් නැහැ. ඔයා ඒ මනුස්සයාට එයාගේ දුව විදිහට සලකන්න. මනුජිත් උනත් සමහරවිට බයක් සැකක් නැතුව පිටරටක ගියේ ඔයා ඉන්න හින්දා වෙන්න ඇති.”
අම්මා මීට දින දෙක තුනකට කලිනුත් පැවසූයේ ඒ අයුරින්ය.
“එපා මං උයන්න හදන්නේ. ඔය ළමයා උයලා අහවරනම් මට ඒ වැඩේ කරගන්න ඉඩ දීලා මෙතනින් එළියට යන්න.”
ශ්‍රියාලතා එසේ පැවසූයේ ශීතකරණය විවර කරමින්ය. බත් ටිකක් කන්නට සිතෙහි උපන් ආසාව නිසාම ඈ දහවලට උයන්නට තීරණය කළේ මේ දැන්ය. එහෙත් ශීතකරණය තුළ කිසිවක් නොමැති බව ඇයට සිහි වූයේ ඒ හදිසියේමය. ගෝගට් චීස් බටර් හා පලතුරු වර්ග කිහිපයක් ශීතකරණය තුළවිය. ඒවා දහරාගේය.
“මයේ කොල්ලා කයි කියල හිතල වෙන්න ඇති මේකි ඌ ඉන්න කාලේ මේ කිසි දෙයක් ගෙනාවේ නෑ. දැන් තමයි ප්‍රිජ් එක පුරවං සැරින් සැරේ කන්නේ…”
ශ්‍රියාලතා එසේ සිතුවේ මහත් වූ කෝපයක් දරාගෙනය.
“හන්දියට ගිහිල්ලා බත් එකක් ගෙනත් කනවා. මොකටද මං වෙනුවෙන් විතරක් ආපහු හාල් ලිපේ තියන්නේ. ඒක නිකං කන්නයැ. එළවළු මස් මාළු මොනවහරි ගේන්නත් එපැයි.”
තමාටම පවසාගත් ශ්‍රියාලතා ශීතකරණයේ දොර වැසුවේ මදක් ශබ්ද නැගෙන ලෙසය.
“අද විතරයිනෙ ඔය ඔක්කොම සෙල්ලං මහ ගෑණි එක්කගෙන යයි නේ..”
ඈ එසේ සිතුවේ විසිත්ත කාමරය හරහා යළි කාමරයට ඇවිද යන අතරේය.
*****************
“නිශාදි මම අද හවස සේකර වත්තට ඇවිත් යන්න එනවා….”
රමාෂ් එසේ පවසද්දී නිශාදී වම් අතෙහි වූ දුරකථනය දකුණු අතට මාරු කළාය.
“ඇයි හදිසියේ….”
“මට සාම නැන්දාව බලන්න හිතුනා. දහර දැක්කට පස්සේ එයා එක්ක කතා කළාට පස්සේ මට සාම නැන්දා ගැන ගොඩක් දුක හිතුනා. එයා මේ තත්ත්වේ කොහොම දරාගන්න ඇත්ද කියල මට හිතාගන්න බෑ. එයා හරි කාරුණික ගැහැණියක්. හොඳ අම්මා කෙනෙක්. ඉස්සර සාම නැන්දා හරි ආදරෙන් මගේ ඔලුව අත ගානවා. මං හරි ආසයි සාම නැන්දා එහෙම කරනවට.”
“ඔයා අපේ ගෙදරත් එනවද..?”
“එහෙට ඇවිල්ලා ඔහේට නෑවිත් කොහොමද..නැන්දයි මාමයි බලන්නත් ආසයි…”
නිශාදී දඩිබිඩියේම ගේ අස් කරන්නට පටන් ගත්තේ ඔහු එසේ පැවසුවාට පසුවය. නිශාදිගේ නිවසේ කෙල්ලන්ම දෙදෙනෙකි. අක්කා බොරැල්ලේ නිමිඇඳුම් ප්‍රදර්ශනාගාරයක සේවය කළාය. උදෑසන වැඩට ගොස් සැන්දෑවේ යළි නිවසට පැමිණෙන ඇගේ අතින් කොස්සක්වත් නොඇල්ලුණු තරම්ය. විවාහ වී සිටින අයියා නිවසේ පැති බිත්තියටම අල්ලා තනාගත් කාමරයේ පදිංචි වූයේ ඊයේ පෙරේදාය. ෆිනෑන්ස් කම්පැනියක සේවය කළ නෑනන්ඩියත් ඒ හාම සමානය. කුමක්දෝ අහේතුවකට නිෂාදිටද පිළිවෙල පිරිසිදුකම පිහිටියේ නැත. ලඟදී මිලදී ගත් පුටු සැටියක් නිවස තුළ වුවත් ඒවා එහා මෙහා කර ඉඳගන්නටවත් බැරි තරම් රෙදි ඒ මතය. සෝදා වේලා ගන්නා රෙදි යළි අල්මාරිවල තැන්පත් කෙරෙන්නේ එහෙමත් දිනයකය. කඩවල් කිහිපයකටම බුලත්විඩ සෑදූ අම්මා අතින් හොද්දක් බතක් ඉදුනාට අතුපතු ගෑමේ කාර්යයන් සිදුවන්නේ කලාතුරකින්ය. ඒත් දියණියන් දෙදෙනාටත් ලේලියටත් බැන වදිමින්ය. හදිසියේම නිශාදි පුටු මත වූ රෙදි ගෙන ගොස් කාමරයේ ඇඳ මත ගොඩ ගැසුවාය. බිම තබා තිබෙන ඊයේ රාත්‍රියට පාන් කෑ පිඟන් ඈ දුටුවේ එවේලෙහිය. නිශාදිට දහරා සිහි වූයේත් ඒ හදිසියේමය. සේකර වත්තේ සිටියදී ඉඳහිට නිශාදිගේ නිවසට පැමිණෙන ඈ ආපසු යන්නේ නිශාදිත් මවත් බෙදාගත් කාමරය අස් කර දුන්නාට පසුවය.
“ටිකක් පිළිවෙලට ඉන්න පුරුදු වෙයංකෝ බං. මටනම් ඔළුවේ කැක්කුමයි මෙහෙම දැක්කට පස්සේ”
ඈ එසේ යන්නේ නිශාදිට බැණ වදිමින්ය.
“උඹ මොකෝ මේ තකහනියේ ගේ පෙරලන්න හදන්නේ.”
කාන්තිලතා එසේ ඇසුවේ නිශාදී මුළුතැන් ගෙය තුළ වූ කොස්ස අතින් ගෙන සාලයට එද්දීය.
“අද හවසට රමාෂ් මෙහේ එනවා කියලා කිව්වා. ඔන්න මං නොකිව්වයි කියන්න එපා. අම්මයි තාත්තයි දෙන්නම නාල කරලා පිළිවෙලට ඇඳුමක් ඇඳගෙන ඉන්න. ඔය වැඩේ ඉවරනම් එන්න මට ටිකක් අස් කරන්න උදව් වෙන්න.”
කාන්තිලතාටත් කොල්ලා දකින්නට ආසාවක් වූයේ නිෂාදී නිවසට පැමිණ පවසන විස්තර නිසාය. ඔවුන්ව මේ වත්තෙන් එළවා තබන්නට තම සැමියාත් හවුල් වූ බව අදටත් කාන්තිලතාගේ සිතෙහි පමණක් පැලපදියම් වූ රහසකි. ඈ සිටියේ හෙට දවසේ බුලත්විට සඳහා පුවක් කපමින්ය. පුවක් වට්ටිය පසෙක තැබූ කාන්තිලතා නිශාදිට හවුල් වූයේ මහත් ඕනෑකමකින්ය.
“ඒයි…මේ හන්දියට ගිහිල්ලා සාගරිකා එකෙන් කේක් පන්සියයක්වත් අරන් එනවාකෝ. අර මං ඔහෙට කිව්වේ වේලුගේ කොල්ලා දොස්තර කෙනෙක් වෙලා ලංකාවට ඇවිත් ඉන්නවා කියලා. අන්න ඒකා අද මෙහෙ එනවලු. සාගරිකා එකෙන්ම තල කැරලි පැකට් එකකුත් අරන් එනවා. ඔය කොල්ලා තල කැරලි වලට හරි පෙරේතයි ඉස්සර”
ඒ අතරේම කැඩුණු වේවැල් පුටුවක් සකස් කරමින් සිටි සැමියාට ඕ කෑ ගැසුවාය.
**********************
ශ්‍රියාලතා තම සැමියාට ඇමතුමක් ලබා ගත්තේ කාමරයට ගියාට පසුවය. ඔහු දුරකථනයට පිළිතුරු සැපයූයේ එය තත්තර කිහිපයක්ම නාද වූවාට පසුවය.
“ඉක්මනට කියන්න මුදලාලි මහත්තයා ඉන්නවා.”
“අන්න අර අම්මණ්ඩි අද එනවලු…”
“මොන අම්මණ්ඩිද?”
“දහරාගේ අම්මා. මං අර විදිහට කියන්නම් නේද?”
“ඔව් ඉතින්… පුතා කිව්වේ ඒ විදිහනම් ඒ විදිහට කියන්න වෙනවනේ. කොහොමත් ඉතින් දැන් ඔය ළමයට දවල් දවසක අමාරුවක් උනත් ඔයා විතරයිනෙ ගෙදර ඉන්නේ.”
“ඒ ගෑනි බෑ කියයිද…?
“මං හිතන්නෙ නෑ..ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව, කඩන් පනින්නේ නැතුව යාප්පුවෙන් කතා කරන්න. අපේ එක්කෙනාගේ වැරදි මිසක්කා අපිට ඒ මිනිස්සුත් එක්ක වෙන පෞද්ගලික තරහක් නෑනේ. මං තියන්නං එහෙනම්…මුදලාලි මහත්තයා ඉන්නවා”
කිසිවෙකු විසින් ගේට්ටුව අරින හඬ ඇසුණේ එහා පසින් දුරකථනය විසන්ධි වී යද්දීය.
(හමු වෙමු ආදරයෙන්)


